භාවනාවට ඇති
බාධා හඳුනා ගනිමු
ප්‍රත්‍යවේක්‍ෂා කිරීම
2011 ඔක්තෝබර් 20
පත්‍රය හා සම්බන්ධයි
නාවලපිටියේ
අරියවංශ හිමි
ඊළඟට සිතේ හැකිළීම, ඒකත් හඳුනගන්ට ඕන. සාමාන්‍යයෙන් රාත්‍රී කාලයේ දී
සිතේ හැකිළිම් තියෙන්න පුළුවන්. ඒ සිතේ හැකිළීම් අඳුරගන්ට බැරුව සමහර
අය ඒක පහසුවක් විදියට සලකනව. ගොඩක් රාත්‍රී කාලේ දී සිතෙනව දැන්නම් හරි
පහසුයි. සිතේ මොකවත් නෑ වගේ, දැන් හරි හොඳයි කියල. ඒ සිත හැකිළීම්
පැත්තට බරවෙනව. දිගින් දිගටම මේ විදිහට භාවනා කරන්න ගිහිල්ල, සමහර විට
අන්තිමට සිතේ හැකිළීමට ගොදුරුවෙලා යනව.
ඊළඟට උදේ පාන්දරටත් සිතේ හැකිළීම් බහුලව තියෙන්ට පුළුවන්. ඒ වෙලාවටත්
සිත නිහඬයි වගේ පේනව. රාත්‍රියේදීත් සිත නිහඬයි වගේ පේනව. සමහරු සිතනව
ෂා.... හරී හොඳයි හොඳට භාවනාව කෙරුණ කියල. ඒ සිතේ හැකිළීම් තියෙන
වෙලාව. ඒ වෙලාවට භාවනා කරන්න සමහරු මහන්සි වෙනව. අන්තිමට සිතේ හැකිළීමට
යටවෙලා, ඒක බලවත් වුණාම, ථීනමිද්ධයට යටවෙනව. සිත ගොඩගන්න බැරි මට්ටමට
පත්වෙනවා. ඒ වගේ සිත නිහඬයි වගේ පේන වෙලාවට රැවටෙන්න එපා. ආධුනිකයෙකුට
මේක හොයාගන්ට බෑ. එයා සිතනව හරි ෂෝක්. දැන්නම් නීවරණ මුකුත් නෑ සමාධිය
කියලත් සමහරු සිතනවා. භාවනාව හොඳට කෙරෙනව කියල සිතනව. ඒ නිහඬ බවට
රැවටෙන්න එපා. උදේටත්, එහෙමයි, පාන්දරත් එහෙමයි ඒ නිහඬබවට රැවටෙන්න
එපා.
එතකොට ඒ නිහඬ බවට රැවටෙන්නෙ නැතිව, ඒ වෙලාවට අපිට භාවනාවක් කරන්න
බැරිද? දැන් ගොඩාක් අය අර සිතේ නිහඬබවට රැවටිලා ආසාවෙන් භාවනා කරන්නට
කල්පනා කරනව. එයාම දන්නෙ නෑ. ගොදුරු වෙනව. සතුරා හැංගිලා ඉන්නකොට, අපි
ඒ සතුරගෙ ප්‍රදේශයට ගියා වගේ දන්නෙම නෑ කොටුවෙලා. ඉතින් ඒ වගේ අපි
රාත්‍රී කාලෙට, උදේ පාන්දර සිත නිහඬයි වගේ තියෙනව නම්, ඒ වෙලාවට හොඳම
දේ තමයි සක්මන් කරන එක.
එතකොට සිතේ හැකිළීම හටගන්නෙ නෑ. ඊළඟ දේ තමයි, සිතේ හැකිළීමක් ඇතිවෙනවා.
සමථය දිගින් දිගටම පුරුදු කරනවා නම්, අපි සිතමු යම් කෙනෙක් ගොඩාක් වෙලා
එක දිගට සමථය වඩනවා. එතකොටත් සිතේ හැකිළීම ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා
සමථය එක දිගටම කරන්නෙ නෑ. සමථය විදර්ශනාව දෙක මාරුවෙන් මාරුවට කරන්ට
ඕන. ඊළඟ දේ තමයි, භාවනා කරන කොට සිත හැකිළීමට ගොදුරු වෙනව නම්, අපි
ඉක්මනින් ඒ භාවනාව අයින් කරල, විදර්ශනා භාවනාව කරන්න පටන් ගන්න ඕනෑ.
සිතේ හැකිළීම අපි අඳුර ගන්නෙ කොහොමද? ගොඩක් අය රැවටෙනව විතර්ක නිරුද්ධ
වුණා කියල. විතර්ක නිරුද්ධ වෙන්නෙ පළවෙනි ධ්‍යානය පුරුදු කරල දෙවෙනි
ධ්‍යානයට යනකොට. විතර්ක නිරුද්ධ වීම කියන එක බොහොම සිහි කල්පනා
තියෙද්දී, සිහියෙන් සිද්ධවෙන එකක්. එතකොට ආරම්භයේ දී භාවනා කරන කෙනෙකුට
විතර්ක නැතිවෙලා වගේ යන එක. විතර්ක නිරුද්ධවීම නෙමෙයි. මතක තියාගන්ට
බොහෝ වෙලාවට සමහරුන්ට සිද්ධවෙන දෙයක් ඒක.
භාවනා කරන කොට එයාට විතර්ක නැතිවෙලා යනව, මනසිකාර නැතිවෙලා යනව, නිකන්
ඉන්නව ඉඳගෙන. සමහර විට සැහැල්ලු ස්වභාවයකුත් තියෙන්ට පුළුවන්. ඉතින්
එයා සිතනව මට සමාධිය තියෙනව. ඉතින් ගොඩක් අය සිතනව විතර්ක නිරුද්ධවෙලා
ගිය සමාධියක මම දැන් ඉන්නව කියල. ඒවගේ අපිට විතර්ක කරගන්න බැරි
ස්වභාවයක් එනව නම්, විතර්කය අපිට දුබලවෙලා යනව නම්, ඒක සිත හැකිළීමට
ගොදුරු වෙන ස්වභාවයක්.
පළවෙනි ධ්‍යානයෙන් එහාට යනකොට විතර්ක නිරුද්ධවීම කියන්නේ ඒක නෙවෙයි.
යම් කෙනෙක් පළවෙනි ධ්‍යානයට සමවදිනව. එතකොට එයාට විතර්ක නිරුද්ධවෙලා
ගියොත් එතන හැකිළීම නෙවෙයි. සමහර කෙනෙකුට පළවෙනි ධ්‍යානයට සමවැදිල, ඊට
පස්සෙ එයාට ධ්‍යාන සමාධි කුසල නැතුව, දෙවෙනි ධ්‍යානයට සිත ඉබේ පිහිටන්න
පුළුවන්. ඒවගේ වෙලාවකට විතර්ක නිරුද්ධවීම හැකිළීම නෙවෙයි.
නීවරණ දුරුවෙන්න කලින් තියෙන ස්වභාවයක් තමයි අපි කිව්වේ. ඒ නිසා හොඳට
තෝර බේරාගන්න. භාවනා කරගෙන යනකොට ඒ විතර්කය අපිට පවත්වන්න බැරි
ස්වභාවයක් වෙනව නම්, අන්න එතකොට තේරුම් ගන්න දැන් සිත හැකිළීමට
පත්වෙලයි කියල. ඒක බලවත් වුණොත් කෙනෙකුට වාඩි වෙලා ඉන්ට පුළුවන්.
නිදිමත නෑ. මනසිකාරයත් සිද්ධවෙනවා. කඳ කෙළින් තියාගෙන ඉන්න බෑ. ආරම්භයේ
දී අඳුරගන්න පුළුවන් ක්‍රමය තමයි විතර්කය පවත්වාගන්ට අමාරු ස්වභාවයක්,
විතර්ක දුර්වලවෙලා යනව.
එතකොට අඳුරගන්න සිතේ හැකිළීමක් එනව කියල. ඒක දුරු කරගන්ට පුළුවන් හොඳට
සිහිය උපදවගත්තොත්. කය හොඳට සෘජු කරගත්තොත්. හැබැයි ඒ හැකිළීම බලවත්
වුණොත් මොකද වෙන්නෙ? ඒක තේරුම්ගන්නෙ කොහොමද? ශරීරය කෙලින් තියාගෙන ඉන්න
බෑ. ශරීරය කඩාගෙන වැටෙනව. මනසිකාරය කෙරෙයි. ඉඳගෙන ඉන්න පුළුවන් අපහසු
නෑ. අන්න ඒ වගේ ස්වභාවයක් ඇති වුණොත් තේරුම් ගන්න සිතේ හැකිළීමක්
තියෙන්නෙ කියල. ඉතින් ඒ ආකාරයෙන් තවදුරටත් භාවනාව කරගෙන ගියොත්
මනසිකාරය කරන්ට බෑ. මනසිකාරය නැතිවෙලා යනව. එහෙම ඉඳල නින්දට යයි. සමහරු
කියනව, නින්ද ගියෙත් නෑ, අරමුණක් තිබ්බ මතකත් නෑ කියල ඒ සිත හැකිළිලා.
ඉතින් ඒ වගේ ස්වභාවයක් දිගින් දිගට වෙන්ට දෙන්න එපා. එතකොට අපේ සිත
දුර්වල වෙලා පස්සෙ භාවනාවට පිහිටව ගන්න බැරුව යනව. ඒ නිසා ආරම්භයේදී ම
තේරුම්ගන්න, සිතේ හැකිළීමට ගොදුරුවෙන ස්වභාවයන්. ඒකෙන් සිත නිදහස්
කරගන්න. එතකොට සිතේ හැකිළීමක් වෙනව කියල තේරෙනවා නම්, අපි සමථය වඩමින්
ඉන්නව නම්, විදර්ශනාවකට සිත මාරු කරගන්න. එහෙම නැත්තම් භාවනාවෙන්
නැඟිටල සක්මන් කරන්න. ඒ විදිහට කටයුතු කිරීමෙන් අපිට ඒ හැකිළීම
නැතිකරගන්ට පුළුවන්කම තියෙනව.
ඊළඟ එක නිදිමත, ථීනමිද්ධය, නිදිමත නැති කර ගන්නෙ කොහොමද? නිදිමත නැති
කර ගැනීම සඳහා වීරිය කළ යුතු යි. නිදිමත නැති කර ගැනීම සඳහා අපි ගොඩක්
මහන්සිවෙන්ට ඕනෑ. නිදිමත නැති කරගන්නෙ නැතුව අනිත් ඒව නැති කරන්න
අමාරුයි. ඒ නිසා නිදිමත නැතිකිරීම පිණිස වීරිය කළ යුතුයි. සිතට වීරිය
ගන්න. නිදිමත නැතිකර ගැනීම පිණිස කැමැත්ත උපදවා ගන්න. එතකොට අපිට
නිදිමත නැති කරගෙන, සුවපහසුවෙන් ඒ භාවනාව කරගන්ට පුළුවන් කලක් එයි.
ඉතින් මේ විදියට සිත කාමයන් ඔස්සේ දුවන ස්වභාවය, සිතේ විසිරීම, සිතේ
හැකිළීම, නිදිමත මෙන්න මේ කියන ස්වභාවයන් අපි දුරු කරගත්තොත්, අන්න
එතකොට පහසුවෙන් භාවනා අරමුණේ සිත පවත්වන්ට පුළුවන් කලක් උදා වෙනව. අන්න
එයාට භාවනාව සාර්ථක කර ගන්නට පුළුවන්. ඉතින් මේ කටයුතු දවසකින් දෙකකින්
කරන්නට බැරි වෙන්න පුළුවන්. සමහර විට මාසෙකින් දෙකකින් බැරිවෙන්නත්
පුළුවන්. කොච්චර කාලයක් යයිද කියල අපිට කියන්න බෑ. ඉතින් ඒක එයාගේ
උනන්දුව, දක්‍ෂකම, කැප කිරීම, නිතර පුරුදු කිරීම ආදී දේ මත තමයි තීරණය
වෙන්නේ. ඒ නිසා අපි නිතර පුරුදු කරන්න ඕන භාවනාව. සිහිය උපදවගන්ට ඕනැ.
ඒ විදියට කටයුතු කිරීමෙන් භාවනාවට බාධාවෙන දේවල් දුරුකරගෙන භාවනාව
සාර්ථක කරගන්න පුළුවන්.
සමහර අය ඉන්ට පුළුවන් අවුරුදු ගණන් භාවනාව පුරුදුවෙන අය. නමුත් සමහර අය
භාවනාවට බාධා වෙන දේවල් ඉවත් කර ගන්න තාම දක්‍ෂ නෑ. ඒ නිසා ඒ දක්‍ෂකම
ඇතිකරගන්න. එතකොට අපි කාටත් පුළුවන්කමක් තියෙයි සාර්ථකව භාවනාව පුරුදු
වෙන්න. ඒ නිසා දැන් හරි තේරුම් ගන්න, අපි ආරම්භයේ ඉඳලම මේ භාවනාවට
බාධාවෙන දේවල් අඳුරගන්ට ඕන. අඳුරගෙන ඒවා බැහැරකරන්ට දක්‍ෂවෙන්න ඕනෑ.
අපි ඉතාම සරල විදියට තමා මේ විස්තර කළේ. සරලයි කියල අතහරින්ට එපා. මේ
කටයුත්ත කරනකොට මෙතරම් ම සරල නෑ. නමුත් අපි සිතනව මේවායින් ලොකු
උපකාරයක් තියෙයි කියල. මෙතරම් ම සරල විදියට කාරණා අහන්ට ලැබෙයි කියල
අපි සිතන්නෙ නෑ. එසේ අසන නිසා ම ඒව නොවැදගත් කියල විසිකරන්ට එපා. ඒ
නිසා මේ කාරණා ඉගෙනගෙන, තම තමන්ගේ ජීවිතය වාසනාවන්ත කර ගැනීම පිණිස
සියලු දෙනාට ම දුර්ලභ වූ භාග්‍ය උදාවේවා!! කියල අපි ආශිර්වාද කරමු.
|