Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ඉන්දු මිටියාවතේ සිට ඉඳුරු දිග ඉන්දියාවට සංක්‍රමණය වූ ආර්ය ජනතාව සතු පාරම්පරික ඥානය පරිණත ලක්‍ෂණ ගනිමින් කෙමෙන් වැඩුණේ ය. බුදුරදුන්ට පෙර නොවූ විරූ ධර්ම සංකල්ප ඉදිරිපත් කිරීමට හැකිවුණේ එතුමන් ඒ ඉගැන්වීම් සුනිසිත් නැණින් හදාළ බැවිනි. බමුණු චින්තනයේ ඇතුළත් දුබලතා වටහාගෙන, නව දහමක් දෙසීමට බුදුරදුන්ට සමත් වූයේ ද වෛදික ඉගැන්වීම් ගැඹුරින් හදාළ නිසා ය.

මහාචාර්ය පී.වී. බාපත් බුදුසමය බමුණු සමය කෙරෙහි ප්‍රභාවිත වුණු ආකාරය විමසමින් ඉතා ප්‍රශස්ත ලිපියක් මලලසේකර සමරු කලාපයට ලිවීය. බෞද්ධ සංස්කෘතිය උගන්නා සිසුන්ට ඒ ලිපිය ඉතා ප්‍රයෝජනවත් වෙයි. රාධක්‍රිෂ්ණන් ලියූ ලිපියක මෙසේ සඳහන් වෙයි. ‘බුදුසමය ඉන්දීය සංස්කෘතිය කෙරෙහි මහත් බලපෑමක් කළේ ය. ජීවිතයට ගෞරව කිරීම සත්ත්ව හිංසාවෙන් දුරුවීම සහ බමුණු දහමෙහි ඇතුළත් වු මානව දයාවට හා තර්ක බුද්ධියට පටහැණි අංග ගිලිහී ගියේ ය.

යාගහෝම පැවැත්වීම

යාග හෝම පැවැත්වීමේ දී, අහිංසක සතුන්ගේ රුධිරයෙන් යාගාවාට තෙමීමේ අමානුෂික ක්‍රියාව ගිලිහී ගියේ බුදුසමයේ බලපෑම හේතු කොටගෙනය. යාග පැවැත්වීමේ දී සතුන් බිලිදීමේ පුරුද්ද ඉන්දියාවේ ඉතා තදින් පැතිරී තිබිණ. ලොව බොහෝ රටවල මිලෙච්ඡ ජනයා ද සතුන් බිලිදුන් සැටි මනාව විද්‍යාඥයන් ලියූ පොත්වල සඳහන් ය.

අධික ජීව ශක්තියක් ඇති රුධිරයෙන් දෙවියන් පිදූවිට තමාට යහපතක් වෙතියි මිලේච්ඡ ජනයා විශ්වාස කළහ. මෙබඳු විශ්වාස මානව සමාජයේ ඉතා දිගු කලක්ම පැවතිණ. යාගාවාට වලට බඳනා ලද සතුන් වේදනාවෙන් කෑගසමින් සිටින විට, බුදුරදුහු එතැනට වැඩම කොට, බමුණු ඇදුරන් සමඟ වාදකර බිලිදීමේ හිස්බව ඔවුන්ට වටහාදී අහිංසක සතුන් මරණයෙන් මුදාගත්හ.

මිනිසුන්ට ශාන්තිය ලබාගත හැක්කේ, සතුන් බිලිදීමෙන් නොව, ශීල චර්යාවේ යෙදෙමින්, කෙලෙස් තුනීකර ගනිමින් සහ විද්‍යා ශාස්ත්‍ර හදාරා ප්‍රඥාව දියුණු කිරීමෙන් බව නොමඟ ගිය බමුණු ඇදුරන්ට බුදුන් වහන්සේ කියා දුන්හ. අභයදානය ලැබූ අහිංසක සතුන් අසීමිත පී‍්‍රතියෙන් දිවැ යනු දුටුබමුණු ඇදුරන් සියලු සතුන් ජීවිතයට ආදරය කරන බව වටහා ගන්නට ඇත. ඉන්දියාවේ සිටි ප්‍රභූ පිරිස් යාගයේ බලමහිමය පිළිබඳ සැක උපදවා ඉන් ඈත්වුණේ බුදුරදුන්ගේ ඉගැන්වීම්වල බලපෑම නිසාය.

බුදුරදුන් මුලින්ම ජනතාවට පෙන්වා දුන්නෙ, සතුන් බිලිදීමෙන් පවත්වන යාගය අනර්ථකාරී බවයි. සතුන් බිලිදීමෙන් තොරව ධන ධ්‍යාන්‍ය පමණක් පුදමින් කරන යාගය, සතුන් බිලිදීමෙන් කරන තරම් අනර්ථකාරී නොවෙතියි බුදුන් වහන්සේ පෙන්වා දුන්හ. මිනිසුන්ගේ පැවැත්ම පිණිස ඇති ධාන්‍ය වර්ග ගිනි දෙවියාට පිදීමෙන් වැඩක් නැති බව බුදුන් වහන්සේ කියා දුන්හ.

ඉන්පසු නියම වැඩදායක යාගය කුමක්දැයි පැහැදිලි කළසේක. උන්වහන්සේ යාගය යන වදනට නව අරුතක් දුන්හ. කූට දන්ත සූත්‍රයෙ මේ ක්‍රමය විස්තර වෙයි. සිල්වත් ශ්‍රමණයන්ට දන්දීම හොඳ යාගයකි. ඊට වඩා හොඳ යහපත් වන්නේ තෙරුවන් සරණ යෑමයි. ඉතා හොඳම යාගය වන්නේ සසුන්ගතව ශීලචර්යාවේ යෙදීමයි. මේ ඉගැන්වීම් පසුකාලීන බ්‍රාහ්මණ චින්තනය කෙරෙහි මහත් බලපෑමක් කෙළේ ය. යාගයේ ස්වරූපය වෙනස්විය. යාග පැවැත්වීමේ දී ගවයන්, අශ්වයන් මැරීම තහනම් විය.

කල්ගතවීමේ දී හින්දු බැතිමත්හු මාංශ ආහාර ගැනීමේ පුරුද්ද සම්පූර්ණයෙන්ම බැහැර කළහ. අශෝක අධිරාජ්‍යයා, ජනතාව සතුන් මැරීමෙන් වළක්වාලීමට උත්සුක වූ බව ප්‍රකට කරුණකි. විනෝදය සඳහාවත් සතුන් මැරීම වරදක් බව එතුමා ප්‍රචාරය කළේ ය. සතුන් බිලිදීම වෙනුවට පිටිවලින් සෑදු සත්වරූප බිලිදීමට ඔවුහු යොමුවූහ. සතුන් බිලිදීමෙන් තොරව අශ්වමේධ යාගයක් පවත්වන ලද බව මහාභාරතයේ සඳහන් වෙයි. සතුන් බිලිදීමේ පුරුද්ද අවඥාවෙන් සලකා ඇති බවද මහාභාරත කාව්‍යයේ සඳහන් ය. සතුන් බිලිදීමේ පුරුද්ද ආරම්භ කරන ලද්දේ සොරුන් විසින් යැයි ඒ කාව්‍යයේ දැක්වෙයි. යාග පූජා උළෙලකදී එළදෙනක මැරීමේ පාප කර්මයේ විපාක වශයෙන් කෝපවුණු ඉසිවරු ශත වර්ෂයක වසංගත රෝගයක් පහළ කළ බවද ඒ පොතේ සඳහන් ය. මේ කියුම සුත්ත නිපාතයේ එන කියුමකට සමානකමක් දක්වයි. එළදෙනක බිලිදීම නිසා රෝග අට අනූවක් පැතිරී ගිය බව එහි දැක්වේ. ඊට කලින් තිබුණේ රෝග තුනක් පමණකි. සතුන් බිලිදීම වෙනුවට පිටිවලින් කළ සතුන් බිලිදීමේ සිරිතක් පහළ වූයේත්, ශීල චර්යාවේ යෙදීම උතුම් යාගයක් ලෙස සැලැකෙන්නට පටන් ගත්තේත් බුදුසමයේ බලපෑම නිසාය.

කුලභේදය තුනීවීම.

බ්‍රාහ්මණ සංස්කෘතියේ විශේෂ ලක්‍ෂණයක් වූයේ කුලභේදය සැලැකීමයි. ජනතාව සිවු කුලයකට බෙදීමේ කාර්යය කරන ලද්දේ මහා බ්‍රහ්මයා විසින් බව ඔවුන්ගේ පිළිගැනීම විය. ඒ ඒ කුලවලට අයත් ජනයා විසින් කළ යුතු වැඩ කොටස් ද නියමකොට තිබිණ. බමුණන් උසස් කුලවතුන් වූ අතර ශුද්‍රයෝ, පහත් කුලයට අයත් වූහ. මේ උස් පහත්කම් ජන්මයෙන් ම ලැබෙන බව බමුණු ඇදුරන්ගේ පිළිගැනීම විය. කිසිවෙකුට මේ බෙදීම වෙනස් කිරීමට බලයක් නොතිබිණ. බමුණන් විසින් කරනු ලැබූ අමානුෂික ක්‍රියා වැළැක් වීමට කිසිවෙකුට හැකියාවක් තිබුණේ නැත.

ශුද්‍ර තරුණයන් දෙදෙනෙකු තක්සලාවට ගොස් තමන් ක්‍ෂත්‍රියයන් බව පවසා ඉගෙනීමේ යෙදුණු බවත් පසුව මේ බව දැනගත් බමුණු ඇදුරන් ඔවුන් තක්සලාවෙන් පන්නා දැමූ බවත් මහාචාර්ය ආර්.කේ. මුඛර්ජි ලියූ ඒන්ෂන්ට් ඉන්ඩියන් එඩියුකේෂන්, නමැති පොතේ සඳහන් වෙයි. බුදුරදුන්ගේ ඉගැන්වීම මීට හාත්පසින්ම වෙනස්ය. මිනිසුන් උසස් හෝ පහත් වන්නේ, ජන්මය අනුව නොව ක්‍රියාව අනුව බව බුදුරදුන් ගේ ඉගැන්වීම විය. මේ අනුව ශුද්‍රයකුට ශීලචර්යාවේ යෙදීමෙන් ගුණධර්ම පිරීමෙන් බමුණකු විය හැකිය. ශුද්‍රයකු බ්‍රාහ්මණයකුවීමේත් බ්‍රාහ්මණයකු ශුද්‍රයකු වීමේත් රහස, මහාභාරත කාව්‍යයේ සඳහන්ය.

මේ රහස නම් ශිල්ප ශාස්ත්‍ර හැදෑරීමෙන් ශුද්‍රයකුට බ්‍රාහ්මණයකු විය හැකි බවයි. නිකම් කටින් කී නිසාම යමෙකුට බ්‍රාහ්මණයකු විය නොහැකිය. මෙය දැක්වෙන්නේ භගවත් පුරාණයේ ය.

ශුද්‍රයකු වූ ථූපාරම, සොම්මකු වු රෝහිදාස කරණවෑමියෙකු වූ සේන වියන්නකු වූ භද්‍ර ආදී සාන්තුවරයන්ට ඉන්දීය ජනතාව මහත් ගෞරව දැක්වූහ.

සෑම කුලයකටම අයත් වූවත් සසුන්ගත කිරීම ශ්‍රමණ ගෞතමයන්ගේ සිරිතක් විය. බමුණු ඇදුරෝ මේ සිරිතට බලවත් විරෝධයක් දැක්වූහ. වර්දමාන මහාවීර මුනිවරයා කුලභේදයක් නොතකා සියලුම කුලවල දරුවන් සසුන්ගත කළ බව ජෛන පොත්වල සඳහන් වෙයි.

බමුණු දහමට අනුව ආධ්‍යාත්මික විමුක්තිය ලැබිය හැක්කේ බමුණන්ට පමණි. බෞද්ධයන් මේ මතය වෙනස් කොට ජනතාවගේ සාමාජික හා ආධ්‍යාත්මික සමානත්වය පිළිගත් බව පෙනේ. ශුද්‍ර වංශිකයන් සාන්තුවරයන්ව සිටි බවත්, ඔවුන්ට සියලු කුලවලට අයත් ජනතාවගේ සම්මාන ලැබුණු බවත් මහාභාරත කාව්‍යයේ සඳහන් වෙයි. ජාතියෙන් ජන්මයෙන් ශුද්‍රයකු වුවද, කර්මයෙන් බ්‍රාහ්මණයන් වූ ශුද්‍රයන් කෙරෙහි විද්‍යමාන වුණු ගතිගුණ ධම්මපදයේ බ්‍රාහ්මණ වග්ගයේ දක්වා ඇත.

ස්ත්‍රීන්ට ගෞරව කිරීම.

බමුණු ඇදුරන් ස්ත්‍රීන් කෙරෙහි දැක් වූ අවඥා සහගත ආකල්පයේ වෙනසක් සිදුවූයේ බුදුසමයේ බලපෑම නිසාය. මේ වෙනස්වීම සිදු වූයේ මහාභාරත කාව්‍යය රචනා කරන කාලයේ දීය. මාතෘ ප්‍රභූත්වය පැවැතුණු පැරැණි සමාජයේ ස්ත්‍රියට ඉතා වැදගත් ස්ථානයක් හිමිවිය. කල්යාමේ දී මේ ස්ත්‍රී ප්‍රභූත්ව සමාජය වෙනස් වී පීතෘ ප්‍රභූත්ව සමාජයක් පහළ විය. බ්‍රාහ්මණ ආධිපත්‍යය තහවුරු වුණු පසු ස්ත්‍රිය ගේ සමාජ තත්ත්වය බොහෝ දුරට පිරිහී ගියේ ය. ස්ත්‍රීය දුබල කෙනකු වශයෙන් සලකන්නට පටන් ගනු ලැබිණ. එහෙත් ඇතැම් බමුණන් ස්ත්‍රීන් කෙරෙහි ගිජු බවක් දක්වන්නට වූ බව පෙනෙන්ට ඇත. යාග හෝම පැවැත් වූ බමුණු ඇදුරන්ට ස්ත්‍රීන් ද, වෙසෙසින් කන්‍යාවන් ද පිළිගැන් වූ බව පොත්වල සඳහන් වෙයි.

ස්ත්‍රිය කුඩා කාලයේ දෙමාපියන් යටතේ ද, පසුව ස්වාමිපුරුෂයා යටතේ ද, මහලු වුණු පසු දරුවන්ගේ රැකවරණය යටතේ ද සිටිය යුතු බව බමුණු ඇදුරන්ගේ ඉගැන්වීම විය. අධ්‍යාපනයක් ලැබීමට පුරුෂ පක්‍ෂයට තිබුණු පහසුකම් ස්ත්‍රී පක්‍ෂයට තිබුණේ නැත. බුදුන් වහන්සේ ස්ත්‍රීන් කෙරෙහි දැක් වූ ආකල්පය මීට ඉඳුරාම වෙනස් විය. බුදුරදුන් ගේ ඉගැන්වීම් නිසා පුරුෂයින්ට සමාජයේ ලැබෙන තැන ස්ත්‍රීන්ටද ලැබුණේ ය.

ස්ත්‍රීන්ට ජීවිතයෙන් ආස්වාදයක් ලැබීමට ඉඩ පෑදුණේ ය. මාතෘත්වයට ඉතා සම්භාවනීය ස්ථානයක් හිමිවිය. සමාජික හා අධ්‍යාත්මික සමානත්වය ස්ත්‍රීන් ගේ අයිතියක් විය. ස්ත්‍රී බුද්ධ ධර්මය මැනැවින් හදාරා ඉතා උසස් අධ්‍යාත්මික මට්ටමකට පිවිසි අයුරු ථෙරී ගාථා වලින් පැහැදිලි වෙයි. බමුණු ආකල්ප වෙනස්වීම් නිසා ස්ත්‍රීන්ට ආගම හා ශිල්ප ශාස්ත්‍ර හැදෑරීමට අවස්ථාව සැලැසුණේ ය. ඇතැම් කාන්තාවන් සාන්තුවරියන් බවට පත් වී ආගමික ජීවිතයක් ගත කළ බව මහාභාරත කාව්‍යය පෙන්වා දෙයි. බුදුසසුනේ ථෙරීන් මෙන්, හින්දු සාන්තුවරියන් ආගමික කාව්‍ය රචනා කළ බව දැක්විය යුතු ය. ජනාබායි, වේණබායි, මිරුබායි වැනි කාන්තාවන් විසින් රචනා කරන ලද ගීත කාව්‍ය, හින්දු බැතිමතුන්ගේ ප්‍රසාදය දිනා ගත්තේ ය. මිරුබායි සිය කාව්‍යයන්හි බුදුරදුන්ගේ උත්තම ගුණ වැනීමට තරම් පෘථුල දෘෂ්ටියකින් යුතුව සිටියා ය. ඇතැම් සාන්තුවරියන් ශුන්‍යවාදය ගැන ද කවි ලියා ඇත.

ආශ්‍රවධර්ම වෙනස්වීම

බුදුසමයේ බලපෑම හේතුකොටගෙන ආශ්‍රව ධර්මය පිළිබඳ මතවල ද වෙනසක් සිදු විය. බුදුසමය ආරම්භ වීමට පෙර ආශ්‍රව ධර්මයේ අවස්ථා සතර සකස් වී තිබුණු බව මැක්ස්මුලර් පවසයි. එහෙත් එය දැඩි ස්වරූපයක් ගෙන නොතිබුණැයි ද කියනු ලැබේ. මුල් ආශ්‍රව දෙක වෛදික යුගයේ දී වෙනස් වී තිබිණ. වානප්‍රස්ථ සහ සන්තාසි යන ආශ්‍රව සකස් වූයේ ආරණ්‍යක උපනිෂද් යන යුගවලදීය. බමුණු සමයට අනුව, යමෙකුට පැවිද්ද ලබාගත හැක්කේ, ආශ්‍රව ධර්මයේ මුල් අවස්ථා තුන පිළිවෙළින් පසු කිරීමෙන් අනතුරුවය. වේදය හදාළ කෙනෙකුට දිවි හිමියෙන් අවිවාහකව, ගුරුවරයා ළඟ රැඳී සිටීමට ඉඩ ලැබුණේ ද, නියමිත අවස්ථා තුන පසු නො කොට පැවිදි බිමට පිවිසීමට බමුණු ඇදුරෝ ඉඩ නොදුන්හ. බුදුන් වහන්සේ මේ ප්‍රතිපත්තියට සිය විරුද්ධත්වයක් දැක්වූහ. පැවිදිවීමට අභිලාෂයක් ඇති කෙනෙකුට පැවිදිවීමට බුදුන්වහන්සේ ඉඩ දුන්හ. කුඩා කාලයේදීම පැවිදිවූවන් පිළිබඳ තොරතුරු බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙයි.

ආචාර විද්‍යාත්මක මත වෙනස්කම්

බුදුසමයේ බලපෑම නිසා, ආචාර විද්‍යාත්මක මතවලද වෙනසක් සිදුවිණ. භගවත් ගීතාව රචනය කළ කාලය පිළිබඳ මතභේදයක් පවතී. ඇතැම් උගතුන් පවසන්නේ භගව ගීතාව බුදුරදුන්ගේ උපතට පෙර රචිත බවයි. ශාන්ති නිකේතනයේ බෞද්ධ අධ්‍යාපනය පිළිබඳ මහාචාර්ය පණ්ඩිත ආරිය ස්වාමි පවසන්නේ භගවත් ගීතාව බුදුරදුන්ගේ කාලයෙන් පසුව රචිත බවයි. සුදුසු ආහාර ගැනීම නියමිත වේලාවට නිදාගැනීම, සුදුසු කාලයේ පිබිදීම, පිළිබඳව භගවත් ගීතාවේ ඇතුළත් වන අදහස්, බුදුරදුන්ගේ ම අදහස්වලට සමාන බවයි.

සාවද්‍ය ක්‍රියා සහ අකුසල කර්ම බැහැර කළ යුතු යැයි භගවත් ගීතාවේ සඳහන් කරුණු අංගුත්තර නිකායේ ද, තවත් බෞද්ධ ග්‍රන්ථවල ද දැක්වෙන අදහස් වලට සමානය.

පුද්ගල පාරිශුද්ධිය පිළිබඳව මහා භාරතයේ දැක්වෙන අදහස්, බෞද්ධ අදහස්වලට සමානය. එහි ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව ද සඳහන් වෙයි. සාමය ආත්ම පරිත්‍යාගය, කාරුණිකව දානය පිළිබඳව බුදුරදුන් දැක් වූ අදහස් මහාභාරතයේ වෙයි. අක්‍රෝධයෙන් ක්‍රෝධය ද අයහපත යහපතින් ද ලෝභීන් දානයෙන් ද බොරුව සත්‍යයෙන් ද ජයගත යුතු යැයි බුද්ධ ධර්මයේ දැක්වෙන අදහස් එලෙසින් ම මහාභාරතයේ දැක්වෙයි.

බුදුසමය බලපෑම මනුනීතියේ ද දක්නට ලැබේ. මේ කරුණු වලින් පැහැදිලි වන්නේ බුද්ධ ධර්මයේ බලපෑම හේතු කොටගෙන බමුණු සමයේ ලොකු වෙනස්වීම් සිදුවුණු බවයි. මහා දාර්ශනිකයකු වූ ශංකර්චාර්යයෝ ද බුදුසමයෙන් ප්‍රභාවිත වූහ. ලෝක ප්‍රකට ඉතිහාසඥයකු වූ අර්නෝල්ඩ් ටොයින්බි පසුකාලීන හින්දු සමය වෙනම ආගමක් හැටියට හැඳින්වූයේ ය. ඔහු මෙසේ ලියා ඇත.

“බුදුසමයේ ප්‍රභේද තුනක් වෙයි, පළමු වැන්න ලංකාවේ සහ අග්නි දිග ආසියාවේ පවතින හීනයාන යයි.

දෙවැන්න නැ‍ෙගනහිර ආසියාව ටිබැටය, හා මොන්ගෝලියාව යන රටවල පවත්නා මහායාන බුද්ධාගමයි. තුන් වැන්න පශ්චාත් බුද්ධ කාලීන ඉන්දීය හින්දු සමයයි.”


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.