Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දාඨාවංශයේ විශිෂ්ටත්වය

දාඨාවංශයේ දැක්වෙන කරුණු ගැන විමසීමේදී ශාසනික තොරතුරුද බුද්ධත්වයේ සිට පරිනිර්වාණය දක්වා කරුණු සර්වඥ ධාතු පිළිබඳ විස්තර දළදා වහන්සෙගේ විවිධ වූ ප්‍රාතිහාර්යයන් , ලක්දිවට දළදා වහන්සේ වැඩම කරවීම, පැරැණි ලක්දිව සිටි රජවරුන් දළදා වහන්සේට කළ ගෞරව සහ පූජා දළදා වහන්සේ ලක්දිවට වැඩම කරවීම නිසා ඇතිවූ ප්‍රබෝධය සහ වෙනස්කම රාජ්‍යයේ තහවුරු වීමට දළදා වහන්සේ බලපෑ අයුරු යනාදිය විශේෂයෙන් සඳහන් කළ හැකිය.

පාලි සාහිත්‍ය ඉතිහාසයේ ඉතා උසස් තැනක් දාඨාවංශයට හිමිවන බව පැවසීම පුදුමයට කරුණක් නොවේ. මන්දයත් එම ග්‍රන්ථය සංස්කෘත කාව්‍ය ලක්‍ෂණ අනුගමනය කරමින් ඉතා සරල සුමට ශෛලයකින් රාජගුරු ධර්මකීර්ති හිමියන් රචනා කර තිබීම ඊට හේතුවයි.

දීපවංසය, මහා වංසය ආදී ඓතිහාසික කෘතිවල සඳහන් වන්නේ රජවරුන් කළ සේවා සහ කාලසීමාවන්ය. නමුත් දඨාවංශය රචනා වන්නේ ආගමික සිද්ධියක් මුල් කරගෙනය. එය අන්කිසිවක් නොව දළදා වහන්සේ ලක්දිවට ගෙන ඒමේ ඓතිහාසික කථා පුවතයි. මේ කෘතිය රචනා කිරීමට පසු බිම් වූයේ සිහල දළදා වංශය බව කිව යුතුය. මේ බව මහාවංශය නම් ඓතිහාසික කෘතිය මගින්ද තහවුරු වෙයි.

දාඨාවංශයේ දැක්වෙන කරුණු ගැන විමසීමේදී ශාසනික තොරතුරුද බුද්ධත්වයේ සිට පරිනිර්වාණය දක්වා කරුණු සර්වඥ ධාතු පිළිබඳ විස්තර දළදා වහන්සෙගේ විවිධ වූ ප්‍රාතිහාර්යයන් , ලක්දිවට දළදා වහන්සේ වැඩම කරවීම, පැරැණි ලක්දිව සිටි රජවරුන් දළදා වහන්සේට කළ ගෞරව සහ පූජා දළදා වහන්සේ ලක්දිවට වැඩම කරවීම නිසා ඇතිවූ ප්‍රබෝධය සහ වෙනස්කම රාජ්‍යයේ තහවුරු වීමට දළදා වහන්සේ බලපෑ අයුරු යනාදිය විශේෂයෙන් සඳහන් කළ හැකිය.

දාඨාවංශයේ පරිච්ඡේද පහක් සහ ගාථා 415 ක් අන්තර්ගත වන අතර පද්‍ය කරණයේදී උපයෝගී වන ඡන්දස් ආදී ව්‍යාකරණ රීතින්ද ඉගෙනීමට මේ කෘතිය ඉවහල් වෙයි. මෙය රචනා කිරීමේදී එළු දළදාංවශය ඇසුරු කරන ලදැයි ටර්නර් නම් පඬිවරයා පවසයි. මේ ග්‍රන්ථය කාව්‍ය ලක්‍ෂණවලින් අනූන කෘතියක් බවත්, රස පූර්ණ කෘතියක් බවත් පෙන්වාදිය හැකිය. මේ කෘතිය රචනා කිරීමේදී සංස්කෘත සාහිත්‍ය ගුරුකොට ගත්තද එහි ඇති මහා කාව්‍ය ලක්‍ෂණ සියල්ල මෙහි අන්තර්ගත වී නොමැත. මෙය රචනා කිරීමේදී යොදා ගත් සුලලිත භාෂා රටාව නිසා පාඨකයා තුළ අර්ථ රසය සහ ශබ්ද රසය ඇතිවීම ස්වභාවිකය. මේ ඓතිහාසික කෘතිය ඉංගී‍්‍රසි භාෂාවට නැගූ කුමාරස්වාමි ශූරීන් දාඨාවංශය රස පුර්ණ කාව්‍යයක් බවත් මෙය සංස්කෘත කාව්‍යයක් වූ නලොපාඛ්‍යානයට සමකළ හැකි බවත් පවසයි.

අලංකාරිකයන් විසින් නියම කළ වැනුම් විශේෂ හා රචනා ක්‍රම සෑම මහා කාව්‍යකම තිබේ. කාව්‍ය වස්තූන්හි ඇතුළත් කළ යුතු මාතෘකා රැසක් දණ්ඩීන්ට රුද්‍රා ආදී අලංකාරිකයෝ පෙන්වා දෙති. කාව්‍යයක් ආරම්භයේදී ආශිර්වාදයක් හෝ නමස්කාරයක් වස්තු නිර්දේශයක් යෙදීම, අර්ථ ධර්ම , කාම, මෝක්‍ෂ යන සතර පරිශීලනය කිරීමද, සර්ගවලට බෙදීම, ඉන්පසු වෘත්ත වෙනස් කිරීමද දණ්ඩීන් සහ සෙසු අලංකාරිකයන් විසින් සම්මත මාහ කාව්‍ය දර්ශයේදී දක්නට ලැබේ. කාව්‍යයක ඇතුළත් කළයුතු විෂයන්ද එහි දක්වා තිබේ.

නගර , සාගර, පර්වත ඍතු, උයන් කෙළි , දියකෙළි, මධුපාන, උත්සව, විවාහ, රාජ සභා , සාකච්ඡා , යුද්ධ හා ජය පරාජය කාව්‍යයට ඇතුළත් කළ යුතු බව දණ්ඩීන් සිය කාව්‍යාදර්ශයෙහි දක්වා තිබේ. මහා කවි කාලිදාසයන්ගෙන් පසු මහා කාව්‍ය රචනා කළ අය එම ග්‍රන්ථ ගතානුගතික ස්වරූපයකින් රචනා කළ බව පෙනී යයි. මෙකල රචනා කළ කෘතීන් කෙරෙහි අලංකාරිකයන්ගේ රීති බලපෑම ඊට හේතුවයි. කාලිදාසයන්ගේ මහාකාව්‍ය වූ රඝුවංශය හා කුමාර සම්භවය යන කෘතීන්ගේ ආභාෂය පසුව රචනා කළ කෘතීන්ට ලැබුණු නමුත් පසුකාලීන කවින් මහා කාව්‍ය රචනයේදී තමන්ට ආවේණික ස්වාධීන මගක් ගැනීමට පෙළඹුණහ. එකල රචිත මහා කාව්‍ය අන්‍ය කඨෝර මඟක් අනුගමනය කළ බව බොහෝ දෙනාගේ මතයයි. පාණීන්ගේ ව්‍යාකරණ එකතුවක් ලෙස ක්‍රි.පූ. 02 වන ශතවර්ෂයේ බිහිවූ පංඤාලීගේ මහාභාෂය සංස්කෘත කාව්‍යයේ ප්‍රභවය හා විකාශනයට හේතු වූ බව සඳහන් කළ හැකිය.

නීතිසතකයේ පද්‍ය පන්තිවල යොදාගත් වෘත්ත වශයෙන් මාලති, ප්‍රහර්ෂණී , ප්‍රමිතාක්‍ෂර, වසන්ත තිලකා සහ අනුෂ්ට්‍රභ්, ත්‍රිෂ්ට්‍රභ් යනාදි වෘත්ත දැක්විය හැකිය. ව්‍යාකරණ ග්‍රන්ථ රචනා කිරීමට ආය¸, වක්ත්‍ර, විද්‍යුත්මාලා, උපේන්ද්‍රවජ්‍රා, වංශස්ථවිලා, දෝධක, තෝටක යනාදී වෘත්ත රැසක් යොදා ගත යුතු බව විද්වතුන්ගේ අදහසයි. මේ වෘත්ත සංස්කෘත කාව්‍යයෙහි කෙමෙන් වැඩුණු බවට ප්‍රබල සාධක තිබේ. විවිධ හැඟීම් හා සිතුවිලි පැවසීමට සුදුසු පරිදි ලයාන්විත කාල අනුව සකස්වුණ වෘත්ත කාව්‍ය රචනයට පසු කාලීනව එකතුවූ බව සඳහන් කළ යුතුය.

කාව්‍ය සංස්කෘතියෙහි වෘත්ත සංග්‍රහ කරන ලද මේ ඡන්දස් කෘතිය වේද අංගයක් යැයි කිව හැක. ශෘංගාරාත්මක හා භාවික පද්‍ය තැනීමට පි‍්‍රය කළ කවීහු එයින් සෑහීමට පත් නොවූහ. ඔව්හු ස්ත්‍රිය හා ඇගේ රු සපුව වැනුමට තෝරාගත් වෘත්ත නිසා භාවගීත ශෛලියක් නිපද වූ බව කිව යුතුය. ඔවුන් විශේෂ පද ආශ්‍රයෙන් වෘත්ත බිහි කළ බව කනකප්‍රභා, වසන්ත තිලකා, සුග්ධරා ආදියෙන් පෙනීයයි. වේගවති, මනුකාන්තා යන වෘත්ත කාලය සඳහා යොදාගත් බව පෙනේ. සතුන්ගේ ගමන් ලීලාව හා ස්වර හඟවන වෘත්ත වශයෙන් ශාර්දූල වික්‍රීඩිත, භරමවිලසිත යන ඒවා දැක්විය හැක. සංස්කෘත කාව්‍යයේ දක්නට ලැබෙන වෘත්තයන්ගෙන් දාඨාවංශය රචනයට විශාල බලපෑමක් වූ බව සඳහන් කළ යුතුය. දාඨාවංශය රචනා කිරීමට ධර්මකීර්ති මාහිමිපාණන්ට ආරාධනා කරන්නේ පරාක්‍රම නම් සෙනෙවි කෙනෙකි. මේ ග්‍රන්ථය ආරම්භයේදී තෙරුවන් නමදින ඒ හිමියෝ දළදා වංශ කථාව අරඹමින් බුදු සිරිතේ වැදගත් අවස්ථා සැකෙවින් විස්තර කරති. විශේෂයෙන් බුදු වූ දා ලොව සිදුවූ ආශ්චර්ය සිද්ධීන් උන්වහන්සේ වර්ණනා කිරීමට අමතක නොකළහ.

“ ලභිංසු අන්ධා විමලෙ විලොචනෙ
සුණිංසු සදෙද බධිරාජි ජාතියා
ලපිංසු මුගා වවනෙත වගගුනා
චරිංසු ඛෙලා පදසාව පංගුලා “

පළමු පරිච්ඡේදයේ 40 ගාථාව සිට 48 ගාථාව දක්වා දක්නට ලැබෙන ගාථා ආශ්චර්ය සිද්ධීන් වර්ණනා කිරීමට කතුවරයා බලාපොරොත්තු විය. අතීත සිද්ධි දැක්වීමට අතීත ආඛ්‍යාතයන් යොදා ගැනීම විශේෂ ලක්‍ෂණයකි. මේ කෘතිය විමසීමේදී අර්ථ රසයෙන් සහ ශබ්ද රසයෙන් අනූන බව පැවසීම අතිශෝක්තියක් නොවේ. මෙහි බුදු සිරිත පැවසීමට කතුවරයා පද්‍ය පන්ති 98 ක් පමණ යොදා ගෙන ඇත.

දාඨාවංශයේ ධාතු කෝලාහලයේ විවිධ අවස්ථාවන් දක්වා, කුතුහලය අවුස්සා, විස්මයට පත්කොට පාඨකයාගේ ශ්‍රද්ධා භක්තිය දෙගුණ තෙගුණ කරවීමට උත්සාහ කොට තිබේ. දළදා පූජාවෙන් පසු සම්‍යක් දෘෂ්ටිය ගත්තෝ බොහෝ වූහ. ඇමැතිවරු ගිය විට ගුහසීව රජු නිවුටන් නෙරපති, ගිතෙල් දැමූ ගිනිසේ කෝපයෙන් දිලිහි දිලිහි ඔවුන් පැළලුප් නුවරින් පලායන හැටි දැක්වීමට කතුවරයා ගත් උත්සාහය ප්‍රශංසනීයයි. එමෙන්ම ගණ්ඩබ්බමූලදි යමාමහ පෙළහැර පා එහිදී තීර්ථකයන් දමනය කිරීමද ප්‍රශංසනීය අයුරින් දක්වා තිබේ. ගුහසීව රජු පෙළහැර පෑමට දළදා වහන්සේට ඉතා ගෞරවයෙන් ආරාධනා කරයි. එම සිද්ධියද ඉතා මනහර අයුරින් දක්වා ඇත.

දළදා වහන්සේ අහසට පැන නැගබුදු රැස් විහිදවමින් මනහර පෙළහර පෑ ආකාරය පද්‍ය පන්ති මගින් විස්තර කර තිබේ. එහිදී දළදා වහන්සේ ක්‍ෂණයකින් දුම් පිට කරමින්, ක්‍ෂණයකින් ගිනිගෙන දිලිසෙමින් ක්‍ෂණයෙකින් නිවෙමින් සියල්ලන්ටම පෙනෙනසේ දැක්වූ පෙළහර පාඨකයාගේ මනසේ චිත්‍රයක් සේ දිස්වෙයි. මේ ප්‍රාතිහාර්ය දුටු චින්තයාන රජු මිසදිටු බව අතහැර සම්‍යක් දෘෂ්ටියට පත්වූ ආකාරය විස්තර වෙයි. එමගින් පාඨකයා තුළ සද්ධා භක්තිය ඇති කරයි. ඒ බව දාඨාවංශයේ දෙවන පරිච්ඡේදයේ 123 වන ගාථාවෙන් පැහැදිලි වෙයි.

තෙවන පරිච්ඡේදයේ 01 සිට 46 දක්වා ඇති සියලුම ගාථා උපජාති, ඉන්ද්‍රවජ්‍රා , උපේනුවජ්‍රා යන වෘත්ත තුනකින් රචිතය. 37 වන ගාථාව උපේන්ද්‍ර වජ්‍රා යන වෘත්තයෙන් රචිතය. මේ පරිචෙඡදයෙහි සංවාද ලක්‍ෂණය රචිතය. මේ පරිච්ඡෙදයෙහි සංවාද ලක්‍ෂණය දක්නට අත. දාඨාවංශයෙහි දැක්වෙන අන්දමට පණ්ඩු රජු හා මිසදුටුවෝ මිනි ඇටයකැයි දළදාවට ගරහති. පසුව ඬවට්‍රන් විසින් රජ මිදුලෙහි මහත් අඟරු වළක් සාදා එම අඟරු වලෙහි ඒ දළදා වහන්සේ දැමූහ. ඒ අවස්ථාවේ වළ මත්තෙන් පැන නැගුණ දළදාව පියුම මත පිහිටා සුදු බුදුරැස් විහිදුවමින් සියලුම දිශාවන් බැබැළවූහ.

දළදා වහන්සේට දෙවැනිව දුන් වධය වූයේ කිණිහිරක තබා තැළවීමය. එමෙන්ම විථිය මැද වළක් හාරා ඇතුන් ලවා පාගවයි. එසේම කුණුදිය පිරුණු වළක හෙවත් අගලක දම්මවයි. මේ විස්තරය අසෙන්නෙකුට ඇතිවන්නේ පහන් සංවේගයකි. එමෙන්ම ඉමහත් ශ්‍රද්ධාවක් භක්තියක් අවසානයේ ඕනෑම අයකුට ඇතිවෙයි. අසිරිමත් දේවලින් ප්‍රමුදිත වූ ඇමැතියන් පණ්ඩු නරෙන්ද්‍රයාට නිහතමානීව තර්කාණුකූ®ලව කරුණු පහදයි. මෙයද මේ කෘතියෙහි වටිනාකම වැඩිකරන කාරණයකි.

සිවුවැනි පරිච්ඡේදය ඇරැඹෙන්නේ ජනපි‍්‍රය මාලනී වෘත්තයෙනි. මේ පරිච්ඡේදය 01 සිට 56 දක්වා ගාථා රචනා කර ඇත්තේ මේ වෘත්තයෙනි. මෙහි 46 වන ගාථාව පිළිබඳව විමසීමේදී දන්ත කුමරු සහ හේමමාලා කුමරිය ලක්දිවට පැමිණි පසු භයංකර රාත්‍රිය නිරූපණය කර ඇත්තේ අසන්නා තුළ බියක් ඇතිවන අයුරනි. එයින් පුද්ගලයා සන්ත්‍රාපයක්ද ජනිත කරයි. මහ මුහුද මැද භයංකර රාත්‍රිය ගෙවා නාගයන් පසුදා දළදා පුදට එන්නේ සිය ගණනක් පෙන මඩලු මවාගෙනය. සමහර දිව්‍ය බලය ඇත්ත වූ නාගයන් සුවඳමල් ඇතිවද, මැණික් , පහන් ඇතිවද, කඩුපුල්මල් ඇතිවද, පැමිණ සිටියහ.

මේ චමත්කාර ජනක අවස්ථාව වර්ණනා කරන කවියා තමාගේ කවිත්වය පිළිබඳ හසල බුද්ධිය පෙන්නුම් කරයි. දාඨාවංශයේ පංචම පරිච්ඡේදයේ දැක්වෙන ගාථා දෙස බැලීමේදි පෙනීයන්නේ පළමු ගාථාවේ සිට 68 වන ගාථාව දක්වා සියල්ලම වසන්ත තිලකා, නම් වෘත්තයෙන් රචනා කොට ඇති බවයි. එම පරිච්ඡේදයේ 14 වන ගාථාව මෙයට හොඳ නිදසුනකි. මෙහිදී නොදැකිය හැකි දළදා වහන්සේ දැක සතුටු කඳුළු හෙලමින් නමස්කාර කළ අන්දම දක්වන විස්තරය අතිශයින්ම අගය කළ හැකිය. මෙහිදීද කතුවරයා පාඨකයා තුළ ශ්‍රද්ධා භක්තිය ජනිත කරයි.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.