භාවනාව
සාර්ථක කර ගනිමු
ප්‍රත්‍යවේක්‍ෂා කිරීම
පසුගිය පත්‍රය හා සම්බන්ධයි
නාවලපිටියේ අරියවංශ හිමි
ආධුනික කාලයේදී අපි බහුල වශයෙන් භාවනා කරන්ට ගියොත්, අපිට අසාර්ථක වීමේ
ඉඩකඩ වැඩියි. එහෙනම් තේරුම් ගන්න, ඕනෑම දෙයක් ආධුනික කාලේදී අපි
පුරුදුවිය යුතුයි කියන එක. විශේෂයෙන් බණ භාවනා පුරුදු වෙන කෙනෙක්,
ආරම්භයේදීම බහුල වශයෙන් කරන්නට කල්පනා කළොත්, එයා අසාර්ථක වීමේ ඉඩ කඩ
වැඩියි. හේතුව, අපි පුරුදු කරන්නේ අපිට නොපෙනෙන සිතක්, අපිට නුහුරු
දෙයක්. අපි ඒ සිතින් ම සිත කුසලයට ගන්නයි උත්සාහ කරන්නේ. සිතේ ස්වභාවය
අපි පොඩ්ඩක්වත් දන්නෙ නෑ. සිතේ ස්වභාවය නොදන්නා අය විදියට තමයි සිත
හසුරුවගන්නට අපි කල්පනා කරන්නෙ.
එහෙනම් අපි ඉතා ම ප්‍රවේසමෙන්, පරිස්සමින්, සිහි බුද්ධියෙන් කටයුතු කළ
යුතුයි. ඇයි අපි නොදන්නා දෙයක් කරන්නට යන්නේ. ඒනිසා ඒ නොදන්නා සිත
නොදන්නා සිතින් ම මෙල්ල කරගන්නයි කල්පනා කරන්නෙ. එහෙනම් අපි ඉතා ම
පරිස්සමින් ඒ සිත තේරුම් ගැනීම පිණිස පුහුණුවෙන්නට ඕන.
ආධුනික කාලේදී ඉතාමත් කල්පනාවෙන් භාවනාව ටික ටික පුරුදු වෙන්න. එවිට
ටිකෙන් ටික ටිකෙන් ටික ඒ ආධුනික බව දුරුවෙලා යයි. අපිට හුරුපුරුදු
දෙයක් බවට භාවනාව පත්වෙයි. ඊට පස්සෙ අපිට පුළුවන් බහුල වශයෙන් ඒක
පුරුදු කරන්න.
එසේම, ඒකෙන් අදහස් වෙන්නේ උදේ විනාඩි පහක් කරල, හවස විනාඩි පහක් කරන
එකද.. ? නෑ. පුහුණුව බහුල වශයෙන් කරන්න. අපි සිතමු ඔන්න භාවනා පුරුදු
වෙන්න ඉඳ ගත්තා. විනාඩි පහක් විතර අපි පුරුදු වෙනවා. ඊට පස්සෙ අපි ආපසු
ටිකක් සක්මන් කරනවා. ආපසු ඉඳගන්නවා. ආපසු ටික වේලාවක් පුරුදුවෙනවා. ආයෙ
ටිකක් සක්මන් කරනවා. ආපසු ඇවිල්ල ඉඳගෙන ටිකක් පුරුදු වෙනවා. අන්න ඒ
විදියට භාවනා කර කර පුරුදු වෙන්න.
එවිට ටික දවසක් යනවිට අපිට මේක පුරුදු වෙනව. ටික දවසක් ඒ විදිහට බණ
භාවනා කරනකොට ටික ටික සිහිය පිහිටයි. එතකොට භාවනා කරන කාලය ටික ටික
වැඩිකරගන්නට අපිට පුළුවන්කමක් එනවා. ඒ කාලය වැඩිකරගන්නේ සිහිය
දියුණුවීමත් එක්ක. භාවනා අරමුණේ සිහිය පිහිටුවගන්ට අපිට පුළුවන්වීමත්
එක්ක කාලය වැඩි කර ගන්න.
සිහිය දියුණු නොවී කාලය වැඩි කළොත් සිහිය මුලාවීමේ ඉඩකඩ වැඩියි. එතකොට
අපිට අසාර්ථක වීමේ ඉඩ වැඩියි. ඒ නිසා අපි භාවනා කරන කාලය වැඩිකරගත
යුත්තේ, සිහිය දියුණුවීමත් එක්ක. සිහිය පිහිටීමත් එක්ක. ක්‍රම
ක්‍රමයෙන් කාලය වැඩි කර ගන්න.
එවිට මේ විදියට සිහිය දියුණු කරගෙන, භාවනාව සාර්ථක කරගන්ට නම්, අපිට
හොඳ දහම් දැනුමක් තියෙන්නට ඕන. දහම් දැනුම නැතිව අපිට මුකුත් කරන්නට
බෑ. ඒනිසා, දහම් දැනුම හොඳට හදා ගන්න. දහම් දැනුමක් නැති වුණොත්, අපිට
ආධුනික බවෙන් නිදහස් වෙන්නට පුළුවන්කමක් නෑ. සෑමදාම ආධුනිකයෝ විදියට
තමයි ඉන්ටවෙන්නේ. එහෙම නැත්තම් අපි අවුල් හදා ගන්නව. ඒ නිසා දහම් දැනුම
හොඳට හදාගන්න.
ආරම්භයේදී මේ විදියට කයත්, සිතත් සැහැල්ලුවෙන්, ප්‍රාණවත්ව තියාගෙන
භාවනා කරන්නට පුරුදුවෙන්න ඕන. ටික ටික පුරුදුවෙන අතර අපේ අවධානය යොමු
විය යුතු පැති කීපයක් තිබෙනවා. භාවනා පුරුදුවෙන අතර අපි තේරුම් ගත
යුතුයි,, සිත කාමයන් ඔස්සේ දුවනවද ? සිත විසිරෙනවද ? සිත හැකිලීමට
ලක්වෙනවද? සිත ථිනමිද්ධයට ගොදුරු වෙනවද ? ඊළඟට අපි තේරුම් ගත යුතුයි මේ
කියන කරුණු වලින් බැහැරව සිත හොඳින් භාවනා අරමුණේ පවතිනවද...? කියන
කාරණාව. එවිට මෙන්න මේ කාරණා පහ හොඳින් මතක තියාගෙන, තෝරා බේරාගන්නට
වෙනවා.
කලබල වෙන කෙනෙකුට මේ විදියට මේ කාරණා තෝරා බේරා ගන්නට පුළුවන්ද? මම අද
පැයක් ඉන්නට ඕනෑ. පැය දෙකක් ඉන්නට ඕනෑ’ කියල දැඩි සිතකින් පටන්ගන්න
කෙනාට පුළුවන්ද? අමාරුයි එහෙනම් ඉවසීමකින් මම පුරුදු වෙන්නට ඕනෑ කියන
හැඟීමෙන් කටයුතු කළොත්, අපිට පුළුවන් මේව තෝරා බේරගන්න. ඊළඟ දේ තමයි
දහම් දැනුමක් නැතිව අපිට තෝර බේරගන්නත් බැහැ. අපි කුමක් ඉලක්ක කරගෙන මේ
බණ භාවනා කරනවාද කියන කාරණාව නොදැන, කරන්නන් වාලේ භාවනා කරන්නට
පටන්ගත්තොත්, අපිට පුළුවන්ද මේවා තෝර බේරගන්න? ඊළඟ දේ තමයි අපි අඛණ්ඩ
වැඩපිළිවෙළක් විදියට භාවනාව පුරුදු නොවී මේක තෝර බේරගන්නත් බෑ. සිහිය
උපදවගන්නේ නැතිව මේක තෝරගන්නත් බෑ. සිහිය උපදවා ගැනීමෙන් තමයි මේව තෝර
බේරගන්න අපිට පුළුවන්කම තියෙන්නෙ.
භාවනාව සාර්ථක කරගැනීම සඳහා අපට දහම් දැනුම හොඳට වුවමනායි. කලබලය
නැතිවිය යුතුයි. පුරුදු කරනවා කියන හැඟීමෙන් අපි කටයුතු කළයුතු වෙමු.
ටික ටික කර කර භාවනාව පුරුදුවිය යුතුයි. අඛණ්ඩ වැඩපිළිවෙළක් විදියට
භාවනාව පුරුදු විය යුතුයි. ඊළඟට විශේෂම දේ තමයි, අපි කළ්‍යාණ මිත්‍ර
ඇසුරේ පුහුණු විය යුතුයි. නොදන්නා දේ අසා දැනගන්ට තරම් නිහතමානි බවක්
තිබිය යුතුයි.අන්න ඒ කාරණා වලින් යුක්ත වුණොත්, අපිට සාර්ථකව භාවනාවක්
පුරුදුවෙන්ට පුළුවන්කම තියෙනවා.
අපි කාමයන් ඔස්සේ දුවනවාද? කියල අපි තෝර බේරගන්ට ඕන. ඊළඟට සිත
විසිරෙනවද කියලත් අපි තෝර බේරගන්ට ඕන. ඊළඟට සිත හැකිලෙනවද? කියලත් තෝර
බේරගන්ට ඕන, හඳුනගන්ට ඕන. ඊළඟට සිත ථීනමිද්ධයට ගොදුරු වෙනවද? කියලත්
හඳුනගන්නට ඕනෑ.
මේ ස්වභාවයන්ගෙන් සිත නිදහස් වුණොත්, භාවනා අරමුණේ පහසුවෙන් තියෙනව.
එහෙනම් අපි සිහිය උපදවාගෙන, කාමයන් ඔස්සේ සිත දුවනවද කියල තේරුම්ගෙන,
කාමයන් ඔස්සේ දුවන සිතට පිළියම් යොදල සිත කාමයන්ගෙන් මුදවගෙන ,භාවනා
අරමුණට සිත යොමු කරගන්ට දක්‍ෂවෙන්න ඕනෑ. ඒ වගේම සිත විසිරෙනව නම් , ඒ
විසිරීමෙන් නිදහස් කරගෙන, සිත සංසුන් කරගෙන, භාවනා අරමුණට සිත
පිහිටුවාගන්ට දක්‍ෂවෙන්න ඕන. ඒ වගේම සිත හැකිලෙනවා නම්, ඒ හැකිලීමෙන්
නිදහස් කරගෙන සිත අවදිකරගෙන, භාවනා අරමුණේ සිත පිහිටුවාගන්නට
දක්‍ෂවෙන්නට ඕන.
ඒ වගේම ථීනමිද්ධයට ගොදුරුවෙනව නම්, ථීනමිද්ධය බැහැරකරගෙන , සිත භාවනා
අරමුණට ගන්න දක්‍ෂවෙන්ට ඕනෑ. ඒ සඳහා සිහි නුවණ පාවිච්චිකරන්ට ඕනෑ.
වීරිය පාවිච්චිකරන්ට ඕනෑ. කලබල වෙනකොට මේ මොනවත් කරන්ට බෑ. දහම් දැනුම
නැති කෙනාටත් මේ මොනවත් කරන්ට බෑ, කළ්‍යාණ මිත්‍ර ඇසුර නැතිකෙනාටත් මේ
මොනවත් කරන්ට බෑ.
යම් කෙනෙක් පැයක් දෙකක් මම භාවනාවෙන් ඉන්නම් කියල වාඩිවෙලා ඉන්නවා.
එක්කො නිදාගෙන ඉන්නවා. එහෙම නැත්නම් කාමයන් ගැන සිත සිතා ඉන්නවා. සමහර
විට දකින කෙනාට පෙනෙයි. මෙයා පැයක් ඉඳගෙන ඉඳල කියල. සමහර විට පැයක්
ඉඳගෙන ඉඳල තියෙන්නේ නිදියගෙන, එහෙම නැත්නම් කාමයන් ගැන සිත සිත ඉඳල.
එහෙම නේද? සමහර අයට වෙන්නේ? පැයක් හමාරක් ඉඳගෙන ඉන්නව. නමුත් සිහිනුවණ
නෑ. එතකොට භාවනා අරමුණේ සිත පවතින්නේ් නෑ. ඒ නිසා අපි භාවනා කරන්ට
ඉඳගෙන ඉන්න කාලය නෙමෙයි වඩා වැදගත් වෙන්නෙ. කාලය ටිකක් වුණත් කමක් නෑ.
අකුසලයන්ගෙන් සිත මුදාගෙන, සිහිය උපදවාගෙන, භාවනා අරමුණේ සිත පවත්වන්ට
පුළුවන්නම්, එයා තමයි සාර්ථක, අපි සිතමු විනාඩි පහයි එයා ඉන්නෙ. ඒ
විනාඩි පහ තුළ එයාට පුළුවන්නම් අකුසලයන්ගෙන් සිත බැහැරකරගෙන, සිහිය
උපදවාගෙන භාවනා අරමුණේ සිත පවත්වන්ට, එයා සාර්ථකයි . ඒ විදිහට සිහිනුවණ
උපදවගෙන භාවනා කරන කෙනා යම් දවසක ටික ටික භාවනා කරන කාලය වැඩි කරල,
බහුල වශයෙන් ඒ භාවනාව පුරුදු කරන්ට දක්‍ෂයෙක් බවට පත්වෙනවා.
යම් කෙනෙක් ඉන්නව සිහි නුවණ උපදවාගෙන ,අකුසලයන් බැහැරකරගෙන, භාවනා
අරමුණේ සිත පවත්වන්ට දක්‍ෂවෙන්නෙ නෑ. එයා බලන්නේ භාවනා කරන කාලය
වැඩිකරන්ට. එයා වැඩිවෙලාවක් ඉඳගෙන ඉන්ට බලනව. බාහිරට පෙනෙයි මෙයා ගොඩක්
භාවනා කරනව කියල. නමුත් එයා සාර්ථක කෙනෙක් නෙමෙයි. ඒ කාරණාව කිව්වේ,
සාමාන්‍ය කෙනාගේ සිතේ අදහසක් තියෙනව, බාහිරට සාර්ථකත්වයක් පෙන්වන්ට
තියෙනවද? නැද්ද? බාහිර ලෝකයාට තමන්ගේ සාර්ථකත්වය පෙන්වන්න අදහසක්
තියෙනව.
ඒ සාර්ථකත්වය පෙන්වන්ට ගන්න වෑයමක් විදිහට සමහර විට වැඩි වේලාවක් ඉඳගෙන
ඉන්ට උත්සාහ ගනී. බලන්න සිතට තට්ටු කරල. අන්න ඒ ලාමක ඉච්ඡාව අතහරින්න.
ලෝකයට පේන්ට නෙමෙයි අපි මේව කළයුත්තේ. අපි මේව කළයුත්තේ දුකින්
නිදහස්වීම පිණිසයි.අපි මේව කළයුත්තේ යම් සාර්ථකත්වයක් තමා තුළ ඇති
කරගන්ටයි. ලෝකයට හුවා දක්වන්න කිසි දෙයක් අපිට නෑ. ඒ නිසා මම මෙච්චරක්
වෙලා ඉඳගෙන හිටියා කියන කාරණාව සාර්ථකත්වයේ රහස නෙමෙයි. අසාර්ථකවීමට
ඉඩකඩක් ඒක. එතනින් එන්නෙ ආඩම්බරය පමණයි. ඒ නිසා මම ඉඳගෙන ඉන්නෙ කොච්චර
වෙලාවක්ද කියන එකනෙමෙයි බැලිය යුත්තේ. විනාඩි පහක් හරි කමක් නෑ, මම
සිහියෙන් ඉන්නවද? කියල බලන්න. කෙනෙක් අහන්න පුළුවන් ඔයා පොඩ්ඩනේ භාවනා
කළේ කියල.
අනේ මට මෙච්චරයි පුළුවන්. මොකද කරන්නෙ කියන්ට . මම ටික ටික පුරුදුවෙනව
කියන්ට. ඉවරයි. මේකෙ රේස් දිවීමක් නෑ. තරගයට නෙමෙයි කටයුතු කළයුත්තේ.
අපි බලන්ට ඕනෑ අවම වශයෙන් හරි කමක් නෑ සාර්ථකත්වයක් ඇතිකරගන්ට. එහෙනම්
විනාඩි පහක් හරි කමක් නෑ. සිහිය උපදවගන්ට උත්සාහකරන්න. එයාමයි සාර්ථක
වෙන්නේ. සිහිය ඉපදිලා නැත්නම්, සිහිය උපදවාගෙන නැත්නම්, සිහිය
උපදවාගන්න දක්‍ෂ නැත්නම් මුලු දවස ම ඉඳගෙන හිටියත්, ඒ කෙනා වැඩක් නෑ. ඒ
නිසා විනාඩි පහ පහ හරි කමක් නෑ සිහිය උපදවාගෙන භාවනාව පුරුදුවෙන්න.
හොඳින් සිහිය උපදවාගෙන ඒ සිහිය පවත්වන කෙනාට ක්‍රමයෙන් කාලය වැඩිකරගන්ට
පුළුවන් කමක් එනවා.
මතු සම්බන්ධයි |