Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

නිවැරැදි මගට සිතිවිලි හරවන හැටි

සැවැත් නුවර ජේතවනාරාමයේ ගඳ කිළියෙන් නික්මුණු ශාන්ති නායකයාණන් වහන්සේ ඊට සමීපව පිහිටි දම් සභා මණ්ඩපයේ බුදු සිරියෙන් වැඩ සිටි සේක. “අචිරවතී” නදිය දෙසින් හමා එන මඳ සුළඟ ගත සිත සනසයි. මුලු පරිසරයම නිහඬයි. ශාන්තයි. අද ශ්‍රී මුඛයෙන් දේශනා කරන්නේ කුමන ධර්මයක්ද යන්න ඇසීමට උන්වහන්සේ පිරිවරා ගෙන සිටින භික්‍ෂු ශ්‍රාවක පිරිස නොඉවසිල්ලෙන් බලා ඉන්නව. අයං ධම්මස්සවණ කාලෝ.!

“ මහණෙනි, අද ඔබලාට කියා දෙන්නට හදන්නේ සම්මා සම්බුද්ධත්වයට පත්වීමට පෙර ඒ ආසන්නයේම මා ලැබූූ පෙර අත් දැකීමක්.” බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුඛය විවෘත කළා. මහනෙල් මල් සුවඳ ජේතවනය සිසාරා පැතිර ගියා.

“ බාහිර දේවල් ගැන සොය සොයා ඉන්න එකෙන් පලක් නැහැ කියල මට වැටහුනා. ඒවා සමග සැම මොහොතකම සම්බන්ධ වන මගේ ස්වභාවය දිහා නුවණින් යුක්තව බලන කොට සිතේ ඇතිවන නොයෙකුත් සිතිවිලි ක්‍රියාත්මක වෙන හැටි පෙනුනා. මට දැනුනා නොයෙකුත් සිතිවිලි උපදින ආකාරය. ඒවා නුවණින් විමසමින් ගොඩවල් දෙකකට වෙන් කළා.”

කාම සිතිවිලි,තරහ සිතිවිලි, හිංසා සිතිවිලි මගේ සිතේ හටගත්තා. ඒව එක පැත්තකට දැම්මා . කාමයන්ගෙන් වෙන්වීමේ නෙක්ඛම්ම සිතිවිලි, තරහවෙන් තොර වූ සිතිවිලි, අවිහිංසා සිතිවිලිත් ඇති වුනා. ඒවා අනෙක් පැත්තට දැම්මා. මේක පහසුවෙන් කළා නොවෙයි.කෙළෙස් තවන වීර්යයෙන් යුතුව, ජීවිත පරිත්‍යාගයෙන් අප්‍රමාදීව තමයි එහෙම කළේ.

සිතිවිලිවල හැටි හඳුනාගෙන වෙන්කරමින් සිටියත් සිතිවිලි හට ගැනීම දිගටම සිදු වුනා. කාම සිතිවිලි තරහ සිතිවිලි, හිංසා සිතිවිලි පහළවෙන කොට මං මෙහෙමයි සිතුවේ. ඒවා මටත් අන් අයටත් පීඩා ඇතිවන දේවල්මයි. ඒවා නුවණ නසනව. දුක පැත්තෙමයි පවතින්නෙ. නිවන සඳහා හේතු වෙන්නෙ නැහැ. තමාව පෙළනව. ප්‍රඥාව විනාශ කරනව. ඒත් අනෙක් පැත්තට සිතන කොට අපූරු දෙයක් වුනා. කාම සිතිවිලි, තරහ සිතිවිලි, හිංසා සිතිවිලි නැති වෙලා ගියා. සෑම හානිකර සිතිවිල්ලක්ම ඒ විදිහට දුරු කළා.

“ මහණෙනි සිතේ ස්වභාවය ඔය විදිහයි. හොඳට තේරුම් ගන්න. යම් දෙයක් ගැන බහුල ලෙස කල්පනා කරනව නම්, හිත හිතා ඉන්නව නම්, ඒ පැත්තටමයි සිත හැරෙන්නෙ. යමෙක් කාම සිතිවිලිම උපදවමින් ඉන්නවනම් කාමයෙන් වෙන් වීමේ සිතිවිලි ඇති වෙන්නෙ නැහැ. බහුල වශයෙන් තරහ සිතිවිලිම , හිංසා සිතිවිලිම මතුකරමින් ඉන්නව නම් සිත ඒ පැත්තටමයි නැමෙන්නෙ. මේ සිතේ ස්වභාවය ඔය විදිහයි.

නමුත් අකුසල් සිතිවිලිවල ආදීනව මං දන්නව. ඒවායේ ළාමක බව,ජීවිතය කෙළසන ආකාරය මං දන්නව. කෙළෙසුන්ගෙන් නික්මිලා කුසල් සිතිවිලි ඇති වන විට එහි පිරිසුදු බව, වටිනාකම මං දන්නව. ඒ නිසා අකුසල් සිතිවිලි වැඩෙන්නට මං ඉඩ දුන්නෙ නැහැ. කෙළෙස් තවන වීර්යයෙන් යුතුව, ජීවිත පරිත්‍යාගයෙන් අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන කොට කාමයන්ගෙන් නික්මීමේ සිතිවිලි මට ඇතිවුනා.

ඒක මං උදාහරණයකින් තේරුම් කරන්නම්. ගොයම් හොඳට හැදිල තියෙන වෙල්යායක් මැද්දෙ ඇති පාරක් දිගේ ගොපල්ලෙක් තමන්ගෙ හරකෙක් අරගෙන යනවා. ගොයම දකිනකොට ඒ හරකා ගොයමට මයි හැරෙන්නෙ. එතකොට ගොපල්ලා කෙවිටෙන් ගහල වළක්වනව. ගවයා ආයෙමත් හැරෙනව. ආයෙමත් ගහනව මොකටද? ගොයම් කන එක නවත්වන්න. ඇයි ඒ ? ගොයම කෑමට ඉඩ දුන්නොත් තමන්ට දඬුවම් ලැබෙන බව, චෝදනා එල්ල වෙන බව, කරදරවලට පැටලෙන්නට වෙන බව ගොපල්ල දන්නව. ආදීනව ගැන දන්නව. ඒ වාගේ තමයි මාත් අකුසල් සිතිවිලි පැත්තට හැරුනොත් ලැබෙන ආදීනව දන්නව. ඒ නිසා උපදින සිතිවිලි අකුසල් ගොඩට වැටෙන්නට ඉඩ දුන්නෙ නැහැ.

ඉතින් ඔය විදිහට කාම විතර්ක ඇතිවෙන කොට නෙක්ඛම්ම විතර්ක මතු කර ගත්ත. ව්‍යාපාද විතර්ක ඇතිවෙන කොට අව්‍යාපාද විතර්ක උපදවා ගත්ත. විහිංසා විතර්ක ඇතිවෙන කොට අවිහිංසා විතර්ක මතුකර ගත්ත. එතකොට මටවත් අනුන්ටවත් කිසිම පීඩාවක් වෙන්නෙ නැති බව තේරුම් ගත්ත. එවිට ප්‍රඥාව දියුණූ වෙන බවත්, දුකට අයිති නැති බවත්, නිවන කරාම රැගෙන යන බවත් මට වැටහුනා. මුලු රැයක් වුනත් මෙහෙම හිත හිතා ඉන්න කොට කිසිම භයක් මට ඇතිවුනේ නැහැ.

මඳ පවනට නටුවෙන් ගිලිහී බිම පතිත වන කොලයකින් නැගෙන හඬක් වත් වටේ සිටි ශ්‍රාවක පිරිසේ කාටවත් ඇසුනේ නැහැ. ඒ අයගේ සිත් ඒ තරමට සමාහිත වෙලා. සමාධිගත වෙලා. තමන් අබියස දහම් දෙසන මහා පුරුෂයාණන්ගේ චිත්ත බල පරාක්‍රමය කෙතරම් ආශ්චර්යවත්ද? සිතත් චෛතසිකත් එකට ඉපදී එකතුවී සෑදෙන සිතිවිලි වල ස්වභාවය ශ්‍රාවක පිරිසේ හැමටමත් පේන්න පටන් අරන්. අවට පරිසරයේ ගැඹුරු නිහඬතාවය නැවතත් බිඳිමින් තථාගතයන් වහන්සේ මෙසේ වදාරනව.

මහණෙනි, ඔය විදිහට දිවා රාත්‍රි පුරාම නෙක්ඛම්ම සිතිවිලි, අව්‍යාපාද සිතිවිලි, අවිහිංසා සිතිවිලි ඇති කරමින් ඉන්න කොට ඇඟට හරි මහන්සියි. එතකොට සිත සන්සුන් නැහැ. සමාධියෙන් ඈත් වෙනව. ඒ වෙලාවට මං තුළම සිත රඳව ගත්ත. බලවත් වීර්යයෙන් සිත එකඟ කරගෙන සිත විසිරෙන්ට නොදී තියාගත්ත. කෙළෙස් තවන වීර්යයෙන් යුතුව ජීවිත පරිත්‍යාගයෙන් අප්‍රමාදීව මේ විදිහට ධර්මයේ හැසිරෙන කොට නැවත නැවතත් තරහ නැති සිතිවිලි,අවිහිංසා සිතිවිලිමයි පහළ වුනේ. එතකොට මට කිසිම බියක් දැනුනෙ නැහැ.

මහණෙනි, තේරුම් ගන්න. සිතේ ස්වභාවය ඕකයි. යම් දෙයක් ගැන නැවත නැවතත් බහුල වශයෙන් කල්පනා කරනවනම් සිත ඒ පැත්තටමයි හැරිල පිහිටන්නෙ. නෙක්ඛම්ම සිතිවිලිම බහුල වශයෙන් උපදවනවා නම් කල්පනා කරනවනම් නෙක්ඛම්ම පැත්තටමයි සිත නැමිල පිහිටන්නෙ.

ඒක මේ වාගෙ දෙයක්. අස්වැන්න නෙළාගෙන අවසන් වුනු පායන කාලෙක ගොපල්ලෙක් කුඹුරු ඉසව්වක ගවයන් රකින්නෙ කොහොමද? මේ ඉසව්වෙ හරක් ඉන්නව කියන එක විතරයි එයා දැනගෙන ඉන්ට ඕනෑ. එයාට පුළුවන් ගසක් මුලට වෙලා හරි, එළිමහනට වෙලා හරි ඉඳගෙන ඉන්ට. අන්න ඒ වගේ තමයි. කුසල සිතිවිලි පැත්තට සිත හරවලා තිබ්බට පස්සෙ,මේක සමථයයි මේක විදර්ශනාවයි කියන එක විතරයි සිහිකරන්ට තියෙන්නෙ.

ඔය විදිහට මට පුදුම වීර්යයක් තිබුනෙ. හොඳට සිහිය පිහිටලා තිබුන. සිත හැකුළුනේ නැහැ. මුලා වුනේ නැහැ. කය සැහැල්ලු වෙලා තිබුණ මහන්සියක් දැනුනෙම නැහැ. සිත සමාහිත වෙලා කාම අරමුණු වලින් බැහැර වෙලා අකුසල් සිතිවිලි වලින් ඉවත්වෙලා විතක්ක, විචාර සහිත පළමුවෙනි ධ්‍යානය ඇති කරගෙන වාසය කළා. දෙවැනි , තුන්වැනි, හතරවැනි ධ්‍යානත් ඇති කරගෙන වාසය කළා.

ඔය විදිහට සිත පිරිසිදු වුනාම, සියුම් වුනාම , මං පෙර ගත කරපු සංසාර ජීවිත ගැන සිත යොමු කළා. එවිට කල්ප ගණන් ජීවිත ගැන නම් ගොත් සහිතව දැනගත හැකි පුබ්බේනිවාසානුස්සති ඥානය එදා රාත්‍රියේ පළමුවැනි යාමයේ මට පහළවුනා. අවිද්‍යා අන්ධකාරය දුරුවුනා. විද්‍යා ආලෝකය පහළ වුනා.

කෙළෙස් තවන වීර්යයෙන් යුතුව, ජීවිත පරිත්‍යාගයෙන් අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන කෙනෙකුට සිද්ධ වෙන්ට ඕනෑ දේමයි මටත් සිද්ධ වුනේ.

ඔය විදිහට මම මිනිස් හැකියාවන් ඉක්ම ගිය පිරිසිදු දිබ්බචක්ඛු ඥානය මධ්‍යම යාමයේ පහළ කරගත්තා. සත්ත්වයින් කර්මානුරූපව උත්පත්තිය ලබන හැටි, චුත වෙන හැටි , සුගති දුගතිවල උපත ලබන හැටි මට දැකිය හැකි වුනා. ආලෝකය පහළ වී අඳුර දුරුවුනා. විද්‍යාව පහළ වී අවිද්‍යාව දුරුවුනා. කෙළෙස් තවන වීර්යයෙන් යුතුව, ජීවිත පරිත්‍යාගයෙන් අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන කෙනෙකුට සිද්ධ වෙන්ට ඕනෑ දේමයි සිද්ධ වුනේ.

මේ විදිහට සිත සියුම් වෙලා උපක්ලේශ නැති වුනාම, අවබෝධයට යෝග්‍ය පරිදි බලවත් වුනා. ඒ අනුව ආස්‍රවයන් නැති කිරීමේ නුවණ ලබන්නට මගේ සිත යොමු කළා. මේක තමයි දුක කියල යථා දර්ශනයෙන් අවබෝධ කළා. මේක තමයි දුකේ හටගැනීම කියලා දුකේ නිරුද්ධ වීම කියල, දුක නිරුද්ධවන ප්‍රතිපදාව කියල යථාර්ථයෙන්ම මට අවබෝධ වුනා. මේවා තමයි ආශ්‍රව , මේවා තමයි ආශ්‍රවයන්ගේ හට ගැනීමට හේතු, මේ තමයි ආශ්‍රවයන්ගේ නිරෝධය , මේවා තමයි ඒවා නිරුද්ධවන ප්‍රතිපදාව කියල යථාර්ථයෙන්ම මට අවබෝධ වුනා. එතකොට කාම,භව,අවිද්‍යා කියන ආශ්‍රවයන්ගෙන් සිත නිදහස් වුනා. ඒ අවබෝධ ඥානය ලැබෙන කොට ඉපදීම නැතිවුනා. නිවන අවබෝධ කර ගත්තා. නිවන පිණිස කළ යුතු සියල්ල කර අවසන් වුනා. ආයෙමත් මෙවැනි ඉපදීමක් නැහැ කියල මට අවබෝධ වුනා. එදා රාත්‍රියේ අවසන් යාමයේ තුන්වැනි විද්‍යාව වන ආසවක්ඛය ඤාණය මට පහළ වුනා.

කෙළෙස් තවන වීර්යයෙන් යුතුව, ජීවිත පරිත්‍යාගයෙන් අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන කොට සිද්ධ වෙන්ට ඕනෑ දේමයි මටත් සිද්ධ වුනේ.

මහණෙනි, මහ වනයක අපූරු විලක් තියෙනවා. ඒ ඇසුරෙ පුංචි මුව රංචුවක් වාසය කරනව. ඔය මුව රංචුවට විපතක් කරන්නට කැමති පුරුෂයෙක් ඒ මුවන්ට යන්ට තියෙන ආරක්‍ෂිත මාර්ගය වහල දාල භයානක පාරක් විවෘත කරනව. පස්සෙ මුවෙක් වගේ පඹයෙකුත්, මුව දෙනක් වාගෙ පඹයෙකුත් හිටවනව. මේවට රැවටුනු මුව රංචුව අර භයානක පාරෙ ගිහිල්ල ටිකෙන් ටික විපතට පත්වෙලා අඩුවෙලා යනව. ඔය අතරෙ මුවන්ගෙ යහපත දකින්නට කැමති ගුණවත් පුරුෂයෙක් ඇවිත් අර අනතුරුදායක පාර වහල නිරුපද්‍රිත මාර්ගයක් විවෘත කරනව. පඹයො දෙන්නත් විනාශ කරනව. කලක් යනකොට ඒ මුව රංචුව විපතින් නිදහස් වෙලා සැපසේ වාසය කරනව.

ඔය කීවෙ උපමාවක්. විල කියල කීවෙ කාමයන්ටයි. මුව රංචුව කීවෙ සත්ත්වයින්ටයි. විපත් කළ පුරුෂයා කීවෙ පවිටු මාරයයි. භයානක මාර්ගය කීවේ අෂ්ටාංගික මිථ්‍යා මාර්ගයටයි. මුවා වගේ පඹය නන්දරාගයයි. මුව දෙන වගේ පඹය අවිද්‍යාවයි. යහපත දකිනු පුරුෂයා තථාගතයන් වහන්සේයි. නිරුපද්‍රිත මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.

දැන් ඉතින් ඔබලාට බියක් නැතිව යන්ට පුළුවන් මාර්ගය මං විවෘත කළා. ඒ සඳහා වෙනත් මාර්ගයක් නැහැ. අනතුරුදායක මාර්ගය වහල දැම්ම. පඹයින් දෙන්නවත් විනාශ කළා. ඔබලාට අනුකම්පාවෙන් යමක් මං කළ යුතු නම් ඒ සියල්ල කරල දීලයි තියෙන්නෙ. ඔය තියෙන්නෙ ගස් සෙවණ ඔය තියෙන්නෙ නිදහස් තැන් මහණෙනි, ප්‍රමාද නොවී සමථ විදර්ශනා වඩන්න. එහෙම නැතිව අන්තිමට පසුතැවිලි වෙන්ට එපා.

මුලු මහත් දෙව්රම් බිම පුරා අපූරු දැඩි නිහැඬියාවක් පැතිරී ගියා. හිරු සඳු එළියෙන් දැකිය නොහැකි සෑම තැනක්ම දැකිය හැකි සෞම්‍ය ආලෝකයක් දසත පැතිරී ගියා. ධර්ම ශ්‍රවණ සමාධියෙන් නැගී සිටි ශ්‍රාවකයන් වහන්සේලාගේ සිත් සතන් කාම, ව්‍යාපාද, විහිංසා විතර්කයන්ගෙන් බැහැරට හැරිලා පිහිටියා. බුදුරජාණන් වහන්සේට තෙවරක් නමස්කාර කළ ඒ පිරිස , අනේ සාධු! සාධු! කියල තථාගතයන් වහන්සේ විවෘත කළ මාවතට පිවිසෙනු පිණිස සිවුරු පාත්‍රා රැගෙන ඒ පිරිස රුක් සෙවණ සොයා, නිදහස් තැන් සොයා ශාන්තව පියමං කළා.

(ම . නි. සීහනාද වර්ගයේ ද්වේධා විතක්ක සූත්‍රය ඇසුරෙනි)


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.