Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මව්පිය ගුණ

ලෝකයෙහි ඇත්ත ඇති සැටියෙන් සියල්ල දක්නා නුවණින් දුටු ගෞතම බුදුපියාණන් වහන්සේ විසින් මව්පිය සෙනෙහස ඉතා අර්ථවත්ව හේතු සාධක සහිතව මිනිස් සමාජයේ මහා බලයක්ව පවතින බව අපට හමුනොවන බුද්ධියට ගෝචර නොවන පැතිකඩක් ඉතා පැහැදිලිව පෙන්වා දුන්හ. අප දරුවන් වශයෙන් මේ ගැන සිතා විමසා බලා දෙමව්පියන් ගේ ගුණ ගැන සිතා මානුෂිකත්වයෙන් වටහා ගත යුතුයි. දරුවන් සම්බන්ධව ඇති මව්පිය ස්නේහය තම නහර ඇටමිදුලු වල කිඳාබැස ගෙන ඇතිබව නිසාම මහා බ්‍රහ්ම ගුණ දෙමව්පියන්ට ඇත.

බ්‍රහ්මාති මාතා පිතරෝ
පුබ්බාචරියාති උච්චරේ
අහුණෙය්‍යාච පුත්තා නං
පජාය අනුකම්පකා’’

පින්වත් දුවේ, පුතේ

අගක් මුලක් පරක් තෙරක් නොපෙනෙන මහා සයුර සේ, මවගේ ගුණ පියාගේ ගුණ පිඬුකොට ගණනය කොට සීමාකොට දැක්විය නොහැකිය. ශාන්ති නායක තිලෝගුරු බුදුරජාණන් වහන්සේ මගේ, මවගේ පියාගේ ගුණ බොහෝ අවස්ථාවල ගෙනහැර දැක්වූහ. මහා බ්‍රහ්මයා සියලු ලෝ වැසි සත්ත්වයන්ට මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා ගුණ යම්සේ පතුරුවන්නේද? එසේ මව පියා දරුවන්ට මේ ගුණ පතුරුවා අපට කිසිම - කායික මානසික දුකක් දෙමාපියන් දෙන්නේ නැහැ. දරුවන්ට සැප ලබා දීමටයි මව පියා වෙහෙසන්නේ.

ඒකයි මෙත්තා හෙවත් මෛත්‍රිය කියන්නේ. දුකට පත් සියලු අවස්ථාවලදී ජීවිතය පරදුවට තබා වහාම ක්‍රියාත්මක වී දුකෙන් මුදවා ගැනීමයි. කරුණාව කියන්නේ දරුවන්ට මැදහත් සිතෙන් සලකනවා, කිසිම දරුවකුට වෙනසක් නැහැ. මුදිතා ගුණය එයයි. උපේක්ෂාව යනු දරුවන් ගුණ ධර්මයෙන් පෝෂණය වී සත්පුරුෂයන් බවට පත් වූ විට මැදහත් සිතින් ආශිර්වාද කිරීමයි. මේ සතර බ්‍රහ්ම විහරණ හෙවත් ගුණ ධර්ම අපට වෙනත් කිසිවෙකුගෙන් බලාපොරොත්තු විය නොහැකිය. දෙමාපියන් අපට මේවා දෙන්නේ මුදල්, තාන්න - මාන්න, කීර්ති - ප්‍රශංසා බලාපොරොත්තුවන් ද නොවේ.

මුල් ළමාවිය’ සංවර්ධනය අත්පොත තබන්නේ් මව, පියායි හොඳ නරක කියාදී ගුණධර්මයෙහි පිහිටුවීම මුලින්ම සිදුවන්නේ මව හා පියාගෙනි.

‘ආහුනෙය්‍ය’ යනු පිදීමට සුදුස්සෝ යනුයි. බුදුපියාණන් වහන්සේ තම ශ්‍රාවක සංඝයාට ඇති ගුණයන් මවටද පියාටද ඇති බව පෙන්වා දුන්හ.

දෙලොවටම යහපතක්!

මංගල සූත්‍රයේදී ‘මාතා පිතු උපට්ඨානං..’ යනුවෙන් මව්පියන්ට උපස්ථාන කිරීම මංගල කරුණක් බව පෙන්වා දුන්හ. මෙලොව වශවෙන් පැමිණෙන උවදුරුත් පරලොව වශයෙන් පැමිණෙන උවදුරුත් දුරු කරන්නේ නම් එය මංගල කරුණකි. දෙමාපියන්ට සලකන විට ඒ අය අප මේ ලෝක වශයෙන් ආරක්ෂා කරනවා. ගුණ ධර්මයන්ගෙන් පෝෂණය කරලා තුනුරුවන් වෙත යොමුවීම නිසා මිය ගිය පසු සුගතියට යාමට හේතුවෙනවා. ඒකයි දෙමාපියන්ට සැලකීම මංගල කරුණක් වන්නේ.

‘මාතුපෝෂක’ ජාතක කථාවේදී පුතා මව කරේ තබාගෙන මුහුදේ පිහිනුවා. මව පුතාට බුදුවීමට නියත වරම් දුන්නා. ඒ ‘බුදු මව‘ නිසා - පුතාට බුදුවිමට වරම් දුන්න බැවින් මේ සසරේ සැරිසරන දුකට පත් බොහෝ සත්ත්වයන් බුදුන් දැක නිවන් දැක්කා.

යම් පුතෙක් දුවෙක් තම මව පියා වයස ගිය පසු හැකිකම තිබෙද්දී සලකන්නේ් නැත්නම් ඔවුන් වසලයන් බවත් පිරිහීමට පත්වන බවත් බුදුපියාණන් වහන්සේ පෙන්වා දුන්හ.

යෝ මාතරං වා පිතරංවා
ජිණ්ණකං ගත යොබ්බනං
පහුසන්තො න භරති
තං පරාභවතො මුඛං

මුලින් කී අදහසයි මේ ගාථාවේ තියෙන්නේ. අපගේ කුදු මහත් සියලු කටයුතු කරන්නේ මව සහ පියාය. සියලු දුකේදී පිහිට වෙනවා. කවර රටක දේශයක ජාතියක මවෙක් පියෙක් වුවද සිය හදවතින්ම දරුවට ලෙන්ගතුය. අජාසත් කුමාරයා කුඩා කල අතේ ඇඟිල්ලක විෂ ගෙඩියක් නිසා වේදනාවෙන් කෑගසද්දී සිය පුතා සැනසීම සඳහා බිම්බිසාර පිය මහරජතුමා පුතාගේ විෂ ගෙඩිය සහිත ඇඟිල්ල කටේ දමාගෙන සිටින විට ගෙඩිය පුපුරා සැරව කටේ පිරුණා. පිය රජතුමාගේ දැඩි පුත්‍ර ස්නේහය නිසා ඔහුට අනාදරයක් අපහසුවෙක් සිදුවේයැයි සිතා කටෙන් ඇඟිල්ල නොගෙනම සැරව ගිල්ලා!

චින්තන ශක්තියක් ඇති බුද්ධිමත් මනුෂ්‍යයන් වශයෙන් අපගේ යුතුකම් මනුෂ්‍යකම් හරියට ඉටුකරනවානම් කිසිසේත් ‘දූ දරු, මව්පිය සබඳතා’ බිඳ වැටෙන්නේ නැත. උතුම් දරු සම්පත ප්‍රාර්ථනා කරන දෙමාපියන් තම කුසට දරුවකු පැමිණි පසු ‘ගැබ් පෙරහර’ නමින් උපදින්නට පෙර දරුවා වෙනුවෙන් කළයුතු පූර්ව කෘත්‍යයක් කිරීමක් අප අතර ඇත. මව , පියා දෙදෙනාම ඉතාමත් කාරුණිකව මේ කාලය ගත කරනවා. මෛත්‍රිය, කරුණාව දයාව වැඩෙන සිතුම් පැතුම් නිරවුල් මානසික වාතාවරණයක් දෙදෙනාව සනසා ගන්නවා. මව නිතරම ආගමික පරිසරයකට යොමු කරනවා. ගුණවත්, නැණවත් ශක්තිමත් වීරෝදාර දරුවන් බිහිවන්නේ මවගේ පියාගේ මානසික කායික යහපත් ක්‍රියාදාම මෙන්ම පෝෂ්‍යදායි ආහාර ලබාදීමෙනි.

පින්වත් ගුණවත් දරුවන් බිහිවීම සමාජයේ නිවීමට හේතුවේ. සැනසීමට හේතුවේ. දෙමව්පියන්ට නොසැලකීම පිරිහීමට හේතුවකි. තිරිසන් සතුන් පවා තම දරුවන්ට අසීමිත සෙනෙහසක් දක්වයි.

උසස් මානසික ශක්තියක් ඇති බුද්ධිමත් මනුෂ්‍යයන් වන අප මේ සර්ව සාධාරණ මව්පිය සබඳතාවය ගැන දෙමාපිය, දූ දරු සබඳතාවය ගැන සිතා විමසා බැලිය යුතුය. මේ ගැන විමසීමේදී කිසිසේත් අපට අපේ වගකීම්වලින් බැහැර වීමට පැහැර හැරීමට හැකියාවක් නැත. බුදුපියාණන් වහන්සේ ‘මව්පිය සෙනෙහස’ පැහැදිලි කර දුන්නේ මෙසේය.

‘මහණෙනි! දෙමාපියන්ගේ පුත්‍ර සෙනෙහස තම සිවිය සිඳගෙන හමේ නතර වෙනවා. හම සිදුරු කරගෙන මස්වල නතර වෙනවා. මස් සිඳගෙන නහරවැල නතර වෙනවා. නහර සිඳගෙන ඇටකටුවල නතර වෙනවා. ඇට සිඳගෙන ඇට මිදුලුවල නතර වෙනවා.

ලෝකයෙහි ඇත්ත ඇති සැටියෙන් සියල්ල දක්නා නුවණින් දුටු ගෞතම බුදුපියාණන් වහන්සේ විසින් මව්පිය සෙනෙහස ඉතා අර්ථවත්ව හේතු සාධක සහිතව මිනිස් සමාජයේ මහා බලයක්ව පවතින බව අපට හමුනොවන බුද්ධියට ගෝචර නොවන පැතිකඩක් ඉතා පැහැදිලිව පෙන්වා දුන්හ. අප දරුවන් වශයෙන් මේ ගැන සිතා විමසා බලා දෙමව්පියන් ගේ ගුණ ගැන සිතා මානුෂිකත්වයෙන් වටහා ගත යුතුයි. දරුවන් සම්බන්ධව ඇති මව්පිය ස්නේහය තම නහර ඇටමිදුලු වල කිඳාබැස ගෙන ඇතිබව නිසාම මහා බ්‍රහ්ම ගුණ දෙමව්පියන්ට ඇත.

මහණෙනි, මෙලොව අප දකින මහා බ්‍රහ්මයා මව්පියන්ය. ඉතාමත් පැහැදිලිව බුදුපියාණන් වහන්සේ මව්පියන්ට සැලකීම මෙසේද අවධාරණය කරනවා.

මව්පියන් දරුවන්ට කළ සැලකිල්ලට උපස්ථානයට ණය ගෙවන්න ඒ දෙදෙනා උරහිස තබා මුළු ජීවිත කාලයම කැප කරලත් බැරි බව දේශනා කළහ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.