Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

“අද සිටින ඔබ ඊයේ සිටි ඔබගේ ප්‍රතිඵලයකි. හෙට ඉපදෙන ඔබ නිර්මාණය කරන්නේ අද සිටින ඔබ විසිනි. අයහපත් චේතනාවල ප්‍රතිවිපාක ඔබ පසුපස පැමිණෙන්නේ ගොනා පසුපස යන කරත්තය විලාශයෙනි. පිවිතුරු සිතක ප්‍රතිඵලය, ඔබගේ සෙවණැල්ල මෙන් ඔබ සමඟ පැමිණෙනු ඇත. නිර්මල සිතකට වඩා ඔබ වෙනුවෙන් යහපතක් කළ හැකි වෙන කිසිවෙකු මිහිපිට නැත. දෙමාපියන්, නෑදෑයින් මිතුරන් ‍ෙම් කිසිවකු හට එය කළ නොහැකියි. හොඳින් හික්ම වූ සිතක් ජීවිතයට සොම්නස ගෙන එයි.”

භාවනාවේ යෙදීම පහසු නැත. එය කාලය හා ශක්තිය වැයවන කාර්යයකි. එයට ධෛර්යය, උනන්දුව, මෙන්ම විනය ද අවශ්‍ය වේ. සාමාන්‍යයෙන් අප පි‍්‍රය නොකරන , හැකි සැම අවස්ථාවකදීම මඟ හැරීමට උත්සාහ කරන පෞද්ගලික ගුණාංග රාශියක් මෙයට අවශ්‍ය වේ. මේ සියලු ගුණාංග “ගම්ප්ශන්” (gumption) (නොහොත් එඩිතර බව) යන ඇමෙරිකානු වචනයෙන් සාරාංශ කළ හැක. භාවනාවට “ එඩිතර බව” අවශ්‍ය වේ.

භාවනා නොකර රූපවාහිනිය නැරඹීම සැබැවින්ම මීට වඩා ඉතාමත් පහසු කාර්යයකි. ඉතින් භාවනා කිරීම සඳහා වෙහෙස වන්නේ කුමකටද, විනෝද විය හැකිව තිබියදී කාලය හා ශක්තිය භාවනාව සඳහා නාස්ති කළ යුත්තේ ඇයි? පිළිතුර ඉතාමත් සරලය. ඒ ඔබ මනුෂ්‍යයෙකු වූ නිසයි. ඔබ මනුෂ්‍යයකු වූ නිසාම කිසිවිටක ඔබ හැර නොයන, ජීවිතය පිළිබඳ වූ කිසියම් අතෘප්තිමත් හැඟීමක් ඔබ තුළ ද ඇත. ටික කලකට එය ඔබගේ දැකීමෙන් සඟවා යටපත් කළ හැකියි. හිත ඉන් ඉවතට යොමුකර පැය ගණනාවක් වුවද තබා ගත හැකි නමුදු, එය නොවරදවා ම, බොහෝ විට නොසිතූ නොපැතූ අවස්ථාවක, ආපසු එයි. හදිසියේ ම ඔබ අවදිව ,ජීවිතය දෙස සුපරික්‍ෂාකාරිව බලා, ඔබ සිටින තත්ත්වය තේරුම් ගනු ඇත.

මුළු ජීවිත කාලයම ඔහේ ගෙවී යන බව ඔබට එවිට තේරුම් යනු ඇත. ඔබ පිටතින් හොඳ මුහුණක් පෙන්වයි. කෙලෙස හෝ තමන්ගේ අවශ්‍යතාවයන් සපුරාගෙන, සුවසේ ජීවත්වන බව පිටතින් පෙන්වයි. නමුත් බලාපොරොත්තු සුන්වූ කාල පරිච්ඡේදයෙන් හා ජීවිතය ඔබ වටා ගිලා බසින බව දැනෙන අවස්ථාවන් පිළිබඳ මතකයන් , ඔබ රහසක්ව තබා ගනියි. ඔබ අවුල් ජාලාවක පැටලී ඇති බව ඔබ දනියි. එහෙත් ඔබ එය දක්‍ෂ ලෙස සඟවා ගනියි. ඒ අතරම මීට වඩා වෙනස් ජීවිත ක්‍රමයක්, වඩා යහපත් ලෙස ලෝකය දැකිය හැකි ක්‍රමයක් තිබිය යුතු බව ඔබට ඉවෙන් මෙන් දැනේ. අතරින් පතර, අහම්බෙන් මෙන් ඔබට එය හසුවෙයි. ඔබ රැකියාවක් ලබා ගනී. ඔබ ආදරයෙන් බැඳෙයි. ඔබ ජයග්‍රහණය කර ඇත. ටික කලකට ජීවිතය වෙනස් වෙයි. පසුගිය නරක කාලය සහ දුෂ්කරතා ඉවත් වී ජීවිතයේ සැපවත් බව හා පැහැදිලි බව ඔබට දැනෙයි. ඔබගේ අත්දැකීම්වල සම්පූර්ණ ස්වභාවය වෙනස් වී ඔබ මෙසේ කියනු ඇත. “ හරි, දැන් සියල්ල සම්පූර්ණයි. මට සතුටින් ඉන්න හැකියි” නමුත් , එයද සුළඟෙ පාවී යන මීදුමක් සේ කෙමෙන් ඉවත් වී යයි. ඔබට ඉතිරිවන්නේ මතකයක් පමණක් හා කොතැනක හෝ වැරැද්දක් ඇති බවට යම්තම් දැනීමක් පමණි.

ගැඹුරුවූත් සංවේදීවූත් අංග සම්පූර්ණ වෙනත් තලයක් ජීවිතයට ඇති බව ඔබට හැඟෙයි. කෙසේ හෝ එය ඔබට නොපෙනේ. ඔබ එයින් වෙන්කොට ඇත. ජීවිත අත්දැකීම්වල මිහිර ඔබගෙන් අවුරා දමා තිබේ. ඔබ ජීවිතය නියමාකාරයෙන් අත්විඳින්නේ නැත. නැවතත් ඔබ අසාර්ථක වී ඇතැයි හැඟේ. මේ අපැහැදිලි දැනුම ද ගෙවී ගොස් ඔබ නැවත පුරුදු යථාර්ථය ඉදිරියේම සිටිනු ඇත. ලෝකය කවදත් දක්නා පරිදි දූෂිත තැනකි. එය උද්වේගකර හැඟීම් හා බැසීම්වලින් යුක්තය. ඉහළට යාමේ බලාපොරොත්තුවෙන් නමුත් ඔබ වැඩිවේලාවක් ගත කරන්නේ සෝපානයේ පහළ අඩියේය.

ඔබට සිදුවී ඇත්තේ කුමක්ද? ඔබගේ සිහිය විකල්වෙලා ද ? නැත. ඔබ හුදෙක්ම මනුෂයෙක් පමණි. සෑම මිනිසෙකුටම වැළඳෙන රෝගයකින් ඔබ ද පෙළෙයි. එය අප සැම දෙනා තුළ ජීවත්වන අත් සමූහයකින් යුත් මාරයෙක් වැනියි. නිදන්ගත ආතතිය, ඔබගේ හිතවතුන් ද ඇතුළු අන් අය කෙරෙහි සැබෑ දයාවක් නැතිවීම, හැඟීම් තදවී අවහිර වී ඇති සේ දැකීම සහ සංවේදී බව මුළුමනින්ම නැතිවීම යනාදිය නිසා, අප කිසිවෙක් මුළුමනින්ම මෙම අසනීපයෙන් මිදී නැත. අපි එය ප්‍රතික්‍ෂේප කරමු. යටපත් කරමු. එබන්දක් නැති බව අඟවමින් එයින් සැඟවී සිටීමට මුළු මහත් සංස්කෘතියක් නිර්මාණය කරමු.

අනෙකුත් ඉලක්ක, ව්‍යාපෘති හා තනතුරු මගින් අපගේ අවධානය වෙනතක යොමු කිරීමට ප්‍රයත්න දරමු. එහෙත් අපගේ සැම සිතිවිල්ලක් හැඟීමක් හා දැනීමක් යටින්ම එය නිරන්තරයෙන්ම පවතියි. “ තව හොඳ මදි, තව වැඩිපුර තිබිය යුතුයි. මීට වඩා හොඳ විය යුතුයි” කියා ඔබට පවසන වචනයෙන් තොර හඬයි ඒ. එය මාරයෙකි. ඉතා සියුම් ලෙස සැම තැනකදීම පහළවන මාරයෙකි.

සාදයකට යන්න, මතුපිටින් විනෝදය, හා ඊට යටින් දිවෙන බය කියාපාන ඒ සිනහවට, ඒ දුබල කටහඬට කන්දෙන්න. එහි ඇති ආතතිය හා පීඩනය හඳුනාගන්න. කිසිවෙක් සැබෑ ලෙස මානසික විවේකයෙන් පසු නොවෙති. ඔවුහු එසේ අඟවති. ක්‍රීඩාවක් නැරඹීමට යන්න. ක්‍රීඩාගාරයේ සිටින ක්‍රීඩාලෝලීන් දෙස බලන්න. අහේතුක කෝපය දකින්න. උනන්දුව හෝ කණ්ඩායම් හැඟීම යන වෙස්මුහුණ තුළ සැඟවී ඇති, බුබුළු දමා පිටාර ගලන, පාලනය කළ නොහැකි ඉච්ඡාභංගත්වය දකින්න. නින්දා කිරීම්, නම්පට බැඳීම , හූ කීම් හා නොහික්මුණු මමත්වය, කණ්ඩායම් පක්‍ෂපාතීත්වය ලෙස ප්‍රකාශ වෙයි. ක්‍රීඩාගාරයේ පවතින බීමත්කම් මෙන්ම ගුටිබැට හුවමාරුව, මොවුන් මේ කරන්නේ ඇතුළාන්තයේ පවතින ආතතිය පිට කිරීමයි. මොවුහු තමා සමග සාමදානයෙන් සිටින පුද්ගලයෝ නොවෙති. රූපවාහිනි ප්‍රවෘත්ති ප්‍රකාශය නරඹන්න. ජනපි‍්‍රය ගීතයක පදමාලාවට සවන්දෙන්න. සෑම මාධ්‍යයකින්ම සිදුවන්නේ එකම තේමාව විවිධ ආකාරයෙන් නැවත නැවතත් ඔබ හමුවේ තැබීමයි. ඊර්ෂ්‍යාව , බලවත් අතෘප්තිය , දුක, මානසික පීඩාව, වැනිදේවල්ය.

ජීවිතය නිරන්තර අරගලයක් සේ පෙනේ. එය දැවැන්ත බාධක ජයගැනීමට කරන ඉතා දැඩි උත්සාහයකි. මෙවන් අතෘප්තිකර තත්ත්වයක් සඳහා තිබෙන විසඳුම කුමක්ද? “මෙහෙම වුණා නම්” යන රෝග ලක්‍ෂණය අප කෙරෙන් පෙන්නුම් කරයි. “ මට බොහෝ මුදල් තිබුණා නම්, මට සතුටෙන් ඉන්න තිබුණා.” “ මට සැබෑවටම ආදරය කරන අයෙක් මුණගැසුනා නම්,” “මගේ බර රාත්තල් විස්සක් අඩුකරගත හැකිවුණා නම්” , “ මට නාන්න උණු දිය තිබුණා නම් “ මට වර්ණ රූපවාහිනියක් තිබුණා නම් “ , “ මම මීට වඩා සිත් ඇදගන්නා සුලු නම්” යන කෙළවරක් නැති ” තිබුණා නම්” ආදියෙන් අපගේ ජීවිත පිරී පවතියි. මෙවන් සිතිවිලි පැමිණෙන්නේ කොහේ සිට ද? විශේෂයෙන් ඒ පිළිබඳ අපට කළ හැක්කේ කුමක් ද? මේවා මතු වන්නේ අපගේ සිත තුළ පැලපදියම් වී තිබෙන පුරුදුවලින්ය. සියුම් නමුත් ගැඹුරින් හා හාත්පස පැතිරී පවතින මානසික පුරුදු සමූහයකි. අප විසින් ටිකින් ටික පටලවා ගත් මේ ගැටය , ලිහාගත හැක්කේද එසේමය. වරෙකට එක කැබැල්ල බැගිනි. අපගේ දැනුවත් බව වැඩිදියුණු කර, එක එක් කැබැල්ල, මතුකරගෙන ආලෝකය කරා ගෙන ඒමට හැකිවනු ඇත. යටිසිතේ ඇති, අප නොදකින දේ උඩු සිත කරා , සෙමෙන්, වරකට එක බැගින්, ගෙන ආ හැකියි.

අපගේ අත්දැකීම්වල හරය වන්නේ වෙනස් වීමය. වෙනස්වීම නිරන්තරයෙන් ම සිදුවෙයි. මොහොතින් මොහොත ජීවිතය ගලායන බැවින්, කිසිවිටෙකත් එය එක සේ නොවෙයි. මේ අනවරත විශ්වයේ හරය වන්නේ අනවරත වෙනස්වීමයි. ඔබගේ සිතේ හටගන්නා සිතිවිල්ලක් තත්පර බාගයකින් මැකී යයි. වෙනත් සිතිවිල්ල පැමිණ එය ද සැණෙකින් ඉවත්ව යයි. හඬක් ඇසී මොහොතකින් නිශ්ශබ්දතාවයක් උදාවෙයි. දෑස් විවර කළ විට පෙනෙන මුළු මහත් ලෝකය ඇසිපිය හෙළන ක්‍ෂණයකින් නොපෙනී යයි. විවිධ පුද්ගලයෝ ඔබගේ ජීවිතයට ඇතුළු වී පිටවී යති. යහළුවෝ ඔබගෙන් ඉවත් වී යති. නෑදැයෝ මරණයට පත් වෙති. ඔබගේ වස්තුව වැඩිවී, අඩුවී නැතිවී යයි. දේවල් හිමිවීම් මෙන්ම අහිමිවීම් ද එලෙසින්ම ඇතිවෙයි. වෙනස්වීම නොකඩවා සිද්ධවෙයි. මේ මොහොත කලින් මොහොතකට හෝ ඊළඟ මොහොතකට හෝ සමාන නොවෙයි.

මෙහි කිසි වැරැද්දක් නැත. ඒ විශ්වයේ ස්වභාවයයි. නමුත් මෙම නිරන්තර “ගලායෑමට” අසාමාන්‍ය අන්දමේ ප්‍රතිචාර සමූහයක් දැක්වීමට මිනිස් සංස්කෘතිය අපට උගන්වා ඇත. අපි අත්දැකීම් වර්ග කරමු. සෑම දැකීමක් ම හා අවසානයක් නොමැති මේ විපර්යාස ප්‍රවාහය හොඳ නරක හා මධ්‍යස්ථ යන මානසික කූඩු තුළ සිරකිරීමට අපි උත්සාහ දරමු. ස්ථීර හා හුරුපුරුදු මානසික ප්‍රතිචාර සමූහයකට අනුව අපි එම කාණ්ඩ තේරුම් ගනිමු. අප උත්සාහ කරන්නේ හොඳ යැයි ලේබලය ඇලවූ දැකීම ළඟ කාලය නවතා ලීමටයි. අපි එම සිතිවිල්ල ඩැහැගෙන,ආදරයෙන් වැළඳගෙන බේරීයාමට ඉඩ නොදී තබා ගැනීමට ප්‍රයත්න දරමු. අසමත්වූ විට, එම සිතිවිල්ල ජනිත කළ අත්දැකීම නැවත නැවත විඳීම සඳහා අවශ්‍ය සියල්ලක්ම කිරීමටද අපි පසුබට නොවෙමු. “ඇලීම “ යනුවෙන් හැඳින්වෙන්නේ මෙම මානසික පුරුද්දයි.

අනෙක් පස ඇත්තේ “ නරක” ලේබලය සහිත කූඩුවයි. යමක් නරක යැයි දකින විට, අපි එය පසෙකට තල්ලු කරමු. ප්‍රතික්ෂේප කර එසේ නොවේ යැයි පවසා කෙලෙසක හෝ එය ඉවත දැමීමට උත්සාහ කරමු. අප සටන් කරන්නේ අපගේම අත්දැකීම් සමඟයි. අපි අප වෙතින්ම පළායමු. එසේ කිරීමේ මානසික පුරුද්ද “ගැටීම” කියා හඳුන්වමු. මේ ප්‍රතිචාර දෙක අතර තිබෙන්නේ මධ්‍යස්ථ කූඩුවයි. හොඳ හෝ නරක නොවන උදාසීන, ඇල්මැරුණු හා නීරස අත්දැකීම දමන්නේ මේ තුළටයි. මධ්‍යස්ථ අත්දැකීම අසුරා තැබූ අපගේ අවධානය යොමුවන්නේ කෙළවරක් නැති ආශාවන් හා ද්වේශයන් වෙතටයි. මේ හේතුවෙන් මධ්‍යස්ථ අත්දැකීම්වලට හිමි විය යුතු අවධානය නොලැබී යයි. මෙහි ප්‍රතිඵලය වන්නේ “ නොසලකා හැරීම” නැමති මානසික පුරුද්දය. මෙවන් උන්මත්තක වූ ක්‍රියාදාමයක ප්‍රතිඵලය කෙළවරක් නැත, වෙහෙසකර ධාවන තරගයකි. ආශාවන් ලුහුබඳින, වේදනාවලින් පලා යන මේ ගමනේ දී, අප ලබන අත්දැකීම්වලින් සියයට අනූවක්ම නොසලකා හැරීම සිදුවෙයි. පසුව, ජීවිතය මෙතරම් නීරස මන්ද කියා ළතවෙයි. අවසාන වශයෙන් කිව හැක්කේ මෙම ක්‍රමය ප්‍රායෝගික නොවන බවය.

කෙතරම් වෙහෙස දරා විනෝදය හා සාර්ථකත්වය හඹා ගියද, ජයගත නොහැකි අවස්ථා එමට ඇත. සමහර අවස්ථාවලදී කොතරම් වේගයෙන් වේදනාවලින් පලා ගිය ද ඔබ එයට හසුවීමට පුළුවන. ඒ අතරතුර යටිගිරියෙන් කෑ ගැසීමට සිතෙන තරමට ජීවිතය නීරස විය හැකියි. විවිධ මත හා විවේචනවලින් අපේ සිත පිරී පවතියි. අපිම මවා ගන්නා බිත්ති අතර සිරවී අපේම රුචි අරුචිකම් නමැති උගුලට හසුවී දුක් විඳිමු.

“ දුක” යන්න බෞද්ධ චින්තනයේ පුළුල් තේරුමක් ඇති වදනකි. ඉමහත් වැදගත් කමකින් යුත් එම වදන හොඳින් වටහා ගත යුතුයි. පාලි බසින් “ දුක්ඛ” යන්නෙන් ශාරීරික වේදනාව පමණක්ම අදහස් නොකරයි. සිතෙහි වෙහෙසකාරි බව, හා සෑම මානසික අත්දැකීමකම කොටසක් වන සියුම් හා ගැඹුරු අතෘප්තකාරි හැඟීමක් මින් අදහස් කරයි. ජීවිතයේ මූලික හරය “ දුක” බව බුදුරජාණන් වහන්සේ පැවසූ සේක. මෙය බැලූ බැල්මට අශෝභන මෙන්ම අශුභවාදි ප්‍රකාශයක් ලෙස දිස්වෙයි. එය සත්‍යයෙන් තොර යයිද ඇතැම් විට සිතිය හැකිය. ජීවිතයේ බොහෝ අවස්ථාවලදී අප සිටින්නේ පී‍්‍රතියෙනි. එසේ නොවෙයිද? නැත. එය එසේ නොවෙයි. එලෙස පෙනෙනවා පමණි. ඔබ මහත් සොම්නසින් හා තෘප්තියකින් ගෙවන අවස්ථාවක් දෙස ඉතා සුපරීක්‍ෂාකාරීව බලන්න. ඊට යටින් පැතිර පවතින සියුම් ආතතිය එවිට ඔබට දැක ගැනීමට පුළුවන. ඒ කොතරම්ම ප්‍රමෝදමත් මොහොතක් වුවද අවසාන වන බව චතමෙන් ගොඩ නැඟුන අප්‍රසාදයයි. ඔබගේ දිනාගැනීම් කෙතරම් විශාල වුවද, එයින් කොටසක් හෝ ඔබට අහිමිව යනු ඇත. ඉදිරි කාලය ඒවා රැක ගැනීමට හා තවත් වැඩිකර ගැනීමේ උපාය මාර්ග සෙවීමට වැය කිරීමට ඔබට සිදුවනු ඇත. අවසානයේදී ඔබ මරණයට පත්විය යුතුය. ඔබට සියල්ල අහිමි වෙයි. ඒ සියලු දේ අස්ථීර අල්පකාලික බැවිනි. එය කනසල්ලට හේතුවක් නේද? වාසනාවකට එය එසේ නොවේ. කොහෙත්ම නැත. එහි කනස්සලු බවක් පෙනෙන්නේ ඔබ ඒ දෙස සාමාන්‍යයෙන් පවතින අතෘප්තිකාරි දෘෂ්ටියකින් බැලූ විටයි. විශ්වය දෙස බැලිය හැකි හාත්පසින්ම වෙනස් දෘෂ්ටියක් එයට යටින් ඇත. එනම්, කාලය නවතාලීමට උත්සාහ නොකරන, ගලා එන අපගේ අත්දැකීම් ග්‍රහණය කිරීමට හෝ නවතාලීමට හෝ නොසලකා හැරීමට උත්සාහ නොකරන මානසික ක්‍රියාකාරී මට්ටමකි. එය හොඳ සහ නරක ඉකමවාලූ මෙන්ම තෘප්තිය හා වේදනාවට එපිටින් පවතින, චමත්කාර අයුරින් ලොව දැකිය හැකි මානසික මට්ටමකි. එය අප තුළ වර්ධනය කරගත හැකි කුශලතාවයකි. පහසු නැති මුත් එය ඔබට ඉගෙන ගත හැකියි.

සතුට හා සාමකාමි බව සැබැවින්ම මනුෂ්‍ය පැවැත්මේ ප්‍රධාන ඉල්ලකයන් වේ. අප සැමදෙනා සොයන්නේ මෙයයි. තට්ටු ගණනින් වූ මතුපිට අරමුණුවලින් වැසී ඇති බැවින් මෙම මූලික ඉලක්ක අපට නොපෙනෙයි. ආහාර, මුදල්, ලිංගික ආස්වාදය, වස්තුව, නම්බුව හා ගෞරවය පසුපස හඹා යන අපට, සතුට යන්න හුදෙක්ම සංකල්පයක් පමණි. “ බලන්න , මම හරිම ප්‍රායෝගිකයි.ඇති තරම් මුදල් ඇත්නම් මට සතුට මිලට ගන්න පුළුවන්.” අවාසනාවකට මෙය අසාර්ථක ආකල්පයකි. සුපරීක්‍ෂාකාරි ලෙස බලන කල, සෑම අරමුණක්ම හුදෙක් මතුපිටින් පමණක් පවතින බව ඔබ දකියි. ඔබට ආහාර අවශ්‍යයි. මක්නිසාද? කුසගින්න නිසා, ඔබට කුසගිනියි. ඉතින් මොකද? ආහාර ගත් විට කුසගින්න නිවී හොඳ හැඟීමක් දැනෙයි. අහා! “හොඳ හැඟීමක් ” අත්දැකීම සැබෑ අරමුණය. අප සැබැවින්ම සොයන්නේ මතුපිටින් පවතින අරමුණු නොවේ. ඒවා ඉලක්කය කරායන උපායමාර්ග පමණි. අප ඇත්ත වශයෙන්ම බලාපොරොත්තු වන්නේ ආශාව සපුරා ගැනීමෙන් පසු ඇතිවන සැනසිලිදායක හැඟීමයි. සහනය, විවේකය මෙන්ම ආතතියෙන් මිදීමයි. දැඩි ආසාවේ කෙළවර ඇති සාමය හා සතුටයි.

කුමක්ද මේ සතුට? අපට අවශ්‍ය සෑම දෙයක්ම ලබා ගැනීම, සෑම දෙයකම පාලනය තමා අතට ගැනීම හා සීසර්ගේ භූමිකාව රඟපාමින් සිතුමනාපයට මුළු ලෝකයම නැටවීමට හැකිවීම අප බොහෝ දෙනෙක් බලාපොරොත්තු වන පරිපූර්ණ සතුටයි. නමුත් එලෙස සිදුවන්නේ නැත. ලෝක ඉතිහාසයේ සඳහන් මෙවැනි අසීමිත බලයක් දැරූ පුද්ගලයින් දෙස බලන්න.

ඔවුන් සතුටින් සිටි පුද්ගලයින් නොවේ. ඔවුන් තමන් සමග සාමයෙන් නොසිටිය බව සහතික කළ හැකියි. ඒ ඇයි? මුළු ලොවම මුළුමනින්ම පාලනය කිරීම ඔවුන්ගේ තිබුණු බලවත් ආශාව නමුත් එය ඉෂ්ට නොවීමයි. මුළු මිනිස් සංහතියම පාලනය කිරීමට ඔවුන්ට අවශ්‍ය වුව ද සමහර පුද්ගලයින් එම පාලනයට නතුවීම ප්‍රතික්‍ෂේප කරන ලදී. ග්‍රහලෝක හා තාරකා පාලනය කිරීමට ඔවුන්ට නොහැකි විය. ඔවුහුද සාමාන්‍ය පරිදි රෝගී වූහ. මිය ගියහ.

අප ආශා කරන සියලු දේ දිනා ගැනීම කිසිදාක කළ නොහැකියි. නමුත් වාසනාවකට මෙන් එයට විකල්පයක් ඇත. හිත පාලනය කිරීම තුළින් ආශාවෙන් හා ද්වේශයෙන් සැදුන මේ චක්‍රයෙන් මිදීමට අපට හැකියාව ඇත. ආශාවන්හි නොඇලී සිටීමට ඉගෙන ගෙන, එම ආශාවන් හඳුනාගෙන, ඒවායේ පාලනයට හසු නොවී සිටීමට ඔබට පුළුවන. ඔබව පාගා, ඔබගේ සිරුර මතින් ගමන් කිරීමට මුළුලෝකයටම ඉඩ හැරීමක් මින් අදහස් නොකෙරෙයි. එය බාහිරින් සාමාන්‍ය ලෙස පෙනෙන ජීවිතයක් නමුදු, සම්පුර්ණයෙන්ම නව දෘෂ්ටියක් ඇතිව ගත් කරන්නකි. ඔබ සාමාන්‍ය පුද්ගලයකු කරන සියලු කටයුතුවල නිරතවන නමුත් ආශාවන්ගේ පීඩාකාරී වහල් භාවයෙන් නිදහස් වී ඇත.

ඔබට යමක් උවමනා කරන නමුදු එය ලුහුබැඳ හඹා යාමට අවශ්‍ය නොවෙයි. ඔබ යම් දෙයක් නිසා බියට පත් වූ විට, බියෙන් වෙව්ලමින් එතැනම ගල්ගැසී සිටීමට අවශ්‍ය නැත. මෙවැනි මානසික ශික්‍ෂණයක් දියුණු කර ගැනීම පහසු කාර්යයක් නොවෙයි. එයට වසර ගණනාවක් ගත විය හැකියි. සෑම දෙයක්ම තම පාලනයට නතුකර ගැනීම කිසිදිනෙක කළ නොහැක්කකි. එබැවින් උත්සාහයෙන් ඉටුකර ගත හැකි දේ කිරීම කිසිසේත්ම කළ නොහැකි දෙයකට වඩා වටින්නේය.

අප කුමක් ගැන ද කතා කළේ? සාමය සහ සතුට! අප ශිෂ්ටාචාරය කියා කියන්නේ මෙයට අදාළ සියල්ලට නොවේද? අපි අහසට උස ගොඩනැගිලි හා අධිවේගී මාර්ග තනමු. වැටුප් සහිත නිවාඩු, රූපවාහිනි යන්ත්‍ර නොමිලේ වෛද්‍ය සේවා හා ලෙඩ නිවාඩු, සමාජ ආරක්‍ෂාව හා සුභසාධන සේවා ආදිය අපට ලැබේ. මේ සියල්ලෙන් බලාපොරොත්තු වන්නේ යම් තරමක හෝ සාමයක් හා සතුටක් ළඟාකර දීමයි.

එහෙමත් මානසික රෝග පීඩා හා අපරාධ ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතියි. අසරණයන්ගෙන් හා අපරාධකරුවන්ගෙන් වීථි පිරී යයි. ඔබගේ ගෙමිදුලේ සිට පාරට අත දිගු කළහොත්, ඔබේ අත්ඔරලෝසුව කඩාගෙන යෑමේ තත්ත්වයට අද සමාජය පිරිහී ඇත. කොතැනක හෝ වරදක් ඇත. පී‍්‍රතිමත් පුද්ගලයෙක් සොරකම් නොකරයි. තමා සමඟ සාමයෙන් පසුවන්නෙක් තවත් මිනිසෙකුගේ ජීවිතය නැති කිරීමට නොපෙළඹෙයි. හුදෙක් පී‍්‍රතිය හා සාමය අත්කර ගැනීම සඳහාම අපගේ සමාජය හැකි සෑම ආකාරයකින් ම මිනිසාගේ දැනුම උපයෝගී කරගන්නා බව සිතීමට අපි කැමැත්තෙමු. එහෙත් එය එසේ නොවේ.

මිනිස් පැවැත්මේ ගැඹුරු භාවමය හා ආධ්‍යාත්මික අංශ පරදුවට තබා, ජීවිතයේ භෞතික අංශය අනවශ්‍ය ලෙස වර්ධනය කර ඇති බව දැන් දැන් අවබෝධ වීමට පටන්ගෙන තිබේ. එම වරෙදහි පල විපාක දැනටමත් අපි අත්විඳිමු. අද සමාජයේ සදාචාරාත්මක හා ආධ්‍යාත්මික වටිනාකම පිරිහී ඇති බව පුන පුනා ප්‍රකාශ කිරීම එක දෙයක් වන අතර, ඒ සම්බන්ධයෙන් කිසියම් ක්‍රියාමාර්ගයක් ගැනීම තවත් දෙයකි. මෙය පටන්ගත යුත්තේ අප තුළින්මයි. සුපරීක්‍ෂාකාරීව, අවංකව හා නිර්පාක්‍ෂිතව ඔබගේ අභ්‍යන්තරය නිරීක්‍ෂණය කරන්න, “අපචාරියා” හා “උන්මන්තකයා” අප තුළින්ම දැකගත හැකි අවස්ථා අප කාටත් පැහැදිලි වනු ඇත. එබඳු අවස්ථා ගැරහීමට ලක් නොකොට, පැහැදිලිව හා පිරිසිදුව දැකීමට අප පුරුදුවීමත් සමග එම තත්ත්වයෙන් මිදී ආධ්‍යාත්මික දියුණුව කරා ගමන් කිරීමට අපට හැකිවනු ඇත.

ඔබගේ වර්තමාන ස්වභාවය ඒ ආකාරයෙන්ම දකින තෙක් ඔබගේ ජීවන රටාවේ ප්‍රධාන වෙනස්කම් ඇති කිරීමට පුළුවන්කමක් නැත. එම ස්වභාවය දුටු වහාම වෙනස්කම් ඉබේම සිදුවනු ඇත. කිසියම් පාලන අධිකාරියක බලකිරීමක් හෝ අධික වෙහෙස දැරීමක් හෝ අවශ්‍ය නොවේ. වෙනස්වීම ඉබේම සිදුවෙයි. එහෙත් මීට උවමනාකරන ආරම්භක ගැඹුරු නුවණ ලබාගැනීම අසීරු කාර්යයකි. මොනම ආකාරයක හො විනිශ්චයක්, මුළාවක් හො ගැටීමකින් තොරව, “ ඔබ කවුද, කොයි විදිහේ කෙනෙක්ද” යන්න දැකිය යුතුයි. සමාජීය සත්වයෙකු ලෙස, එහි ඔබට හිමි තැන, හා ඔබේ ක්‍රියාකාරිත්වය ඔබ තේරුම් ගත යුතුයි. සියල්ලට ම පෙර, පුද්ගලයෙකු ලෙස ඔබට ඔබගෙන් ඉටුවිය යුතු වගකීම් ද එමෙන්ම සෙසු මිනිස් සංහතියට ඔබගෙන් ඉටුවිය යුතු යුතුකම හා වගකීම් ද දැක ගැනීම අවශ්‍යය. අවසාන වශයෙන් මේ සියලු සම්බන්ධතාවයන් තනි ඒකකයක් ලෙස කිසිලෙසකින්වත් එකිනෙක වෙන්කළ නොහැකි අන්තර් පුද්ගල සම්බන්ධතාවයක් ලෙස පැහැදිලි ව දැකිය යුතුයි. මෙය සංකීර්ණ එක ක්‍ෂණයකින් සිදුවිය හැකිය.මෙවැනි අවබෝධයක් හා නිසංසල සතුටක් අත්කර ගැනීමට ඔබට නියත වශයෙන් උපකාරී වනුයේ භාවනාව තුළින් ගොඩනැගෙන මානසික ශික්ෂණයයි. ෆෙ‍්‍රායිඩ් නම් වූ දාර්ශනිකයා පෙන්වාදීමට වසර දහස් ගණනකට පෙර ධම්මපදයේ සඳහන් බුද්ධ වචන මෙසේ කියයි. “අද සිටින ඔබ ඊයේ සිටි ඔබගේ ප්‍රතිඵලයකි. හෙට ඉපදෙන ඔබ නිර්මාණය කරන්නේ අද සිටින ඔබ විසිනි. අයහපත් චේතනාවල ප්‍රතිවිපාක ඔබ පසුපස පැමිණෙන්නේ ගොනා පසුපස යන කරත්තය විලාශයෙනි. පිවිතුරු සිතක ප්‍රතිඵලය, ඔබගේ සෙවණැල්ල මෙන් ඔබ සමඟ පැමිණෙනු ඇත. නිර්මල සිතකට වඩා ඔබ වෙනුවෙන් යහපතක් කළ හැකි වෙන කිසිවෙකු මිහිපිට නැත. දෙමාපියන්, නෑදෑයින් මිතුරන් මේ කිසිවකු හට එය කළ නොහැකියි. හොඳින් හික්ම වූ සිතක් ජීවිතයට සොම්නස ගෙන එයි.”

භාවනාවෙන් බලාපොරොත්තු වන්නේ සිත පවිත්‍ර කිරීමයි. සිත පීඩාවට පත් කරන තෘෂ්ණාව , වෛරය, ඊර්ෂ්‍යාව, වැනි කෙලෙස් කසට සෝදාහැර, ආවේගයන්ට වහල්වීම නිසා අවුල් වී ඇති සිතුවිලි ක්‍රියාවලිය පිරිසිදු කරයි. සිත නිසංසල හා අවදිමත් තත්ත්වයකටත් සමාධිමත් හා තැන්පත් බවක් සහිතව සිහියෙන් කටයුතු කරන තත්ත්වයටත් රැගෙන එයි. තවද, සිත එක අරමුණක රැඳවීමේ හැකියාව හා විනිවිද දකින අවබෝධය පහළ කරවයි.

අපි අධ්‍යාපනය කෙරෙහි මහත් විශ්වාසයක් තබන්නෝ වෙමු. දැනුම මිනිසෙකු ශිෂ්ටසම්පන්න කරන බව අපි විශ්වාස කරමු. කෙසේ වෙතත්, ශිෂ්ටාචාරය මිනිසා මතුපිටින් පමණක් ඔප දමයි. මේ ශිෂ්ට සම්පන්න අති උගත් මහත්මා යුද්ධයේ හෝ ආර්ථික බිඳ වැටීමේ පීඩනයට හසුකර සිදුවන්නේ කුමක්දැයි බලන්න. නීතියට අවනත නොවීමෙන් ලැබිය හැකි දඬුවම් හා පලවිපාක දන්නා බැවින් නීතියට අවනතවීම එක් කරුණකි. සොරකමට තුඩුදෙන ලෝභය මෙන්ම ප්‍රාණ ඝාතයට හේතුවන වෛරය සිතින් පහකිරීම නිසා නීතියට අවනත වීම හාත්පසින්ම වෙනස් කාරණයකි. ගලා බසින දිය පාරකට ගල් කැටයක් විසිකරන්න. දියපාර ගල්කැටයේ මතුපිට සුදුම කළද, එහි ඇතුළාන්තය නොවෙනස්ව පවතියි. එම ගල්කැටය ගිනියම් වූ උඳුනකට දැමූවිට එය මුළුමනින්ම උණුවෙයි. පිටතින් මෙන්ම අභ්‍යන්තරයෙන්ද වෙනස්වෙයි. ශිෂ්ටාචාරය මිනිසා බාහිරින් ඔපවත් කරන නමුදු ඔහුව මුදු මොළොක් කර මුළුමනින්ම පරිවර්තනය කරන්නේ භාවනාවයි.

භාවනාව ශ්‍රේෂ්ඨ ගුරුවරයකු බව කියවේ. එය අවබෝධය හරහා සෙමෙන් නමුත් නිසැකවම ක්‍රියාකරන සියුම් පවිත්‍රකාරක ගින්දරයි. අවබෝධය වැඩිවන තරමට ඔබ වඩාත් නම්‍යශීලි හා ඉවසන සුලු වෙයි. වඩාත් කාරුණික වෙයි. ඔබ පරිපූර්ණ දෙමාපියකු හෝ පරමාදර්ශී ගුරුවරයකු මෙන් වෙයි. වැරදි අමතක කර සමාව දීමට ඔබ සූදානම්ය.ඔබ අනුන් කෙරෙහි දයාව දක්වන්නේ ඔබට ඔවුන් වඩා හොඳින් තේරුම් ගත හැකි නිසාය. ඔවුන් ව වඩා හොඳින් තේරුම් ගන්නේ ඔබ ඔබම තේරුම් ගෙන ඇති නිසාය. ඔබගේ ඇතුළාන්තය දැක එහි ඇති ආත්ම මුළාව හා මානුෂික අඩුපාඩු ද, ඔබගේම මිනිස්කම ද තේරුම්ගෙන අත්වැරදි අමතක කර දයාව දැක්වීමට ඔබ ඉගෙනගෙන ඇත. තමා කෙරෙහි කරුණාව දැක්විය හැකිවන විට එය අනුන් වෙත නිරායාසයෙන් පැතිරවිය හැකිය. මනා නිපුණතාවයකින් යුත් භාවනානුයෝගියා ජීවිතය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ඇත. එබැවින් ඔහු හෝ ඇය නියත ලෙසම ලෝකය දෙස බලන්නේ ගැඹුරුවූත් අවිවේචනාත්මකවූත් කරුණා දයාවකිනි.

භාවනාවේ යෙදීම, බොහෝ විට අලුත් භූමියක වගා කිරීම හා සමානයි. වනාන්තරයක් වගා කළ හැකි භූමියක් බවට පත් කිරීමට නම් පළමුව ගස් කපා, එළි පෙහෙළි කර, මුල් උදුරා දැමිය යුතුයි, දෙවනුව බිම බුරුල්කර පොහොර යෙදිය යුතුය. අවසානයේ බීජ වපුරා අස්වැන්න නෙළා ගැනේ. එලෙසම , මනස වගා කිරීමේදී පළමුව මග අහුරන පීඩාකාරක, නැවත නොවැඩෙන ලෙස මුලින් උපුටා දැමිය යුතුයි. ඉන්පසු පොහොර යෙදිය යුතුය. මෙම මනස නමැති බිම, වීර්යය හා හික්මීම නමැති දියෙන් තෙත්කර පසුව බීජ වපුරා ශ්‍රද්ධාව, සීලය, සිහිනුවණ හා ප්‍රඥාව නමැති අස්වනු නෙළාගන්න.

බුදුදහමේදී සැදැහැය, නොහොත් ශ්‍රද්ධාව හා සීලය නොහොත් සදාචාරසම්පන්න බව යෙදෙන්නේ විශේෂ අර්ථයකිනි. පොතපතක ලියා තිබූ පමණින් හෝ ශාස්තෘවරයෙකු හෝ බලධාරි අයෙකු ඉගැන්වූ නිසා හෝ විශ්වාස කිරීමක් මෙහිදී කොහෙත්ම අදහස් නොකෙරෙයි. එය යමක් පිළිබඳ ඇතිවන විශ්වාසයට වඩාත් සමාන වෙයි. ප්‍රායෝගිකව ක්‍රියාත්මක වනු දැකීම නිසා යමක් සත්‍යබව දැන ගැනීමත්, එය ඔබ තුළම ක්‍රියාකළ ආකාරය දැකීමත් තුළින් ඇතිකරගත් විශ්වාසයකි. මෙලෙසම, සදාචාරය යනු බාහිරින් පැනවූ හැසිරීම් රටා පද්ධතියකට චාරිත්‍රානුකූලව හිස නැමීමක් නොවෙයි. ඔබ විසින්ම උවමනාවෙන් හා කැමැත්තෙන්ම තෝරාගත් සුබදායක චර්යා රටාවකි. ඔබ එසේ තෝරාගත්තේ එය ඔබගේ වර්තමාන හැසිරීම් රටාවට වඩා උසස් යයි ඔබ පිළිගත් නිසාය.

භාවනාවේ පරමාර්ථය පෞද්ගලික වෙනස්වීමයි. භාවනා කාලයක් අවසානයේදී නැගිට යන ඔබ භාවනාව සඳහා වාඩි වූ ඔබම නොවෙයි. ඉතා සියුම් සංවේදනා ක්‍රියාවලියක් තුළින් ඔබගේම සිතිවිලි, වචන හා ක්‍රියා පිළිබඳව ඔබ තුළම ගැඹුරු දැනීමක් ඇතිකර භාවනාව ඔබ වෙනස්වීමකට ලක් කර ඇත. උඩඟුකම වාෂ්ප වී යන අතර ඔබගේ වෛරය සිඳී යයි. සිත සන්සුන් වී තැන්පත් වේ. ඔබගේ ජීවිතය සුමට වෙයි. නියම ආකාරයෙන් යෙදෙන භාවනාව ජීවිත ගමනේදී මුණ ගැසෙන කඳු පල්ලම් පසු කිරීම සඳහා ඔබව සූදානම් කරනු ලැබේ. එය ඔබගේ බිය, ආතතිය හා දෝමනස්සය අවම කරයි. අසහනකාරි බව පසුබසියි. දැඩි ආවේගය මධ්‍යස්ථ වෙයි. කරුණු සිදුවන සැටි පැහැදිලි වෙයි. ජීවිතය ගැටුමකින් තොරව පහසුවෙන් ගලා යයි. මේ සියල්ල සිදුවන්නේ අවබෝධය තුළිනි.

භාවනාව ඔබගේ සිත එක අරමුණක රඳවා ගැනීමේ ශක්තිය හා කල්පනා ශක්තිය මුවහත් කරයි. එවිට ඔබගේ යටිසිතේ අරමුණු හා උපායන් එකින් එක පැහැදිලි වෙයි. ඔබගේ සහජ නුවණ තියුණූ වෙයි. සිතිවිලිවල නියත බව වැඩෙයි. මුළාවෙන් හා පූර්ව නිගමනයෙන් තොරව, සියල්ල ඇති සැටියෙන් දැකීම තෙක් ඔබ ක්‍රමයෙන් ගමන් කරයි.

මේ ප්‍රතිඵල ලබාගැනීම සදහා ම පමණක් භාවනා කිරීමට කරදර විය යුතුද? නැත. මේ හුදෙක්ම කඩදාසියක ලියවී ඇති පොරොන්දු රැසකි. භාවනාව, වෑයමේ තරමට ප්‍රතිඵලදායක යන්න දැන ගැනීමට ඇත්තේ එකම ක්‍රමයකි. එය නිවැරදිව ඉගෙන ගෙන, නිවැරදිව පුහුණු වන්න. ප්‍රතිඵල ඔබටම දැකිය හැකි වේවි.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.