Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බුද්ධ දේශනාව සර්වකාලීනයි

ජැක් කොන්ෆීල්ඩ් තායිලන්තය, ඉන්දියාව සහ මියන්මාරයේ ආරාමයන්හි බෞද්ධ භික්ෂුවක ලෙස පුහුණුව ලද්දේ ය. ඔහු 1974 සිට ම අන්තර්ජාතික, වශයෙන් භාවනාව උගන්වා ඇති අතර, ඇමරිකාවේ ‘ඉන්සයිට් මෙඩිටේෂන් සොසයිටි’ සහ ස්පිරිට් රොක් මෙඩිටේෂන් සෙන්ටර්’ යන ආයතනයන්හි ආරම්භක ගුරුවරයෙකි. ඔහු The Buddiha is still ඇතුළු ග්‍රන්ථ ගණනාවක කතුවරයා ය. පහත පළ වන්නේ ඔහුගේ එකී කෘතියේ ඇතුළත් කීර්තිමත් භාවනා ගුරුවරුන් විසින් ඉදිරිපත් කරන ලද බුදුදහම, භාවනාව විමුක්තිය, බුද්ධත්වය හෙවත් අවබෝධය ආදිය පිළිබඳ දාර්ශනික චින්තාවලියකි.

ඔබේ සිත හඳුනාගන්නේ ඔබය

ඔබට ම ඔබේ මනෝ විද්‍යාඥයා වන්නට එතරම් ගැඹුරු දර්ශනයක් හදාරන්නට වුවමනා නොවේ. ඔබ විසින් කළ යුතු එක ම කාරිය දිනපතා එක් මොහොතකට හෝ ඔබේ සිත විභාග කිරීම යි. ඔබ දෛනිකව භෞතික ලෝකය සමඟ පොර බදනවා නොවේ ද? හැම උදෑසනක ම ඔබ ඔබේ මුළුතැන්ගෙයි ආහාරපාන ගැන සොයා බලන්නේ නැති ද? එහෙත් ඔබ කවර දාකවත් ඔබේ සිත ගැන විමසා බලන්නට උනන්දු වන්නේ නැහැ නොවේද? එසේනම්, ඒ සියල්ලට වඩා ඔබේ සිත ගැන සිතා බැලීම වැදගත් නොවන්නේ ද? හොඳයි එසේනම් ඔබ ම ඔබෙන් අසන්න. ඔබ අවංක නම් අන් කිසිවකුගේ පිළිතුරට වඩා ඔබේ පිළිතුර ඔබට වැදගත් වනු ඇත.
-ලාමා යේෂේ

භාවනාවට ආධුනිකයකුගේ මනස
සෙන් (ධ්‍යාන) පුහුණුව අමාරු යැ යි වැඩි දෙනෙක් කියති. එහෙත් එසේ කියන්නේ වැරදි වැටහීමක් නිසා ය. සෙන් දුෂ්කර වන්නේ දෙපා හරස් කොට ඉඳ ගැනීමට (පද්මාසනයෙන්) හෝ අවබෝධය ලබා ගැනීමට අමාරු හෝ නිසා නොවේ. එසේ අමාරු වන්නේ පරිසමාප්ත මූලික අර්ථයෙන් අපේ මනස නිදහස්ව තබා ගැනීමට සහ පුහුණුව ස්ථාවරව පවත්වා ගෙන යන්නට අපහසු නිසා ය.

ජපානයේ ශෝෂින් නම් ව්‍යවහාරයක් ඇත. එයින් අදහස් කැරෙන්නේ ‘භාවනාවට ආධුනිකයාගේ මනස’ යනුයි. එහිදී පුහුණුවේ මූලික අරමුණ වන්නේ අධුනිකයාගේ මනස විරාමයක් නොතබා ස්ථාවරව පවත්වා ගැනීමයි. ඔබ ප්‍රඥා පාරමිතා සූත්‍රය එක් වරක් පමණක් හඬනගලා ගායනය කරති යි සිතන්න. එය ඉතා කදිම ගායනයකි යි සිතන්න. එහෙත් ඔබ එය දෙවරක්, තුන් වරක් හෝ ඊටත් වැඩි වාර ගණනක් ගායනය කළහොත්, ඔබ තුළ කවර වෙනසක් ඇතිවේදැයි විමසිලිමත් වන්න. සැබවින්ම ඒ කෙරෙහි ඔබේ ප්‍රකෘති හෙවත් මූලික ආකල්පය පහසුවෙන් ම සැහැල්ලු වී ගිලිහී යනු හැකිය. වෙනත් කවර සෙන් පුහුණුවකදී වුවත් සිදුවන්නේත් එයම ය. ටික කලකට ඔබේ ආධුනික මනස ස්ථාවරව පවත්වා ගත්තත්, ඔබ වසර එකක්, දෙකක්, තුනක් හෝ ඊට වඩා දිගට ම පුහුණු කළත්, ඔබ කිසියම් ප්‍රගතියක් ලැබුව ද, ඔබේ ආධුනික මනසේ සීමා රහිත අරමුණු ගිලිහි යන්නට නැඹුරුව පවතිනු ඇත.

සෙන් පුහුණුවෙහි නිරත වන අධුනිකයාට උපරිමයෙන් වැදගත් වන්නක් නම් දෙගිඩියා නොවීම යි. අපේ ‘ප්‍රකෘති මනස’ හුදෙක් එයට ආවේණික සියලු දෙයින් පිරී පවතී. එය නිරායාසයෙන් එතුළ ම එයට හිතුමතේ සියල්ලෙන් සමෘද්ධිමත් ය. ස්වයංපෝෂිත ය. ඔබ කිසිසේත් ඔබේ මනසේ ස්වයංපෝෂිත කේවලත්වය ගිලිහී යන්නට ඉඩ නොතැබිය යුතුය. එයින් අදහස් කැරෙන්නේ මුද්‍රා තැබූ මනසක් නොවේ. එනම් සැබවින්ම නිදහස්, විවෘත සහ සුදානම් මනසකි. ඔබේ මනස නිදහස් ද, විවෘත ද නම් එය ඕනෑම අවස්ථාවකට මුහුණ දෙන්නට සූදානම් ය. ඕනෑ ම දෙයකට විවෘත ය. ආධුනිකයාගේ මනස අගණනීය ශක්‍යතාවන්ගෙන් සන්නද්ධ ය. ප්‍රවීණයාගේ් හෙවත් විශේෂඥයාගේ මනස තුළ ඇත්තේ සීමාසහිත ශක්‍යතා පද්ධතියකි.
- ශන්රියු සුසුකි

නිසල වන විලක්
සිහිසන් වන්නට යත්ත දරන්න. සිදුවීම්වලට ඒවායේ ස්වාභාවික මංපෙතෙහි සැරිසරන්නට ඉඩ දෙන්න. එවිට ඔබේ මනස නිකසල සහ නිසල විලක් සේ ඕනෑ ම වටපිටාවක් තුළ සාවධාන වනු ඇත. නොයෙක් ගණයේ විස්මය දනවන, විරල සතුන් පවස නිවා ගන්නට විල වෙත එනු ඇත. එවිට සොබාදහම පිළිබඳ සියලු සිදුවීම් පැහැදිලිව දැකබලා ගන්නට හැකිය. කුතුහලය සහ විස්මය දනවන නොයෙක් දේ සිදුවනු ද දකින්නට පුළුවන. එහෙත් ඔබ නම් නිසල ය, සන්සුන්ය. බුදුරුවන්ගේ් නිරාමිස සතුට නම් එය යි.
- අජාන් චා

සතුට කොතැන ද?
මම 1979 දී මෙහෙණක වන්නට තීරණය කළෙමි. ඒ වනතුරු මම නොයෙක් දේ ලබා ගන්නට උත්සාහ දැරූ අතර, ලෝකයට කෙනෙකු තෘප්තිමත් කරන්නට නොහැකි බව අත්දැක සිටියෙමි. ඒ අතර සාමය සහ සන්හිඳියාව මිහිමත අසාමාන්‍ය සුන්දර නිකේතනයන්හි හෝ ආකර්ෂණීය අත්දැකීම් තුළ නැති බව මට අවබෝධ විය. සැබවින්ම ඒවා ලද හැකි වන්නේ අපේ ම සිත තුළ පමණි. ඒවා උපත ලබන්නේ අපේ ම මනසේ මිස අන් කිසි තැනක නොවේ.
- ආර්ය ඛේමා

සිත් ගමන් පෙත හඳුනා ගනිමු
අධ්‍යාත්මික ජීවන මාර්ගයක් සැලසුම් කිරීමේදී එය සරල හෝ පහසු වන්නේ කවර පදනමක් යටතේ ද? එහිදී අපේ සිත් ගමන් පෙත කුමක්දැයි අප විසින් සහතික කර ගත යුතු ය. නූතන අධ්‍යාත්මික වෙළෙදපොලේදී වෙනත් නොයෙක් විචිත්‍ර දෘෂ්ටි අපට අලෙවි කරනු ලැබේ. එහිදී අධ්‍යාත්මික සම්ප්‍රදාය විසින් බුද්ධත්වය, පරමානන්දය, ප්‍රඥාව, ලෝකෝත්තර ආස්වාදය සහ උපරිතම උත්තර මානව ශාක්‍යතා පිළිබඳ කතා පුවත් පිරිනමනු ඇත. විශ්ව ඥාන සම්භාරයේ පුළුල් පරාසය ඇසුරින් අප අත්දකින ඉගැන්වීම් වලින් නිතර ම වාගේ අප ඇදී යන්නේ ආකර්ෂණීයවූත්, අසාමාන්‍යවූත්, සංකල්ප වෙතය. එවැනි පරමාර්ථ සාක්ෂාත්කරණය පිළිබඳ ගිවිසුම සත්‍ය විය හැකි අතර, ඒ ඉගැන්වීම් එක් අතකින් එකී පරමාර්ථ නියෝජනය කරන්නේ ද වෙයි. එසේම ඒවා අධ්‍යාත්ම විද්‍යාව පිළිබඳ වෙළෙඳපොළේ ප්‍රචාරක තාක්ෂණයේ අංගයක්ද විය හැකිය. එහෙත් ඒවා ආධ්‍යාත්මික ජීවන මාර්ගයේ අභිමතාර්ථ නම් නොවේ.

කෙසේ වෙතත් අධ්‍යාත්මික ජීවිතය එක්තරා ආකාරයක අසාමාන්‍ය කොන්දේසියක් හෝ සුවිශේෂ අධිකාරි බලයක් හෝ ප්‍රාර්ථනයක් විමසා බැලීමේ කාර්යවලියක් නොවේ. සත්තකින්ම එවන් සොයා බැලීමක් අප වෙතින් අප ඉවත් කරන්නට සහ අපේ ප්‍රබුද්ධත්වයෙන් අප ඉවත් කරන්නට හේතුවනු හැකි ය. අප පරිස්සම් නූණොත්, පවත්නා සමාජය තුළ අප පහසුවෙන්ම අසාර්ථක පුද්ගලයන් බවට පත්වන්නට පුළුවන. එනම් අභිමතාර්ථ සාධනය, භෞතික ද්‍රව්‍යවාදය සහ පෞද්ගලික හුදකලාව වැනි අවස්ථා විය හැකිය. එවිට එය එක්තරා ශෝකාන්තයක් වනු ඇත.

අව්‍යාජ ආධ්‍යාත්මික වාරිකාවක් පටන් ගැනීමේදී, අපේ ම නිවහනට වඩාත් ආසන්න වන්නට අපට සිදුවෙයි. එහිදී අපේ අවධානය අප ඉදිරියට අනුගමනය කළ යුතු පිළිවෙත කුමක් දැයි කෙළින් ම අත්දකින්නට අපට හැකිවනු නියතය. එවිට අපේ පවුල පිළිබඳ පැවතුම් පිළිවෙත සමඟ ආදරය සහ සරල, කරුණාවිත ප්‍රවේශය අත්වැල් බැඳ ගන්නා ආකාරය තේරුම් ගත හැකි වනු ඇත. මනස තුළ රැව් දෙන ශූඪත්වයට ආමන්ත්‍රණය කිරීමෙන් භාවනාවේ ආරම්භය එතැන බව තේරුම් ගත හැකි ය.
- ජැක් කෝන්ෆීල්ඩ්

අපි සියල්ලෝ එකම ජීවිතයක් වෙමු
අපි නිකමට මෙන් මෙසේ අසමු. එනම් අපි කවුරු වෙමු ද යනු යි. අප තුළ හෝ අප සමඟ ඇති වෙනස් නොවන ජීවය හෙවත් හරය කුමක් ද? අවාසනාවකට මෙන්, ‘අපි මෙසේ වෙමු’ යි සිතන අපට සහතික විසින් අප එසේ නොවන බව නොවැටහේ. නැතහොත් නොසිතේ. උපරිමයෙන් ගතහොත්, ‘ අපි මෙසේ වෙමු’ යි සිතන අප එයින් අති සූක්ෂ්ම අංශුවක් පමණක් මිස අන් කුමක් ද? සැබවින් ම එය ක්ෂණ භංගුරත්වයේ ශේෂයක් වේ නම්, එම ශූන්‍යත්වය ම මිස අන්කුමක් ද? සීමා රහිත භාණ්ඩ තොගයක් කුඩා කන්ටේනරයක බහලුගත කළ හැකි ද?

මේසේ ජීවිතයත් මහා සාගරයේ පාවෙන හිම කන්දක් වැනි ය. එහි දහයෙන් නවයක් ම ඇත්තේ ජලයෙන් යට ය. අපේ සීමා සහිත දැනුම යොදා ගෙන වුවත් ජීවිතය තේරුම් ගන්නට උත්සාහ කළහොත් එය අපහසු දෙයක් නොවේ. එසේ නම් අපේ ජීවිතය යනු කුමක් ද? බුදුන් වහන්සේ පරිදි ම අපේ අන් සියලු ගුරුවරුන් කියන්නේත් අපි සියලු දෙනා ම එක ම ජීවිතයක් වන බවයි. ‘එක’ යන කියමනෙන් පවා නැඟෙන හඬ බොල් එකක් නොවන්නේ ද? එසේ නම් සියල්ල ශූන්‍ය වන නමුත් ඔබ විසින් ජීවිතය ගැන කිය යුත්තේ කුමක් ද? කෙසේ වෙතත් එහි කියන්නට වරදක් තිබේ ද? සියල්ල හැලහැප්පීමකින් තොරව නිසොල්මනේ සිදුවෙයි. ඇතැම් දේ ලොකු ය.

ඇතැම් දේ කුඩා ය. ඇතැම් දේ උස ය. ඇතැම් දේ මිටි ය. ඇතැම් තැනක අඳුර ය. තවත් තැනක ආලෝකය යි. එහෙත් භෞතික ලෝකය ඇති සැටියෙන් පිළිගන්නට දුෂ්කර බව දැනගත හැකි නිසා අප සෙවිය යුතු ය. විමසිය යුතු ය. ප්‍රගුණ කළ යුතු ය. එබැවින් එය එක්තරා මානසික අරගලයක ආරම්භය යි. කුමක් සඳහා ද? ප්‍රබුද්ධත්වය සඳහා යි.
- තායිසන් මයිසුම්

පළමුව හඳුනා ගනිමු
ධර්මය ප්‍රගුණ කරන්නට නම්, අපේ අවබෝධයේ සීමාව තේරුම් ගෙන හරියට ම එතැනින් පටන් ගැනීම මැනවි. සත්තකින් ම අපි හැම විටම පරිපූර්ණ ප්‍රමිතියක් ගැන සිතමු. එනම් පරමාදර්ශීව ම එය කෙසේ විය යුතු ද, හැම කෙනෙකු ම එසේ හැසිරිය යුත්තේ කෙසේ ද ආදී වශයෙනි. එහෙත් පරිසමාප්ත නිර්මාණයක් බිහි කිරීම අපේ කාරියක් නොවේ. අපේ කාරිය වන්නේ නිර්මාණය කෙබඳු ද සහ එය පවතින තත්ත්වය කෙසේ ද යන්න අනුව තේරුම් ගැනීම යි. එනම්, අධ්‍යයනය කිරීම යි. චිත්ත විසුද්ධිය හෙවත් අවබෝධය පිණිස හැම විට ම එම කොන්දේසි හොඳට ම සෑහෙයි.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.