Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අපේ බෞද්ධකම ගැන නැවත සිතා බලමු

ප්‍රධාන ආගම් හතරක් අදහන මිනිස්සු අප රටේ වාසය කරති. බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි හා ඉස්ලාම් ඒ ප්‍රධාන ආගම් ය. මේ හැර කිසිදු ආගමක් නො අදහන මිනිස්සු ද සිටිති. ප්‍රධාන ආගම් සතරට අයත් මිනිසුන්ගෙන් ඇතැම් අයද නාම මාත්‍රයෙන් ආගම ඇදහුවත් ඇත්තෙන් ම නම් ආගමික හැඟීම් නැත්තෝ ය. මේ විවිධ ආගමික අදහස් ඇති අය නිතර සාමකාමී ව අන්‍යෝන්‍ය සම්බන්ධකම් පවත්වමින් එකට ජීවත්වීම අප රටේ ඉතා ප්‍රසන්න දර්ශනයකි. මේ ආගමික සහජීවනයට අප රටේ නීතියෙන් ද පාලනයෙන් ද ලැබෙන්නේ යහපත් වූ දිරි ගැන්වීමකි. එය රටේ ද රටවැසියන්ගේ ද දියුණුව සඳහා වැඩි වැඩියෙන් ශක්තිමත් කළයුතු තත්ත්වයකි.

මේ අතර අප විසින් වටහාගත යුතු වෙනස් තත්ත්වයක් ද තිබේ. කිසියම් මිනිසකු ආගමක් පිළිගෙන ඒ අනුව ක්‍රියාකළ යුත්තේ කෙසේ ද යන්න ය. ආගම් ගණනාවක් ඇත්තේ හැම ආගමකින් ම එකම දහමක් උගන්වන නිසා නොවේ. හැම ආගමකින්ම උගන්වන්නේ එක ම දහමක් නම් තිබිය යුත්තේ එකම ආගමකි. ඒ නිසා කිසියම් ආගමක සැබෑ අනුගාමිකයකු විය හැක්කේ ඒ ආගමේ දහමේ අනන්‍යතාව හෙවත් අනිත් ආගම් දහම්වලට වඩා එහි ඇති වෙනස තේරුම් ගෙන ඇත්නම් පමණකි. ඒ නිසා සැබෑ හින්දු භක්තිකයකු, සැබෑ බෞද්ධයකු, සැබෑ ක්‍රිස්තු භක්තිකයකු හෝ සැබෑ ඉස්ලාම් බැතිමතකු වීමට නම් තමන් පිළිගත් ආගමේ දහමේ වෙනස, විශේෂත්වය හෙවත් අනන්‍යතාව දැන සිටිය යුතුය.

මෙහිදී අප විශේෂයෙන් සළකා බලන්නේ බුදුදහම සහ බෞද්ධකම ගැනය. බුදුදහම අනෙක් ආගම් දහම් සතරෙන් ම වෙනස්වන මූලික ඉගැන්වීම් ගණනාවක් තිබේ. මෙයින් කිහිපයක් අනෙක් ආගම් තුනට පොදු ඒවාය. එනිසා තම ආගමේ අනන්‍යතාව දැන ගැනීමේ විශේෂ අවශ්‍යතාවයක් බෞද්ධයිනට ඇත.

‘මිනිසා ද ලෝකය ද දෙවියකු විසින් මවන ලදී’ යන්න ඒ ආගම් තුනට පොදු එක් ඉගැන්වීමකි. හින්දු ආගමේ බ්‍රහ්ම, ඊශ්වර නාමයන්ගෙන් ද ක්‍රිස්තියානි ආගමේ දෙවියන් වහන්සේ නාමයෙන් ද,, ඉස්ලාම් ආගමේ අල්ලා දෙවියන් නාමයෙන් ද නිර්මාතෘවරයා හැඳින්වෙයි.

මේ නිර්මාතෘ දෙවියන් වහන්සේ සර්වබලධාරී සර්වතෝභද්‍ර උත්තමයා වශයෙන් පිළිගෙන දේව අණ කඩ නොකර රැක ගනිමින්, යහපත් ආගමික භක්තිකයකු ලෙස ජීවත්වීමට ඒ ආගම් උගන්වයි. නිවැරදි ආගමික ජීවිතයක් ගතකොට දේව සහව්‍යතාවයට පත්වීමට හෝ දේව විනිශ්චයට මුහුණ දී විමුක්තිය ලබා ගැනීමට හෝ උත්සාහයක් දැරීම ඒ අයගේ පිළිවෙතය. දේව පුද පූජා පැවැත්වීම, යාඥා කිරීම ඒ ආගමික කටයුතුවල ප්‍රමුඛ ස්ථානයක් ගනියි.

බුදුදහම දේව නිර්මාණය ප්‍රතික්ෂේප කරයි. එහෙත් බෞද්ධයෝ දෙවියන් පිළිගනිති. පත්තකම්ම (අනි. 2, 124) සූත්‍රයේ කියැවෙන හැටියට බෞද්ධයෝ ‘දේවතා බලි’ නමින් දෙවියන්ට පුද දෙති. ආගමික කටයුතු අවසානයේ ‘සබ්බේ දේවා අනුමෝදන්තු’ යි දෙවියන්ට පින් දෙති. ඒ පින් අනුමෝදන් වී දෙවියන් තවද යස ඉසුරු සම්පත් වැඩි කරගෙන මිනිසාට ද කළහැකි උදව් කරන ලෙස ඉල්ලති. එහෙත් පන්සිල් රකින, දැහැමි ලෙස දිවි ගෙවන මිනිසුන්ට දෙදෙව් ලොව අධිපති සක් දෙවිඳුන් ද නමස්කාර කරන බව බෞද්ධයෝ දනිති. දෙව්ලොවින් චුතවන දෙවියන්ගෙන් සුගතියෙහි උපදින ලෙස අනෙක් දෙවිවරුන් ඉල්ලා සිටින්නේ මිනිස් ලොව ඉපදීමට බවද බෞද්ධයෝ දනිති. මිනිස්බව, දෙවි බවටද වැඩියෙන්, දහම් මඟ ගමන් කිරීම සඳහා සුදුසු අවස්ථාවක් ලෙස බෞද්ධයෝ පිළිගනිති. එනිසා ලෞකික කටයුතු සාර්ථක කර ගැනීම සඳහා දෙවියන්ගෙන් උදව් උපකාර ඉල්ලුවත්, විමුක්තිය සඳහා දෙවියනට කළහැකි කිසිවක් නොමැති බව බෞද්ධයන්ගේ පිළිගැනීමය. මේ උදව් ඉල්ලන්නේ ද අපෙන් ලබා ගන්නා පුදපූජාවලට ද පින්වලටද කෙරෙන ප්‍රති උපකාරයක් වශයෙන් බවද බෞද්ධයෝ දනිති.

මේ නිසා, බෞද්ධයා දෙවියන් ඉදිරියෙහි බැගෑවන්නෙක්, හීන දීන වන්නෙක් හෝ ස්වකීය ආත්ම ශක්තිය නැතිකර ගන්නෙක් නොවේ. එසේවීමට හේතුව, යාඥාවෙන් හා ප්‍රාර්ථනාවෙන් තම තමන්ගේ බලාපොරොත්තු ඉටුකර ගැනීමට නොහැකි බවත්, බෞද්ධයා කළයුත්තේ අනුගමනය කිරීමට ඇති ක්‍රියාමාර්ගය හරිහැටි වටහාගෙන ඒ මග ගමන් කිරීම බවත් පංච ඉට්ඨධම්ම සූත්‍රය (අනි. 3, 74) වැනි දේශනයන්හිදී බුදුරජාණන් වහන්සේ මැනැවින් පැහැදිලි කර දුන් බව බෞද්ධයා දන්නා නිසා ය.


සුදර්ශන බණ්ඩාරගේ නිර්මාණයකි

දේව නිර්මාණය පිළිගත් සියලු ආගම්, දහම්, දෙවියන් ඉදිරියේ යාඥා කිරීමට, කන්නලව් කිරීමට, බැගෑපත් වීමට මිනිසා මෙහෙයවද්දී දෙවියන්ට දිය යුතු දෑ පමණක් දී දෙවියන්ගෙන් ලබාගත හැකි දෑ පමණක් නිසි පරිදි බලාපොරොත්තු වීමට බෞද්ධයා ස්වකීය ආත්ම ශක්තිය වර්ධනය කර ගත යුතුය. තමා හා ලෝකය මැවීමටවත්, පාලනය කිරීමටත්, විනාශ කිරීමටවත් තම ක්‍රියා සම්බන්ධයෙන් විනිශ්චය කිරීමටවත් තමාට විමුක්තිය ලබාදීමටවත් කිසිදු දෙවියකුට නොහැකි බව බෞද්ධයා මැනැවින් වටහා ගෙන ක්‍රියා කළ යුතුය. අනාථ වූ අසරණ වූ මිනිසුන් ගසාගෙන යන මිනිහා පිදුරු ගහෙන් එල්ලෙන්නාක් මෙන් ආත්ම විශ්වාසය හා ආත්ම ශක්තිය හීන වූ පසු දෙවියන්ගේ උදව් පැතීම අස්වාභාවික නො වේ. බියෙන් තැතිගත් මිනිසුන් ගස් ගල්වල පවා පිහිට පතන බව ධම්මපදයෙන් හෙළිවෙයි. මේ බව දන්නා බෞද්ධයා බෞද්ධකමට පටහැනි නොවන අයුරින් දෙවියන්ගෙන් උදව් ලබා ගැනීමට සිතා ගත යුතුය. එය විමුක්ති ගමනට බාධාවක් කර නොගත යුතුය. බුදුරජාණන් වහන්සේ මිනිසා හෝ ලෝකය මැවූ නිර්මාතෘවරයෙක් නොවෙති. දෙවියෙක් නොවෙති. දේවදූතයෙක් ද නොවෙති. ඒ නිසා බුදුරජාණන්වහන්සේට බෞද්ධයෝ යාඥා නොකරති. කන්නලව් නොකරති. ලෙඩ සුවකර ගැනීමට හෝ සමෘද්ධිය ලැබීමට උන්වහන්සේගෙන් ඉල්ලා නොසිටිති.

විමුක්තිය ලබාදීමටද බුදුරජාණන් වහන්සේට නුපුළුවන. උන්වහන්සේට පුළුවන් වන්නේ මිනිසාගේ ලෞකික දියුණුවට මෙන්ම විමුක්තිය ලබා ගැනීමට අනුගමනය කළ යුතු මාර්ගය පෙන්වා දීමය. උන්වහන්සේ මාර්ගය කියාදෙන ශාස්තෘවරයෙකි. ‘අක්ඛාතාරෝ තථාගතා - තුම්හේහි කිච්චං ආතප්පං’ ආදි ලෙසින්, බුදුරජාණන් වහන්සේ විසින්ම, තමන් වහන්සේ මාර්ගය කියාදෙන්නකු පමණකි. උත්සාහ කළයුත්තේ අප විසින්ම යැයි දේශනාකොට තිබියදී උත්සාහ කිරීම පසෙක තබා තම ප්‍රාර්ථනා ඉටුකරන ලෙස යාඥා කිරීම බෞද්ධකම වන්නේ කෙසේද?

එහෙත් අද සමහර බෞද්ධයන්, ආගමික කටයුතු නාමයෙන් කරන කියන දේවල් ඇහීමේදී බැලීමේදී කෙතරම් නම් බෞද්ධකමක් ඔවුන් කෙරෙහි දක්නට ලැබේද යන්න නැගෙන ප්‍රශ්නයකි. මේ කරුණු සාකච්ඡා කරන විට ‘එසේනම් බෞද්ධයන් පුද පූජා නොකළ යුතුද, වන්දනාමානයෙහි නොයෙදිය යුතුදැ’යි අතිධාවනයෙන් ප්‍රශ්න කිරීමට ඉදිරිපත් වන අයද සිටිති.

මෙහිදී පුදපූජා නොකළ යුතුය. වන්දනාමානනයෙහි නොයෙදිය යුතුයැ’යි කීමට තරම් සාහසික නො විය යුතුය. බෞද්ධයින් මල් පහන් පූජා කළ යුතුයි. බුද්ධ පූජා පැවැත්විය යුතුයි. බෝධිපූජා ආදී වූ අනේක විධ ආගමික කටයුතුවල නිරත විය යුතුයි. වන්දනා ගමන් යා යුතුයි. මේ සද් ක්‍රියාවන් නිසා බොහෝ ලෞකික ප්‍රතිඵල ද ලැබෙන බව සැබෑය. එහෙත් ඒ ආගමික කටයුතුවල යෙදිය යුත්තේ අබෞද්ධයින් වශයෙන් නොවේ. වෙනත් ආගමිකයින් කරන දෑ ඒ අයුරින්ම අනුකරණයෙන් ද නොවේ. තෙරුවන කෙරෙහි අවබෝධයකින් යුතුව, සැබෑ ගෞරවයෙන් විනා අන්ධ භක්තියෙන් නො වේ.

අද ඇතැම් පත්තරවලින්, සඟරාවලින් ඇතැම් පොත්වලින් කියන්නට ලැබෙන, සමහර විද්‍යුත් මාධ්‍යවලින් නොයෙක්විට අසන්නට දකින්නට ලැබෙන, ඇතැම් ආගමික වැඩසටහන්වලින් ප්‍රකාශවන දේ බෞද්ධකමට නො ගැළපෙන ඒවා බව කිව යුතුය. (මේ සියලු මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ද ආගමික කටයුතුද අවතක්සේරු කිරීමක් නොවේ) මේ සඳහා නිදසුන් සැපයීම අනවශ්‍යය. තමන් කියවන අසන බලන දෑ කෙරෙහි තරමක් කල්පනාකාරී වීමෙන් වටහා ගත හැකි කරුණකි.

අප ගළවා ගන්නා කෙනකු ඇතැයි, අප ගැන වගකියන වැඩිමහල් සහෝදරයකු ඇතැයි සිතාගෙන කටයුතු කිරීමට ඇත්නම් කෙතරම් සහනයක් ද? මිනිස්සු එවැන්නකු ඇතැයි සිතා ක්‍රියාකිරීමට නිතැතින් පෙළඹෙති. එහෙත් ඇත්ත තත්ත්වය එසේ නොවන බව අපට ඇස් ඉදිරිපිට ම දක්නට ලැබේ. කොතෙකුත් උදාහරණ ඒ සඳහා ඉදිරිපත් කළ හැකියි. මෑතදී අප අත්දුටු සුනාමි ඛේදවාචකය එවැන්නකි. අප රටේ පමණක් විශාල පිරිසක් මිනිසුන් මොහොතකින් මුහුදට බිළිවුණේ අප ගළවා ගන්නකු සිටියදී ද? මේ අය අතර අහිංසක ළදරු ළපටින් කොතෙක් සිටියෝ ද? මේ අතර යහපත් ජීවිත ගතකළ මිනිසුන් නොසිටියාහු ම ද? ඇත්ත තත්ත්වය මෙයයි. බුදුදහම ලොවට පහළ වුණේ ම මිනිසාගේ මේ අසරණ, අසහනකාරී තත්ත්වය මිනිසාට අවබෝධ කරවා ඔවුන්ට එයින් ගැළවීම සඳහා මඟ පෙන්වීමටය.

අත්තානෝ ලෝකෝ අනභිස්සරෝ යි ලෝකයාට බාහිර පිහිටක් නැත. ඔහු ගළවා ගන්නා ඊශ්වරයකු නැතැයි බුදුදහම සෘජුවම ප්‍රකාශ කරන්නේ එහෙයිනි. මේ බව පිළිගෙන අපි අප කෙරෙහිම විශ්වාසය තබා ක්‍රියා කළ යුතු වෙමු. බුදුවරයකුටවත්, දෙවියකුටවත්, මව්පියන්ටවත් වෙන කිසිවකුටවත් අප ගළවා ගත නොහැකි වුවත් ඒ කාර්යය අපටම කරගත හැකියි. අත්තසරණ විහරථ. අනඤ්ඤසරණ තමන් පිහිට කොට ගෙන ජීවත්වන්න. අනුන්ගේ පිහිට නොපතන්න. මෙය කළ හැකිය. කළහැකි නිසාම එසේ කියන බවද බුදුහාමුදුරුවෝ වදාරති. සක්කා භික්ඛවේ අකුසලං පජහිතුං කුසලං භාවේතුං අකුසල බැහැර කිරීමටත් කුසලය හෙවත් දක්ෂතා දියුණු කර ගැනීමටත් ඔබට පුළුවන. එසේ පුළුවන් නිසා ම මම එය කරන්නැයි කියමි’ ද බුදුරදුන් වදාළහ. අනුන්ගේ පිහිට නො සොයන්නැයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ අනුන් හා සම්බන්ධතා නොපවත්වන්නැයි යන පටු අදහසින් නො වේ. අනුන් හා පවත්වන සියලු සබඳතා තමන්ගේ දියුණුව සඳහා විනා පිරිහීම සඳහා නොවිය යුතු බව එයින් අවධාරණය වේ තමන්ගේ දියුණුව යනු තමන්ගේ මෙන්ම අනුන්ගේ ද දියුණුව විය යුතු බව බෞද්ධ සදාචාර ප්‍රතිපත්තියෙන් පෙන්වා දී තිබේ. එය අත්තහිත පරහිත බව ලෙස දැක්වේ.

බුදුදහම පිළිගන්නා මිනිසුන්, තම දහමෙහි අනන්‍යතාව හා බෞද්ධකම වටහා ගැනීම ගැන බියවන ඇතැම් අයද අප රටේ සිටිති. මෙය අහේතුක බියකි. තම ආගම හෝ දහම අන් ආගමකට හෝ දහමකට හෝ වෙනස් වන අයුරු දැකීම සමාජ සාමයට සහජීවනයට බාධාවක් වන්නේ නම් ආගමක, දහමක අනන්‍යතාව දැක ගැනීම බිය විය යුතු කරුණකි. බෞද්ධයාගෙන් හෝ බෞද්ධ ඉගැන්වීම් මගින් සමාජ සාමයටවත් සහජීවනයටවත් කවර අයුරින් හෝ බාධාවක් නොවන බව දහම පිරික්සීමෙන් ද ඉතිහාසය හැදෑරීමෙන් ද මැනැවින් දැනගත හැකි කරුණකි. එක් නිදසුනක් පමණක් දැක්වීම ප්‍රමාණවත් විය හැකියි. දේව නිර්මාණය නොපිළි ගන්නා බුදුදහම මිනිස් ජීවිතය ද ලෝකයද හේතුඵල දහමට අනුව පවතින බව උගන්වයි. හේතුඵල දහම බෞද්ධයාටද, අබෞද්ධයාටද සියලු ජීවින්ටද අජීවී පරිසරයට ද එක සේ බලපාන්නකි. ඒ අනුව කිසිදු මිනිසකුට හුදෙකලාව තනිව ජීවත්විය නොහැකියි. අනෙක් මිනිසුන් ද ජීවීන් ද අජීවී පරිසරයද නිරන්තරයෙන් මිනිසා හා අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධ වේ.

මෙහිදී මිනිසුන් ගැන පමණක් සළකා බැලුවොත් රට, ජාතිය, ආගම, භාෂාව, ලිංගිකත්වය, කුලය, ගෝත්‍රය, පරම්පරාව, අධ්‍යාපන, සෞඛ්‍යය, ධනය හෝ වෙනත් කවර ආකාරයේ හෝ කොටස් කර ගෙන වෙනස්කම් කිරීමකට කිසිදු ඉඩක් නැත. මේ දර්ශනය මත ගොඩනැගෙන බෞද්ධ සමාජ ධර්ම ද එයට අනුකූ®ල පරිදි ඉදිරිපත් කර තිබේ.

කුසගින්න ගැන සිතුවොත්, එය බෞද්ධයාගේ ද අබෞද්ධයාගේද යනුවෙන් ඇසීමට ඉඩ නැත. ජීවත්වීමට ආහාර පාන අවශ්‍යයැයි බෞද්ධයා, කියන්නේ ආගම හෝ ජාතිය හෝ වෙනත් කණ්ඩායම් කිරීමක් සළකා බලා නොවේ. සියලු සත්වයෝ ආහාරය නිසා යැපෙති. “සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා” යන අවබෝධය ඇතිවය. හැම ඳඬසාට ම හැම මිනිසාට ම කුසගින්න දැනේ. එනිසා සැමට ම ආහාරපාන අවශ්‍ය ය. මේ ආකාරයට සිතන නිසා කරුණාව, මෛත්‍රිය වැනි උදාර සිතිවිලි පහළ වේ. උත්තම සමාජයක බිහිවීමට එය පදනම දමයි. මිනිසුන්ට පමණක් නොව තිරිසන් සතුන් කෙරෙහි ද මේ උතුම් සිතිවිලි ව්‍යාප්ත වෙයි.

මෙසේ සිතන කිසිවකු නිසා සමාජ සාමයට, සහජීවනයට කිසිදු බාධාවක් උද්ගත නොවේ. එපමණක් ද සමගිය, එකමුතුකම, සාමය, සහජීවනය තහවුරු වේ. මේ නිසා බෞද්ධකම හැඳින ගැනීමත්, බෞද්ධකම රැක ගෙන කටයුතු කිරීමත් මිනිසාට විමුක්ති මගට එළඹීමට පමණක් නොව, සමාජ සාමය තහවුරු වීමටත්, ලෞකික දියුණුව අත්පත් කර ගැනීමටත් එක සේ මඟ සළසයි.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.