Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ප්‍රශ්නය - මෙම පාඨය කියවන්න.

එවං පියො පුථු අත්තාපරෙසං
තස්මා න හිංසෙ පරමත්ත තාමොති
එහෙයින් තමාගේ සුව කැමැති තැනැත්තේ අනෙකෙකු නො පෙළන්නේය. – ඛු. නි. රාජසූත්‍ර.

බුදුරජාණන්වහන්සේ බෙහෙවින්ම සමීපතම යුවළකට දේශනා කළ උදානයකි. මෙම දායක දායිකා දෙපළ කවුද? මෙයින් බුදු දහමෙහි දැක්වෙත සර්වකාලීන සද්ගුණය කුමක්ද?

පිළිතුර
බුදුරජාණන්වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන අවදියේ කොසොල් මහරජතුමා සහ මල්ලිකා දේවිය අරමුණු කොට ගෙන දේශනා කළ ධර්ම පාඨයකි.

සබ්බා දිසා අනුපරිගම්ම චෙතසා
නෙවජ්ඣගා පියතර මත්තනා ක්වච්
එවං පියො පුථු අත්තා පරෙසං
තස්මා න හිංසෙ පරමත්ත කාමොති

සියලු දසදෙස බැලුවත් තමනට වඩා පි‍්‍රයතමයෙකු කිසි තැනෙක කිසිකලෙක නො දකින්නේය. එසේම සියලු සත්ත්වයන් ට තමාට වඩා තවත් පි‍්‍රයමනාප වූ අයෙක් නැත්තේමය. එහෙයින් ‘’අත්තුප්ප නායික ධර්ම’, ‘පරියාය’ තමා උපමානය වශයෙන් සලකා අනුනට හිංසා නො කළ යුත්තේ ය.


ප්‍රශ්නය - ‘නිබ්බාණං පරමං සුඛං’ නිවන පරම සුවයකි. පරම සුවයක් වූ නිවන එහි ඇති ශාන්ත ප්‍රණීත ස්වභාවය විස්තර කළ නොහැකි ප්‍රඥාවෙන් පමණක් සාක්ෂාත් කරගත හැකි ලෝකොත්තර ධර්මයෙකි. බුදුරජාණන්වහන්සේ සුවිශේෂ වූ වචන සමුදායකින් නිවනෙහි ස්වභාවය පැහැදිලි කළහ. එබඳු අවස්ථාවක පෙළ දහමෙහි එන අයුරු ද සුන්කොට දක්වන්න.

පිළිතුර - බුදුරජාණන්වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කළ අවස්ථාවකදී පඨම දුතිය නිබ්බාණ සූත්‍ර දේශනා මගින් නිවන පිළිබඳව මෙසේ පැහැදිලි කළහ.

‘මහණෙනි, යමෙක්හි පඨවී, ආපො, තේජො, වායු නමැති සතර භූ®තයො නැද්ද? ආකාසනඤ්චායතන, විඤ්ඤාණඤ්චායතන, ආකිංචඤචායචන, නෙව සඤ්ඤානාසඤ්ඤායන, සිත නැද්ද මේ ස්කන්ධ ලෝකය නැද්ද , මෙයින් උපදනා අන්‍ය ස්කන්ධ ලෝකයකුත් නැද්ද (එහි අඳුරක් නැති බැවින්) සඳහිරු දෙදෙනෙක් නැද්ද එසේ වූ ආයතනය (මාර්ගඵල සිතට අරමුණු වන නිවන) ඇත. මහණෙනි එහිත් කිසිවෙකුගේ යෑමක්, ඊමක් සිටීමක් මරණයක් මැරී ඉපැදීමක් නො කියමි. මෙය කිසිවෙක නො පිහිටි - ප්‍රත්‍යයන්ගෙන් නොපවත්නා කිසිම අරමුණෙක නො එල්බෙන දහමෙකි. මෙයට දුකෙහි කෙළවරය. (ඛු.නි. උදානපාලි - පාටලීගාමිය වග්ග)


ප්‍රශ්නය - සිය පුතුගේ මිරිවැඩි සඟලේ පියවර සටහන් දුටු බරණැස් සිටුවරයා ඒ අනුසාරයෙන් ඉසිපතනයට පැමිණියේ ය.

මෙම පුවතට පාදක වූ සිදුවීම කුමක්ද?

පිළිතුර- සිදුහත් තවුසාණන් බුදුවීමට කිරිපිඬු දානය පිළිගැන්වූ සුජාතා නම් සිටු දේවියගේ් පුත් යස නම් සිටු පුත්‍රයා ගිහිගෙඒන් නික්ම ඉසිපතන මිගදායට ගොස් බුදුන් හමුව එහි භික්ෂුභාවයෙන් පැවිදි විය. යසකුල පුතු ගිහි ගෙයින් නික්ම ගිය බව නොදැන සුජාතා උඩු මහලේ පුතු නොදැක බරණැස් සිටුතුමාට ඒ බව සැළ කළාය. පුතු සොයමින් සිටුවරයා මිරිවැඬි සඟල පියවර ඔස්සේ ඉසිපතනයට ගොස් බුදුරජාණන් වහන්සේ හමුව පුතු පැවිදි වූ බව අසා සොම්නසට පත්ව ‘මපුතුට මහත් ලාභයක් වූයේ යැයි’ සිතා සිය පුතු හා බුදුපාමොක් මහ සඟනට දනට වඩනා ලෙස ආරාධනා කළේය.


ප්‍රශ්නය - බෞද්ධ පිළිවෙතට අනුව ගිහි හෝ පැවිදි පුද්ගලයෙකු යහමග තෝරා ගැනීම සඳහා (සම්‍යග් මාර්ය) සංකල්පනාත්‍රයක් පෙළ දහමෙහි සඳහන් වෙයි. පැහැදිලි කරන්න.

පිළිතුර- සංකල්පනා තුනකි. එනම්

1. අත්තාධි පතෙය්‍ය
2. ලොකාධි පතෙය්‍ය
3. ධම්මාධි පතෙය්‍ය

අත්තාධිපතෙය්‍ය ක්‍රමයෙහි දී තමා මුල් කරගෙන සිත සදාචාරයෙහි පිහිටුවීම සිදුවෙයි. ලොකාධිපතෙය්‍ය ක්‍රමවේදයට අනුව ලොකාපවාදයට යොමුවන ක්‍රියාවලින් වැළකී ආත්ම දමනයෙන්, පධන් වීර්ය වඩා දිවිමග සරුකර ගැනීම සිදුවේ. ධර්මයෙහි ස්වාක්ඛාතාදී ගුණ මෙනෙහි කරමින් ඒ අනුව දැහැමි සිතුවිලි වඩා ධර්මානුකූල පැවැත්මට නැඹුරුවීම ධම්මාධි පතෙය්‍ය නම් වෙයි.


ප්‍රශ්නය - බුදුරජාණන්වහන්සේ පන්සාළිස් වසක් දේශනා කළ සමස්ත දේශනා සමුච්චය නියෝජනය වන්නේ පාලි ත්‍රිපිටකයෙනි. ප්‍රථම සංග්නියෙහිදී එය එක්කොට සංග්‍රහ කරන ලදී. පාලි ත්‍රිපිටකය පිළිබඳව ඓතිහාසික තොරතුරු ඇතුළත් පැහැදිලි කිරීමක් කරන්න.

පිළිතුර - භාග්‍යවතුන්වහන්සේ පිරිනිවන් පා වදාළ නමුත් උන්වහන්සේගේ දීර්ඝ හා ඵලදායි ලෝ කාර්තචර්යාව මගින් මානව වර්ගයා වෙත නො සඟවා දායාද කළ උතුම් වූ ශ්‍රී සද්ධර්මය අද නිර්මලව පවතී. බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසු අජාසත් රජුගේ රාජ්‍යෝදයෙන් අටවන වසරෙහිදී ධර්මයෙහි පිරිසුදු බව උදෙසා රජගහ නුවර ධර්ම සංගායනාවක් පවත්වන ලදී. පිවිතුරු බුද්ධ දේශනාව වියවුලකින් විනාශ නොවී පවත්වා ගෙන යෑම සඳහා නැවතද බුද්ධ වර්ෂ 100 දී හා 236 දී රහතන් වහන්සේලාට සංගීත් දෙකක් පවත්වන්නට සිදුවිය. ක්‍රි. පූර්ව 83 දී පමණ දැහැමි සිංහල නරේන්ද්‍රයෙකු වූ වට්ටගාමිණි අභය (වළගම්බා) රාජ සමයේ මාතලේ අලුවිහාරයෙහි දී සංගායනාවක් පවත්වන ලද අතර බෞද්ධ ඉතිහාසයේ ප්‍රථම වරට ත්‍රිපිටක ග්‍රන්ථාරූඪ කරන ලදී.

ත්‍රිපිටකය යන වචනයේ තේරුම ‘මංජුසා තුන’ යන්නයි. (පාලියෙන් ත්‍රිපිටක) (මංජු) සා පෙට්ටිය, කූඩය, මල්ල) පිටක තුන නම් විනය පිටකය, (පැවිදි ජීවිතයට අදාළ නීතිරීති ඇතුළත් සංග්‍රහය) සූත්‍ර පිටකය (බුද්ධ දේශනා එක්කළ සංග්‍රහය හා අභිධර්ම පිටකය (ගැඹුරු දේශනා) ඇතුළත් සංග්‍රහය යි.


ප්‍රශ්නය - බුදුරජාණන්වහන්සේ ‘මහානාරද කස්සප ජාතක දේශනාව අසා රජ කෙනෙක් සහ තම දූත පිරිස සෝවාන් ඵලයට පත්වූහ. සෝවාන් වූ රජ බුදුරදුන් වෙත පැමිණ තම ප්‍රාර්ථනා පසක් ඇතිව සිටි බව කීය. මෙම රජතුමා කවුද රජුගේ එම ප්‍රාර්ථනා පස කුමක්ද?

පිළිතුර - මගධාධිපති සේනිය බිම්බිසාර මහරජතුමා මහා නාරද කස්සප ජාතක දේශනාව අසා සෝවාන් වූහ. බිම්සර මහරජුගේ ප්‍රාර්ථන පස නම්

* රජවීම
* තමන්ගේ රටට බුදුන්වහන්සේ සැපත් වීම
* බුදුරදුන්ගෙන් බණ ඇසීම
* බුදුන් වහන්සේ ඇසුරු කිරීම
* ධර්මය අවබෝධ කර ගැනීම යන පසයි.


ප්‍රශ්නය - මෙම බුද්ධ දේශනාවට පාදක වූ සිදුවීම පැහැදිලි කරන්න.

උත්තිට්ඨෙ නප්පමජ්ජෙය්‍ය
ධම්මං සුචරිතං චරෙ
ධම්ම චාරී සුඛං සෙති
අස්මිං ලොකෙ පරම්හිච

නොමැළිව පිඬුසිඟව
නොපමාව දම්හි හැසිරෙව
දම්සැරි පුගුල් තෙම
සුවසේ වෙසෙයි දෙලොවම

පිළිතුර- බුදුරදුන් කිඹුල්වත වැඩි ගමනෙහිදී කිඹුල්වත ශාක්‍යයෝ දහම් ඇසීමෙන් සොම්නස්ව බුදුනට දනට ඇරයුම් නො කොට සිය මැදුර බලා ගියහ. පසුදා බුදුහු මහ සඟන පිරිවරා පෙර බුදු සිරිත අනුව යමින් පිඬුසිඟා වැඩියහ. යසෝදරා දේවිය ‘නරසීහ ගාථා අටකින්’ බුදුගුණ වනා සිය මහරජු වෙත පැමිණ ‘මහරජ ඔබ පුතු සිඟා වඩිති’ කීවාය.

සුදොවුන් රජු බුදුරදුන් වෙත පැමිණ හිමියනි ශාක්‍යවංශයෙහි වූවෝ සිඟා නොගියහ. මෙසේ සිඟීමෙන් අප වංශයට අවමන් නොකරනු මැනවැයි ඇයැද සිටියේය. එවිට බුදුරදහු මහරජ ඒ ඔබගේ වංශයේ සිරිතය. මාගේ වංශය බුද්ධ වංශයයි වදාළහ. මහරජ එය අසා සෝවාන් ඵලයෙහි පිහිටියේය. ඉහත සඳහන් ගාථාව එම අවස්ථාවේදී බුදු රදුන් විසින් සුදොවුන් මහරජුන් වෙත දෙසා වදාළහ.


ප්‍රශ්නය - මෙම පාඨයෙන් සඳහන් වන දෙදෙනා කවුරුන්ද?

පැවිදි වෙස්ගත් ඔහු දෙදෙන උඩුමහලින් බිම් මහලට බසු. මගට බටහ. මග යන ඔවුන් අතර මෙබඳු කථාවක් ඇතිවිය. ‘පැවිදි වීත් මොහු දෙදෙනා වෙන් විය නොහැකියි’ මිනිස්සු කිළිටු සිත් පහළ කොට ගෙන පව් පුරවා ගනිති. එහෙයින් ඉදිරි දෙමං සන්ධියේදී ‘අපි දෙදෙන වෙන්ව යමු’ යැයි දෙදෙනම එකඟ වූහ. මානවකයා වටා තෙවරක් ප්‍රදක්ෂිණා කොට වැඳ අවසර ගෙන වම් මගින් හුදකලාව ඇය නික්ම ගියාය. මානවකයා දකුණු මං බලා ගමන් ගති. ඔවුන් දෙදෙනා වෙන්ව ගිය කල්හි මහ පොළොව ගුගුරමින් කම්පා විය.

පිළිතුර - මගධ රට මහාතීර්ථ නම් බමුණු ගම කපිල නම් බමුණාට දාව උපන් පිප්පලී නම් දරුවා තාරුණ්‍යයට පත්ව මදුරට සාගල පුරයෙහි භද්‍රාකාපිලානී නම් දියණිය විවාහයෙන් පසුව දෙදෙනා සිය කැමැත්තෙන් ගිහිගෙය අතැර පැවිදි වීම සඳහා පිටත්ව ගිය අවස්ථාව මෙම පාඨයෙන් කියැවෙයි. සම්බුද්ධ ශාසනයෙහි තෙවන ශ්‍රාවක වශයෙන් සඳහන් වන ධූතාංගධාරී මහා කාශ්‍යප මහරහතන් වහන්සේ නමින් පසුව සඳහන් පිප්පලී මානවකයා ප්‍රකට විය.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.