සටහන සහ ඡායාරූප
ජනක වෙත්තසිංහ
මලිහදේව මහරහතන් වහන්සේ වැඩ සිටි බව කියැවෙන ලෙන්කුටිය ඇත්තේ අරන්කැලේ
වන සෙනසුනෙහි ය. ඒ ලෙන් කුටිය මිදුලේ සුදුවැලි තලය මත වියලි පත් වැටී
වැතිරී නිදයි. ඒ අතර වියරු සුළඟට හසුව දෝ තුරුණු පතක් දෙකක්ද අකලට වැටී
තිබෙනු පෙනෙයි. ඒ ලෙන ආසන්නයෙන් වැටී ඇති පෙත්මඟ දිගේ අපි ගමන අරඹමු.
ලංකාවේ අරණ්‍යකදී දැකිය හැකි දිගම පෙත්මඟ ඇත්තේ මේ අරන්කැලේ වන
සෙනසුනෙහි ය. එහි දිග මීටර් 800 ක් පමණ වෙයි. පෙත්මඟ දෙපස ඇති මහා
වෘක්ෂයන්ගේ අතු ඉති පත්‍ර පංගුපේරුවකින් තොරව සාදා දෙන සෙවණ සිහිල
විඳිමින් යන මඟ දුර වුව සුවදායක ය.
ඒ පෙත් මඟ ඉම ආසන්නයේ කඳු ශිඛරයක් වෙතට අප යා යුතු වෙයි. එතැනින් වැටී
ඇති මඟ අපහැදිලි ය. තනිව ආවේනම් අතරමං වෙනවා නො අනුමාන ය.
යමකුගේ පයට පෑගී තැලුණු පත් අතරින් ඇති සිහින් අඩි පාර හඳුනාගත හැක්කේ
අපහසුවෙනි. අප හා එක්වුන යතිවරයාණන් වහන්සේ ඉදිරියෙන් වඩිති. සිහින්
සිරුරකින් හෙබි උන්වහන්සේගේ ගමන කඩිසර ය. එහෙත් සන්සුන් ය.
වනයේ සරණ මුව පොව්වකු, මීමින්නෙකු, ඉත්තෑවෙකු යනෙන අවේණික මඟ දිගේ
ඇදෙන දක්ෂ දඩයක්කරුවකු සේ උන්වහන්සේ අපට මඟ පෙන්වති. මේ යන අඩිපාර
දුෂ්කර ය. තැනක ඇත්තේ මහා ගල්කුළු දෙකක් මධ්‍යයේ වූ සිහින් කපොල්ලකි.
කටු පඳුරු වැල් පොටවල් ගමනට බාධා පමුණුව යි. ඒ බාධක විඳිමින් කන්ද තරණය
කිරීම මඳක් අපහසු ය. වන දුර්ග, ගිරිදුර්ග පසු කරමින් දැන් අප ඉලක්කය
වෙත පැමිණ සිටිමු. දැන් අප දකින්නේ නිරාවරණය වූ බිම් කඩෙකි. එම බිම් කඩ
මත තවත් ගල්කුලක් දිස් වෙයි. යෝගාවචර භික්ෂූන් වහන්සේ නමක් වැඩ සිටිනා
ස්ථානයක් බවට ඉඟි කෙරෙනා සක්මන් මළුවක් එතැන පෙනෙයි. එම සක්මන් මළුවෙන්
පහළ තලයට පිවිසි පසු රළු මහ කළු ගලක් යට සීරුමාරුවට යා ගත හැකි කුඩා
දොරටුවකි. දොරටුවෙන් ඇතුල්වන්නේ කුඩා ලෙන් කුටියක් තුළටය. අප මෙතැනට
පැමිණියේ මද්දහන පසුකළ හෝරාවේදී ය.
මේ අරන්කැලේ මහමූකලානේ ලෙන් කුටියට උඩින් උස් තැන් සමකර සකසා ඇති
සිමෙන්ති පඩිය මත භික්ෂූන් වහන්සේ නමක් භාවනායෝගීව හිඳිනු පෙනෙයි. සුදු
කයකින් හෙබි මේ යෝගාවචර භික්ෂූන් වහන්සේ භද්‍ර යෞවනයේ පසුවන බව පෙනේ.
මුහුණ ඉතා පියකරුය. පෙනුම ප්‍රසන්නය. මේ මහා මුකලානේ උන්වහන්සේ වැඩ
වසන්නේ තනිවමය.
අපේ පා හඬට විමසිලිමත් නොවුණු උන්වහන්සේගේ පහන් වූ මුවෙහි කිසිදු
වෙනසක් නොපෙනේ. මේ සමාධිගත සිතට ඉඩහැර අපි බලා සිටියෙමු. විනාඩි
කීපයකින් උන්වහන්සේ දැස් විවර කළහ. මහ වන මූකලානේ ඉතා කුඩා ලෙන් කුටියක
හුදෙකලාව වැඩ සිටිනා මේ තරුණ භික්ෂුන් වහන්සේ ගැන දැන අප මෙහි පැමිණිය
ද ඉතා දුෂ්කර පරිසරයක මෙවන් භික්ෂූන් වහන්සේ නමක් දැක ගැනීමට ලැබීම
කුතුහලයක් ගෙන දෙන්නකි. එය සන්සිඳුවා ගැනීමේ අදිටනින් මේ තරුණ භික්ෂූන්
වහන්සේ ඇමතුවෙමි.
ඔබවහන්සේගේ නම ?
මා ජර්මනියේ සමිත. මා උපන්නේ ජර්මනියේ මියුනික් සහ බර්ලිනය අතර වූ
බවාරියා ප්‍රදේශයේ. දැන් මගේ වයස අවුරුදු 24 යි. මා විශ්ව විද්‍යාල
ප්‍රවේශය දක්වා ඉගෙන ගත්තා. මගේ එකම සහෝදරිය හෙදියක්. පියා
ඉංජිනේරුවරයෙක්. මට අසීමිත ලෙස සැප සම්පත් තිබුණා. ඕනෑම දෙයක් කරන්නට
තරම් මුදල් තිබුණා. මට හොඳ මිතුරු මිතුරියන් සිටියා. ප්‍රශ්න නැති
නිසාම මට ඉලක්කයක්, අභියෝගාත්මක ගමනක් තිබුණේ නැහැ. ඒ නිසාම මට දැනුනේ
මහා හිස් බවක්. හරියට නිශ්චල ජලයේ සුන්දරත්වයක් නැතිවා සේ ය. මේ වනවිට
මගේ වයස අවුරුදු 18 ක් විතර ඇති. මා මිත්‍රයකුගෙන් ඇහුවා අපේ මිනිසුන්
බහුතරයකට අසීමිත සැප සම්පත් තියෙනවා. ඒත් මට පේන්නේ ඔවුන් කනස්සල්ලෙන්
හිඳිනවා වගෙයි නේද කියා.
ඒත් සීමිත සම්පත් ඇති දුප්පත් බවේ පීඩාවෙන් පෙළෙන ලංකාව වගේ රටවල
මිනිසුන් සිනහවෙලා ජීවත්වෙනවා. සැප සම්පත් නැතත් ලද දෙයින් සතුටුවෙන බව
පෙනෙනවා. මෙයට හේතුව කුමක්ද? ඔහු මට කීවේ ඔවුන් බහුතරයකගේ ජීවිත සරල
බවයි. මේ සරල බව කියන වචනය මට නුහුරුයි. ඒ නිසා මේ සරළත්වය සොයන්න මා
පෙළඹුණා. ඒ සමඟ එකට යාවී ඇති වචනයක් තමයි සැහැල්ලු බව. මේ දෙකෙහි
සම්බන්ධයට හේතුව තමයි අල්පේච්ඡතාවය. එසේනම් මේ ත්‍රිත්වය එකිනෙකිට
යාවුණු පදනම තිබෙන්නේ පවිත්‍ර වූ බුද්ධ ධර්මය තුළ නොවේද කියන එක මට
තේරුම් ගන්නට පුළුවන් වුණා. ඒ පිළිබඳව පමණක් නොවේ, බුද්ධ ධර්මයේ වන මඟ
පෙන්වීම් (මා සිතන්නේ එය ඉගැන්වීමක් නොවේ) මෙන්ම ධර්මය පිළිබඳව පුළුල්
අවබෝධයක් ලබා ගන්නට මට මහත් පිටිවහලක් වුණේ ජර්මනියේ ඥානතිලෝක සහ
ඥානපුණ්ඩික ස්වාමීන් වහන්සේලා විසින් ජර්මන් බසට පරිවර්තනය කළ ධර්ම
ග්‍රන්ථයි. උන්වහන්සේලා මේ ධර්මාවබෝධය ලබා ගත්තේ ථේරවාදී බුදුදහමින්
පෝෂණය ලද ලංකාව නම් කුඩා රම්‍ය දිවයිනකට පැමිණීමෙන් බව මා දැන ගත්තා.
මාත් එම පිවිතුරු ගමන් මඟ දිගේ ලංකාවට පැමිණියා.
එසේ ඔබ වහන්සේ ගිහිගෙයින් නික්මුණේ කලකිරීම නිසාද?
නැහැ. මා අත්විඳ ශුන්‍යතාවය නිසා. යථාවබෝධයෙන් හිස මුඩුකර මේ පඬු පැහැ
චීවරය දරාගෙන මේ ආ ගමන ඉක්මන් වුණේ සංසාර පුරුද්දට වෙන්න ඇත. මා මුලින්
පැමිණියේ තායිලන්තයට එහි ඇත්තේත් ථේරවාදී බුදුදහමයි. අරණ්‍ය සේනාසනද
බොහෝ ඇති නිසා මා එහි නැවතුණා. එම අරණ්‍යයන්හි වැඩ කෙරෙන්නේ දෛනික කාල
සටහනක් අනුව. නිදහස සීමා වෙලා. එය මට දැනුනේ අපහසුතාවයක් විදියටයි.
ඉතින් මා ලංකාවට පැමිණියා. මේ සේනාසනයේ වත්පිළිවෙත් එළෙස තිබුණත් බල
කිරීමක් නැහැ. ඕනෑතරම් නිදහස තිබෙනවා. ඒ නිදහස මම අගය කරනවා. කාටවත්
බැහැ මාගේ හිත නිදහස් කරන්න. විමුක්තිය උදාකර දෙන්න. එය තමා විසින්ම
අවබෝධ කර ගත යුතුයි. ඒ නිදහස නිසා මට මගේ් හිත නිදහස් කර ගත හැකියි.
කාගේවත් බලපෑමකින් තොරව.
‘බුද්ධාගම ගැඹුරෙන් හදාරන්නට ත්‍රිපිටකය පරිසීලනය කළ යුතුයි නේද? එයට
පාලි, සිංහල වැනි භාෂාවන් හැදෑරිය යුතුයි නේද?
මට පාලි භාෂාව යන්තමින් පුළුවන්. සිංහල භාෂාව තේරෙන්නේ නැහැ. මීට වසර
100 කට පමණ පෙර සිට ත්‍රිපිටකය ජර්මන් භාෂාවට පරිවර්තනය වී තිබෙනවා ඒ
නිසා බුද්ධ ධර්මය පුළුල් ලෙස අවබෝධ කර ගැනීමට භාෂාව පිළිබඳ ගැටුලවක්
පැන නගින්නේ නැහැ.
මෙවන් දුෂ්කර කඳු ශිඛරයක දිවි ගෙවෙන ඔබ වහන්සේට දානාදිය ලබා ගැනීම
අපහසුයි නේද?
මා ඉන්නේ ජන ශූන්‍ය මහ මූකලානක් මධ්‍යයේ නිසා පිණ්ඩපාතයේ වඩින්නේ දවසක්
හැර දවසක්. සිරුර පවත්වාගෙන යන්නට එම ආහාරවේල හොඳටම ඇති. කුස නොවෙයි
යහපත් සිතිවිලි වලින් සිත පිරී යා යුතුයි. සිත පිරුණු විට මුළු සිරුරම
පිබිදෙනවා.
ඔබ වහන්සේ පුණර්භවය විශ්වාස කරනවාද?
විශ්වාසදාය නොවෙයි නිශ්චික අවබෝධයයි අවශ්‍ය. මා දැන් ජර්මන් ජාතිකයෙකු
නොවෙයි. බුදු මඟ යන භික්ෂූන් වහන්සේ නමක්.
මේ මහා වනමූකලානේ ඔබ වහන්සේට තනිකමක් බයක් දැනෙන්නේ නැද්ද?
තෘෂ්ණාව සමඟ නේද භය උපදින්නේ. මට මාවත් නැත්නම් එතැන එකතු කරන්නට දෙයක්
නැහැ නේද? සියල්ල හැරදමා මමත්වය දුරු කරන්නට වෙහෙසන හිතකට බය
ඇතුල්වෙන්නට ඉඩක් නැහැ. ධර්මය අනුව ජීවත්වෙනවිට හදවත පවිත්‍ර වෙනවා.
එසේ ජීවිතාවබෝධය ලබා ගත යුතුයි. සම්මා දිට්ඨිය මුලින් ඇතිකරගත යුතුයි.
එවිට භාවනාවෙන් ප්‍රඥාව කරා එළැඹිය හැකියි. චිත්ත විවේකය සඳහා මේ
ස්ථානය බොහොම හොඳයි. එහෙත් මේ පරිසරය තුළ විවේක සුවයෙන් භාවනාවේ
යෙදෙන්නට අපහසු ලෙස බාහිර බාධාවන් පවතින බව උන්වහන්සේගේ මුවින්
නොකියවුව ද අපට මඟ පෙන්වූ භික්ෂුන් වහන්සේ සඳහන් කළේ මෙසේය.
‘වැසි දවස්වලට මේ කුඩා ලෙන්කුටිය ජලයෙන් පිරී යනවා. එසේම කළුගල් තලාව
රත්වෙන වෙලාවට ලෙන් කුටිය තුළ වැඩ වසන්නට බැරි තරමට ලෙන රත්වෙනවා. වැසි
දිනයන්හි සක්මන් මළුවේ සක්මන් භාවනාවේ යෙදෙන්නට නො හැකි යි. සියලු සැප
සම්පත් හැර දැමූ සමිත හිමියන්ට අද සිදුව ඇත්තේ දුෂ්කර ක්‍රියා කිරීමට
නම් එය විමුක්තිය සොයා යන ගමනට බාධාවක් යැයි අපටත් සිතෙයි.
ඔබ වහන්සේට මෙතැන අපහසුතා පැණ නැගී තිබෙනවා ද
මා යන ගමනට මෙතැන ඉතාමත් සුදුසු තැනක්. මම පහසුකම් අපේක්ෂා කරන්නේ
නැහැ. මා සියලු සැප සම්පත් හැර ආවේ ඒ සියල්ල තුළ ඇත්තේ දුක බව
දැනගෙනයි. ඒ දුකෙන් මිදෙන්නයි මා නිබඳව වෙහෙසෙන්නේ.
වැසි වසින වෙලාවට අධික රශ්මිය ඇති මොහොතක එයට ඔරොත්තු දෙන කුඩා කුටියක්
ඇත්නම් එය පහසුවක්. සක්මන් මළුවේ පියසක් ඇත්නම් ඕනෑම මොහොතක සක්මන්
භාවනාවේ යෙදෙන්නට පහසුයි.
ඊයේ වූ අපහසුතා ගැන මා පසුතැවෙන්නේ නැහැ. හෙට අවිනිශ්චිතයි. මා
ජීවත්වන්නේ වර්තමානයේ යි. මා නිබඳව වෙහෙසෙන්නේ හිත නිවා ගන්නටයි. මේ
භවයේදීම එය අවබෝධකර ගත යුතුයි.
එතැනින් එහාට තවත් කථා කිරීමට වදන් සොයා ගැනීමට අපටත් අපහසුය. අපට දැන්
ආපසු හැරෙන්නට කාලය හොඳය. අප ගිය පෙත්මඟ දිගේ අපසු එනවිට මලියදේව
මහරහතන් වහන්සේ වැඩ සිටි ලෙන්කුටිය සැදෑ රැස් කිරණට හසුව අපූරු
චිත්‍රයක් මවයි. වියරු සුළඟට හසුව අකාලයේ මියැදුණ තරුණ පත්‍රය තවමත්
එතැන වැටී තිබේ. මලියදේව මහරහතන් වහන්සේගේ පූජනීයත්වයට පත් ලෙන් කුටිය
සේම දිනක අර මහ මූකලානේ ලෙන් කුටියටත් පූජනීයත්වයක් ලැබෙන්නේ නම්
මොනතරම් භාග්‍යයක්ද?
|