පිණ්ඩපාත චාරිත්‍ර
පරිවර්තනය
සෙනෙවිරත්න මහලේකම
මෙය 2011 ජුලි 14 වන දින බුදුසරණ පුවත් පතෙහි ඉංගිරිසියෙන් පළ වූ “The
Custom of Pindapatha“ නමැති ලිපියෙහි සිංහලානුවාදයකි.
පිණ්ඩපාතය යනු පිඩු සිඟීම සඳහා වඩිනා භික්‍ෂූන් වහන්සේ නමකට පිළිගන්වනු ලබන
ආහාරයයි. බුදුන්වහන්සේ පහළවීමටත් ප්‍රථම කාලයේ සිටම ශ්‍රමණයන් වහන්සේලා
පිඬුසිඟීමෙහි යෙදුණු බව පෙනේ. එබැවින් බෞද්ධ භික්‍ෂූන් පිණ්ඩපාතයේ
වැඩීම බුදුන්වහන්සේගේම නියමයක් නොවේ.
ආදි කාලීන ඉන්දීය බ්‍රාහ්මණයෝ කාමුක ගෘහස්ථ ජීවිතයක් ගත කළහ. ඔවුහු
සැදැහැවතුන් දෙන වස්තුව ද පිළිගත්හ. එහෙත් ශ්‍රමණයන් නමින් හැඳින්වෙන
පිරිස සම්පූර්ණයෙන් ම ගිහි ජීවිතයෙන් ඈත් වූහ. බුදුන් වහන්සේද ශ්‍රමණ
පිළිවෙතට ඇතුළත් වූ අතර උන්වහන්සේ පිණ්ඩපාතය අනුමත කළා පමණක් නොව
‘භික්‍ෂුව‘ නමින් හැඳින්වෙන පැවිද්දන්ට මැනවින් සංවිධානය කළ විනය
පද්ධතියක් ද සකස් කළහ. ‘භික්‍ෂු’ යන්නෙහි පදගතාර්ථය නම් ‘පිණ්ඩපාතයෙන්
යැපෙන්නෝ’ යනුයි. එහෙත් බුද්ධ ධර්මයේ එන භික්‍ෂු යන්නෙහි විශේෂත්වයක්
ඇත.
පිණ්ඩපාත චාරිත්‍ර
තමන්ගේ පන්සලට හෝ අසපුවට මිනිසුන් විසින් ගෙනෙන දානයක් පිළිගැනීමට
මෙහිදී කිසිම බාධාවක් නැත. එසේම දානය සඳහා සැදැවතුන්ගේ ගෙවල්වලට වැඩීමට
ද බාධාවක් නැත. එහෙත් පිණ්ඩපාතයෙහි වැදගත්කම රඳා ඇත්තේ භික්‍ෂූන්
වහන්සේලාගේ ගුණ ධර්ම වර්ධනය කර ගැනීමට ඇති ඉඩකඩ අනුව ය. සෑහීමකට
පත්වීම, නිහතමානීකම ආදි ගුණධර්ම වර්ධනයට මෙන්ම පොහොසත් දුප්පත්
හැමදෙනාටම පින්සිදුකර ගැනීමට ඉඩ කඩ ලබාදීම මෙහි දී වැදගත්කමයි.
‘පිඬුසිඟායාම’ යනු සාමාන්‍ය හිඟාකෑමක් නොවේ. එය ඊට සම්පූර්ණයෙන්
වෙනස්වූවක් වන අතර සුවිශේෂී අරුතක් ද ඇත්තකි. සූත්‍ර පිටකයේත්, විනය
පිටකයේත් එන පිණ්ඩපාතය පිළිබඳ බුදුන්වහන්සේගේ ඉගැන්වීමෙන් එය මනාව
පැහැදිලිව තේරුම් ගත හැකි ය.
1. පිණ්ඩපාතයේ යන භික්‍ෂුව තනිපට සිවුරත් දෙපට සිවුරත් යන දෙකම දැරිය
යුතු ය.
2. පාත්තරය වමතින් ගෙන නාභියෙන් ඉහළ කුසමත තබා සිවුරෙන් වසාගත යුතු ය.
3. භික්‍ෂුව ගමන් කිරීමේ දී තමාගේ දකුණත මැනවින් සිවුර රඳවා ගැනීමට
භාවිත කළ යුතු ය.
4. භික්‍ෂුව සන්සුන්ව ගම දෙසට පියවර තබන්නේ වියගහක දුර ප්‍රමාණයට ඉදිරි
බලාගෙනය.
5. පොහොසත් අයය දුප්පත් අයය යයි ද නොසළකා එසේම උසස් කුල පහත් කුල යැයි
ද නොසලකා සියලුම නිවෙස් වලට පිඬු පිණිස භික්‍ෂුව ගමන් කරයි.
6. ආහාරයේ රසවත් බව ද නොසලකා, කවරෙකු විසින් දෙන්නේ දැයිද නොසලකා
භික්‍ෂුව සැදැහැවතුන් විසින් දෙනු ලබන ආහාර පිළිගත යුතු ය.
7. පිඬු පිණිස වඩිනා භික්‍ෂූන් වහන්සේ ගෙදරට තරමක් ඈතක දුරින් ඉදිරිපස
දොර පැත්තේ සිටගත යුතු ය.
8. ඔහු වහා ඇතුල් නොවිය යුතු අතර වහා පිටත්ව ද නොයා යුතු ය.
9. ගෙදර ඇත්තන්ට බඹයක් පමණ ඈතින් ළංව ඔවුන් අහර පිළිගැන්වීම සූදානම්
දැයි දැනගත යුතු අතර ඔවුන් ඒ සඳහා අකමැති නම් එතැනින් පිටව යා යුතු ය.
10. අහර පිළිගැනීමේ දී භික්‍ෂුව පාත්‍රය දෑතින්ම අහර පූජා කරන්නා වෙත
ඉදිරිපත් කළ යුතු ය.
1. භික්‍ෂුව, අහර පිළිගන්වන්නාගේ මුහුණ දෙස නොබැලිය යුතු ය, පිළිගන්වන
ඔහු හෝ ඇය සමඟ සිනාසීම හෝ කතා කිරීම නොකළ යුතු ය. විශේෂ ආහාරයක් ගැන ද
කතා නොකළ යුතු ය.
12. බත් පිළිගැන්වූ බැතිමතා වෑංජනයක් පිළිගැන්වීමට සූදානම් වන්නේ නම්
භික්‍ෂුව ඊට සූදානම් විය යුතුය, එහෙත් ඊට අකමැත්තේ නම් එතැනින් ඉවත්ව
යා යුතු ය.
13. පාත්තරයෙන් බාගයක් පිරෙනතුරු පමණක් පිණ්ඩපාතය පිළිගෙන, අවස්ථාව
පැමිණෙන විට පිණ්ඩපාත චාරිකාව නැවැත්විය යුතු ය. කෑදර කම හෝ බොහෝ ආහාර
ලබාගැනීම භික්‍ෂුවකට සුදුසු නොවේ.
14. අවශ්‍ය තරමට ආහාර ලැබුණ විට භික්‍ෂුව තමාගේ පන්සලට හෝ වාසස්ථානයට
යා යුතු ය. බඩගිනි දැනුනේ නම් හා ආපසු පන්සලට යාමට තරම් වේලාව නොසෑහේ
නම්, ගසක් මුල හෝ ගල් ගුහාවක් ළඟ, පානය කිරීමට පැන් ලැබෙන්නේ නම් පමණක්
නැවතී ආහාර වැළඳිය හැකි ය.
15. මිනිසුන් ගැවසී ඇති තැන්වල හෝ වීදිවල ආහාර ගැනීම නොකළ යුතු ය.
16. පුරුද්දක් වශයෙන් ම බීම සඳහා ගන්නා ජලය පෙරහනකින් පෙරාගත යුතු ය.
පෙරහන්කඩක් නොලැබෙන්නේ නම් සිවුරු කොනකින් වත් ජලය (පැන්) පෙරා ගත යුතු
ය.
17. යම් කිසි පන්සලක භික්‍ෂූන් වැඩි ප්‍රමාණයක් සිටින්නේ නම් ඔවුන් හැම
දෙනාට ම පිණ්ඩපාතේ එකවර වැඩිය හැකි ය. අඩි 6 ක් හෝ 7 ක දුර ප්‍රමාණයක්
ඇතිවනසේ, එක එක්කෙනා පිටි පසින් ජ්‍යෙෂ්ඨත්වය අනුව පෙළක් සෑදී එකම
මාර්ගයේ ගමන් කළ යුතු ය.
18. අවශ්‍ය පමණ අහර ලැබුණු භික්‍ෂුව ආපසු පන්සලට ගොස් ආහාර වැළඳීමට
සූදානම් කර ගනියි.
19. සියල්ලටම පසුව ආහාර ගන්නා භික්‍ෂූන් වහන්සේ දාන ශාලාව පිරිසුදු කළ
යුතු ය.
20. ආහාර ඉතිරිවුවහොත් ඒවා සතුන්ට හිඟන්නන්ට හෝ වෙනත් අවශ්‍ය කෙනෙකුට
හෝ දිය හැකිය.
21. ආහාර ඉවත දැමීම හෝ විනාශ කිරීම නොකළ යුතුය. යම් කිසි භික්‍ෂුවකට
ආහාර ඉවත දැමීමට සිදුවුවහොත් ඒවා තණකොළ නැති බිමක තැන්පත් කිරීමට හෝ
සතුන් නොමැති ජලයකට දැමීම හෝ කළ හැකි ය.
22. උදෑසන හීල් දානය සඳහා පිණ්ඩපාතයට වඩින්නේ, හිරු උදාවෙන් ස්වල්ප
වේලාවකට පසු ය. දිවා ආහාරය සඳහා දවල් කාලයේ පිණ්ඩපාතයේ ගොස් මධ්‍යහ්නයට
පෙර දන් වළඳා අවසන් කළ යුතු වෙයි. හිරු අවරට ගිය පසු පිණ්ඩපාතයේ
නොයන්නේ සන්ධ්‍යාවේ ආහාර ගැනීම විකාල භෝජනයක් වන බැවිනි.
23. බුද්ධ කාලයේ දී භික්‍ෂූන් පිණ්ඩපාතයේ යන ලද්දේ දවසකට එක් වරක් බව
බෞද්ධ ත්‍රිපිටකයේ උදාහරණ වලින් දැක්වේ.
24. බුද්ධ නීති අනුව ගණිකාවන් සිටින තැන්වලටත් සුරාසැල්වලටත් භික්‍ෂූන්
වහන්සේලා පිණ්ඩපාතයේ නොගියහ. නොදැනුවත්කමින් එබඳු තැනකට ගියහොත්
භික්‍ෂුව වහා ඉන් පිටව යා යුතු ය.
25. දන් දීමට කැමැත්තක් නොදක්වන මිනිසුන් වෙතත්, ශ්‍රද්ධාවන්තකමක්
නොදක්වන මිනිසුන් වෙතත්, භික්‍ෂූන් වහන්සේලා නොවැඩිය යුතු ය.
පින්ඩපාතේ වඩිනා භික්‍ෂූන් වහන්සේලා සඳහා බුදුරජාණන් වහන්සේ විසින් මේ
පනවන ලද මාර්ගෝපදේශයයි.
අභිනිෂ්ක්‍රමණය
සිද්ධාර්ථ කුමාරයාගේ මහාභිනිෂ්ක්‍රමණය සිදුවූයේ ඇසළ මාසයේ පුරපසළොස්වක්
පොහෝ දිනයේදීය. එදා පළමුවරට සිද්ධාර්ථ බෝධිසත්වයන් පිඬුසිඟා වැඩි
අවස්ථාවයි. එදා පළමුවර පිණ්ඩපාත දානය වැළඳීමට සූදානම් වෙද්දී පිණ්ඩපාත
දානයේ මිශ්‍රණය කෑම රුචියෙන් තොර ඉතාම පිළිකුල් දර්ශනයක් විය.
රජමාලිගයේ මිහිරි ආහාරපානයෙන් යුක්ත භෝජන වළඳමින් සිටි උන්වහන්සේට මෙය
පිළිගැනීමට සිදු විය. වැළඳීමට ලැබී තිබුණු ආහාරයේ පිළිකුල යටපත්කොට ගෙන
බුදුන් වහන්සේට මේ ප්‍රථමවරට ලැබුණු පිණ්ඩපාත දානයේ රසවිඳීමට සිදු වූ
අවස්ථාවයි.
බුද්ධත්වයෙන් පසු බුදුන් වහන්සේ ස්වකීය ඥාතීන් දක්නට කිඹුල්වත් නුවරට
වැඩියහ. ඒ අවස්ථාවේ උදෑසන දානය සඳහා කිසිවෙක් බුද්ධ ප්‍රමුඛ සංඝයා
වහන්සේට ආරාධනය නොකළ බැවින් උන්වහන්සේ පිඬු සිඟා වැඩි සේක. මේ අවස්ථාවේ
‘සාක්‍ය කුලයේ ම උපන් බුදුන් වහන්සේ සාක්‍ය කුලයටම අවමන් කරන්නේ
මන්දැයි” ශුද්ධෝදන රජතුමා ඇසීය. එවිට බුදුන්වහන්සේ ප්‍රකාශ කෙළේ පූර්ව
කාලයේ බුදුවරුන් විසින් අනුගමනය කළ පිළිවෙත ම තමන් විසිනුත් අනුගමනය කළ
බව ය.
රොබට් නොක්ස්
දෙවෙනි රාජසිංහ නමැති සිංහල රජු සමයේ මහනුවර ප්‍රදේශයේ සිරභාරයේ නැවතී
සිටි රොබට් නොක්ස් නැමති ඉංගී‍්‍රසි ජාතිකයා විසින් ලංකාව පිළිබඳව ලියන
ලද පොතෙහි එන පිණ්ඩපාත විස්තරයක ඇතුළත් වී ඇති අදහස මෙසේ ය.
“ලංකාවේ පුදුම හිඟන්නෝ කොටසක් වෙසෙති.ඔවුහු හිස මුඩු ගා ඇති අතර එකම
ආකාරයේ ඇඳුමක් අඳිති. රවුම් පාත්තරයක් අතින් ගෙන ඔවුහු ගෙයින් ගෙට
හිඟමනේ යති. මොවුන් පිළිබඳව ඇති පුදුම දෙය නම්, මිනිසුන් ඔවුන් ළඟ ඇති
වටිනා ආහාර ඔවුනට දෙන අතර, අවසානයේ දී ඔවුනට වන්දනා මාන කිරීමයි.”
ප්‍රදේශයක සිරිත් විරිත් නොදන්නා අය විසින් පවසනු ලබන මේ අදහස කොතරම්
රසවත්ද?
වර්තමානයේ දී ලංකාව ආදි ථෙරවාදී රටවල භික්‍ෂූන් වහන්සේලාත් ගිහි
පිරිසත් මේ චාරිත්‍රය සලකනු ලබන්නේ ඉතා උසස් මට්ටමක කුසලයක් ලබාදෙන
බවය. නමුත් අද පන්සලටම ආහාර ගෙනැවිත් දෙන බැවින් මේ පිළිබඳව දක්වන්නේ
ඉතා අඩු සැලකිල්ලකි. එසේ වූවත්, අද රටවල් වශයෙන් ද, ප්‍රදේශ වශයෙන් ද,
ජාති වශයෙන්ද, විවිධ ජන සමාජ වශයෙන් ද මේ චාරිත්‍රය පිළිබඳව බොහෝ
වෙනස්කම් දක්නට ලැබේ. මෙකල බොහෝ විට උත්සව ස්වරූපයෙන් පමණක් පිඬු සිඟා
යෑමේ සිරිත සංවිධානය කරති. 2600 බුද්ධජයන්ති වර්ෂයේ දී පිණ්ඩපාත චාරිකා
බොහෝ කොට අපට දකින්නට ලැබී ඇත. බුද්ධකාලයේ දී නම් පිඬු සිඟා වැඩීම
පුරුද්දක් වූවා මිසක් උත්සවශ්‍රීයෙන් පිණ්ඩපාත චාරිකාවල යෙදුණු බවක්
පෙනෙන්නට නැත.
සෑම බෞද්ධ සංස්ථාවක (නිකාය) ම එකම ආකාරයේ සම්ප්‍රදායක් නොපවතී. සමහර
සංස්ථාවල ඒ ඒ අයටම පොදු වූ නීති හා චාරිත්‍ර භාවිත කෙරේ. සමහරු දෙඋරම
වසා සිවුරු හඳිති. සමහරු එක් උරයක් වසා සිවුරු හඳිති. කෙසේ නමුත්
අර්ථාන්විත බෞද්ධ චාරිත්‍ර ක්‍රමයක් අනුගමනය කිරීම පිළිබඳව අපට සතුටු
විය හැකි ය.
යෝජනාවක්
වසර 2600 ක් ගත වූ පසුගිය සම්බුද්ධ ජයන්ති දිනයේදීත්, ‘පිළිවෙතින් පෙළ
ගැසීම’ හරි හැටි සිදු වූ බවක් නොපෙනේ. පිණ්ඩපාත චාරිත්‍රයට විධිමත් පණ
ගැන්වීමක්වත් සිදුවූයේ ද යන්න සැක සහිත ය. භික්‍ෂූන් වහන්සේටත්
ගිහියාටත් යන දෙදෙනාටම දුෂ්කරතා බොහෝ ය. වැඩ වැඩිය. මෛත්‍රී භාවනාවේ
සඳහන් ‘අප්පකිච්චෝ ච’ යනුවෙන් එන අල්ප කෘත්‍යය (වැඩ අඩුකම) යන්න මේ
යුගයේ දී නම් කාළඟවත් නැති තරම් ය. නගරබද ගෙදරකට භික්‍ෂූන් වහන්සේ නමක්
පෙරවරුවේ පිඬු සිඟා වැඩියොත් ඒ ගෙදර වැඩිහිටියෙක්වත් ළමයෙක් වත්
නොසිටිනවා ඇත. සාමාන්‍ය ගම්බද තත්ත්වය ද මෙසේ ය. ඈත පිටිසරබද බොහෝ
දෙනෙකුට පන්සලට දානයක් දීමටවත් වත් කමක් නැත. එහෙත් ඒ අතරම පිණ්ඩපාතයේ
වඩිනා හිමි නමකට බත් හැන්දක් බෙදා දී පිනක් ලබා ගැනීමට කැමති මෑණි
කෙනෙක් සිටින්නට බැරි කමක් නැත. එබැවින් සතියකට එක්වරක් හෝ සති දෙකකට
එක් වරක් වත් භික්‍ෂූන් වහන්සේ නමක් පිඬු පිණිස ගමට වඩින්නේ නම්
උන්වහන්සේගේ බඹසර රැකීමටත්, ගිහියාට බත් හැන්දක් දී පිනක් ලබා ගැනීමටත්
හැකිවනු ඇත. |