Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ප්‍රශ්නය
බුදු දහමට අනුව එක් එක් පුද්ගල යහපත් වීමේ එකතුව සමස්ත ජන සමාජයේම යහපත්වීමේ එකතුවයි. එසේම එක් පුද්ගලයෙකුගේ පරාභවය බොහෝ දෙනාගේ පරාභවයට ද හේතුවන්නට පුළුවන. සූත්‍රාගත දේශනා ඇසුරු කොට ගෙන ඉහත සඳහන් නිගමනයන් සනාථ කරන්න.

පිළිතුර
අං.නි. මහාසාල සූත්‍රාගත දේශනයට අනුව බුදුරජාණන් වහන්සේ වරෙක (සද්ධං කුල පුත්තං නිස්සාය, අන්තො ජනා) එක් පුද්ගල යහපත වටා සිටින්නවුන් (ආශි‍්‍රතයන්) සද්ගුණ (පංචහි වඩ්ඩහි) අභිවෘද්ධියට පැමිණේ.

1. සැදැහැයෙන් දියුණු වේ. (සද්ධා)
2. සිල්වත් බවින් පෝෂණය වෙයි. (සීලවා)
3. පරිත්‍යාගශීලී වෙයි. (චාග)
4. ප්‍රඥාවෙහි අභිවෘද්ධියට පත්වේ. (පඤ්ඤා)
5. බාහුසච්ච බව) බොහෝ ඇසූ පිරූ ගති ඇත්තෙකු වීම (සුතවත්)


ප්‍රශ්නය
දෙමව්පියන් (මාතාපිතරො පුත්තං ඉච්ඡන්ති කුලෙ ජායමානං) යහපත් දරුවෙකුගේ උපත වඩාත් කැමති වන බව (ඨානානි සම්පසන්ත) බුදු දහම අවධාරණය කර තිබේ. අං.නි. සුමනා වග්ග පුත්‍ර සූත්‍රයෙහි එන දේශනා වලින් එම දේශනාව සනාථ වෙයි. පැහැදිලි කරන්න.

පිළිතුර
1. තමා සුවපත්ව, අපවද සුවපත් කරයි යන විශ්වාසය මව්පියන් තුළ ස්ථානගත වීම (භතොවා නො භරිස්සාමි)
2. අපගේ කුදු මහත් කටයුතු නොපිරිහෙලා ඉටු කරන්නේය යන හැඟීම මව්පියන් තුළ පවතී. (කිව්වං වා නොකරිස්සාමි)
3. අපගේ පරපුර ආරක්‍ෂා කරයි. යන අදහස මව්පියන් තුළ පවතී. (කුල වං සො චිරං ඨස්සති)
4. සන්තකය කැමැත්ත පරිදි කටයුතු කරයි, යන විශ්වාසය (දායජ්ජං පටිපජ්ජති) මව්පියන් තුළ පවතී.
5. මිය ගිය පසු සිහිපත් කොට දන් පින්කම් කොට සිහිපත් කරයි. (අථච පන පේතානං කලකතානං දක්ඛිණං අනුප දස්සතීති) යන විශ්වාසයද දරුවන් පිළිබඳ මව්පියන් තුළ පවතී.


ප්‍රශ්නය
සමාජගත පුද්ගලයන් හඳුනා ගැනීම ජීවිතය සැපවත් කර ගැනීමට එක් හේතුවක් බව බුදුදහම පැහැදිලි කරයි. ජීවිත සැපවත් කරන යහගුණැති කල්‍යාණ මිත්‍රයෙකු සතු ගුණ දහම් හතක් හඳුන්වා දෙයි. ඒ මොනවාද?

පිළිතුර
1. මනා හැසිරීම් රටාවකින් යුත් පි‍්‍රය මනාප හික්මුණු පුද්ගලයෙකු වීම.
2. ගරු කටයුතු ආදර්ශවත් පෞරුෂයකින් යුක්ත වීම.
3. වරද නිවරද මනාව වටහාදීමේ හා නිසි අවවාද දීමේ ශක්තිය.
4. ඇසුරු කරන මිතුරු මිතුරියන්ට නිවැරැදිව හා යහපත්ව සවන් යොමු කරන්නෙකු වීම.
5. මිතුරා අයහපත් දේ කිරීමෙන් වළක්වා සුමඟට යොමු කරවීම.
6. දුෂ්කර වූ ගැටලු සහගත කරුණු වටහා දීම.
7. ඉවසීම යන කරුණු හත යහගුණැති මිතුරකු සතු ලක්‍ෂණ අතර වේ.


ප්‍රශ්නය
දාන පාරමිතාව පිරීම බෝසත් ගුණයකි. දාන වස්තුව, ප්‍රතිග්‍රාහක, අරමුණ හා දීමෙහි මහත් ඵල මහානිශංස ලැබීම පිළිබඳවද පෙළ දහම් පොත්පත් වල විචිත්‍ර වූ පිළිවෙත් දක්නට ලැබෙයි. ප්‍රතිග්‍රාහක පක්‍ෂය (ලබන්නා) පිළිබඳව බුදු දහම අවධාරිත දේශනයන් කිහිපයක් පැහැදිලි කරන්න.

පිළිතුර
1. නිවහනට පැමිණෙන්නාට කරන සත්කාරය (ආගන්තුක දාන)
2. ගම්වැසියන්ට කරන සත්කාරය (ගාකස්ස)
3. රෝගීනට දෙන දානය (ගිලානස්ස)
4. දුර්භික්‍ෂ කාල (දුර්භික දාන)
5. අග්‍රශ්‍යස්‍ය දාන (නව සස්සානි නව ඵලාති – පඨමං සීල වන්තෙසු පතිට්ඨාපති)


ප්‍රශ්නය
මෙලොව උපත ලද හැම සත්වයෙක්ම ‘සුඛ’ යන හෙවත් ‘සුඛ කාමානී භූතානි’ සුව කැමැත්තෝය. මිනිසා පිළිබඳව ද එසේම බව අං.නි. චක්ක සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. ලෞකික සම්පත් බහුල වීමට හේතු හතරක් ඇති බව එම දේශනා වල සඳහන් වෙයි. සනාථ කරන්න.

පිළිතුර
1. සුදුසු පෙදෙසක විසීම (පතිරූපදේශවාසය)
2. සද්ගුණ බහුල මිනිස් ඇසුර (සදාශ්‍රය)
3. සිත්හි තැන්පත් බව (අත්ත සම්මා පණියි)
4. පෙරපින් ඇති බව (පුබ්බේච කත පුඤ්ඤතා)


ප්‍රශ්නය
සබ්බපාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං
එතං බුද්ධාන සාසනං

සියලු අකුසල් නො ඉපදවීමද කුසලයාගේ ප්‍රතිලාභයද (අභිවෘද්ධියද) ස්වකීය සිත් සතන්හි පිවිතුරු බවද සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි. මෙහි ‘සබ්බ පාපස්ස අකරණං’ යන්න ධර්මානුකූල විවරණයක් කරන්න.

පිළිතුර
‘සබ්බ පාපස්ස’ කාය දුශ්චරිතය – වාග් දුශ්චරිතය මනෝ දුශ්චරිය යන දුශ්චරිතයෝය. මේවා දශ අකුසල කර්මපථ වශයෙන්ද ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙයි. එනම් පාණාතිපාතය, අදින්නාදානය, කාමෙසුමිච්ඡාචාරය, මුසාවාදය, පිසුනාවාචාය, ඵරුසාවාචය, සම්ඵප්පලාපය, අභිජ්ඣාය, ව්‍යාපාදය, මිථ්‍යා දිට්ඨි යන්නයි. මේ දස අකුසල කර්ම පථ, ලෝහ, දෝස, මෝහ යන අකුසල මූලයන් මගින් ප්‍රභවය වෙයි. සතර අගතියම මේ අකුසල මූලයෝ ප්‍රත්‍ය වෙයි. ඔවුන් අතරෙන් ලෝභ, අකුසල මූලය අසුභ භාවනාවෙන් ප්‍රහීණ වෙයි. ද්වේශය මෙත්තා භාවනාවෙන් ප්‍රහීණ වෙයි. මෝහය පඤ්ඤා භාවනාවෙන් ප්‍රහීණ වෙයි. එසේම ලෝභය උපේක්‍ෂාවෙන් ප්‍රහීණ වෙයි. ද්වේශය මෙත්තාවෙන් ද, කරුණාවෙන්ද ප්‍රහීණ වෙයි. මෝහය මුදිතාවෙන්ද ප්‍රහාණයට පත් වෙයි.


ප්‍රශ්නය
සමථ භාවනාව පිළිබඳ පැහැදිලි කරන්න.

පිළිතුර
“චිත්තං සමෙතීති සමථො” සිත සන්සුන් කරන්නේ සමථයයි. සමථ භාවනාවට යොදා ගත හැකි (ආරම්මණ) අරමුණු, සතළිහක් දක්වා තිබේ. ඒවාට කර්මස්ථාන යයි කියනු ලැබේ. සමථ භාවනා කරන විට සිත්හි සමාහිත බවක් හෙවත් සමාධියක් උපදී. තැන්පත් සිත සමාධියයි. සත්‍ය දකින්නාවූ ප්‍රඥාවට ඉතා ළඟින්ම උපකාරී වන්නේ චිත්ත සමාධියයි. (සමාහිතො යථා භූතං පජානාති) තැන්පත් සමාහිත සිත ඇත්තේ (යොනිසො මනසිකාර) ඇති සැටියෙන් දැන ගනී.

සියලු භාවනාවන් වැඩීමෙන් ලැබෙන ආනිශංස මෙසේ පිඬුකොට දක්වා ඇත.

1. ඒකාන්ත නිබ්බිදාය – දුකෙහි කළකිරීම පිණිස
2. විරාගාය – රාගය දුරු කිරීම පිණිස
3. නිරෝධාය - කෙළෙස් ප්‍රහාණය පිණිස
4. අභිඤ්ඤාය – ප්‍රඥාව දියුණුව පිණිස
5. සම්බෝධාය – අවබෝධය පිණිස
6. නිබ්බානාය – නිර්වාණය සාක්ශාත් කරගැනීම පිණිස

මෙම අදහස් අපවත් වී වදාළ ආචාර්ය වල්පොල රාහුල හිමියන් තම ග්‍රන්ථයෙහි මෙසේ සඳහන් කොට ඇත. (බුදුන් වදාළ ධර්මය පිටු .98) බුදුන් වහන්සේගේ භාවනා ක්‍රමය සම්පූර්ණ මානසික සෞඛ්‍යයත්, සාමයත්, ශාන්තියත් ලබා දෙයි. භාවනාව වචනය කියනු ලබත්ම ඇතමෙක් කල්පනා කරන්නේ ජීවිතයේ දවසේ වැඩ වලින් වෙන් වී සමාජයෙන් වෙන්ව විහාරවල දක්නට ලැබෙන ඉරියව්වකින් ගූඪ ලෙස කරන කටයුත්තක් ලෙසිනි. සැබෑ බෞද්ධ භාවනා කිසිලෙස කිසිදු එවැනි පලායාමක් නොවේ. සතිපට්ඨාන සූත්‍ර භාවනා සම්බන්ධ ඉතා වැදගත් සූත්‍රයකි. එහි භාවනා ක්‍රමය ජීවිතයට සම්බන්ධය. අප දිනපතා කරන පොදු වැඩ වලටත් සතුටුවීම් හා අසහන වලටත් කථාවලටත්, සිතිවිලිවලටත්, බුද්ධිමය කාර්ය වලටත් සම්බන්ධය. තවදුරටත් උන්වහන්සේ භාවනා යන වචනයේ නියම තේරුම නම් සිත වැඩීම නැතිනම් දියුණු කිරීමයි. සිත කිළිටි කරන කෙලෙස් වලින් මුදා පිරිසුදු කර ඒකාග්‍රතාවය ස්මෘතිය, බුද්ධිය, අධිෂ්ඨානය, විරිය, විවේචන ශක්තිය, ශ්‍රද්ධාව, පී‍්‍රතිය, ශාන්තිය ආදී ගුණ දියුණු කොට ප්‍රඥාව ලබා දී නිර්වාණවබෝධය එහි අරමුණය යනුවෙන් විස්තර කරයි.


ප්‍රශ්නය
“උට්ඨානෙනප්පමාදෙන සඤ්ඤ,මෙන දමෙනච
දීපං කයිරාථ මෙධාවි – යං ඔඝො නාභි කීරති”

ධම්මපද ධර්ම ග්‍රන්ථාගත මේ ගාථා ධර්මයෙහි එන ‘සඤ්ඤමෙන – දමෙනච’ යන පාඨය ධර්මානුකූලව විවරණයක් කරන්න.

පිළිතුර
බුදු දහමට අනුව පුද්ගල ජීවිත අභිවෘද්ධිය සඳහා ‘ආත්ම දමනය’ බෙහෙවින් අත්‍යවශ්‍ය වෙයි. ඒ සඳහා තමා විසින් ගුණ දහම් පහක් සපුරා ගත යුතු ය. ධර්ම ග්‍රන්ථ වල සඳහන් වන එම කරුණු නම් සීලය, සතිය (සිහිය) ඉවසීම (ඛන්තී) වීරිය (වීර්යය උත්සාහවන්ත බව) ප්‍රඥාව (නුවණ) සඳහන් වෙයි.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.