Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

භාවනාව කියන්නේ මනස පිළිබඳ ශල්‍යකර්මයක් - එස්.එන්. ගොඑන්කා

විපස්සනා භාවනා ආචාර්යවරයකු ලෙස ප්‍රකට එස්.එන්. ගොඑන්කාතුමාගේ ඉගැන්වීම් ඇසුරුකොට විලියම් හාර්ට් ලියූ ‘ජීවත්වීමේ රටාව‘ නමැති කෘතියෙන් මෙය උපුටා ගන්නා ලදී. ජීවත්වීමේ රටාව (The art of living)  අයිලින් එක්නැලිගොඩගේ අනුවාදයකි.

ඔබ බුදුන් ගැන කියයි. ඔබ බුද්ධාගම උගන්වනවාද?

එස්.එන්. ගොඑන්කා මම ‘ආගම්’ ගැන තැකීමක් නොකරමි. මම බුදුන් දෙසූ ධර්මය උගන්වමි. උන්වහන්සේ කිසිදාක, කිසිම විධියේ ආගමක් හෝ නිකාය වාදයක් උගන්වා නැත. තථාගතයන් වහන්සේ උගන්වා ඇත්තේ, සමාජයේ ඕනෑම තලයක ජීවත්වන කෙනකුට, ප්‍රයෝජනවත් වන, ජීවත්වීමේ ක්‍රමයකි. අවිද්‍යාවෙන් දිවි ගෙවීම සෑම කෙනකුටම හානිකරය. බුද්ධි වර්ධනයෙන් සෑම කෙනකුටම සෙත සැලසේ. ඒ අනුව ඕනෑම අයෙකුට මෙම ක්‍රමය පුහුණුවී සෙත සලසාගත හැකි වේ. කෙනෙක් යහපත් ක්‍රිස්තියානුවෙකු හෝ යහපත් යුදෙව්වකු හෝ යහපත් මුස්ලිම් ජාතිකයෙකු හෝ යහපත් හින්දුවකු හෝ යහපත් බෞද්ධයකු, වන්නේ යහපත් මනුෂ්‍යයකු වුවොත් පමණයි. යහපත් මිනිසකු වන්නේ කෙසේද යන්නයි වඩාත් වැදගත්.

ඔබ යම් රටාවක් සැකැස්මක් ගැන කියනවා. මෙය ඇත්තටම යහපත් වුනත් මනස යම් රටාවකට සකස් කිරීමක් නේද?

එහෙම නොවේ. එය මනස සකසා ගැනීමක් නොවේ. මනසට බලයෙන් යමක් ඇතුළු කරනු වෙනුවට යහපත් දේ රඳවා ගැනීමය. නරක දේ ඉවත්කොට, පිරිසුදු සිතක පවතින මූලික ස්වභාවය පවත්වා ගැනීමයි.

සැලකිය යුතු වේලාවක්, එකම ඉරියව්වකින් හිඳ, සිත අරමුණක යොමුකිරීම - සිත එක්තරා රටාවකට සැකසීමක් නොවන්නේ ද?

ඔව්! එය ක්‍රීඩාවක් හෝ ආගමික චාරිත්‍රයක් ලෙස සිතා කළහොත් ඔබ සිත සැකසීමක් කරයි. එය විපස්සනා භාවනා ක්‍රමය වරදවා යොදවාගැනීමකි. විපස්සනා පුහුණුව ඔබ හරිහැටි කළහොත්, කෙළින්ම ඔබට සත්‍යය අත්දැකීමට පුළුවනි. මෙම අත්දැකීම තුළින් අවබෝධය වැඩිදියුණු වී, අතීත පුරුදු රටාවන් අහෝසි කර දමයි.

ලෝකය පිළිබඳ සියල්ල අමතක කොට, මුළු දවසේම ඉඳගෙන භාවනා කිරීම, ආත්මාර්ථකාමී බවක් නොවන්නේද?

එතෙකින්ම මේ ක්‍රියාවලිය අවසන් කරන්නේ නම් එය ආත්මාර්ථකාමීත්වයකි. එහෙත් එය හුදෙක් ආත්මාර්ථකාමී බවෙන් තොරවූ, පවිත්‍ර සිතක් අමුණුකොට ගත් මාර්ගයකි. ඔබ අසනීපයකින් පෙළෙන්නේ නම්, එය සුවකර ගැනීමට රෝහලට ඇතුල් වෙයි. රෝගය සුවකර ගැනීමට මිස, ජීවිත කාලය තුළම එහි නොරැඳෙයි. එසේම ඔබ භාවනා පුහුණු පාඨමාලාවකට පැමිණෙන්නේ මානසික සුවයක් ලබාගැනීමටයි.

එදිනෙදා ජීවිතයේ දී එය ඔබටත්, අන් අයටත් ප්‍රයෝජනය පිණිසම යොදාගත හැකි ය.

ලෝකයා දුකෙන් තැවෙද්දී, ඔබ සතුටෙන් සාමයෙන් සිටීම, අන් අය ගැන හැඟීමක් නොමැතිකමද?

අන් අයගේ දුකෙහිදී සංවේදීවීම යනු, ඔබද දුකට පත්විය යුතු බව එයින් අදහස් නොවේ. ඒ වෙනුවට ඔබ සන්සුන්ව, උපේක්‍ෂා සහගතව සිටියොත්, ඒ අයගේ දුක නිවීමට හැකිවෙයි. ඔබ දුක්වූවොත් අවට පිරිසගේ ද දුක වැඩි කරන්නේ ය. එයින් ඔබ අනුන්ට පිහිට වන්නේ නැත. තමාටද පිහිටක් කර නොගනියි.

අප මානසික සුවයෙන් පසු නොවන්නේ ඇයි?

හේතුව ! අපි ප්‍රඥාවන්ත නොවන නිසයි. ප්‍රඥාව නොමැති ජීවිතය මායාවක් මෙනි. එය කැලඹෙන සුළු දුක්බර තත්ත්වයකි. අපේ පරම වගකීම වන්නේ, අපගේත් අනුන්ගේත් යහපතට හේතුවන නිරෝගී, සාමකාමී සහජීවනයෙන් දිවි ගෙවීමයි. මෙසේ කිරීමට නම් අප, අප ගැනම ස්වයං අධ්‍යයනයක් කළ යුතුයි.

භාවනා ක්‍රමය ඉගෙනීමට දස දින පාඨමාලාවකට සහභාගි විය යුත්තේ ඇයි?

ඔව්, ඔබට ඊටත් වඩා දිගු පුහුණුවකට සහභාගිවීමට හැකිනම් වඩාත් හොඳයි! එහෙත් මේ භාවනා ක්‍රමය හැදෑරීමට, අවම වශයෙන් දවස් දහයක් වත් අවශ්‍ය වේ.

භාවනා පුහුණු කාලය තුළ, මධ්‍යස්ථානයේ ම රැඳී සිටීමට අවශ්‍ය ඇයි?

මක්නිසාද යත්, ඔබ මෙහි පැමිණ සිටින්නේ මනස පිළිබඳ ශල්‍යකර්මයක් කිරීමටයි. එය කළයුත්තේ විෂබීජවලින් තොරවූ ආරක්‍ෂිත ශල්‍යාගාරයක් තුළදීය. ඔබ භාවනා පුහුණුව ලබන දසදින තුළ, බාහිර කිසිදු උපද්‍රවයකින් තොරව ඔබට (ශල්‍යකර්මය) මෙම ස්ථානයේ දී හොඳින් පුහුණුව කළ හැකිය. පාඨමාලාව අවසානයේ ශල්‍යකර්මය ද අවසන් කොට ඇත. නැවත ඔබ ලෝකයාට මුහුණදීමට සූදානම්ය.

මෙම භාවනා ක්‍රමය සිරුර සුවපත් කරන්නේ ද?

ඔව්! අතුරුඵලයක් වශයෙන් මානසික අසහනය දුරු වූ විට, ස්වභාවයෙන්ම මනස සම්බන්ධ පවත්නා වූ රෝග නැතිවී යයි. මනස කැලැඹුණ විට, සිරුරේ රෝග මතුවේ. සිත සාමාකාමී නිර්මලත්වයට පත්වන විට ඒ සියලු දොස් ඉවත්වෙයි. භාවනා පුහුණුවේ අරමුණ, රෝග නිවාරණය කරගැනීමට නම් එය ඉටුනොවේ. තම කායික රෝග සුවපත් කරගැනීමේ අභිප්‍රායෙන්, මෙම භාවනා පුහුණුවට පැමිණෙන සමහරුන්, සම්පූර්ණ කාලයම, තම රෝගය ගැනම සිතමින් කල්ගෙවයි. “අද වැඩි සුවයක් දැනේද? නැහැ. සුවයක් නොදැනෙයි. අද වැඩි ගුණයක් නැහැ.” සම්පූර්ණ දවස් දහයම මෙසේ නිකරුනේ කල් ගත කරති. භාවනාවේ අරමුණ සිත පිරිසුදු කරගැනීමට නම්, එහි ප්‍රතිඵලයක් වශයෙන් නිරායාසයෙන්ම ලෙඩරෝග සුව වෙයි.

ජීවිතයේ අරමුණ කුමක්ද යන්න ගැන ඔබේ අදහස කුමක්ද?

අරමුණ නම් දුකින් මිදීමයි. මිනිසාට තමා ගැන ගැඹුරින් සිතීමටත්, සත්‍ය ගවේෂණයටත්, දුකින් මිදීමටත්, අපූර්ව හැකියාවක් තිබේ. ඵලදායි, සුඛිත, මුදිත දිවියක් ගත කිරීමට ඒ හැකියාවෙන් ඔබ ප්‍රයෝජන ගන්න.

ඔබ හැම දෙයක්ම ශුන්‍යතාවයෙන් දකියි. එහෙත් ආදරය වැනි හැඟීමකින් ජීවිතයේ ක්‍රියාශීලි පැත්ත දැකීම නුසුදුද?

ඔබ පවසන ක්‍රියාශීලි බව, මනසේ නියම ස්වභාවයයි. මනස යමකට බැඳී නැත්නම්, නිදහස් වූ සිත, නිරතුරුව මෛත්‍රී - කරුණාවෙන් පිරී යයි. එබට ඔබට සාමාකාමී සතුටක් දැනෙයි. ඔබ ශූන්‍ය පක්‍ෂය ඈත් කළොත්, ඔබේ සිත ක්‍රියාශීලී පැත්තට නැඹූරු වී පවිත්‍රව පවතිනු ලබයි. මුළුමහත් ලෝකයම මෙවන් ක්‍රියාකාරීත්වයකින් සුවපත් වේවා!.

උතුරු ඉන්දියාවේ, සැවැත් නුවර, ජේතවනාරාමයේ බොහෝ පිරිස් බුදුන් වහන්සේගේ ධර්මය ඇසීමට හා භාවනා පුහුණු කිරීමට රැස්වන විශාල ශාලාවක් විය. එක්තරා පුද්ගලයෙකු සෑම දිනකම සවස් යාමයේ ධර්ම දේශනා වලට සවන්දීමට පැමිණියේ ය. අවුරුදු ගණනක් පුරා මෙසේ පැමිණිය ද, සවන් දෙනු ලැබූ ධර්මය ඔහු කිසිදාක ප්‍රගුණ නොකළේ ය.

අවුරුදු කිහිපයකට පසු, දිනක් වේලාසනින් පැමිණ මේ පුද්ගලයා, බුදුන් වහන්සේ හුදකලාව සිටිනු දැක, මෙසේ විමසීය. ‘තථාගතයන් වහන්ස, මගේ සිත සැක උපදවමින් නිතර මතුවන ප්‍රශ්නයක් තිබේ.’

‘මනා ලෙස විග්‍රහ කරන ලද ධර්ම මාර්ගයේ කිසිදු සැකයක් තිබීමට නුපුළුවන. කුමක්ද ඔබේ ප්‍රශ්නය?’

‘ස්වාමීනි, මම අවුරුදු ගණනාවක් සිට ඔබවහන්සේගේ භාවනා මධ්‍යස්ථානයට පැමිණෙන්නෙමි. භික්‍ෂු - භික්‍ෂුණී සහ බොහෝ ගිහි පිරිස් මෙහි රැස් වී ඇත. මට පෙනෙනවා ඉන් සමහර දෙනෙක් උසස් තත්ත්වයට පැමිණ, පූර්ණ විමුක්තිය ලබා සිටින බව සමහරක් කලින් සිටියාට වඩා යම් දියුණුවක් ලබා තිබෙන බවත් පේනවා. ස්වාමීනි, මා ඇතුළු තවත් පිරිසක් ඒ තත්ත්වයේමයි. සමහරෙක් ඊටත් වඩා දුර්වල වී ඇති බවත්, තවත් සමහරෙක් කොහෙත්ම වෙනස් වී නැති බවත්, සුඛදායී පැත්තට හැරී නැති බවත් මට පේනවා.

ස්වාමීනි, එයට හේතුව කුමක්ද? සම්මා සම්බුද්ධත්වයට පත් මහබලැති කෙනකු වූ ඔබ වහන්සේගේ කරුණාව හා ශක්තිය යොදා ඔවුන් දුකින් මුදවන්නේ නැත්තේ ඇයි?

උන්වහන්සේ සිනාසී, මෙසේ පැවසූ සේක. “තරුණය, ඔබ එන්නේ කොයි සිටද? ඔබ උපන් ගම කුමක්ද?

“ස්වාමීනි, මා පදිංචිව සිටින්නේ, කෝශල දේශයේ අගනුවර වන ශ්‍රාවස්ති නගරයෙයි.”

“ඔව්, එහෙත් ඔබගේ මුහුණේ පෙනුමෙන්, ඔබ මේ ප්‍රදේශයේ අයකු නොවන බව පැහැදිලියි. ඔබ කලින් සිටියේ කොහේද?”

“ස්වාමීනි, මගධ රාජ්‍යයේ අගනුවර වූ රජගහ නුවර, මගේ උපන් බිමයි. අවුරුදු ගණනාවකට පෙර මා ශ්‍රාවස්ති නුවරට පැමිණ පදිංචි වුණා.”

“එසේනම් ඔබ, රජගහනුවර සමග පැවැති සියලු සබඳතා අත්හළේද?”

“නැත ස්වාමීනි, මගේ නෑයෝ ද, මිතුරෝද එහි සිටිති. මගේ ව්‍යාපාර කටයුතු ද තවමත් රජගහනුවර සමඟ පවතිනවා.”

“එසේනම්, ඔබ සැවැත් පුරයේ සිට, රජගහනුවරට නිතර යනවා එනවා ඇතිනෙ.”

“එසේය ස්වාමීනි, අවුරුද්දකට කිහිප වතාවක්ම රජගහ නුවරට ගොස් පෙරළා මෙහි පැමිණෙනවා.”

“අවුරුද්දට කිහිප වරක් රජගහනුවරට යනඑන ඔබට, එම ගමන් මාර්ගය ගැන හොඳ අවබෝධයක් ඇතිනෙ.”

“ඔව් ස්වාමිනී, මා එය ඉතා හොඳින් දන්නවා. ඇස් බැඳ තැබුවත්, ඒ මාර්ගය සොයා යාමට මට පුළුවන්.”

“රජගහනුවර සිට, සැවැත් පුරයට පැමිණ පදිංචිවී සිටින ඔබේ හිතමිතුරන්, රජගහනුවරට යන ගමන් මාර්ගය ඔබ ඉතා හොඳින් දන්නා බව විශ්වාස කරනවා නේද?”

“එසේය ස්වාමීනි, මා ළඟින් ඇසුරුකරන අය එය දන්නවා.”

“සමහරක් අවස්ථාවල කෙනකු පැමිණ රජගහ නුවරට යන ගමන් මාර්ගය ගැන විස්තර ඇහුවොත්, ඔබ එය හොඳින් පැහැදිලි කර දෙනවා නේද?”

“ස්වාමීනි, කිසිවක් වසන් නොකරම, මා ඔවුන්ට එය පැහැදිලි කර දෙනවා. පළමුව නැඟෙනහිරටත්, අනතුරුව බරණැස දෙසටත්, ඉන්පසු ගයාව පසුකොට රජගහ නුවරට පැමිණෙන මාර්ගය සරලව ඔවුන්ට පැහැදිලි කර දෙමි.”

“ඉතින් ඔබ මොනතරම් හොඳ පැහැදිලි කළත්, ඒ මාර්ගය දිගේ ඒ සියලුම මිතුරන් රජගහ නුවරට ළඟාවෙනවාද?”

“කෙසේනම් එසේ වේද ස්වාමීනි? මා පෙන්නා දුන් මුළු මග ඔස්සේ කෙළවරටම යන අය පමණක් රජගහ නුවරට සේන්දු වෙයි.”

“තරුණය, ඔබට තේරුම් කරදීමට මට, අවශ්‍ය වූයෙත් ඔය ටිකටයි. නිවන්මගට පිළිපන්, එය හොඳින් අවබෝධ කළ කෙනකු බව සලකා බොහෝ අය මා වෙත පැමිණෙති. ඒ අය මෙසේ ප්‍රශ්න කරනවා. නිර්වාණ මාර්ගය කුමක්ද? ‘දුකින් මිදිය හැකි මඟ කුමක්ද?’ සැඟවීමට කිසිවක් නොමැති නිසා, මම, නිවන් මඟ මේයයි කියා ඔවුන්ට හොඳින් පැහැදිලි කර දෙමි. කෙනකු හිස සලමින්, පැහැදිලියි, පැහැදිලියි, එය හොඳ මාර්ගයක්. එය සෑම අතින්ම යහපත් මාර්ගයක්. ඒත් මා නම් එක අඩියක්වත් තබන්නේ නැහැ. ඒ මඟ යාමට මා කොහෙත්ම වෙහෙසෙන්නේ නැහැ කියයිනම් ඉතින්, එවන් තැනැත්තෙක් ගමන් මගේ අවසන් ඉලක්කය කරා යාවිද?

“මම කිසිවකු කරපින්නාගෙන ඉලක්කය කරා ළඟා කරවීමට නොයමි. කිසිවෙකුටත් එසේ කිරීමටද නොහැක. වැඩිම වුණොත්, මෙත් සිතින් හා කරුණාවෙන්, කෙනකුට මෙසේ කිව හැක. හොඳයි, මේ ඒ මගයි. මා එය තරණය කළේ මේ ආකාරයෙනුයි. ඔබත් පුහුණු වන්න. ඔබටත් අවසන් ඉලක්කය වෙත යා හැකියි. සෑම කෙනකුම, තමා විසින්ම ඒ මාර්ගයේ යා යුතුවේ. ඒ මඟෙහි එක් පියවරක් වත් තැබුවොත්, අවසන් ඉලක්කයට එක් පියවරකින් ළඟාවනවා නේද? පියවර සියයක් තැබූ තැනැත්තා පියවර සියයකින් ඉලක්කයට ළඟාවෙයි. සියලුම පියවරවල් තැබූ තැනැත්තා ගමන්මග කෙළවර වූ දිනුම් කණුවට, ළඟා වේ. මාර්ගයේ ඔබම ගමන් කළ යුතුමයි.”


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.