Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ආර්ය මාර්ගය කියන්නේ සත්‍ය වූ උසස්ම මාර්ගයයි. පුද්ගලයා වැරැදි මාර්ගයෙන් මුදාගෙන සුමගට නිවැරැදිමගට යාමට ආර්ය මාර්ගය පැහැදිලි කළා. නුවණැති පුද්ගලයා තාවකාලික සතුටට වඩා දිගු කාලීන සැනසුම ලබන්නට මාර්ගය සකස් කරගන්නවා. තාවකාලික සතුට තුළ හැමදාම දුක පවතිනවා. එනිසා ධර්මය තුලින් සැමදා සැනසුම් ලැබිය හැකිවේ.

නමෝ තස්ස භගවතෝ
අරහතෝ සම්මා
සම්බුද්ධස්ස
කම්මං විජ්ජා ච ධමෙමා ච ශීලං ජීවිතමුත්තමං
එතෙන මච්චා සුජ්ඣන්ති
න ගොත්තෙන ධනේනවා

(සංයුත්ත නිකාය, දෙවතා සංයුත්තය ජේතවන සූත්‍රය)

කාරුණික පින්වතුනි!

තථාගත අමාමෑණි බුදුපියාණන් වහන්සේ දේශනා කළ ධර්මය මැනවින් අවබෝධ කරගැනීමෙන් ජීවිතයේ මහා සැනසිල්ලක් ලබාගන්න පුළුවන්. සම්බුදු දහම පිළිබඳව නිතර නිතර මෙනෙහි කරන්න ඕනෑ.

සත්‍යය කුමක්ද කියල තේරුම් ගන්න නොහැකි වූ විට හැම ක්‍රියාවක්ම කරන්නේ අනවබෝධයෙනි. අනවබෝධයෙන් ක්‍රියා කරන කොට එහි අවසාන ප්‍රථිපලය දුකයි. එනිසා පින්වතුනි, සත්‍යය අසත්‍යය තේරුම්ගෙන ජීවත් වීමෙන් මෙලොව සැනසීමත් පරලොව සුගතියක් උදාකර ගන්න පුළුවන්.

ඉහතින් දක්වන ලද ගාථා පාඨය සඳහන් වන්නේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තයට අයත් ජේතවනාසූත්‍රය තුළයි . එහි සඳහන් අන්දමට කර්මයද, විද්‍යාවද සමාධියද, ධර්මයද උතුම් සීලයද තුලින් සත්වයෝ පවිත්‍රත්වයට පත්වෙයි. ගෝත්‍රයෙන් හෝ ධනයෙන් පිරිසුදු නොවේ යනුවෙන් බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලා අරභයා සැවැත්නුරව ජේතවනාරාමයේදී දේශනා කරන ලදී. තවදුරටත් ධර්මය පැහැදිලි කරන බුදුරජාණන් වහන්සේ

“ තස්මා හි පණ්ඩිතො පොසො
සම්පස්සං අත්‍ථ මත්තනො
යොනිසො විවිනෙ ධම්මං
එවං තත්‍ථ විසුජ්ඣති “

නුවණැති පුද්ගලයා තමාගේ අභිවෘද්ධිය, දියුණුව යහපත දකිමින් නුවණින් දහම් රැස් කරන්නේය. මෙසේ ඒ ආර්ය මාර්ගයේ පිරිසුදු වෙයි.

පින්වතුනි! ආර්ය මාර්ගය කියන්නේ සත්‍ය වූ උසස්ම මාර්ගයයි. පුද්ගලයා වැරැදි මාර්ගයෙන් මුදාගෙන සුමගට නිවැරැදිමගට යාමට ආර්ය මාර්ගය පැහැදිලි කළා. නුවණැති පුද්ගලයා තාවකාලික සතුටට වඩා දිගු කාලීන සැනසුම ලබන්නට මාර්ගය සකස් කරගන්නවා. තාවකාලික සතුට තුළ හැමදාම දුක පවතිනවා. එනිසා ධර්මය තුලින් සැමදා සැනසුම් ලැබිය හැකිවේ.මෙහි “ කම්මං” යන්නෙන් දැක්වූ දහම් පදය දෙස විමසා බලමු.

“කම්මස්ස කොම්හි කම්ම දායාදො කම්ම යොනි කම්ම බන්ධු කම්ම පටිසරණො...” යනුවෙන් කර්මය සසරේ කරන ලද ක්‍රියාවන්හි දායාදයක් ලෙස විස්තර කෙරේ. කර්මය සසරේ කරන ලද කුසල් අකුසල් වලට නෑකම් කියනවා. තම ඥාතියා යහපත් නම් උදවු උපකාර තිබෙනවා. ඒ ඥාතියාම තරහ වුනොත් පලිගැනීමට පවා උත්සාහ කරනවා. කර්මයත් එහෙමයි. යහපත් ක්‍රියා අප පසුපස එන සෙවණැල්ල මෙන් අපේ සැපතට හේතු වෙනවා. අකුසල කර්ම ගොනා පසුපස ඇදගෙන යන කරත්තය මෙන් වේදනාව දුක පිණිස පවතිනවා. එසේම කර්මය භවයෙන් භවයට දායාදයක් ලෙස ගමන් කරනවා. එනිසා අපට දායාද කර ගන්නා දේ හොඳ දෙයක්ම දායාද කරගන්න ඕනෑ මොකද අපි කරන“කර්ම “ අපේ ජීවිත ගමනේ අවසන් තීරණයට පවා හේතුවෙන නිසා. ඒ බැවින් නරක ක්‍රියාවෙන් ඈත් වීමට නම් යහපත් නිවැරදි ක්‍රියාවන් වෙත සිත හුරුපුරුදු කරගන්නට ඕනෑ.යහපත් නිවැරැදි ක්‍රියාවන්ට මුල් වෙන්නේ යහපත් සිතිවිලි ඊර්ෂ්‍යාව ,ක්‍රෝධය, වෛරය, පලිගැනීම තවත් කෙනෙකුට හානි කරන බැවින් අපේ සිතට සිතිවිලි නැගුණු විට අප කල්පනා කල යුත්තේ අපේ සිත තුළ ඇතිවූ අකුසල මූල කවදා හෝ අපටම දුක පිණිස පවතින බව නුවණින් කල්පනා කරන්නට ඕනෑ. එය සංසාර ගමනේ සැනසීමට හේතු වනු ඇත.

“ විජ්ජා” යන වචනයෙන් අර්ථවත් වෙන්නේ නූතන විද්‍යාව නොවේ. නූතන විද්‍යාවේ දැක්වෙන්නේ නිගමනයි. නිගමනය තවත් පරීක්‍ෂණයකින් නිරීක්‍ෂණයකින් වෙනස් වීමට ඉඩ තිබේ. එබැවින් එය පරම සත්‍යයද විය නොහැකිය. බුදු දහම විද්‍යාව පිළිබඳ දක්වන ආකල්පය නම් සත්‍යයි. එනම් ඇත්ත ඇති සැටියෙන් දැකීමයි. බුද්ධත්වයට පත්වන්නේද සත්‍යය කුමක්දැයි අවබෝධ කරගැනීමෙනි. ‘විජ්ජා සෙට්ඨං උප්පාදො” යන්නෙන් සත්‍යයේ උපත ශ්‍රේෂ්ඨයි යනුවෙන් හඳුන්වනවා. ලෝකයේ ධර්මය වෙනුවට අධර්ම යදින ඇතැම් දෙනා දකින්නට තිබෙනවා. අන්ධ භක්තියට යොමු කරන කණ්ඩායම් මගින් සත්‍ය වටහා නොගෙන අදුරට ගමන් කරනවා. බටහිර සමහර මිනිස්සු, “ විජ්ජා” හෙවත් ධර්මයේ සත්‍යතාව දිවි දෙවෙනිකොට සුරකිමින් ආධ්‍යාත්මික දියුණුවට කැපවෙනවා. එය අගය කල යුත්තකි. මනුෂ්‍යයා ධර්මයට ලංවෙන්නට ඕනෑ. සැනසුම තිබෙන්නට ඕනෑ හිතේ. කොයිතරම් ධනය බලය තිබුණත් හිතේ සැනසුමක් නැත්නම් ධනයෙන් බලයෙන් සෙතක් නැහැ. අඟහිඟකම් තිබෙන ඇතැම් මිනිස්සු හිතනවා සැපවත් ජීවිතයක් තිබෙන්නේ ධනය බලය තිබේනම් පමණයි කියලා. ඇත්තනම් එහෙම නැහැ. සැබෑ ධනවත්කම පවතින්නේ කෙනෙකුගේ හිතේ. තිබෙන සැනසීම මතයි එය මෙලොවට පමණක් නොවෙයි. පරලොව සුගතියටත් හේතුවෙනවා.

“ සමාධි” කියලා මේ ගාථාවේ දැක්වෙන්නේ තමාට නො බිඳෙන සිතක් ඇතිවෙන්නට ඕනෑ. “ සීලං” කියල දැක්වෙන්නේ තමා වරදින් මිදීමට ගන්නා උත්සාහයයි. අපේ සමාජය කොයිතරම් සිල්ගන්නවද ,සීලය රැකිය යුතුයි“ සීලං සග්ගස්ස සෝපානං” සීලය නම් නිවනට යන හිණිමගයි. ඉනිමගේ ගමන්කොට එතෙර වෙන්නට ඕනෑ. ධර්මය පහුරකට උපමා කළ බුදුන් වහන්සේ පෙන්වා දුන්නේ ධර්මය අවශ්‍ය මේ සසර කතරින් එතෙරවීම සඳහායි. සීලයෙන් සමාධියට යා යුතුයි. සමාධිගත පුද්ගලයාට කැඩෙන්න සීලයක් නැහැ. ඔහු වරදින් ඈත් වූ කෙනෙක් සමාධියේ ඉඳගන ඊටත් එහාට යන්නට ඕනෑ. ඒ තමයි ප්‍රඥාව කියල කියන්නේ. සීල, සමාධි, ප්‍රඥාවෙන් තමයි නිවන් දකින්න තිබෙන මග. එහි අනුගමනය කලයුතු කාරනා අටක් තමයි ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ දක්වලා තිබෙන්නෙ. ඒ උතුම් මග අනුගමනය කළ උතුමන් සසර කතරෙන් නිදහස් වී නිවන් දුටුවා.

අපද ඒ උතුම් නිවන් මග යාමට වැරැදි ක්‍රියාවන්ගෙන් නිදහස් වී යහපත් නිවැරැදි ක්‍රියාවන් අනුගමනය කරන්නට ඕනෑ.අවිද්‍යාව නමැති අන්ධකාරයේ නොසිට මනසින් ධර්මය දකින්නට ඇත්ත ඇති සැටියෙන් දකින්නට, ධර්මය අවබෝධ කරගන්නට ඕනෑ. මේ වස් කාලය තුල කුසල් කිරීමෙන් බිනර පුන් පොහෝ දිනය අර්ථවත් කරගෙන ජීවිත යථාර්ථය අවබෝධ කර ගැනීමට අදිටන් කරගන්න.

ඔබට තෙරුවන් සරණින් සැනසුම ලැබේවා!


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.