Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ප්‍රශ්නය
බුදු දහමට අනුව පුද්ගලයා චරිතයෙන් සුචරිතවත් විය යුතුවේ. පැහැදිලි කරන්න.

පිළිතුර
තීනි සුචරිතානි” යනුවෙන් ධර්ම ග්‍රන්ථවල සඳහන් වන්නේ යහපත් හැසිරීම නම් දොරටු තුනකින් සිදුවිය යුතු බවය. කාය සුචරිතය, වචී සුචරිතය, මනො හෙවත් සිතෙහි සුචරිතවත් බව යන තිදොරින් සංවරවීම සුචරිතවත් බවය.


ප්‍රශ්නය
බුදු සිරිතෙහි නිරතුරුව

1. ලොකත්ථ චරියා
2. ඤාතත්ථ චරියා
3. බුද්ධත්ථ චරියා
යනුවෙන් සඳහන් වන්නේ කුමක් ගැනද

පිළිතුර
1. දෙව් මිනිසුන් සහිත ලෝ වැසියා සසර දුකින් මුදවා ලනු පිනිස තථාගතයන් වහන්සේ ගත කළ කාලය “ ලෝකත්ථචරියා” නම් වෙයි.
2. සිය නෑසියන්ගේ යහපත සඳහා කළ ධර්ම චාරිකාව ‘ ඤාතත්ථ චරියා’ නම් වෙයි.
3. බුදු බව ලබා ගැනීම සඳහා පාරමී ධර්ම පුරමින් ගත කළ කාලය බුද්ධත්ථ චරියා නම් වෙයි.


ප්‍රශ්නය
පුද්ගල ජීවිතයෙහි අධ්‍යාත්මය වනසාලන නිශ්චිත කරුණු තුනක් ධර්මයේ සඳහන් වන්නේ කුමන නමකින් ද?

පිළිතුර
ආධ්‍යාත්මික දියුණුවට බාධාකරන කරුණු ලෙස “ තයො පටික්ඛ්‍යො යනුවෙන් ප්‍රතික්ෂේප කළයුතු දෑ වශයෙන්

1. මහිච්ඡතා - ( අසීමිත ආශාව )
2. අසන්තුට්ඨිතා - ( තෘප්තිමත් නොවීම )
3. අමතඤ්ඤතා - ( පමණ නො දැනීම ) යන කරුණු දක්වා තිබේ. කුසල ධර්මයන්ගේ පරිහානියට සහ අකුසල ධර්මයන්ගේ වර්ධනයට හේතුවන බලගතු සාධක වශයෙන් එම කරුණු දේශනාවන්හි සඳහන් වෙයි.


ප්‍රශ්නය
හිංසා පිණිස දඬු මුගුරු ආදී කිසිවක් නොගෙන සියලු සතුන් කෙරෙහි ශාන්ති, මෛත්‍රී ආදියෙහි සිටි බැවින් මම සිටියෙමි. එකී ගුණයන්හි නොසිට පර පණ නසන ඔබ නො සිටියෙහියැයි වදාරමින් බුදු රදුන් දහම් දෙසන්නට වන්හ. මෙම දේශනාව කළේ කවුරුන් උදෙසා ද ?

පිළිතුර
අඟුල්මල් වෙතට බුදු රදුන් වැඩම කළ වදාළ අවස්ථාවෙහිදී ය.


ප්‍රශ්නය
බුදුරජාණන් වහන්සේ “මහානාරා කස්සප” ජාතකය බිම්සර රජු හා පිරිසට දේශනා කොට වදාළහ. බිම්සර මහරජතුමා බුදුරදුන් වෙත පැමිණ තමා ප්‍රාර්ථනා පසක් ඇතිව සිටි බව කීය. රජතුමාගේ එම ප්‍රාර්ථනා පස මොනවාද ?

පිළිතුර
බිම්බිසාර රජුගේ ප්‍රාර්ථනා මෙසේය.

1. මගධයේ රජ බවට පත්වීම
2. තම රාජ්‍යයට බුදුරජාණන් වහන්සේ වැඩමවා ගැනීම
3. බුදුන් වහන්සේගෙන් දහම් ඇසීම
4. බුදුරදුන් ඇසුරු කිරීමේ කැමැත්ත
5. ධර්මාවබෝධය යන එම ප්‍රාර්ථනා පහ ය.


ප්‍රශ්නය
මෙම තුන්වැදෑරුම් තෘෂ්ණාව සමුදයාර්ථ සත්‍යය නම් වේ. පැහැදිලි කරන්න.

පිළිතුර
“මහණෙනි දුඞඛ සමුදයාර්ථ සත්‍යය යනු කවරේද ? නැවත නැවත ඉපදීම් ඇති කරන්නාවූ “ නන්දිරාගය” හා එක්ව හටගන්නා වූ ඒ ඒ උපනුපන් භවය ඇල්ම කරන්නාවූ යම් තෘෂ්ණාවක් වේ ද එයයි.

ඒ තෘෂ්ණාව නම් කවරේද ?
කාම තෘෂ්ණාව
භව තෘෂ්ණාව
විභව තෘෂ්ණාව
යන මේ තුන්වැදෑරුම් තෘෂ්ණාව වෙයි.


ප්‍රශ්නය
ප්‍රථම වතාවට තිසරණ ගොස් බුදුසමය වැළඳගත් ගෘහස්ථයා ඔහු විය. “ඔහු” කවරහු ද ?

පිළිතුර
යසකුල පුතු පියාණන් බුදු සමය වැළඳගත් පළමු ගෘහස්ථයා ය.


ප්‍රශ්නය
ලොක පාලක ධර්ම දෙකක් ඇති බව ද්වෙ ලොකපාලක ධම්මා “ දෙව ධම්මා” යනු දේශනාවන්හි සඳහන්වෙයි. මෙම ලොක පාලක ධර්ම මොනවාද ?

පිළිතුර
හිරි – ඔතප් දෙක යහපත් ධර්ම ලෙස ඉගැන්වෙයි. හිරි යන්නෙන් පවට ඇති ලජ්ජාවත් ඔතප් යන්නෙන් පවට ඇති බියත් අදහස් වේ. මේ ධර්ම දෙක දේවධර්ම වශයෙන් හා ලෝක පාලක ධර්ම වශයෙන් හඳුන්වා ඇත.


ප්‍රශ්නය
බුදු දහමට අනුව ලෝකය විස්තර කිරීමෙහිදී ‘ස්කන්ධ පංචකය’ සමග ප්‍රභේද කොට ( බෙදා ) දක්වා තිබේ. ‘ද්වෙ මෙ ලොකා’ යනුවෙන් සඳහන් වන්නේ එයයි. ධර්මානුකූලව මෙම බෙදිම පැහැදිලි කරන්න.

පිළිතුර
ලෝකය නාම හා රූප වශයෙන් බෙදා දක්වා තිබේ. නාම යන්නෙන් වේදනා - සඤ්ඤා සංඛාර – විඤ්ඤාණ යන සතර ගැනෙන අතර රූප යන්නෙන් සතර මහා භූත සංඛ්‍යාත භෞතික අංශය ගැනේ.


ප්‍රශ්නය
කුසල හා අකුසල ක්‍රියාවලට කම්ම නිදාන හෙවත් මුල තුනක් වෙයි. ධර්ම යෙහි තීනි කම්ම නිදානාති යනුවෙන් සඳහන් වන මූල හෙවත් නිදාන මොනවාද ?

පිළිතුර
පදගතාර්ථ වශයෙන් ‘ මුල ‘ යනු මුල් යන්නයි. ගසක එහි මුල් තම පදනම හා ශක්තිය කොට පවත්නා මෙන් සියලු කුසලාකුසල කර්මයන්ට නිදාන හෙවත් මුල් තුනක් වෛයි.

අකුසල මුල් - තීනි අකුසල මුලකි

1. ලෝභය – ( ඇලීම – ආශාව )
( ලුධිභතීති ලොහො )
2. ද්වේෂය නම් සිත කෙළෙසාලන වෛරය – තරහ - ක්‍රෝධය අමනාපය යන වදනින් සඳහන් කරන ( දුස්සතීනි දොසො ) දේය.
3. මෝහය නම් මුළාවයි. ( මුය්හතීති මොහෝ ) මෝඩකම – විපරිත අර්ථය ගැනීම මෝහයයි.

කුසල මූල නම්

1. අලෝභ
2. අද්වේෂ
3. අමෝහ
යන ඉහතින් සඳහන් දුර්ගුණයන්ගෙන් වෙන්වූ සිතිවිලි වේ.


ප්‍රශ්නය
දඹදිව ධර්මාශෝක මහරජ තුමා විසින් ලක්දිව රාජ්‍ය විචාළ දෙවන පෑතිස් රජු වෙත එවන ලද පළමුවන දූත මෙහෙවර කුමක්ද ?

පිළිතුර
මිහිඳු මහරහතන් වහන්සේ දූත මෙහෙවරේ පෙරවදනක් සේ සැලකිය හැකි ප්‍රකාශනයක් රජු විසින් එවා ඇත. ප්‍රකාශයෙහි ආරම්භය අහං ච බුද්ධං ධම්මං ච සරණං ගතො උපාසකත්තං දෙසෙසිං ශක්‍යපුත්තස්ස සාසනෙ ත්වම්පි ඉමානි රතනානි උත්මානි නරුත්තම චිත්තං පසාද යත්වාන සද්ධාය සරණං වරං

මම තෙරුවන් සරණ ගියෙමි. උපාසක බවට පත්වූයෙමි. නරෝත්තමයාණෙනි! ඔබද සිත් පහදවන ඒ තෙරුවන් සරණ යන්න.


ප්‍රශ්නය
ක්‍රි. පූ. තුන්වන සියවසට අයත් සාංචි හා භාරුත් කැටයම් වල සුවිශේෂත්වය කුමක් ද ?

පිළිතුර
සාංචි හා භාරුත් කැටයම්වල සිද්ධාර්ථ බෝධි සත්වයන් වහන්සේ සහ බුද්ධරූපය නිරූපණය කර ඇත්තේ සංකේත භාවිතා කරමිනි. එකල බුදු සිරිතේ විවිධ අවස්ථා වශයෙන් බෝධීන් වහන්සේ සහ ස්ථුපයත් නිරූපනය කොට ඇති අතර ප්‍රථම ධර්ම දේශනය සඳහා ධර්මචක්‍රය සහ මුවන් දෙදෙන ඒ දෙපස සිටින බව සටහන් කොට ඇත.


ප්‍රශ්නය
බුද්ධ දේශනය සන්දිට්ඨික බව එක් ගුණයකි. එම ධර්ම ගුණය පැහැදිලි කරන්න.

පිළිතුර
‘ දිට්ඨි’ නම් දැකීමයි. මනා ( යහපත් ) දැකීම සන්දිට්ඨි නම් වෙයි. ඒ මනාදැක්මට සුදුසු වූ යමක් ඇද්ද ඒ සන්දිට්ඨිකය නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය භාවනා ප්‍රතිවෙධ වශයෙන් ද ප්‍රත්‍යක්‍ෂය ප්‍රතිවේධ වශයෙන් ද දකිනු ලබන්නේ නම් සසර බිය නැතිවී යයි. ඒ නිසාම වස්ත්‍රයට සුදුසු වූයේ වත්ථථික වන්නා සේම මනා දැක්මට සුදුසු වූයේ සන්දිට්ඨික නම් වෙයි.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.