Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පාසල් අධ්‍යාපනයත් බෞද්ධ අධ්‍යාපනයත් එකක් විය යුතුයි

මේ වසරේ වෙසක් පුන් පොහෝ දිනයෙන් ඇරැඹි සම්බුද්ධත්ව ජයන්ති වසරේ වැදගත්ම කටයුත්තක් ලෙස සැලකිය හැක්කේ පාසල් අධ්‍යාපනය තුළ සිසු විනය වැඩෙන අයුරින් ආගමික ක්‍රියාකාරකම් වැඩි දියුණු කිරීමේ වැඩපිළිවෙළකි. මේ යටතේ සියලු ගුරුවරුන් දැනුවත් කිරීමද බුද්ධ ධර්මය විෂය උගන්වන ගුරුවරුන් සඳහා විශේෂ පුහුණු වැඩමුළු පැවැත්වීමද මෙහිලා වැදගත් වෙනවා.

මෙම වැඩසටහනට සමගාමීව දහම් පාසල් අධ්‍යාපනය සඳහා වැඩි වටිනාකමක් මෙන්ම පුළුල් ඇගැයීමක් ඇති කිරීමට කටයුතු යොදා තිබීම පැසසුම් කටයුතුය. සම්බුද්ධත්ව ජයන්ති වැඩසටහනේම දක්වා ඇති දහම් පාසල් හා දිනපතා පාසල් අතර දහම් අධ්‍යාපනය සම්බන්ධයෙන් කිට්ටු සම්බන්ධතාවයක් ඇති වන පරිදි විෂය නිර්දේශ සකස් කිරීමද අගය කළ යුතු වනවා.

මේ කටයුතු සාර්ථක කර ගැනීම පිණිස ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබීම මෙහිලා වැදගත් වෙනවා. මේ යටතේ පාසල් අධ්‍යාපනයත් විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් පිරිවෙන් අධ්‍යාපනයත් දහම් පාසල් අධ්‍යාපනයත් යන සියල්ල ආවරණය වන පරිදි ගතයුතු ක්‍රියාමාර්ග මොනවාදැයි සැලසුම් කිරීමට සම්බුද්ධත්ව ජයන්ති මෙහෙයුම් කමිටුව කටයුතු යොදා තිබෙනවා.

විශේෂයෙන්ම පාසල් අධ්‍යාපනයේදී විෂය දැනුම ඇති කිරීමට වඩා සදාචාරය, ගුණාත්මක භාවය නැංවීම ආදි කරුණු කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම පැසසුම් කටයුතුයි.

අද අපේ දරු දැරියන්ගේ ගුණධර්ම විනාශයට, ගුණධර්ම පිරිහීමට හේතුවී ඇත්තේ බටහිර ආභාෂයට අනුව කටයුතු කිරීමයි බටහිර ආකල්ප සිරිත් විරිත් සියයට සීයක්ම විෂය කරුණු මුල් කරගෙනයි රැඳී ඇත්තේ. එහෙත් පෙරදිග අධ්‍යාපන රටාව මීට වෙනස්. එහිදී විෂය කරුණු සඳහා අවධානයට යෙදවීමට වඩා ගුණගරුක පුරවැසියන් බිහිකිරීමටයි මුල් තැන දෙනු ලබන්නේ.

විද්‍යා දදාති විනයං
විද්‍යා දාති පාත්‍රකාම්

දැනුම මඟින් හික්මීම ලැබේ. හික්මීම මඟින් ජීවිතයම දියුණු වේ. මේ අපගේ ඉගැන්වීමයි.

එහෙත් බටහිර ආකල්පය මීට වෙනස්. බටහිර ආකල්පය ක්‍රියාත්මක වන්නේ විද්‍යා දදාති විද්‍යා යන ආකාරයෙන් බව කිව යුතුයි. ඔවුන්ගේ ක්‍රමවේදය වන්නේ දැනුම. දැනුම සඳහා යන අයුරින් කටයුතු කිරීමයි. මේ මූලික හරය බුදුදහමින් පිළිගන්නේ නැහැ. බුදු දහමේ මූලික හරය යහපත් මිනිසුන් බිහිකිරීම උදෙසා ක්‍රියා කළ යුතුය යන්නයි.

අධ්‍යාපනය, කලාව, නාට්‍ය, ග්‍රන්ථකරණය මේ ආදී ඕනෑම කාර්යයක් යහපත් මිනිසුන් බිහිකිරීම සඳහා මිස කලාව, කලාව උදෙසා හෝ නාට්‍ය නාට්‍ය උදෙසා හෝ නොවිය යුතුය.

එසේ නොමැතිව බටහිර ආකල්ප ඔස්සේ කටයුතු කිරීමෙන් සිදුව ඇත්තේ මිනිසාගේ ආයුෂ, බලය, විනය , ගුණදහම් මේ ආදි සියල්ල පිරිහී යාමයි.

විශේෂයෙන්ම විද්‍යාවෙන් සිදු කරනු ලබන පර්යේෂණ මිනිසාට දැඩි ලෙසින් අහිතකර ලෙස බලපා තිබෙන බව කිව යුතුයි. විද්‍යාව හෝ අත්හදාබැලීම් පර්යේෂණ නැවැත්විය යුතු යැයි මින් අදහස් වන්නේ නැහැ. පෙර කී පරිදි සියල්ල මිනිසා උදෙසා සත්ත්වයා උදෙසා ඉටුවිය යුතුයි. මෙහිදී වැදගත් වන්නේ එයයි. අද ඕසෝන් ස්ථරයට හානි පැමිණ ඇත්තේ ඇයි? විද්‍යාවේ අහිතකර ප්‍රතිඵල නිසයි. පරිසර දූෂණය මෙතරම් උග්‍ර වී ඇත්තේ ඇයි?

මිනිසාට පිළිකා, දියවැඩියාව ස්නායු රෝග ආදිය බහුල වී ඇත්තේ ඇයි. අදින් වසර 25 කට 30 කට පෙර එවන් රෝගියෙකු ගැන දැනගන්නට අසන්නට පවා ලැබුණේ කලාතුරකින් “ඒඩ්ස්” වැනි රෝග ගැන අසා තිබුණා මිස එවැනි අවදානමක අප සිටියේ නැහැ. ඒත් අද තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්.

විද්‍යාත්මක සංකල්ප යටතේ පරීක්‍ෂණ සඳහා සත්ත්වයකු ඝාතනය කිරීම ගැටලුවක් නොවන නමුත් එය බුදුදහමට අනුව බරපතළ වරදක්. පංචශීලයේ පළමු ශික්ෂා පදය බිඳ දැමීම අනුමත කරන්න බැහැ.

එහෙත් මැවුම්කාර ලෝකයක් ගැන කතා කරන බොහෝ දෙනා මිනිසාගේ දියුණුව ගැන මිසක් අනෙක් සත්ත්වයන්ගේ ජීවිත ගැන තැකීමක් කරනු ලබන බවක් පෙනෙන්නට නැහැ. සියල්ලටම මුල් වන්නේ අපගේ මනසයි.

පෙර දිග සංකල්පය මුල් කරගත් ආර්ථික රටාවක දිවිගෙවන ජනතාවට ගැටලු අඩුයි. මේ තත්වය අප අධ්‍යාපනයේ වෙනසක් ඇති කිරීම සඳහා යොදගත යුතුයි. අපේ ආර්ථිකය අපටම ඉසිලිය හැකි පරිදි සකසා ගැනීමයි වැදගත්. සියල්ල මිනිසා උදෙසා බව කුඩා කල සිටම දරු දැරියන්ගේ මනසට කාවැද්දීම බෙහෙවින් වැදගත්.

අපේ ජීවන රටාව හැඩ ගැසිය යුත්තේ අර්ථ , ධර්ම, කාම, මෝක්ෂ ධර්මතාවයන් ඔස්සේය.

අර්ථ යන්නෙන් භෞතික සම්පත් මිල මුදල් ආදිය හඳුන්වා දෙන්න පුළුවන්.

ධර්ම කියන්නේ සදාචාරයයි. කාම යනුවෙන් අප හඳුන්වන්නේ සුව පහසුව එහෙමත් නැත්නම් ඉන්ද්‍රියපිනවීමයි. මෝක්ෂ කියන්නේ අධ්‍යාත්මික සුවසෙතයි.

මේ ධර්මතාවයන් පාසල් අධ්‍යාපනයේ සිටම දරු දැරියන්ට හුරු කිරීම බෙහෙවින්ම වැදගත්. ඇත්තෙන්ම ඒ ගුණ දහම් ඔවුන්ගේ මනසට කා වැද්දිය යුතුයි.

එහෙත් ගැටලුව වී ඇත්තේ බටහිර සංකල්පය මේ ධර්මතා හතරෙන් දෙකක් පමණක් ජීවිතය හා සම්බන්ධ කර ගැනීමයි.

බටහිර අධ්‍යාපනික සංකල්පයේ අර්ථ හා කාම පමණයි ක්‍රියාත්මක වන්නේ. ඒ අනුව භෞතික සම්පත් සපයා ගැනීමත් ඉන්ද්‍රියන් පිනවීමත් පමණක් බටහිර ආකල්ප ඔස්සේ ළමා මනසට ඇතුළු වනවා. ‘ඉන්නකල් කාල බීල සතුටින් ඉන්න එකයි ජීවිතය කියන්නේ’ මේවගේ වැරැදි ආකල්ප කුඩා කල සිටම ළමා මනස ආක්‍රමණය කළහොත් අනාගත පරපුර විශාල ආගාධයකට ඇද වැටෙනවා. ඇත්තෙන්ම මේ ඇද වැටීම ඇරැඹිලා තියෙන්නෙ බුදු දහම ඉහළින්ම අගයන රටකට. ඒ අධ්‍යාපනික ක්‍රමවේදය ඒ ආකල්ප ගැලපෙන්නේ නැහැ. අපි ඉන්නේ සදාචාරය ඉහළින්ම අගය කරන රටක ආගන්තුක සත්කාර , වැඩිහිටියනට සැලකීම වැනි උතුම් ගුණාංගයන් අපේ ජීවිතයේ හරය ලෙස සලකනවා.

සිඟාලෝවාද සූත්‍රයේ සදිසා නමස්කාරයෙන් සමාජයට අපෙන් සහ සමාජයෙන් අපිට ඉටුවිය යුතු යුතුකම් මොනවාද යන්න පැහැදිලිව දක්වා තිබෙනවා. අපේ යුතුකම් ඉටුකළ විට අනෙක් අයගෙන් අපට යුතුකම් ඉටු වන බවත් අපේ අයිතිවාසිකම් නිතැතින්ම ලැබෙන බවත් අප තේරුම් ගත යුතුයි.

අපේ අධ්‍යාපන රටාවේ ලොකු වෙනසක් ඉටු කළ යුතු වන්නේ ළමා කාලයේ සිටම දරු දැරියන්ගේ මනස සකස් කළ යුතු නිසයි.

සමස්ත අධ්‍යාපන ප්‍රතිපත්ති මාලාවේම වෙනස්කම් ඇති කළ යුතුයි. දරු දැරියන්ගේ මනස සකස් කළ හැක්කේ කුඩා කලදීමයි. ඔවුන්ගේ මනසට වැරැදි ප්‍රතිපත්ති වැරැදි ආකල්ප ඇතුළු වුවහොත් යළි වෙනස් කරන්න අමාරුයි. එම නිසා දරුවන්ගේ ළමා කාලයේ අධ්‍යාපනයේ ආරම්භය සිටම දහම් පාසල් හා පාසල් අධ්‍යාපනය මුල් කරගෙන ඔවුනට යහ මඟ හෙළි කර දිය යුතුයි.

අධ්‍යාපනයත් සමඟ ගුණදහම් උගෙන ගන්නා දරුවෙක් කිසි දවසක තම මව්පියන් වැඩිහිටි නිවාසවලට යොමු කරන්නේ නැහැ. ඔවුන්ගේ පංචශීලය නිසි අයුරින් රැකෙනවා. මීට අමතරව දහම් අධ්‍යාපනයත් දරු දැරියන්ට අඛණ්ඩව ලබාදීමට කටයුතු කළ යුතු වෙනවා.

ඊට බාධාවක්ව පවතින ඉරු දින සහ පොහෝ දින පෞද්ගලික උපකාරක පංති පැවැත්වීමත් නීතියෙන්ම තහනම් කළ යුතු වෙනවා. ඉරු දින උපකාරක පන්ති පැවැත්වීම නිසා ගැටලු මතුවී ඇත්තේ බෞද්ධ දරුවන්ට පමණක් නොවේ.

අප සියලු දෙනාම අවබෝධ කරගත යුතු වැදගත්ම කරුණ වන්නේ ගුණදහම් සහිත අධ්‍යාපනයක් තුළින් පමණක් පරිපූර්ණ දරුවකු බිහි කළ හැකි බවයි. දහම් පාසල් අධ්‍යාපනය මෙන්ම පාසල් අධ්‍යාපනයේත් ගුණාත්මක බවක් තිබිය යුතු වනවා.

විෂය කරුණු පමණක් දරුවන්ට ඉගැන්වීමෙන් ගුණගරුක පරපුරක් බිහි කරන්න බැහැ. එවිට බිහිවන්නේ දැනුම ඇත්තෙක් පමණයි. ඔවුන්ගේ සිත් තුළ කරුණාව, දයාව, අනුකම්පාව නැහැ. තමන් උගත් දේ පමණයි ඔවුනට දැනුම ඇත්තේ.

එම නිසා පාසල් අධ්‍යාපනය මුළුමනින්ම නවීකරණයට ලක්විය යුතු වනවා.

ඒ සඳහා පාලි භාෂාවද පාසල් විෂය මාලාවට එක් කළ යුතු වෙනවා. ථෙරවාදී බුදු දහමේ මූල බීජය වන්නේ පාලි භාෂාවයි. එම නිසා පාලි භාෂාව විෂයක් ලෙසින්ම දරුවන්ට ඉගැන්වීමට කටයුතු කළ යුතුවෙනවා. පාලි සක්‍රිය භාෂාවක් මිස මළ භාෂාවක් නෙමෙයි. ලෝකයේ කෝටි 50 ක් පමණ වන බෞද්ධයන්ගේ ජීවන දර්ශනය, ජීවන මඟ ලෙසින් දැක්විය හැකි බුදු දහමේ සියල්ල ලියැවී ඇත්තේ පාලි භාෂාවෙන්. එම නිසා පාසල්වලත් 6 ශ්‍රේණියේ සිට ඉහළට පාලි ඉගැන්වීම අනිවාර්යය කළ යුතුයි. ඒ සදහා පාලි භාෂා ගුරුවරුන් පුහුණු කළ යුතු වෙනවා. ඔවුන් බඳවා ගැනීමට කටයුතු කළ යුතුයි. එසේම නොමිලේ පාලි භාෂා පන්ති පැවැත්වීම මඟින් පාලි ජනපි‍්‍රය කරවිය හැකියි. ශාසනාරක්‍ෂක මණ්ඩල හා දැන් පාසල් හරහා මේ කාර්යය පහසුවෙන් කරන්න පුළුවන්.

පාලි භාෂාව ගැන මේ තරම් උනන්දු විය යුත්තේ ඇයි?

පාලි සාහිත්‍ය සියයට සීයක්ම චරිත ස්වයංපෝෂිත කර ගැනීමට උපකාරී වන බව පැහැදිලිව පෙනෙනවා. අප පන්සිල් ගැනීමේදීත් ‘පාණාතිපාතා වේරමණී සික්ඛා පදං සමාදියාමි’ යනුවෙන් මිස මම සතුන් මැරීමෙන් වැළකෙමි, කියා කියන්නේ නැහැ. එයින්ම තේරුම් ගැනීමට පුළුවන් අතීතයේ සිටම අප පාලි භාෂාව සමඟ ව්‍යවහාරය හුරුවී සිටින බවය.

එසේම පාලි සාහිත්‍ය ගැන බොහෝ දෙනාට නිසි අවබෝධයක් නැහැ. මොනරතම් ගුණගරුක සමාජයක් ඉන් ගොඩ නැංවිය හැකිද කියා වටහා ගන්නට සමත් අය හරිම අඩුයි. මේ නිසයි පාලි යළි අපගේ විෂය මාලාවට අනුයුක්ත කළ යුත්තේ. ඒ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් දැන් සිටම ක්‍රියාත්මක විය යුතුයි. ඇත්තෙන්ම එය ක්‍රියාත්මක කරගෙන යනවා. අන්තර්ජාතික ලෙස පාලි වැඩමුළු පැවැත්වීමත් ඒ අතර වනවා.

එසේම අධ්‍යාපනය ශක්තිමත් කිරීම උදෙසා පිරිවෙන් පනත සංශෝධනය, දස සිල් මාතා අධ්‍යාපනය නංවාලීම වැනි කරුණු දැනටමත් සිදුවෙමින් පවතිනවා. සම්බුද්ධත්ව ජයන්ති වසර තුළදීම මේ වැඩකටයුතු සාර්ථක කරගත යුතුය.

පාසල් අධ්‍යාපනයත් බෞද්ධ අධ්‍යාපනයත් දෙකක් නොව එකක් ලෙස සලකා කටයුතු කළහොත් උපරිම ඵල නෙළා ගැනීම අපහසු වන්නේ නැහැ.

සාකච්ඡා කළේ
තාරක වික්‍රමසේකර


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.