Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදුරජාණන් වහන්සේගේ

ප්‍රඥාවට බුදුදහමේ දී ප්‍රධාන තැනක් දී ඇත. බුදුදහම ගැඹුරු ය. එය අවබෝධකරගත හැක්කේ ප්‍රඥාවන්තයාටය. ප්‍රඥාව නැති අයට ධර්මය අවබෝධ කරගත නොහැකිය. “පඤ්ඤා වන්තස්සායං ධම්මො, නායං ධම්මො දුප්පඤ්ඤස්ස’ යන ප්‍රකාශයෙන් ඒ බව පැහැදිලි වෙයි.

බුදුරජාණන් වහන්සේගේ ගුණ සමුදාය හඳුනාගතහොත් කිසිම කෙනෙක් බුදුරජාණන් වහන්සේ ළඟින් ඈත් නොවේ. ඒ තරමට බුදුගුණ අනන්තය. බුදුගුණ කියා නිම කළ හැක්කේ තවත් බුදුරජාණන් වහන්සේ නමකට පමණි. එම නිසා බුදුරජාණන් වහන්සේ අසම සමවේ. අප තථාගත ගෞතම බුදුපියාණන් වහන්සේගේ අනන්තවූ බුදුගුණ නව අරහාදී බුදුගුණ ලෙස “ඉතිපි සො භගවා” ආදී පාලි පාඨයෙන් පැහැදිලි වෙයි. ඒ හැම බුදුගුණයකින්ම පැවසෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා මහිමයයි. ඒ මෙසේ ය.

සියලු කෙලෙසුන් දුරුකළ සේක. රහසින් වත් පව් නොකළ සේක. සියලු ආමිස පූජා ප්‍රතිපත්ති පූජා ලැබීමට ඒකාන්තයෙන් සුදුසුවන සේක. මේ කාරණා නිසා බුදුරජාණන් වහන්සේ “අරහං” නම් වන සේක.

සතර ආර්ය සත්‍ය තමාගේම නුවණින් මනාව අවබෝධ කළ සේක. මේ කාරණා නිසා සම්මා සම්බුද්ධ නම් වන සේක.

විදර්ශනා ඤාණය, ඉද්ධිවිධ ඤාණය, දිබ්බසොත ඤාණය, පරචිත්ත විජාණන ඤාණය, පුබ්බේ නිවාසානුස්සති ඤාණය, දිබ්බචක්ඛු ඤාණය, මනෝමය ඉද්ධි ඤාණය ආශ්‍රවක්ෂය කර ඤාණය හා කය වචනය සංවර වීමට අදාළ සියලු සීල ප්‍රතිපදාවන් අනුව මනාව හැසුරුණු හෙයින් බුදුපියාණන් වහන්සේ ‘විජ්ජාචරණ’ නම් වන සේක.

දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයන්ගෙන් විසිතුරු වූ ශරීරයක් ඇති සේක. යහපත් වූ ගමන් විලාස ඇති සේක. තමන් වහන්සේ හමුවට පැමිණෙන හැම දෙනාගේම දෙළොව යහපත සඳහා අදාළ වචන ප්‍රකාශ කරන සේක. සුන්දර වූ යහපත් වූ නිවණට වැඩිය සේක. මේ කාරණා නිසා බුදුපියාණන් වහන්සේ ‘සුගත” නම් වන සේක.

පංචස්කන්ධ ලෝකය, සත්ව ලෝකය, සංස්කාර ලෝකය, අවකාශ ලෝකය, ඇතුළු සියලු ලෝකයන් පිළිබඳව මනාව දැන ගත් සේක. මේ කාරණා නිසා බුදුපියාණන් වහන්සේ ‘ලෝක විදූ’ නම් වන සේක.

කිසිවකුටවත් දමනය කළ නොහැකි වූ විවිධ වූ, විෂම වූ පුද්ගලයන් මහා කරුණා ගුණයෙන් හා මහා ප්‍රඥා ගුණයෙන් දමනය කර යහපතට යෙදවූ සේක. මේ කාරණා නිසා බුදුපියාණන් වහන්සේ ‘අනුත්තර පුරිස දම්ම සාරතී’ නම් වන සේක.

සියලුම දෙවියන් ගේ හා මනුෂ්‍යයන්ගේ ශාස්තෘවරයා වූ සේක. මේ නිසා බුදුපියාණන් වහන්සේ “සත්ථා දේව මනුස්සානං” නම් වන සේක.

තමන් වහන්සේ මනාව අවබෝධකරගත් චතුරාර්ය සත්‍ය ධර්මය අන් අයට ද අවබෝධ කර දුන්හ. මේ නිසා බුදුපියාණන් වහන්සේ ‘බුද්ධ’ නම් වන සේක.

බුදුපියාණන් වහන්සේ භාග්‍යවන්ත වන සේක. තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය කොටස් කරමින් දේශනා කළ සේක. සසර බැඳීමට හේතු වූ කෙලෙස් භග්න කළ සේක. මේ නිසා බුදුපියාණන් වහන්සේ ‘භගවා’ නම් වන සේක.

මෙසේ දක්වන ලද බුදුගුණ වලින් ද බුදුරදුන්ගේ ප්‍රඥා මහිමය ප්‍රකට වෙයි. වක්ඛලී තෙරුන් වහන්සේ බුදුසිරුරට වසී වී හැමවිටකදීම බුදුරදුන් දෙස බලා සිටින නිසා වක්ඛලී මේ කුණු ශරීරය දෙස බලා නොසිට ධර්මය දකින්නයි පැවසූහ. යො ධම්මං පස්සති - සො මං පස්සති. යන පාඨයෙන් ද ඒ බව පැහැදිලි වෙයි. බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවට සමානවන්නේ බුදුවරයෙක්ම පමණයි. බුදුරදුන්ගෙන් ප්‍රශ්න අසා පරදවන්නට සිතාගෙන ආ අන්‍ය ආගමිකයන් පැරදී බෞද්ධ ශ්‍රාවකයන් බවට පත් විය. එයින් පැහැදිලි වන්නේ ද බුදුරදුන්ගේ ප්‍රඥාවේ මහිමයයි.

ප්‍රඥාවට බුදුදහමේ දී ප්‍රධාන තැනක් දී ඇත. බුදුදහම ගැඹුරු ය. එය අවබෝධකරගත හැක්කේ ප්‍රඥාවන්තයාටය. ප්‍රඥාව නැති අයට ධර්මය අවබෝධ කරගත නොහැකිය. “පඤ්ඤා වන්තස්සායං ධම්මො, නායං ධම්මො දුප්පඤ්ඤස්ස’ යන ප්‍රකාශයෙන් ඒ බව පැහැදිලි වෙයි. එසේම,

අප්පස්සුතායං පුරිසො
බලිවද්දොව ජීරති
මංඝානි තස්ස වඩ්ඩන්ති
පඤ්ඤාතස්ස න වඩ්ඩති

ධම්ම පදයේ ජරා වර්ගයේ සඳහන් මෙම ගාථාවෙන් ප්‍රකාශ වන්නේ බොහෝ ඇසූ පිරූ තැන් නැති අල්පශ්‍රැත පුද්ගලයාගේ වැඩෙන්නේ ශරීරයේ මස්ය. නමුත් ඔහුගේ ප්‍රඥාව නො වැඩේ. යන මෙයින් ප්‍රකාශ වන්නේ ද, බුදු දහමෙන් ප්‍රඥාවට මුල් තැන දී ඇති බවයි. එසේම, අරි අටඟි මගේ එන සම්මා දිට්ඨිය නම් අංගයෙන් ද ප්‍රඥාවට ප්‍රධාන තැන දී ඇත. සම්මා දිට්ඨිය යනු නිවැරැදි දැකීම හෙවත් දැනීමය. සාමාන්‍ය ජනතාව සත්වයන් පුද්ගලයන් යනුවෙන් සම්මත වශයෙන් තීරණය කරගෙන තිබුණත්, එය වැරදිය. යෝගාවචරයන් විදර්ශනා භාවනා ක්‍රමය අනුව බලනවිට නාම රූප ධර්ම සමූහයක් මිස සත්ව පුද්ගල වශයෙන් ගැනීමට දෙයක් නැත යනුවෙන් දැක ගත හැක්කේ සම්මා දිට්ඨිය අනුව බලන විටය. එසේම, සාමාන්‍ය ජනයා විසින් නිත්‍ය, සුඛ, සුභ යනුවෙන් සහ ආත්මය වශයෙන් සලකන ජීවිතය ඇතුළු හැම දෙයකම, ස්ථිර, සැප, හොඳ යනුවෙන් ගන්නට කිසිම දෙයක් නැති බවත් ඒවා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ස්වභාවයෙන් යුක්ත බවත් දකින්නේ සම්මා දිට්ඨියයි. එම නිසා බුදුරදුන්ගේ ප්‍රඥා මහිමය එයින්ද පෙනේ.

දම්සක් පැවතුම් සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද පඤ්ඤා උදපාදී, විජ්ජා උදපාදි ඤාණං උදපාදි, ආලොකො උදපාදි’ යන වචන වලින් පැහැදිලි වන්නේ ද බුදුරදුන්ගේ ප්‍රඥා මහිමයයි. එසේම ප්‍රඥාව ලබාගත හැකි ක්‍රම තුනක් පෙන්වා දී ඇත. එනම්, සුතමය පඤ්ඤා චින්තාමය පඤ්ඤා, භාවනාමය පඤ්ඤා යනුවෙන්ය. සුතමය පඤ්ඤා, යනු බුදුදහම ඉතා හොඳින් ඇසීමෙන් ලබාගත් බහුශ්‍රැත භාවයෙන් ප්‍රඥාව දියුණුවෙයි.

චින්තාමය පඤ්ඤා යනු - ඇසූ බුදුදහම ඇසුරෙන් හා දහම්පොත් කියවීමෙන් ලබාගත් දැනුම ඇසුරෙන් ජීවිතය, ලෝකය, සත්වයා, පුද්ගලයා පිළිබඳව ගැඹුරින් මෙනෙහි කිරීමෙන් ලබා ගත් දැනුම නිසාද ප්‍රඥාව දියුණු වෙයි.

භාවනාමය පඤ්ඤා යනු - සමථ විදර්ශනා භාවනා කිරීමෙන් ලෝකය, සත්වයා, ජීවිතය පිළිබඳව යථා ස්වභාවය වන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන විදර්ශනා ඤාණය ලැබීමය. කසීභාරද්වාජ බමුණා ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් බුදුරජාණන් වහන්සේ මෙසේ පැවසූහ. ශ්‍රද්ධාව බීජයයි. තපස ජලයයි. ප්‍රඥාව නඟුලයි යනුවෙන් උපමා කරමින් ධර්මය දේශනා කළ උන්වහන්සේ පුද්ගලයාගේ මනස නමැති කෙත, ප්‍රඥාව නමැති නගුලෙන් හාරා කෙලෙස් නමැති නරක පස්යටකර කුසල් නමැති හොඳපස් උඩට ගෙන තපස නමැති ජලයෙන් තෙමා ශ්‍රද්ධාව නමැති බීජ වපුරා සෝවාන් ආදී මාර්ගඵල ලබාගෙන නිවණින් සැනසීමට මග පෙන්වන බව පැවසූහ. එයින් ද බුදුරදුන් ප්‍රඥාවට හිමිකර දී ඇති තැන පැහැදිලි වෙයි.

බුදුවරු තිදෙනෙක් ගැන ද දේශනා කර ඇත. එනම්, ප්‍රඥාධික බුදුවරු, ශ්‍රද්ධාධික බුදුවරු, විර්යාධික බුදුවරු යනුවෙන් ය. මේ ගුණ බුදුරදුන් ළඟ නැත කියා ඔප්පු කිරීමට සමතෙක් මේ ලෝකයේ නැත. එයින්ද බුදුරදුන්ගේ ප්‍රඥා මහිමය පෙනෙයි. එසේම, අන් අයට නැති, බුදුරජාණන් වහන්සේ නමකට ඇති ෂඩ් අසාධාරණ ඤාණ හයක් අප ගෞතම බුදුරදුන්ට පැවතිණි. එනම්, 1. ඉන්ද්‍රිය පරොපරියත්ති ඤාණය, 2. ආශායානුශය ඤාණය, 3. යමක පාටිහාරික ඤාණය, 4. මහා කරුණා සමාපත්ති ඤාණය, 5. සර්වඥතා ඤාණය, 6. අනාවරණ ඤාණය මෙයට අමතරව ත්‍රිවිද්‍යාවන්ගෙන් ද බුදුරදුන් සමන්විත වේ. එසේම හැම දෙනාගේම මනස ඤාණය මනාව හඳුනාගෙන ඒ ඒ අයට ගැළපෙන පරිදි දහම් දෙසීමේ දක්ෂතාවයද තිබිණි. මේ අනුව අපගේ ගෞතම බුදුරදුන් ළඟ තිබූ ප්‍රඥාවේ මහිමය අනන්ත බව වටහා ගනිමු. උන්වහන්සේ පෙන් වූ පිළිවෙතින් පෙළ ගැසීමට අදිටන් කර ගනිමු.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.