Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදුදහමේ ප්‍රජාතාන්ත්‍රික ලක්‍ෂණ

ප්‍රජාතාන්ත්‍රවාදය යනු මානව සංහතියේ යහපත පිණිස ම වන්නා වූ වැඩි දෙනාගේ කැමැත්ත ය. බොහෝ දෙනකුගේ කැමැත්තට ඉඩදීම අන් අයගේ අදහස් ගරුකිරීම මෙන්ම නිදහස හා සමානාත්මතාව ගරු කිරීම යන සියල්ල ම ප්‍රජාතන්ත්‍රාවාදය යනුවෙන් පොදුවේ හැඳින්විය හැකිය.

1863 දී ගෙටිස්බර්ග් නුවර පවත්වන ලද රැස්වීමකදී ඒබ්‍රහම් ලින්කන් ප්‍රජාතන්ත්‍රවාදය යනුවෙන් හඳුන්වා ඇත්තේ “ මහජනතාව විසින් මහජනතාව උදෙසාම ගෙන යන පාලන තත්ත්වයකි” යනුවෙනි. දේශපාලන දෘෂ්ටිකෝණයෙන් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව සාකච්ඡා කරනවිට එම සංකල්පය ක්‍රියාවට නංවන ක්‍රම කිහිපයක් වර්තමාන ලෝකයේ දැකගත හැකිය. එනම්,ඍජු ප්‍රජාතන්ත්‍රවාදය (ප්‍රාථමික ජනතා මණ්ඩල ක්‍රමය, ජනමත විචාරණ ක්‍රමය, ප්‍රාරම්භනය, ප්ලේබ්සයවිට් ක්‍රමය, පුනරාවර්තන ක්‍රමය ) නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය හා ව්‍යවස්ථානුකූල ප්‍රජාතන්ත්‍රවාදය යනුවෙනි.

මානව සංහතියේ යහපත වැඩිදියුණු කරන වැඩ පිළිවෙලක් වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ බෞද්ධ සංකල්පය සකස් වී තිබේ.

බහුජන හිතාය බහුජන සුඛාය යනුවෙන් බොහෝ ජනතාවගේ හිතසුව පිණිස චාරිකාවේ හැසිරීමට තම ශ්‍රාවකයන් වහන්සේලා යොමුකළ ලොව ප්‍රථම ආගමික සංවිධානය වන බෞද්ධ සංඝ සමාජය ආරම්භයේදී සම්පූර්ණයෙන් ම ප්‍රජාතන්ත්‍රවාදී පදනමක් මත ගොඩනගා තිබිණි.

විශාල භික්ෂු පිරිසක් සංඝ සමාජයේ සාමාජිකයන් වූ අතර බුදුරජාණන් වහන්සේගෙන් පසුව නායකත්වය, කවරෙකුට පවරන්නේද යන අදහස පිළිබඳව බොහෝ දෙනා තුළ කුතුහලයක් පැවතුණි. සංඝ සමාජයේ නායකත්වය බහුතර කැමැත්ත මත තීරණය වුවහොත් තවත් පිරිසක් එයට අභියෝග කළහැකිය. නිගණ්ඨනාථපුත්ත මියගිය පසු ඔහුගේ ශ්‍රාවකයන් නායකත්වයට පත්වීමට කරනු ලැබූ අරගලය බුදුරජාණන් වහන්සේට දැකගන්නට ලැබුණි. එවැනි තත්ත්වයක් තම ශාසනයට උදාවීම වැළැක්වීමට බුදුරජාණන් වහන්සේ අනුගමනය කළ ක්‍රියාමාර්ගය වූයේ තමන්ගෙන් පසු ධර්ම විනය දෙක ශාස්තෘවරයා බවට පත්කිරීමය.

නායකත්වය යටතේ බොහෝ දුරට ගොඩ නැගෙන්නේ පුද්ගලාභිවාදනයයි. බුදුරජාණන් වහන්සේ ආඥාදායකයකු ලෙස හැසිරීමට උත්සාහ ගෙන නැත. ධර්මධර හා විනයධර භික්‍ෂූන් අතර ඇතිවූ කලහය සංසිදවීම සඳහා දරදඬු ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නට හැකියාව තිබුනද එසේ නොකළහ. නායකත්වය පැවරූ පමණින් අන්‍ය සාමාජිකයන් යටපත් කරගෙන ඔවුන්ගේ ස්වාධීනත්වය නිදහස සීමා නොකළ යුතුය. දෙව්දත් තෙරුන් විසින් ඉදිරිපත් කරන ලද පංචවරය බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළේ ද භික්‍ෂු සංඝයාගේ කැමැත්තට එම ඉල්ලීම මහත් බාධාවක් වන බැවිනි.

සංඝ සභාවේ සාමාජිකත්වය ලබාදීමේදී ජාතිභේදයෙන්, කුලභේදයෙන්, පන්තිභේදයෙන් තොරව සියලු දෙනාට ම සාමාජිකත්වය ලබාදී තිබේ. බුදුරජාණන් වහන්සේ කුලීනයාගේ පටන් කුලහීනයා දක්වාම තම ශාසනයේ සාමාජිකත්වය ලබාදී තිබේ. මේ පිළිබඳව අනුගමනය කළ රීතිය ඛුද්ධක නිකායේ දැකගත හැකිය.

“ ගංගා යමුනා අචිරවතී සරභු මහී ආදි නදීහු සමුදුර දක්වා ගොස් එක්වීමෙන් පසු තම තමන්ගේ නම්ගොත් අතහැර මහ සමුදුර ජලය යන නම පමණක් ගන්නේද එලෙසින් ම ක්ෂත්‍රීය , බ්‍රාහ්මණ ,වෛශ්‍ය, ශුද්‍ර යන චතුර්වර්ණයත් භික්‍ෂු සංඝයා අතරට එක්වූ කල්හි තමන්ගේ මුල් නම ගොත් හැර දමා ශාක්‍යය, ක්ෂත්‍රීය, ශ්‍රමණ යන නම් වලින් පමණකින් හඳුන්වනු ලබන්නේය” යනුවෙනි.

මූලික මිනිස් අයිතීන් අතර දක්නට ලැබෙන නිදහස් අදහස් දැරීම හා ආගම ඇදහීමේ නිදහස බුදුදහම තහවුරු කර ඇත්තේ ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේදීය. බුදුරජාණන් වහන්සේ පිළිබඳව හෝ ධර්මය පිළිබඳව හෝ සැකයක් ඇති වූයේ නම් ඒ පිළිබඳ පරීක්‍ෂා කිරීමට අවසර දී ඇත. ධර්මය වුවද බබළන්නේ විවෘත වූ විටදී පමණක් බව දක්වා තිබේ.

භික්‍ෂූන් වහන්සේලා මුල සිටම සංචාරක ජීවිතයක් ගෙවා තිබේ. වැසි කාලයේදී අපුරුවට වැඩී තිබූ තණකොළ පාගමින් ගමන් කිරීම බලා සිටින මිනිසුන් තුළ අප්‍රසාදයක් ඇතිවිය. ඔවුහු ප්‍රසිද්ධියේ ම මේ පිළිබඳ විරෝධය පළකළහ. මහජන හඬට සවන්දුන් බුදුරජාණන් වහන්සේ වැසි කාලයේ වස් සමාදන් වීමට නීති පනවා ඇත.

දෙමාපිය අවසරයෙන් තොරව දරුවන් පැවිදි නොකිරීම, රාජ භටයන් සොරුන් අපරාධකරුවන් පැවිදි නොකිරීම, ආදිය පිළිබඳව ද නීති පනවා තිබේ. මේ සියල්ල සිදු කරන ලද්දේ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රායෝගිකත්වයට නැඟීමෙනි.

සුදුසුස්සාට සුදුසු තනතුර ප්‍රදානය ද ප්‍රජාතන්ත්‍රවාදයේ විශේෂ ලක්‍ෂණයකි. සංඝ සමාජයේ තනතුරු පිරිනැමීම මෙයට අනුකුල විය. හිතවත්කම හෝ ඥාතීත්වය මෙයට සුදුසු කමක් නොවීය. සැරියුත් මුගලන් දෙනමට අගසව් තනතුරු දුන්නේ ද ආනන්ද හිමියන්ට ධර්ම භාණ්ඩාගාරික තනතුරු දුන්නේ ද උපාලි හිමියන්ට විනයධරයන් අතර අග්‍ර තනතුරු ද පිරිනැමුයේ ද එම භික්ෂූන් වහන්සේලාගේ දක්‍ෂතා අනුවමය.

සංඝ සමාජය පිහිටුවීමේදි හා සංඝර්ම සිදු කිරීමේදී අනුගමනය කරන ලද ක්‍රමය මුළුමනින්ම ප්‍රජාතන්ත්‍රවාදි වූවක් බව පෙනේ. සංඝ කර්මවලදී කළ යුතු ක්‍රම තුනකි.

1. ඤත්ති කම්ම ක්‍රමය
2. ඤත්ති දුතිය කම්ම ක්‍රමය
3. ඤත්ති වතුත්ථ කම්ම ක්‍රමය

ඤත්ති වතුත්ථ කම්ම ක්‍රමය නූතන පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයේ පනතක් නීතිගත කරන ආකාරයට බෙහෙවින් සමාන වේ. මේ විනය නීතිය යටතේ සිදුකරන උපසම්පදා විනය කර්මය පිළිබඳව අවධානය යොමු කිරීමෙන් මෙය පැහැදිලි කරගත හැකිය. උපසම්පදාව අපේක්‍ෂිත භික්‍ෂුවගේ නම් ඔහු පිළිබඳ විස්තර සංඝ සභාව ඉදිරියේ ඊට සුදුසුකම ඇති භික්‍ෂුවක් විසින් ඉදිරිපත් කළ යුතුය. එවිට එම දැන්වීමට විරුද්ධ නොවන්නා වූ භික්‍ෂූන් නිශ්ශබ්දව සිටීමෙන් ද එයට විරුද්ධ වන්නා වූ භික්‍ෂූන් කථා කිරීමෙන් ද කැමැත්ත අකැමැත්ත ප්‍රකාශ කළ යුතුය. උපසම්පදා කාර්යයේදී ඊට සහභාගි විය යුතු කිසියම් භික්‍ෂුවකට ඊට සහභාගි වීමට නොහැකි නම් තමන්ගේ ඡන්දය වෙනත් නියෝජිතයකු ලවා හෝ සභාවට ඉදිරිපත් කළ යුතුය. අදාළ භික්‍ෂුව රෝගාතුර වී සිටීනම් ඇදක තබා හෝ සභාවට ගෙනා යුතුය. සුළුතරයේ කැමැත්ත බහුතරය විසින් කිසිදු වේලාවක යටපත් නොකළ යුතුය.

නියෝජන ස්වයං පාලන ආයතනයන්හි මුල්ම මූල‍්‍රාශ්‍රය සඳහා අප නැඹුරුවිය යුත්තේ බෞද්ධ ග්‍රන්ථවලටය. අද පවතින පාර්ලිමේන්තු ක්‍රමයේ බීජයන් දැනට වසර දහස් ගාණකට වඩා පැරණි ඉන්දියාවේ පැවැති බෞද්ධයන්ගේ මන්ත්‍රණ සභාවල දක්නට තිබීම සමහර විට බොහෝ දෙනාට පුදුමක් විය හැකිය.

බෞද්ධ සංඝ කර්මවලදී අනුගමනය කරන ප්‍රජාතන්ත්‍රවාදි රීතිය මැනවින් ප්‍රදර්ශනය කරන තවත් අංශයක් ලෙස අධිකරණ ක්‍රමය හඳුන්වා දිය හැකිය. බෞද්ධ භික්‍ෂූන් අතර කිසියම් ගැටලුවක් උද්ගත වුවහොත් එය විසදන අධිකරණ වර්ග හතරක් චුල්ලවග්ග පාලිය දක්නට ලැබේ.

1. විවාදාදීකරණය
2. අනුවාදාධිකරණය
3. ආපත්තාධිකරණය
4. කිචිජාධිකරණය යනුවෙනි

ඒ ඒ අධිකරණය විසින් විසඳිය යුත්තේ ඒ ඒ අධිකරණයට පැවරෙන නඩු පමණි. විවාදාධිකරණය භික්‍ෂූහු අතර ඇතිවන ධර්මය පිළිබඳ වාද විවාදාදිය ද අනුවාදාධිකරණයෙන් භික්‍ෂුවකගේ සීලවිපත්තිය, ආජීව විපත්තිය හේ ආචාර විපත්තිය පිළිබඳ ප්‍රශ්න ද ආපත්තාදිකරණයේ දී පාරාජිකා , සංඝාදීසේස, පාවිත්තිය, පාටිදේසනීය, දුක්කට යන පස් වැදෑරුම් ආපත්තිස්කන්ධ ද කිච්ඡාදීකරණයේ දී අපලෝකන කර්මය, ඤත්තිකර්මය, ඤත්ති චතුත්ත කර්මය යන සංඝ කෘත්‍යයන් ද ආදි වශයෙනි.

ප්‍රජාතන්ත්‍රවාදි රීතිය අනුගමනය කරන ලද අධිකරණ සමථ 07 ක් චුල්ලවග්ග පාලියේ සමථක්ඛන්ධකයේ දී දක්නට ලැබේ.

1. සම්මුඛ විනය
චූදිත චෝදකයන් සංඝයා හමුවට ගෙන්වා ප්‍රශ්නය විනිශ්චය කිරීමෙන් කරන සමථය

2. සතිවිනය
රහතන් වහන්සේ නමකට අභුතයෙන් නැගුණ චෝදනා පිළිබඳව කළයුතු විනය කර්මය

3. අමුළ්හ විනය
උමතුව සිටි භික්‍ෂු නමක් පිළිබඳව කරන සමථය. ප්‍රකෘති සිහියෙන් තොරව කරන ලද වැරදි වලින් අදාළ භික්‍ෂුව නිදහස් කිරීම සඳහා ගැණෙන ක්‍රියාමාර්ගය

4. පටිඤ්ඤතකරණය
තජ්ජනාදි කර්ම කිරීමෙන් ඇතිවන අවුල් සංසිඳවීම සඳහා දේශිත ක්‍රියා මාර්ගය මෙයයි. වැරදි ප්‍රකාශ නොකළ භික්‍ෂූන් හට කිසිම විනය කර්මයක් නොකළ යුතුය.

5. යේභූය්‍යසිකා
ධර්මවාදි වැඩිදෙනාගේ අදහසට අනුව කරන අධිකරණ සමථයයි. භික්‍ෂූන් අතර ඇතිවන විවාදයක් සම්මුඛා විනයෙන් විසැඳීමට නොහැකි නම් සංඝයා අතරින් කොමිෂන් සභාවක් පත්කර ගතයුතුය. එම කොමිසමින් ද නොවිසදේ නම් යේභුය්‍යසිකාව යොදාගත යුතුය. ඒ සදහා පළමුව සලාකගාගාපකයකු පත්කරගත යුතුය. හෙතෙම අගතිගාමී නොවිය යුතුය. එහිදී භාවිත වන ඡන්ද ක්‍රම තුනකි. ගුළ්හක, සකණ්ණපජ්පක, විවටක යනුවෙනි. බහුතර ඡන්දයෙන් සම්මත කරන ලද තීන්දුව සංඝ සභාවේ අවසාන තීරණය වේ. බහුතර ඡන්දයෙන් ප්‍රජාතන්ත්‍රීයව යම් තීරණයකට එළඹිය යුතුය.

6. තස්සපාපිය්‍යසිකා
පාපයන් උත්සන්න වූ පුද්ගලයකුට කළයුතු විනය කර්මයයි. යම් භික්‍ෂුවක් යම් යම් දේ දැන දැනත් නොදන්නා බව කියයි නම්, පරස්පර දේ කියයි නම්, දැන දැනම බොරු කියයි නම් එවැනි භික්‍ෂුවකට දියයුතු දඬුවම මෙයින් විග්‍රහකර ඇත. නූතන අධිකරණ ක්‍රමය මගින් නිතර නිතර වැරදි කරන පුද්ගලයින් නමගිය අපරාධකරුවන් ලෙස ප්‍රකාශයට පත් කිරීම මේ හා සමාන වේ.

7. තිණවත්ථාරක
එකිනෙකා කෙරෙහි දොස් තබමින් චෝදනා කරමින් කලහ කරගන්නා වූ භික්‍ෂූන් උදෙසා උපයෝගී කරගත යුතු ක්‍රමයයි. අසූචි ගොඩක් තණ පිඩැල්ලකින් වසා දමන්නාක් සේ භික්‍ෂූන්ගේ කලහයට හේතු වූ කරුණු අමතකකර සමගියට පත්විය යුතුය. එහෙත් පාරාජිකා සම්බන්ධයෙන් මෙය අනුගමනය කළ නොහැකිය.

බුද්ධකාලීන සංඝ සමාජය තුළ ක්‍රියාත්මක වූ විනය කර්ම කෙරුනේද ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපයකිනි. එහි කිසිදු තැනක කායික දණ්ඩනයක් දැකගත නොහැකිය. බෞද්ධ අධිකරණය විසින් දී ඇති උපරිම දඩුවම නම් බ්‍රහ්මදණ්ඩනයයි. යථාතත්ත්වයට පත්වූ වහාම එයද ඉවත් කළ යුතුය. නඩු විසදන භික්‍ෂුව අනුවිජ්ජක (මැනවින් විමසා බලන්නා) යනුවෙන් නම් කර ඇත. අනුවිජ්ජක භික්‍ෂුව ද පක්‍ෂග්‍රාහී නොවීම වශයෙන් කරුණු 24 කින් යුක්තවිය යුතුය. ආයති සංවරයට මග පෙන්වන බෞද්ධ නීති දර්ශනය ප්‍රායෝගික ක්‍රියා මාර්ගයකි. ශාරිරික දඬුවම් දීමට යොමු නොවන එහි ඇත්තේ පුනරුත්තාපන ක්‍රියාවලියකි. එහි ආදිකම්මිකයා දඬුවමින් නිදහස් කිරීම ද සිදුවේ. නඩු විනිශ්චයේදි ස්වභාවධර්මයට අනුව ස්වභාවික සාධක මත ම ඒවා විනිශ්චය කරමින් සාධාරණව චෝදක චූදික දෙපක්‍ෂය දෙස බලා තිබේ.

නිදාන, පුද්ගල, වස්තු යන ලක්‍ෂණ යටතේ නීති පැනවීම සිදු කර ඇත. හේතු රහිතවන ශ්‍රාවකයන් පීඩාවට පත්කිරීමේ අදහසින් පනවන ලද එකම විනය නීතියක් හෝ විනය පිටකයේ දැකගත නොහැකිවේ. අවශ්‍ය තැන්වලදී ඇතැම් කුඩා අනුකුඩා ශික්ෂාපද වෙනස්කර ගැනීමේ හැකියාව ශ්‍රාවකයන්ට ලබාදී ඇති එකම ශාස්තෘවරයා වශයෙන් ද බුදුරජාණන් වහන්සේ හැඳින්විය හැකිය. එවැනි අවස්ථාවක් මහාපරිනිබ්බාණ සූත්‍රයේ දක්නට ලැබේ.

“ආකංක මානො ආනන්ද සංඝො මමච්චේන බුද්ධානු බුද්ධකානු ශික්‍ඛාපදානි සමූහනෙය්‍ය”

කකචූපම සූත්‍රයේ සඳහන් කරන්නේ නීති පැනවීමට ආසවට්ටනීය කරුණු හතරක් බලපෑ ඇති බවයි. හේතු රහිතව එකම විනය කරුණක්වත් පනවා නැත. මේ අනුව මානව කේන්ද්‍රීය ධර්මයක් වූ බුදුදහම ක්‍රියාත්මක වූයේද ප්‍රජාතන්ත්‍රවාදි ස්වරූපයකින් බව මනාව පැහැදිළි වේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.