Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

විමසා බලා තමාගේ නුවණින් තමා ගැන සෙවිය යුතු ය

ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මේ නුවරට නොයෙක් නොයෙක් මහණ බමුණන් එන අතර ඒ සෑම කෙනෙක්ම තමා ගැනම ගුණ වර්ණනා කරති. තමාගේ ඉගැන්වීම හොඳ බව ප්‍රකාශ කරති. අනුන් හෙලා දකිති. අන් අයගේ ඉගැන්වීම් හෙලා දකිති. අප නිවැරදිව සොයා බලා කවරෙක් හරිද? කාගේ ඉගැන්වීමක් හරිද? යන්න කෙසේ තෝරා ගනිම්ද යනුවෙන් සඳහන් කළ පසු බුදුරජාණන් වහන්සේ කරුණු දහයකට අනුව යමක් නොපිළිගත යුතු ආකාරය පැහැදිලි ලෙස දේශනා කළහ.

බුදු දහමෙහි ඉගැන්වෙන මූලික ධර්ම කරුණක් ලෙස විමංසාව පෙන්වා දිය හැකිය. එහිදී අත්ත විමංසාව ඉතා වැදගත් වේ. අත්ත යනුවෙන් පැහැදිලි වන්නේ තමා බවත්, විමංසා යනුවෙන් පැහැදිලි වන්නේ පරීක්‍ෂා කටයුතු නොහොත් සොයා බලා විමසා කටයුතු කිරීම බවත් පැහැදිලි වේ. බුදු දහමේ ප්‍රධාන වශයෙන් මුල් තැන ලැබෙන්නේ සොයා බලා පරීක්‍ෂාකාරීව කටයුතු කිරීමේ පිළිවෙලටයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය වුවද වැළඳ ගැනීමේදී, එම චින්තන නිදහස දී ඇති ආකාරය කාලාම සූත්‍රයෙන් පැහැදිලි වේ. එහිදී ප්‍රධාන වන්නේ තමා හා තම චින්තන ශක්තිය බව තේරුම් ගත යුතුය. එම සූත්‍රයට අනුව, කාලාමයන්ගේ කේසපුත්ත නම් වූ නියම් ගමෙහිදී කාලාමයෝ භාග්‍යවතුන් වහන්සේ හමුවීමත්, ප්‍රශ්න ඇසීමත්, ඒ සඳහා පිළිතුරු දීමක් හා ඒ පිළිබඳ පහදා දීමක් හැටියට බුදුරජාණන් වහන්සේ කළ දේශනයක් විස්තර කර ඇති අයුරු පැහැදිලි වේ.

ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මේ නුවරට නොයෙක් නොයෙක් මහණ බමුණන් එන අතර ඒ සෑම කෙනෙක්ම තමා ගැනම ගුණ වර්ණනා කරති. තමාගේ ඉගැන්වීම හොඳ බව ප්‍රකාශ කරති. අනුන් හෙලා දකිති. අන් අයගේ ඉගැන්වීම් හෙලා දකිති. අප නිවැරදිව සොයා බලා කවරෙක් හරිද? කාගේ ඉගැන්වීමක් හරිද? යන්න කෙසේ තෝරා ගනිම්ද යනුවෙන් සඳහන් කල පසු බුදුරජාණන් වහන්සේ කරුණු දහයකට අනුව යමක් නොපිළිගත යුතු ආකාරය පැහැදිලි ලෙස දේශනා කළහ. එනම්

01. මා අනුස්සවේන (අනුශ්‍රැතියෙන් හෙවත් ඇසූ පමණින් යමක් නොපිළිගන්න)

02. මා පරම්පරාය (පරපුරෙන් පරපුරට පිලිගෙන පැමිණි පමණින්ම යමක් නොපිළිගන්න)

03. මා ඉතිකිරාය (මෙය මෙසේ යැයි මිනිසුන් අතර පැතිර පවතින පමණින් යමක් නොපිළිගන්න)

04. මා පිටකසම්පදානෙන (ආගමික ග්‍රන්ථවල සඳහන් වූ පමණින් යමක් නොපිළිගන්න)

05. මා තක්කහේතු (තර්කයට එකඟ වූ පමණින් යමක් නොපිළිගන්න)

06. මා නයහේතු (කිසියම් න්‍යායකට ගැළපුන පමණින් යමක් නොපිළිගන්න)

07. මා ආකාර පරිවිතක්කෙන (පෙනෙන හැටියට හරි යැයිද සිතා යමක් නොපිළිගන්න)

08. මා දිට්ඨිනිජඣානක්‍ඛත්තියා (තමන් පිළිගෙන ඇති කිසියම් දෘෂ්ටියකට ගැලපෙන නිසාද යමක් නොපිළිගන්න)

09. මා භබ්බරූපතාය (කියන පුද්ගලයාගේ යහපත් කම ගැන සලකාද යමක් නොපිළිගන්න )

10. මා සමණො නො ගරු (මේ අපේ ගුරුතුමා යැයිද සිතා යමක් නොපිළිගන්න)

එසේනම් යමක් පිළිගත යුත්තේ කෙසේද? එහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ධර්මය අකුසලය. මේ ධර්මය සාවද්‍යය. මේ ධර්මය නුවණැත්තන් විසින් ගර්හිතය. මේ ධර්ම සමාදම් වී සම්පූර්ණ කිරිම, අවැඩක් පිණිස, දුක් පිණිස හේතු වේ යනුවෙන් තමාටම වැටහේද එවිට එය දුරු කරන්න.

එසේනම් යමක් කුසලය, නිරවද්‍යය, නුවණැත්තන්ගේ ප්‍රශංසාවට හේතු වන්නේය. සමාදම් වී සම්පූර්ණ කිරීම හිත පිණිස සැප පිණිස හේතුවේ. යනුවෙන් තමාටම වැටහේද එවිට එහි යෙදෙන්න.

කාලාම සූත්‍රයෙහි සඳහන් පරිදි, කරුණු දහයක් අනුව යමක් නොපිළි ගැනීම කළ යුතු බව පැහැදිලි වේ. එදා බුදුන් දවස මෙම කරුණ මත පිහිටා විමුක්තිය සෙවීමේදී, යම් යම් දේවල් පිළිගත් බවත්, එයින් අන්තයට ගොස් දෘෂ්ඨිකයින් බිහි වූ බවත් පැහැදිලි වේ. ඒ අනුව විමංසාවේදී ප්‍රධාන වශයෙන් තමා මූලිකත්වයෙහි තබා ගත යුතු බව පැහැදිළිය. පළමුව තමා ගැන සෙවීම එයින් බලාපොරොත්තු වේ. එයට හොඳම උදාහරණයක් ලෙස, බුදුන් දවස කතා පුවතක් දැක්විය හැකිය.

බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වේ සේනානි ගම බලා වැඩම කරන කල්හි මහ මග පසෙකින් සුන්දර වන ලැහැබක් දැක, එහි වැඩම කොට විවේක ගන්නට සිතුවේය. උන්වහන්සේ රුක් සෙවනක වැඩ සිටින විට භද්දවග්ගිය කුමාරවරු තිස් දෙනෙක් එතැනට පැමිණියහ. එහිදී බුදුරජාණන් වහ්න්සේ හා ඔවුන් අතර ඇති වූයේ මෙබඳු සංවාදයකි.

“ස්වාමීනි ඔබවහන්සේ මේ පැත්තෙන් දිව යන ස්ත්‍රියක් දුටුවාද? “

“ කුමාරවරුනි, ස්ත්‍රියක සෙවීමෙන් ඔබට ඇති ප්‍රයෝජනය කුමක්ද? “

“ ස්වාමීන්, ඇය හෙරක්, අපගේ ආභරණ රැගෙන ඈ පැන ගියා”

“ කුමරුවරුනි, මේ ගැන ඔබේ අදහස් මට කියන්න. වඩා වැදගත් අනුන් ගැන සෙවීමද? නැතිනම් තමන් ගැන සෙවීමද?”

“ ස්වාමිනි ,තමා ගැනම සෙවීමයි වඩා වැදගත්”

“ එසේ නම් කුමාරවරුනි, මෙතැනින් විවේකීව හිඳ ගන්න. මම ඔබ සියල්ලන්ට එවැනි වැදගත් කරුණු කීපයක් දේශනා කරන්නම් “

මේ සංවාදය තුළින් පැහැදිලි වන්නේ තමා ගැන පළමුව සෙවිය යුතු ආකාරයයි. “අත්තාන මෙව පඨමං ගවේසෙය්‍යාථ” යන දහම් පාඨයෙන්ද ඒ බව දේශනා කොට ඇත. මෙහිදී තමා ගැන සොයන්න යන අදහස තුල තමාගේ විමුක්තිය තමා විසින්ම සලසා ගත යුතුය යන අදහස විද්‍යාමාන වේ. අත්තාහි අතතනො නාතො – කොහි නාතො පරොසියා තමාට තමාගේ පිහිට හැර වෙනත් පිහිටක් කොයින්ද? යනුවෙන් එය තවත් විග්‍රහ කොට ඇත. තමා ගැන සෙවිය යුතු නියම සුදුස්සා තමාම යන්නෙහි අර්ථය වන්නේ තමාගේ විමුක්තිය තමා විසින්ම සළසා ගත යුතු වන අතර, එය වෙන කෙනෙකුට කළ හැකි දෙයක් නොවන බවත්ය. බුදුවරුනට පවා මග පෙන්වීමක් හැර විමුක්තිය වෙත ගොස් එය ලබා දීමේ හැකියාවක් නැත. එබැවින් විමංසා යටතේ අත්ත විමංසාව ඉතා වැදගත් වන්නේය.

ධර්මයට අනුව මම – මගේ ,අපි - අපේ වශයෙන් කිසිවක් ගත නොහැකි වුවත් එදිනෙදා ජීවිතයේදී අපට මමත්වය, අස්මමානය ඇතිකර ගැනීමට සිදුවී ඇත. එහිදී ඕනෑම කෙනෙකුගේ නියම සැබෑ තත්ත්වය දන්නේ ඒ ඒ පුද්ගලයා පමණි. එනම්, තමා ගැන දන්නේ තමා පමණක් බවය. වෙනත් අය පොඩි දෙයක් දැන ගත්තත් තම සන්තානයේ ස්වභාවය සැබෑ විදියට දැකිය හැක්කේ තමාට පමණි. මෙය කොතරම් අවශ්‍ය වූ දෙයක්ද?

මෙය වරදවා තේරුම් නො ගත යුතුය. යම් පුද්ගලයෙකු ගැන, රට, ගම, පළාත, දිස්ත්‍රික්කය, මවුපිය , ඥාති හිතමිත්‍රාදීන් ගැන දන්නෝ සිටිත්. මෙහිදී සඳහන් කරන්නේ එවැනි අර්ථකතනයක් නොව, තම හදවත , තමාගේ් සිත තමා විසින්ම විමසා බැලීම පිළිබඳවයි.

බුදුරජාණන් වහන්සේ නොයෙක් සූත්‍ර වලින් සිත පිළිබඳව දේශනා කොට ඇත්තේ, ඒ තරමටම මේ හිත හොඳ හා නරක යන දෙපැත්තටම බලවත්ව යෙදිය හැකි බැවිනි. ධම්ම පදයේ චිත්ත වග්ගය නමින් සිතේ ස්වභාවය පහදා දී ඇත. එයට හේතුව අප භෞතිකමය වශයෙන් මේ දකින, විඳින, ස්පර්ශ කරන ශරීරය කලකදී විනාශ වී පොළොවට පස් වී යන්නේය. එසේ වුවද සිත භවෙන් භවය ගමන් කරමින් තමා විසින් කළ කී දෑ වලට අනුව සැප විපාක ලබා දෙනු ඇත. කළ කී දේ කර්ම ශක්තියක් හැටියට භවෙන් භවයට ගමන් කරනු ඇත. අවසානය නොහොත් නිමාව දැකිය හැක්කේ නිවන් දැකීම තුළින් පමණි. එතෙක් චිත්ත පරම්පරාව සසරේ ගමන් කරනු ඇත.

එදා බුදුන් දවස හා ඊට පෙර නොයෙක් ආගම් හා දර්ශන වලින් සිදු කළේ අන්ත හෙවත් ආත්මයන් සෙවීමයි. ඒ අනුව නොයෙක් ශාස්තෘවරු ඒ සඳහා අන්තද්වය තුළ සිටිමින් පිළිතුරු සෙව්වත්, එය බොහෝ දුරට අසාර්ථක විය. එවැනි අන්ත දෘෂ්ඨී “ විසිවැදෑරුම් සක්කාය දිට්ඨිය” යනුවෙන් බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කළ ආකාරය ම:නි: මූලපරියාය සූත්‍රය තුළින් පැහැදිලි වේ.

එවැනි ශාස්තෘවරුන් හා දර්ශන වලින් භවයෙන් භවයට යන ස්ථිර ආත්මයක් ගැන උගන්වා ඇතත්, බුදුරජාණන් වහන්සේ ඔවුන් එලෙස ආත්මය ලෙස සැලකූ පඨවි, ආපෝ,තේජෝ, වායෝ, ආකාශ, රූප,වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යනාදී කරුණු ආත්ම නොවන භවත්, භවයෙන් භවයට මාරුවෙන වෙනස් නොවන ධර්මතාවයක් ඒ එකකවත් නොමැති බවත් පහදා , ඔවුන් ඇතිකර තිබුණ නිත්‍ය, සුඛ, ආත්ම යන කරුණු තුනට විරුද්ධ, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම , යන ත්‍රිවිධ ලක්ෂණයෙන් යුත් විදර්ශනයත් දේශනා කොට වදාළහ. ඔවුන්ගේ දර්ශන වලින් ඔවුන් කියා සිටියේ ආත්මයක් තිබෙනවාය. එය නිත්‍යයි සුඛයි, යනාදි ලක්ෂණයන්ගෙන් යුක්ත බවය. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළේ නිත්‍ය සුඛ ආත්මයක් නොවන බවයි.

තවද බුදුසමය තුළ මරණින් මතු භවයක් ගැන නොතැකූ උචේඡේද දෘෂ්ඨි වාදද බිඳලූ සේක. ඒ අනුව, බුදු සමය පුනර්භවය පිළිගන්නා බවත්, එනිසා තමා හා තමා කළ නොකළ දේ පිළිබඳ අවධානයක් යොමු කොට කරුණු දේශනා කොට ඇති බවත්, සිතට ගත යුතුය.

එහිදි විමසීම මූලිකකොට ගෙන තම ජීවිතය පිළිබඳ තක්සේරු කළ යුතුය. බුදුරජාණන් වහන්සේ අම්බලට්ඨිකා රාහුලෝවාද සූත්‍රය තුළින් සිත කැඩපතකට උපමා කොට, එතුලින් සිතේ ස්වභාවය දැකිය හැකි අයුරින් කරුණු දේශනා කොට ඇත. එහිදී අකුසල මොනවාද? ක්ලේශ ධර්ම මොනවාද? කියා තේරුම් ගෙන, ඒවා බැහැර කොට කුසල ධර්ම වර්ධනය කොට ගැනීමත්, සියලු සංස්කාර ධර්ම අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් මෙනෙහි කර ගැනීමත් තුලින් සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්‍ෂාවෙන් වර්ධනය කරගෙන විදර්ශනාව වඩා විමුක්ති මාර්ගය සලසා ගත හැකි බව අප විසින් සිතට ගැනීම වැදගත් වන්නේය.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.