Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බෞද්ධ සැදැහැවතුන්ගේ උදාර අපේක්‍ෂාවන් සපුරාලන කඨින පූජාව ශ්‍රී ලංකාවට බුදු දහම පැමිණි කාලයේම පැමිණි ඒ අවධියේ සිටම අඛණ්ඩම සිදුකරගෙන එන්නා වූ පොදු ජන සිත් සතන් මහත්ම උද්දාමයට පත්කරවන්නා වූ පුණ්‍යකර්මයක් වූ බව අපගේ කඨින පින්කම පිළිබඳ ඉතිහාසය විමසා බැලීමෙන් පැහැදිලි කෙරේ. අටමහ කුසල් ගණයට ඇතුළත්වන පළමු පින්කම වන මෙම පින්කමෙන් අනෙකුත් පින්කම වලට වඩා ආනිසංසයක් ගෙන දීමද පින්කමට සහභාගි වන්නා වූ සියලු දෙනාටම වෙනසක් නොමැතිව ආනිසංස ගෙන දීම ද මෙම පින්කමෙහි විශේෂත්වයක් ලෙස සැලකිය හැකිය.

බුදු දහම වූ කලි අකාලික දහමකි. අකාලික දහමක් වූ බුදු දහමෙන් විමසනු ලබන්නේ පුද්ගලයා හා සමාජය පිළිබඳ ගැටලුයි. සමාජ ප්‍රශ්න මූලික ගැටලු ලෙස සලකා ඒවාට විසඳුම් සෙවීම බුදු දහමෙන් සිදුකරනු ලබයි. බුදු දහම අනුව සමාජ ප්‍රශ්න හටගන්නේ සමාජ පරිසරය අනුවම පමණක් නොව මිනිස් සන්තානයේ ඇතිවන සිතිවිලි සහ මිනිස් අවශ්‍යතාවන් පදනම් කරගෙනය.

සමාජය ලෙස සලකනු ලබන්නේ පුද්ගල සමූහයක සංකලනයයි. සමාජය යන කොටසේ ඒකකය පුද්ගලයායි. පුද්ගලයාගෙන් තොර සමාජයක් දැකීමට නො පුළුවන් ය. ඒ ඒ පුද්ගලයන්ට ඇතිවන්නා වූ ප්‍රශ්න සියල්ලම සමාජ ප්‍රශ්න ලෙසම සැළකිය හැකිය. පුද්ගල ප්‍රශ්න විසඳීම සමාජ ප්‍රශ්න විසඳීමට සමානය. බුදු දහම කථා කරනුයේ අනුන්ට නොතෙමී ඉන්නට කුඩයක් සකස් කිරීම නොව තමන්ට නොතෙමී ඉන්නට කුඩයක් සකස් කිරීමයි. එබැවින් සමාජය යන විශාල කොට්ඨාශයේ ඒකකයක් වන පුද්ගලයා පිළිබඳ පුද්ගල ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට බුදු සමය උත්සුක වන අයුරු පෙන්නුම් කෙරේ.

බුදු සමය මිනිසුන් අතර ජනපි‍්‍රය ආගමක් බවට පත් වූයේ ජන විඥානයට ගැළපෙන්නා වූ ආකාරයට ධර්ම කරුණු වුවත් සකස්වීමයි. බුදු දහමෙහි එන සිඟාලෝවාද, ව්‍යග්ඝපජ්ජ, කාලාම, වසල, පරාභව, මංගල යන සූත්‍ර ධර්මයන් සමාජ ධර්මයන් පිළිබඳ විමසන අතර ඒ හේතුවම බුදු දහම මිනිස් සන්තානයේ පැළපදියම් වීමට හේතුභූත වී ඇත. විවිධ සංස්කෘතීන්ට ගැළපෙන ආකාරයෙන් ජාතික සංස්කෘතීන්ට අනුකූලව විශ්මය ජනක ලෙස හැඩගැසුණ බුදු සමය විවිධ රටවල ව්‍යාප්ත වී ගියේය. බාහිර වශයෙන් ඇතුළත් වී ඇති විවිධ පුද පූජා විධිවලට පොදු ජන සිත් වඩාත් ඇදීගොස් ඇති අතර එය ථෙරවාදී සම්ප්‍රදායට නොගැළපුනද ද මහායාන සම්ප්‍රදාය සමග එය සම්බන්ධතාවයක් පවත්වන්නේය. ථෙරවාදී සම්ප්‍රදායෙන් සුළු වශයෙන් මෙම පූජා විධි ආරම්භව මහායාන සම්ප්‍රදාය මගින් වැඩි දියුණු වන්නට ඇතැයි සිතීමට පුළුවන.

ලෞකික සැප සම්පත් අත්හළ දැමූවන්ගේ පරමාර්ථ වූයේ නිවන් අවබෝධ කිරීම සඳහා උත්සාහ කිරීමයි. එසේ වූ භික්‍ෂූන් පෝෂණය කිරීම සැදැහැති ජනතාවට පහසුවක් වූ අතර එසේ භික්‍ෂූන්ට අවශ්‍ය සිවුපසය සපුරාදීම මහා පින්කමක් සේද සලකන්නට විය. රජවරු, සිටුවරු, භික්‍ෂූන්ට සිවුපසය පිරිනැමීම තම යුතුකම ලෙස ද සළකන්නට විය. ලෙන් විහාර ආදිය සඟ සතු කොට පූජා කිරීම නිසා භික්‍ෂූන්ට පුද්ගලික වශයෙන් අයිතිවී තිබුණේ සිවුරු පාත්‍ර ආදී උපකරණ කීපයක් පමණි. බෞද්ධ භික්‍ෂූන් විවිධ පුද පූජා විධි හා පිරිත් පින්කම ආදිය ආරම්භ කරන්නට යෙදුණේ එය චාරිත්‍රානුකූ®ලව පවත්වාගෙන යනු ලබන්නේත් සැදැහැවතුන් වෙනත් ආගම් පසුපස යාම වැළැක්වීම සඳහාය. එසේ වූ පූජා විධි අතර කඨින චීවර පූජාවට ලැබෙන්නේ ප්‍රමුඛස්ථානයකි. මෙම පූජා විධි තුළින් පරලොව පමණක් නොව මෙලොව ද සාර්ථක කර ගැනීමට හේතුවන බව බෞද්ධ පින්වතුන්ගේ අදහසයි. එම හේතුව නිසා බෞද්ධ පින්වතුන් තුළ කඨින චීවර පූජාමය පින්කම ආදී පූජා විධි කෙරෙහි විශාල උනන්දුවක් පවතින බව සිතිය හැකිය. මෙම පින්කම්වලින් ලැබෙන අවසාන ප්‍රතිඵලය කුමක් වුවද පොදු ජනතාව සාමූහිකව කටයුතු කිරීම දැකිය හැකි අතර සමානාත්මතාවයෙන් යුතුව කටයුතු කිරීමේ අභ්‍යාසයක් ද ඒ තුළින් ලබා දෙනු ලබයි. බෝධි පූජා ධර්ම දේශනා, කඨින චීවර පූජා ආදි පින්කම් වලදී සාමාන්‍ය ජනතාව අතර පවතින කුල භේද පංතිභේද ආදිය නොසලකා සැවොම බිම වාඩිවීමට සැලැස්වීම බෞද්ධ පින්කම්වල දී දකින්නට ලැබෙන ලක්‍ණයයි. මෙම පින්කම් වලදී සාමාන්‍ය ජනතාවගේ උස් පහත්කම් ලොකු කුඩා කම්වලට තැනක් නොලැබෙන අතර විවිධ පුද පූජාවන්ගෙන් ලැබෙන ආනිසංස වියදම් කරන ධන ධාන්‍යවල ප්‍රමාණය අනුව නොලැබෙන අතර බුද්ධියේ හා ශ්‍රද්ධාවේ ප්‍රමාණයට ලැබෙන බවට සියලු දෙනාටම අවබෝධයක් ඇත. ඕනෑම දුගී පුද්ගලයෙකුට වුවද විශාල ධන පරිත්‍යාගයකින් සිදු කරනු ලබන පින්කමට සහභාගි වී විශාල වශයෙන් පින් සිදුකර ගැනීමට හැකිය. පින්කමකදී ශ්‍රද්ධාව ප්‍රමුඛ වන නිසා දුප්පත් පොහොසත් භේදයන් කිසිවිටකත් සැළකිල්ලට භාජනය නොවනු ඇත. මේ අනුව බලන කල්හි සමාජ ජීවිතයේදී අන් කිසිදු ක්‍රියවක දී දකින්නට නොලැබෙන තරම් විශාල සාමූහිකත්වයක් සමානාත්මතාවයක් බෞද්ධ පුද පූජා පවත්වන අවස්ථාවලදී දක්නට ලැබේ.

බෞද්ධ පුද පූජාවන් අතර සමාජය කෙරෙහි මහත් බලපෑමක් කරන්නට වූ පින්කමක් ලෙස කඨින චීවර පූජාව හැඳින්විය හැකිය. කඨින චීවරයක් පූජා කිරීමට නම් භික්‍ෂුවක් වස් විසිය යුතුය. වස් විසීම හා වස් විසීම සම්බන්ධව වූ ශික්ෂා පදය දේශනා වූයේ සමාජය මගින් වූ බලපෑම මතය. ප්‍රථම රහත් හැට නම අමතා බුදුරදුන් දේශනා කළේ “ චරථ භික්ඛවෙ චාරිකං ...” ආදී වශයෙන් බහුජන සුව පිණිස ධර්ම චාරිකාවේ යෙදෙන ලෙසය. භික්‍ෂූන් වහන්සේ මෙය අසා ඍතු භේදයකින් තොරව වර්ෂා කාලයෙහි ද ධර්ම චාරිකාවෙහි යෙදුණහ. නමුත් වෙනත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් තම ආරාමවලට වී වාසය කළහ. ඔවුහු වර්ෂා කාලයෙහි පොළොවෙන් හට ගන්නා ඒක ඉන්ද්‍රිය ප්‍රාණීන් ලෙස හඳුන්වනු ලබන පැළෑටි හා ප්‍රාණීන් විනාශ කොට භික්‍ෂූන් චාරිකාවේ යෙදෙන බවට චෝදනා කරන්නට වූහ. මේ කාරණය දැන බුදුරදුන් “ අනුජානාමි භික්ඛවෙ වස්සානෙ වස්සං උපගන්තුං “ මහණෙනි, වස්සාන ඍතුවෙහි භික්‍ෂූන් වස් විසිය යුතුය යනුවෙන් දේශනා කළහ. වස් විසිය යුතු දින ලෙස පෙන්වා දෙන්නේ පෙරවස් හා පසුවස් ආදී වශයෙන් දින දෙකක් වන බවයි. “ ද්වේමා භික්ඛවේ වස්සූපනායිකා පුරිමිකා පච්ඡිමිකාච” උපසම්පදා භූමියට පත් සියලුම භික්‍ෂූන් වස් වැසිය යුතු බවත් එසේ නොවසන භික්‍ෂූන්ට දුක්කටාපත්ති වන බවත් දේශනා කරන්නට විය. වස් විසූ භික්‍ෂූවක් ආරාමයෙන් බැහැරව යා යුත්තේ සති කරණයෙන් හා සත්තාහකරණයෙනි. මෙම සත්තාහකරණ යන අනුප්‍රඥප්තිය පනවන්නට යෙදුණේ ද සමාජමය වශයෙන් වූ බලපෑමක් හේතුකොටගෙන බව මහා වග්ගපාලිය උපදෙස් සපයනු ලබයි. විනය පිටකයේ එන බොහෝ නීතින් පනවා ඇත්තේ සමාජයෙන් එල්ල වූ දෝෂාරෝපණයන්හි ප්‍රතිඵල වශයෙන්ය.

සමාජ සත්වයන්ට මූලික වශයෙන් ඇතිවන අවශ්‍යතාවන් හතරක් වෙයි. එනම්

1. චීවර ඇඳුම්
2. පිණ්ඩපාත ආහාර
3. සේනාසන වාසස්ථාන
4. ගිලානප්‍රත්‍ය බෙහෙත්

ආදී වශයෙන් දක්වන අවශ්‍යතා සෑම දෙනාටම පොදුවන අතර සදාචාරාත්මක සමාජයේ මේවා මූලික අවශ්‍යතා ලෙස සළකනු ලබයි. එයින් චීවර හෙවත් ඇඳුම් විලිවසා ගැනීමටත් මැසි මදුරුවන්ගෙන් වන්නා වූ හානියෙන් වැළකීම සඳහාත් භාවිත කරනු ලබයි. බුදුරදුන් භික්‍ෂූවක් සඳහා අනුදැන වදාළ සිවුරු ප්‍රමාණය තුනකි. එනම්, තනිපොට සිවුර, දෙපොට සිවුර, අඳනය යන තුනයි. මුලින් පාංශුකූ®ල චීවර දැරූ භික්‍ෂූන්ට විවිධ අවස්ථාවන්හිදී දායක පිරිස් සිවුරු පුදන්නට කැමැත්ත දැක්වූහ. ඒ අනුව බුදුරදුන් ගහපති චීවරය පිළිගැනීම අනුමත කළහ. මේ හේතුවෙන් ඔද වැඩී ගිය දායකයන් මහා පරිමාණයෙන් භික්‍ෂූන්ට සිවුරු පූජා කරන්නට විය.මෙයින් පැහැදිලි වන්නේ සමාජයේ ජනතාව තුළ සිවුරු පුද දීමේ අදහස වැඩී තිබුණ බවයි. භික්‍ෂූන්ට තුන් සිවුර ප්‍රමාණාත්මක නොවූ හෙයින් සමාජමය බලපෑමක ප්‍රතිඵල ලෙස කඨින චීවරය ද භික්‍ෂූන්ට පිළි ගැනීම අනුදැන වදාරා ඇත. මහාවග්ග පාලියේ එන කඨින ඛන්ධකයෙන් හා චීවරක්‍ඛකයෙන් මේ පිළිබඳ බොහෝ තොරතුරු සොයාගත හැකිය. බුදු සමයේ උගන්වන අනෙකුත් පූජා විධීන්ට වඩා කඨින චිවර පූජාව කෙරෙහි සමාජයේ සෑම තරාතිරකම බාල, මහලු, උගත් , නූගත් සියලු දෙනාගේම උනන්දුවක් පවතින බව පෙන්නුම් කෙරේ. එසේ වන්නට හේතු වන්නට ඇත්තේ අනෙකුත් ආමිස පූජාවන්ට වඩා කුසල විපාක මේ පින්කම තුළින් ලබා දෙන පූජා විධියක් නිසා යැයි විශ්වාස කළ හැකිය.

බෞද්ධ සැදැහැවතුන්ගේ උදාර අපේක්‍ෂාවන් සපුරාලන කඨින පූජාව ශ්‍රී ලංකාවට බුදු දහම පැමිණි කාලයේම පැමිණි ඒ අවධියේ සිටම අඛණ්ඩම සිදුකරගෙන එන්නා වූ පොදු ජන සිත් සතන් මහත්ම උද්දාමයට පත්කරවන්නා වූ පුණ්‍යකර්මයක් වූ බව අපගේ කඨින පින්කම පිළිබඳ ඉතිහාසය විමසා බැලීමෙන් පැහැදිලි කෙරේ. අටමහ කුසල් ගණයට ඇතුළත්වන පළමු පින්කම වන මෙම පින්කමෙන් අනෙකුත් පින්කම වලට වඩා ආනිසංසයක් ගෙන දීමද පින්කමට සහභාගි වන්නා වූ සියලු දෙනාටම වෙනසක් නොමැතිව ආනිසංස ගෙන දීම ද මෙම පින්කමෙහි විශේෂත්වයක් ලෙස සැලකිය හැකිය.

විහාරස්ථානය කාහටත් පොදු වන්නාසේම කඨින චිවර පූජාව ගමේ සතර පේරුවේ දායක පින්වතුන්ගේම සහභාගිත්වයෙන් පවත්වනු ලබන එකිනෙකා සමඟ ඇයි හොඳයිකම් වර්ධනය කරන්නා වූ සමඟිය සතුට වර්ධනය කරන්නා වූ ගමේ එකමුතුවත් ගමකට ඒකරාශීව යම් වගකීමක් දැරීමට ඇති හැකියාව පෙන්නුම් කරන්නක් ලෙස ද එකමුතුව කටයුතු කිරීමෙන් බොහෝ දෙය ජය ගැනීමට හැකියාව ඇති බව පෙන්නුම් කර දෙන්නා වූ වටිනා පින්කමක් ලෙස ද සාමාජික වශයෙන් වටිනාකම් රාශියකින් හෙබි මා හැඟි පින්කමක් ලෙසට ද කඨින චීවර පූජාව සැළකීමට පුළුවන.

 


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.