Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මිනිසාගේ පෞද්ගලික ජීවිතයට පමණක් නොව සමස්ත සත්ව සන්තතියටම වන්නා වූ හානිය මෙම උපාදානය නිසා බව නුවණින් විමසා දැන ක්‍රියාකොට ඔබටත් ඔබගෙන් සමාජයටත් යහපතක් කිරීමටම  අදිටන් කරගන්න.

නමෝ තස්ස භගවතෝ
අරහතෝ සම්මා සම්බුද්ධස්ස
උපාදානේ භයං දිස්වා
ජාතිමරණ සම්භවේ
අනුපාදා විමුච්චන්ති
ජාතිමරණ සංඛයේ
තේඛොප්පමත්තා සුඛිතා
දිට්ඨධම්මා භි නිබ්බුතා
සබ්බ වේර භයාතීතා
සබ්බ දුක්ඛං උපච්චඥන්ති

“සුපින්වත්නි”

සකල ජනවෙත සුපතළ මහාකරුණාවෙන් සත්වයන් ජාති,ජරා, ව්‍යාධි , මරණාදී අනේකවිධ දුක්වේදනාවන්ගෙන් මුදාගෙන උතුම් නිවන් සුව ලබාදීම සඳහා මෙහි දැක්වූ ගාථාධර්මය ඇතුළත් දේවදූත සූත්‍රය දේශනා කළසේක.

තණ්හා ජාලයෙන් ඇලෙන ද්වේෂයෙන් දූෂිත වන මෝහයෙන් මුලාවන සත්වයන් කාම, දිට්ඨි, සීලබ්බත ,අත්තවාද යන උපාදානයනගෙන් ලෝකයේ අරමුණ දැඩිකොට ගෙන ප්‍රාණඝාතාදී අකුසල් කොට නිරයේ ඉපිද මහාදුක්වේදනාවන්ගෙන් පීඩා විඳින අපමණ සත්වයන් දුටු අප බුදුරජාණන් වහන්සේ අටමහා නරකාදියේ අතිභයානක ස්වභාවය පෙන්වා වදාළ සේක.

පෙර සසරදී කළ කුසල කර්මයකින් මිනිසත් බව ලබා කයින් වදනින් සිතින් දුසිරිත් කොට මරණින් මතු නරකයෙහි ඉපදෙන සත්වයා යමලොව යමපල්ලන් විසින් යම රජහට දක්වනු ලැබේ. “දේවයන්වහන්ස, මෙම පාපී පුරුෂයා මනුලොවදී දෙමව්පියන්ට , ශ්‍රමණයන්ට, රහතන් වහන්සේලාට කළමනා පිළිපැදීමක් සිදුනොකරණ ලදී. එබැවින් මොහුට දඬුවම් පමුණුවන සේක්වායි “ යමයෝ කරුණු දක්වති.

යම රජතුමා පාපී පුරුෂයාගේ පාපකර්මය පිළිබඳ ලබ්ධියෙහි පිහිටුවා කරුණු දැක්වීම පිණිස “එම්බල පුරුෂය තා, මනුලොවදී ජරාජීර්ණ වූ පුරුෂයෙකු දැක මමද ජරාවස්වභාවකොට ඇත්තෙක්මි ජරාව නොක්ඉක්මවූයෙමි එබැවින් තිදොරින් කුසලයක් කරන්නෙමියි නොසිතුවෙහිද? නැත ස්වාමීනි මම ප්‍රමාද වූයෙමි. එසේ නම් තාගේ ප්‍රමාදයට, අකුසලයට තාවිසින්ම දඬුවම් ලබාගත යුතු වන්නේ මය යයි මෙසේ ජරාව නමැති දේව දූතයා මෙම පුරුෂයාගේ චිත්ත සන්තානයට ආරෝපනය කොට දෙවනුව ව්‍යාධිය හා මරණය නමැති දේවදූතයන් මතක් කරමින් අනුයෝගවතට නංවා කරුණු ගන්වන්නේය.

තමෙනං භික්ඛවෙ යමොරාජා තතියං දේවදූතං
සමනුයුංජිත්වා සමනුගාහිත්වා, සමනුභාසිත්වා
තුණ්හීහෝති, තමේනං භික්ඛවේ නිරයපාලා පංචවිධබන්ධනං
නාම කාරණං කරොන්ති

මෙසේ යමරජතුමාගේ පරීක්‍ෂණයෙන් තුණ්හි භූතවන පුරුෂයා අල්වාගෙන අතිභයානක වේදනාකාරී පංචවධබන්ධන වලට පමුණුවන්නේය. කාල වශයෙන් නිමක් නැති නිරාදුක් විඳින්නට සිදුවන්නේ ප්‍රාණඝාතාදී දුශ්චරිත ක්‍රියාවන්ගෙන් බව මෙම බුද්ධ දේශනාව අනුව සිහිබුද්ධියෙන් සිතා මතා ක්‍රියා කළ යුතු වන්නේය.

පුහුදුන් සෑම සත්වයාම තම තමන්ගේ ජීවිතයන් කෙරෙහි දැඩිකොට අල්ලාගන්නා උපාදාන නිසා කාම , රූප, අරූප යන භවත්‍රයේ උපදින්නට සිදුවන බව පටිච්චි සමුප්පාදයේ දැක්වේ. රූපාදී පංචකාම වස්තූන් කෙරෙහි චිත්ත සන්තානයේ බැදීම කාම උපාදාන වන අතර ආත්මයක් ලෝකයත් ශාශ්වත,උච්ඡේද යන අන්තගාමී දෘෂ්ටිය ඉතා තදින් අල්වා ගැණීම දිට්ඨි උපාදාන නම් වන්නේය. ගෝවෘත, අජවෘතාදි නයින් ආත්මශුද්ධිය වේය යන මිථ්‍යා ආකල්පයන්ගෙන් ක්‍රියා කිරීම සීලබ්බත උපාදාන නම් වන්නේය. එසේම විසි වැදෑරුම් ආත්මදෘෂ්ටිය අත්තවාද උපාදාන වන්නේය.

සෑම සත්වයාම තම ජීවනාධාරය සලසා ගන්නේ මෙකී සිව්වැදෑරුම් උපාදාන පදනම් කරගෙන බැවින් ජීවිතාන්තයේදී තවත් භවයකට අවශ්‍යවන අපේක්‍ෂා ජාලය සමඟ අවසාන චිත්තවීථි ගමන් කිරීම අනුව කර්ම නිමිති ගති නිමිති පහල වන්නේය.

කාමච්ඡන්ද නම්වූ තණ්හාව ප්‍රධාන වශයෙන් දෙයාකාරයකින් ක්‍රියාත්මක වන්නේය.මොහොතක් පාසා අලුත් දෙයක් අපේක්‍ෂා කිරීම තණ්හාව වන අතර ලද දෙය සිතින් ගතින් සුරෂිත කිරීම උපාදාන වන්නේය. තණ්හාව නිසා පර්යේෂණයත් උපාදානයෙන් සුරක්‍ෂිත කරණයත් මහා දුක් කඳකට මූලික වන්නේය.

මිථ්‍යා දෘෂ්ඨිය මූලිකව ඇතිවන දිට්ඨි, සීලබ්බත අත්තවාද යන උපාදාන නිසා ප්‍රමාද වූ සත්වයෝ ලාමක චරිත ඇතිව මරණින් මතු අපායේ වැටී අතිදීර්ඝ කාලයක් සෝක කරති. දේවදූතයන් විසින් මෙහෙයවන නුවණැති සත්පුරුෂයෝ අප්‍රමාදව කුසල් දහම් කිරීමෙහි නියලුනාහු සුගතියෙහි උපදිත්.

අනවරාග්‍රහ සංසාරයෙහි අනන්ත ජාතිවල ජාති, ජරා, ව්‍යාධි, මරණ ඇතිකරණ උපාදානයෙහි බිය දැක එයින් ග්‍රහණය නොකර සෝවාන් ආදි ආර්ය උත්තමයෝ සියලු වෙරබිය දුරුකොට සකල සංසාර දුක්ඛ ඉක්මවා නිවනින් සැනසෙත්.

අප සමාජයේ ජීවත්වනවිට අපේ චින්තාව සකස් වන්නේ පාරම්පරිකව පැවතෙන ගතිසිරිත් අනුවය. වැරදි හෝ නිවැරදි හෝ තමා තහවුරු කරගත් තීරණය අනුව මතුවට පියවර තබන මොහොතක් පාසා උපාදාන කරගන්නා කායික මානසික සංයුතීන් කෙතරම් දුරට අර්ථකාරී දැයි බැලිය යුත්තේ අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ධර්ම විනය අනුවය.

මව් කුසින් බිහි වූ සත්වයා විශේෂයෙන් මනුෂ්‍යයා හොඳ නරක තේරුම් ගන්නේ ජීවිතයේ දිගුකලක් ලබන ලද අත්දැකීමෙන් බව ප්‍රත්‍යක්‍ෂ වන්නේය. එතෙක් උපාදාන කරගන්නා කාමවස්තු නිසා සෙසු දිට්ඨි, සීලබ්බත, අත්තවාද යන උපාදානයන් නිසා විවිධ කරදර දුක් දොම්නස් ඇතිවනවා පමණක් නොව මරණින් මතු සතර අපායේ ඉපිද කල්ගණන් දුක්විඳින්නට සිදුවන්නේය.

ජාති,ජරා, ව්‍යාධි, මරණ ශෝකාදී අනේකවිධ වධවේදනාවන්ට හේතුවන්නේ උපාදානය හෙවත් පෞද්ගලිකව තමා කැමති පරිදි ලෝකය අල්ලා ගැනීමයි. මේ නිසාම ආර්ය නොව සත්වයන්ට පෘථක් ජනයයි අන්වර්ථ වන්නේය.

කාම උපාදානයට ඌනත්වයක් ඇතිවේද නැත්නම් තහවුරුවේද යන හැඟීම නිසා දිට්ඨි උපාදානයෙන් මිත්‍යා විශ්වාසයක් කරා සිත යොමුකරන මිනිසා තවත් පියවරක් වශයෙන් අත්තවාද උපාදානයටද සීලබ්බත උපාදානයටද ගමන් කරන්නේය. මෙම උපාදාන විසින් මෙහෙයවන මිනිසා ගමන් කළ යුතු මාර්ගය මඟහැර අසත් මාර්ගයේ ගමන් කරණ බැවින් ආශාලෝකය අලංකාර කරමින් කාලය, ධනය ශ්‍රමය අපතේ යවමින් විවිධාකාර දුක් කම්කටොළු තෙරපෙන්නේය.

උපන්දා පටන් නාමරූප මාත්‍රවූ මේ ශරීරය ආත්ම වශයෙන් ගැනීම නිසා එය වෙනස්වන විට ඇතිවන සන්තාපය ඉතාමත් ඝන බැවින් එය සැහැල්ලු කරගැනීමට උපකාරී කරගන්නා මිථ්‍යා ආගමික පිළිවෙත්වලින් ලෝකය වැසී ඇත.

මෙසේ මිනිසාගේ පෞද්ගලික ජීවිතයට පමණක් නොව සමස්ත සත්ව සන්තතියටම වන්නා වූ හානිය මෙම උපාදානය නිසා බව නුවණින් විමසා දැන ක්‍රියාකොට ඔබටත් ඔබගෙන් සමාජයටත් යහපතක් කිරීමටම අදිටන් කරගන්න.

ඔබ සැමට මෙලොව යහපත් ජීවිතයක් ගත කිරීමට හා පරලොව සුගතිගාමී වීමටද සසරින් එතරව ලබන සදාකාලික නිවන් සම්පත් ලබාගැනීමට මෙම ධර්මානුශාසනයෙන් හේතුවාසනා වේවා.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.