Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ඉල් පුර පසළොස්වක පොහොය ලෝකවාසී බෞද්ධ සැදැහැවතුන්ට සුවිශේෂී වූ දිනයකි. මෙම ඉල් පොහොය කඨින චීවර මාසයේ අවසන් දිනයයි.

දාන, ශීල, භාවනා ආදියට මුල් තැන දීම සෑම පොහොය දිනකම සිදු කරන කුසල්මය පින්කම්ය.

ඉල් පුර පසළොස්වක පොහොය ලෝකවාසී බෞද්ධ සැදැහැවතුන්ට සුවිශේෂී වූ දිනයකි. බරණැස ඉසිපතනාරාමයෙහි වස් කාලය ගත කළ බුදුන් වහන්සේ වස් පවාරණයෙන් අනතුරුව පස්වග මහණුන් සහ යසකුල පුත්‍රයාත් ඔහුගේ යහළුවන් පනස් හතර දෙනාත් ප්‍රථම ධර්ම දූත සේවයේ යෙදවූයේ මෙවැනි උතුම් පොහොය දිනකයි.

‘චරථ භික්ඛවෙ චාරිකං, බහුජන හිතාය, බහු ජන සුඛාය, ලෝකානුකම්පාය, අත්ථාය, හිතාය, සුඛාය, දේවමනුස්සානං ඒකේන ද්වේ අගමිත්ථ දේසේථ භික්‍ඛවේ ධම්මං ආදී කල්‍යාණං මජ්ඣෙ කල්‍යාණං පරියෝසාන කල්‍යාණං’

‘මහණෙනි, බොහෝ දෙනාගේ හිත සුව පිණිස ලෝකයාට අනුකම්පා පිණිස දෙව් මිනිසුන්ට හිත පිණිස වැඩ පිණිස චාරිකාවෙහි හැසිරෙන ලෙසත් භික්‍ෂූන් වහන්සේ දෙනමක් එක මඟ නොයන ලෙසත් මුල, මැද, අග, අර්ථ සහිත ව්‍යංඤ්ජන සහිත ධර්මය දේශනා කරන්න යනුවෙන් වදාළ සේක.

ඉල් පොහෝ දින ධර්ම චාරිකාවෙන් ඇරැඹි ව්‍යඤ්ජන සම්පත්තියෙන් පරිපූර්ණ වූ ධර්මය අදටත් එලෙස සුරකිමින් භික්‍ෂූන් වහන්සේලා ධර්ම ප්‍රචාරක කාර්යයෙහි නියැළීම බෞද්ධයන්ගේ භාග්‍යයකි.

බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වේ දී තුන් බෑ ජටිල පිරිස දමනය කර උරුවෙල් කාශ්‍යපගේ පන්සියයක් අනුගාමික පිරිසත් නදී කාශ්‍යපගේ තුන්සියයක් අනුගාමික පිරිසත් ගයා කාශ්‍යපගේ දෙසීයක් අනුගාමික පිරිස ඇතුළු දහසක් ජටිල භික්‍ෂූන් ගයා ශීර්ෂයේ දී ආදිත්ත පරියාය සූත්‍රය දේශනා කරමින් රහත් ඵලයට පත් කරවූයේ ද මෙවන් පින්බර දිනකදී ය. සොළොස් අසංඛ්‍ය කල්පලක්ෂයක් පාරමී දම් පිරූ අසිත බෝධිසත්වයාණන් මෛත්‍රී බුදුරදුන් ලෙස බුද්ධත්වයට පත් වීමට ගෞතම බුදුරදුන්ගෙන් නියත විවරණ ලැබුවේ ද අද වැනි පොහොය දිනකය.

බුදු ගුණ ප්‍රතිසංයුක්ත ධර්ම දේශනාවෙන් තම මෑණියන් සෝවාන් ඵලයෙහි පිහිටුවා කළගුණ සැලකූ සැරියුත් තෙරුන් වහන්සේ මගධ ජනපදයේ නාලක ගමෙහි තමන් උපන් ගෙදර දී පිරිනිවන් පෑ වේ ද අද වන් පුර පසළොස්වක පොහෝ දිනකදී ය. අනුබුදු මිහිඳු හිමියන් ඇතුළු ප්‍රථම ලාංකේය භික්‍ෂුව වූ අරිට්ඨ මහ රහතන් වහන්සේ සහ තවත් රහත් භික්‍ෂූන් පනස් නවසක් වහන්සේලාට වතාවත් කිරීමට පූජනීය ස්ථාන අවශ්‍ය බව දෙවන පෑතිස් රජුට දැන්වූයේ අද වැනි දිනකය.

බුදුන් වහන්සේගේ දකුණු අකු ධාතූන්වහන්සේ තැම්පත් කළ ථූපාරාම චෛත්‍ය බෞද්ධයන් වූ අපට දායාද වූයේ මෙහි ප්‍රතිඵලයක් නිසා ය.

නිකිණි පුන් පොහෝ දා පෝය කර අව පැළවිය දා පසුවස් සමාදන් ව ඉල් පොහෝ දා පසු වස් පවාරණය කරයි. දායකයන් ප්‍රදානය කරන සිව් පසය ද ලබමින් බණ භාවනාවෙහි යෙදෙන භික්‍ෂූන් වහන්සේලා මාර්ගඵල වෙතට එළැඹෙන වස්සාන සමයේ ආමිස පූජාවන්ට වඩා ප්‍රතිපත්ති පූජාවන්ට ප්‍රමුඛ ස්ථානයක් ලබා දෙමින් මහත් පින් ඵල නෙලා ගත හැකි මෙම ඉල් පොහොය කඨින චීවර මාසයේ අවසන් දිනයයි.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.