Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

නිකිණි පුන් පොහෝදා පැවැත් වූ ප්‍රථම ධර්ම සංගායනාව

බුදුරජාණන් වහන්සේ විසින් දෙසුවා වූ ධර්මය නොයෙක් වර්ගයේ මල් එක මලසුනක සැලුවා සේ ඒ ඒ සත්වයන් උදෙසා දෙසාලූ හෙයින් දැන් මම ධර්ම සංගායනාවක් කරවනු කැමති වෙමි. යනුවෙන් ධර්මය විසිර පැවැති බැවින් ඒකරාශී කිරීමේ අරමුණින් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ විසින් ධර්ම සංගයානාවක් පැවැත්වීමට සූදානම් වූ බව කියැවෙයි.

“සුභද්‍ර” නම් මහලු පැවිද්දෙකු විසින් කියන ලද අවිනීත වූ වචනය ප්‍රථම ධර්ම සංගීතය පැවැත්වීමට හේතු වූ බව චුල්ලවග්ගපාලී ආදී ග්‍රන්ථයන්හි සඳහන් වේ.

කවර ආයතනයක වුවද දීර්ඝකාලීන හා ක්‍රමානුකූල පැවැත්ම සඳහා එහි ප්‍රතිසංස්කරණයන් මෙන්ම ආරක්‍ෂිත විධි විධාන යොදා ගැනීම අත්‍යාවශ්‍යවේ. බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වන ප්‍රථම ධර්ම සංගායනාවද එවැනි වැඩපිළිවෙළක් ලෙස හැඳින්වීම වඩාත් යෝග්‍යය. බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ධර්මය ක්‍රමානුකූ®ලව සකස් කොට එය ආරක්‍ෂාකර ගැනීම සඳහා තබන ලද මූලික පියවර වශයෙන් හැඳින්විය හැකි ප්‍රථම ධර්ම සංගායනාව වූ කලි ශාසන ඉතිහාසයෙහි දැක්වෙන ආදිම වැදගත් සිද්ධියක් වනු ඇත. ශාස්තෘ වියෝවෙන් වැළපෙන භික්‍ෂූන් වහන්සේ අමතා “ඇවැත්නි ශෝක නොකරව්. ඒ මහා ශ්‍රමණයාගෙන් අපි මනාව මිදුනෙමු. මෙය තොපට නුසුදුසු යැයි ඔහුගේ නීතිරීති වලින් අපි පීඩා වින්දෙමු. දැන් අපි යමක් කැමැති නම් එය කරමු යැයි පැවසූ “සුභද්‍ර” භික්‍ෂුවගේ ප්‍රකාශය පමණක්ම මේ සංගීතිය පැවැත්වීමට හේතු වී යැයි සිතීම දුෂ්කරය. මෙය වූ කලී එදා වැඩ සිටි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ප්‍රධාන ශාසන භාරධාරී මහ රහතන් වහන්සේ විසින් දූරදර්ශීව කරන ලද ක්‍රියාවක් ලෙස සැළකීම වඩාත් නිරවද්‍යය. දේවදත්ත, ජබ්බග්ගිය , ඡන්න වැනි භික්‍ෂූන් හා ඔවුන්ගේ අනුගාමිකයන්ද සිටි අතර අග සව් තනතුරු පැවරීමේදී පවා විරුද්ධව නැගී සිටි පිරිසක් එදා සිටි බව පැවසේ. ධම්මපදට්ඨ කථාවේ සඳහන් වන අගසව් වතෙහි මේ පිළිබඳ විස්තරයක් දක්නට ලැබේ. බුදුරජාණන් වහන්සේ මුහුණ බලා තනතුරු දෙති’යි භික්‍ෂූන් වහන්සේ උද්ඝෝෂණය කළ බව එහි සඳහන් වේ. අස්සජි පුනබ්බසුඛ යන භික්‍ෂූන් වහන්සේ දෙපල එසේ ක්‍රියාකළ අය වෙති. එක් අවස්ථාවක ආරාම පිළිබඳ ආරවුලක් නිසා සැරියුත් මුගලන් දෙනම පාපී පුද්ගලයෝ යැයි ප්‍රකාශ කළ බව චුල්ලවග්ග පාලියේ හයවැනි ඛණ්ධකයේ සඳහන් වේ.ඇතැම් විචාරකයන් සංගායනාවක් පැවැත්වීමට හේතු වූ ඇතැම් කරුණුවල මූලබීජ බුද්ධ කාලයේදීම හටගත්තේ යැයි ඉදිරිපත් කරන මතය පිළිගත යුතු සත්‍ය එකක් බව නොපෙනෙයි.

එදා සංඝ සමාජයේ ගෞරව සම්මානයට පාත්‍ර වූ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඇතැම් භික්‍ෂූන් තුළ පැවැතී දුර්මත නිරාකරණය කිරීමටත් බුදුරජාණන් වහන්සේ විසින් ඒ ඒ අවස්ථාවලදී දේශනා කරන ලද ධර්මය විසිරී ගොස් නා නා වර්ගවලට අයත් මල් රැසක් සේ පැවති ධර්ම කොට්ඨාස ක්‍රමානුකූලව පිළයෙල කොට බොහෝ කල් පැවැත්ම සඳහා ධර්ම සංගායනාවක් පැවැත්වීමට අදහස් කළ බව සැලකිය හැකිය. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නට පෙර මහාකාශ්‍යප හිමියන් අමතා පිටක රැස්කොට තබන ලෙස වදාළ බවත් එය සුරකින ලෙස දෙවියන්ට භාරකළ බවත් අශෝකවදානයේ සඳහන් වෙයි. මහාකාශ්‍යප අනුරුද්ධ හා කාත්‍යායන යන මහා තෙරවරු බුද්ධ වචනය සුරක්‍ෂිතව ආරක්‍ෂා කර තැබීමට කතිකා කරගත් බවත් ඒ අනුව ආනන්ද මහ තෙරණුවන්ගේද සහාය ලබාගෙන ධර්මය උණපතුරුවලින් හා සිල්ක් රෙදිවල ලියා තැබූ බවත් චීන බසට පරිවර්තනය කරන ලද පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් වෙයි. කෙසේ වුවද සුභද්‍රගේ ප්‍රකාශය කල් පසු නොකොට සිදුකිරීමට හේතු වූවා යැයි නිසැකය. මෙම කාර්යය සඳහා මහතෙරුවන් පොළඹ වූ වෙනත් ඓතිහාසික හා සාමාජික හේතු තිබිණැයි සැලකීමට කරුණු තිබේ. ඒ අතර සංඝභේදය දෙව්දත් තෙරුන්ගේ අභියෝග විවිධ මතධාරි භික්‍ෂූන් ඇතිවීම පරම්පරා ක්‍රමය විනය පිළිබඳ මතභේද, ධර්මය ඒකරාශී කිරීම, ධර්ම විනය රැක ගැනීම යන කරුණු අයත්ය.

බුදුරජාණන් වහන්සේ විසින් පස්වග මහණුන්ගෙන් ආරම්භ කළ භික්‍ෂු සමාජයට මුල් අවධියේදී ඇතුළත් වූයේ ගිහි ජීවිතය කෙරෙහි කලකිරී සැදැහැයෙන් යුතුව පැවිදි වූ අයයි. ඒ පිරිස් විමුක්ති සාධනයටම උනන්දු වූ අය විය. පසුකාලීනව ශාසනයට ඇතුළත් වූ ඇතැම් පිරිස් ඊට වඩා වෙනස් ස්වභාවයක් ඉසිලීය. ජබ්බග්ගිය සන්ත රස වග්ගිය ආදී නම් වලින් හැඳින්වෙන කණ්ඩායම් පසුව බිහිවිය. මූලික බුද්ධ වචනයට පටහැනිව ක්‍රියාකළ ඇතැම් භික්‍ෂූන් වහන්සේගේ විෂමාචාර ක්‍රියා ගැන චුල්ලවග්ග හා මහාවග්ග යන විනය ග්‍රන්ථ දෙකේද විශේෂයෙන් පාරාජිකා පාලියේද සෙසු සූත්‍රාන්තවලද සඳහන් වෙයි.

භික්‍ෂූ සමාජයේ සමගිය බිඳී ගිය පළමු අවස්ථාව වූයේ කොසඹෑනුවර ධර්ම, විනයධර භික්‍ෂූ කණ්ඩායම් දෙකේ ගැටලුවයි. මෙය ධර්ම විනය පිළිබඳ පෞද්ගලික අදහස් ඉදිරිපත් කරන්නට බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේදීම භික්‍ෂූන් වහන්සේ උත්සාහ කළ අවස්ථාවක් ලෙස හැඳින්විය හැකිය.දේවදත්ත තෙරුන් විසින් ඇති කරන ලද සංඝභේදය භික්‍ෂූ සමගිය දෙදරා ගිය තවත් අවස්ථාවකි. පංචවරයක් ඉල්ලීමත් සමඟ ඇතිවූ එම ගැටුම නිසා සංඝ සමාජය තුළ ආකුල, ව්‍යාකූල තත්ත්වයක් හටගත් අතර මෙම ප්‍රශ්නය නිරාකරණය කිරීමට අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙදෙනා මුල්ව ක්‍රියාකළ නමුත් ප්‍රශ්නය එයින් නිමවූයේ යැයි සිතිය නොහැකිය. විවිධ ලෙස භික්‍ෂූන් භේද කරමින් බුදුරජාණන් වහන්සේට එරෙහිව දෙව්දත් තෙරුන් ගෙන ගිය එම අර්බුදකාරී ක්‍රියාමාර්ගය දෙව්දත් තෙරුන්ගේ අපවත්වීම තෙක් පැවැතිණැයි සිතිය හැකිය.

බුදුරජාණන් වහන්සේ විසින් දෙසුවා වූ ධර්මය නොයෙක් වර්ගයේ මල් එක මලසුනක සැලුවා සේ ඒ ඒ සත්වයන් උදෙසා දෙසාලූ හෙයින් දැන් මම ධර්ම සංගායනාවක් කරවනු කැමති වෙමි. යනුවෙන් ධර්මය විසිර පැවැති බැවින් ඒකරාශී කිරීමේ අරමුණින් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ විසින් ධර්ම සංගයානාවක් පැවැත්වීමට සූදානම් වූ බව කියැවෙයි. දී.නි. සංගීති සූත්‍රයේ සඳහන් පරිදි විවිධ ආගම් දර්ශනවල ශාස්තෘවරයා ඇවෑමෙන් පසු ඒ ඒ ශ්‍රාවක පිරිස් අතර බොහෝ අර්බුදකාරී තත්වයන් හට ගැනිණි.

ඒ බව දැනත් සැරියුත් මහ තෙරුණුවෝ භික්‍ෂූන් වහන්සේ අමතා තථාගතයන් වහන්සේ විසින් දේශිත ස්වාක්ඛාත වූ නෛර්යාණික වූ සද්ධර්මය බොහෝ ජනයාගේ හිතසුව පිණිසත් ශාසනයේ පැවැත්ම පිණිසත් සංගායනා කළ යුතු බව පෙන්වා දෙති. විවාද නොකලයුතු බවත් උන්වහන්සේ පවසති. ඉන් පසුව සැරියුත් තෙරුණුවෝ අංගුත්තර නිකායේ ධර්මය සංග්‍රහ වී ඇති ආකාරයට සංඛ්‍යා වශයෙන් දහස දක්වා ධර්මය සංගායනා කළහ.

බුදුරජාණන් වහන්සේ ඇවෑමෙන් පිළිසරණ කරන කොට පැවතිය යුතු එක් භික්‍ෂුවක් හෝ උන්වහන්සේ විසින් පත් කොට නැති බවත් ඒ අනුව තම ශාස්තෘවරයාගේ සම තත්වයෙහිලා සැලකෙන ධර්ම විනය දෙක ආරක්‍ෂා කර තැබීම සඳහා ධර්ම සංගායනාවක් වැනි ඉක්මන් පියවරක් ගැනීමේ අවශ්‍යතාවය ශාසන භාරධාරී තෙරවරුන් තුළ තිබුණා විය හැකි බව ගෝපක මොග්ගල්ලාන සූත්‍රයට අයත් කරුණුවලින් සනාථ වෙයි.

සංගායනාවක් පැවැත්වීමට සංඝ සම්මතය ලැබූ මහා කාශ්‍යප තෙරුන් වහන්සේ විසින් සංගායනාව සඳහා සුදුසු රහතන් වහන්සේ හාරසිය අනූනව නමක් (499) තෝරා ගන්නා ලදී. ආනන්ද තෙරුන් වහන්සේ සංගායනාවට අත්‍යවශ්‍ය තෙරනමක් විය. එසේ වුවත් ඒ වන විට රහත් නොවී සිටි උන්වහන්සේ තමන් විසින්ම තෝරාගනු ලැබීමෙන් තමන් පක්‍ෂ භජනය කළේ යැයි චෝදනාවක් නැගීමට ඉඩ තිබුණු බව උන්වහන්සේට වැටහිණි. මහා කාශ්‍යප හාමුදුරුවෝ එම චෝදනාවෙන් මිදී සංඝයා වහන්සේගේ කැමැත්තෙන්ම ආනන්ද තෙරුන් පත්කර ගැනීමට ඉඩ තබා එක් නමක් අඩුවන් පන්සිය නමක් තෝරා ගත්තේය.

සංඝයාගේම කැමැත්තෙන් ආනන්ද හාමුදුරුවන් වහන්සේ මේ සඳහා තෝරා ගැනුණ අතර උන්වහන්සේද සංගායනා දිනට පෙර දින අර්හත් ඵලයට පැමිණි නිසා රහතන් වහන්සේ පන්සිය නමකගේ සහභාගිත්වයෙන්ම සංගායනාව පැවැත්වීමට කටයුතු සංවිධානය විය.

එළැඹි වස් කාලය තුළදීම සංගායනාව පැවැත්වීමට තීරණය විය. සංගායනාව පැවැත්වීමේදී අජාසත් රජුගේ ආරක්‍ෂාව ලැබෙන හෙයින් රජගහනුවර සප්ත පර්ණ ගුහා ද්වාරයෙහි එය සිදුකිරීමට මහාකාශ්‍යප හිමියන් විසින් තීරණය කරන ලද අතර රජගහ නුවර එය පැවැත්වීමට හේතු වූ කරුණු අතර, රාජකීය බලය හා ආරක්‍ෂාව ලබා ගැනීමේ අවශ්‍යතාවද එක් හේතුවක් විය. එමෙන්ම අජාසත් රජු දවස වන විට අන්‍ය බෞද්ධ රාජධානී බොහෝ දුරට පිරිහී තිබීමත් රජගහනුවර පමණක් තරමක් සමෘද්ධිමත්ව පැවතීමත් නිසා රජගහනුවරම මේ සඳහා තෝරාගත් බවත් සමහර උගතුන්ගේ මතයයි. නිකිණි මස අව දියවක්දා සප්ත පර්ණී ගුහාද්වාරයෙහි අජාසත් රජු විසින් කරවන ලද මණ්ඩපයකට භික්‍ෂූන් වහන්සේ රැස්වූහ. ආනන්ද හාමුදුරුවන් වහන්සේටද අසුනක් තබා අනෙක් හාමුදුරුවන් වහන්සේ අසුන් ගත්හ. ආනන්ද හාමුදුරුවන් වහන්සේ එදින අලුයම රහත් බව ලබා සභා ගැබට පැමිණ අසුන් ගත්හ. ඉක්බිති මහා කාශ්‍යප හාමුදුරුවෝ “සුනාථ මේ ආවුසෝ සංඝාධී සංඝස්ස පත්තකල්ලං අහං උපාලිං විනයං පුච්ඡෙය්‍යං...” යනුවෙන් සංඝයාට දන්වා පළමුවට උපාලි හිමියන්ගෙන් විනය ප්‍රශ්න විචාළහ. නිදාන පුග්ගල වස්තු ප්‍රඥප්ති අනුප්‍රඥප්ති ආපත්ති අනාපත්ති ආදි සියුම් විස්තර සහිතව භික්‍ෂූ ප්‍රාතිමෝක්‍ෂ ශික්‍ෂාපද සියල්ලම පුච්ඡා විස්සජ්ජා ක්‍රමයෙන් විනය සංගායනා කළහ.

ඉන් අනතුරුව ධර්ම සංගායනා කිරීම ආරම්භ කරන ලදී. එහිදී පංච නිකායම සංගායනා කෙරිණි. සූත්‍ර පිටකයෙහි අභිධර්මයට අයත් කරුණු ඇතුළත්ව පැවැතුනි. ඒ නිසා අභිධර්මයද සංගායනා වූ බව තේරුම් ගත හැකිය. ධර්ම විනය යන්නෙන් අභිධර්මයද ඇතුලුව මුළු බුද්ධ දේශනාවම ගැනෙන බව සුමංගල විලාසිනි අටුවාවේ බුද්ධඝෝෂ හිමියෝද සඳහන් කරති. ගුණ නුවණින් වැඩිහිටි ථෙරවරුන් විසින් පවත්වන ලද හෙයින් ඊට ථෙරවාදි යන නම යෙදුනු බව දීපවංශයෙහි සඳහන් වෙයි.

සංගායනාව අවසානයේදී ආනන්ද හාමුදුරුවන් වහන්සේ ඛුද්ධානුඛුද්දක ශික්‍ෂාපද බැහැර කිරීමට බුදුරජාණන් වහන්සේ අවසර දුන් බව මහාසංඝයා ඉදිරියේ ප්‍රකාශ කළහ. ඉක්බිති මේ පිළිබඳ ඇති වූ විවාදයේදී කුඩා අනු කුඩා ශික්‍ෂාපද කවරේදැයි බුදුහාමුදුරුවන් වහන්සේගෙන් අසා දැන නොගත් බැවින් ස්ථවිර භික්‍ෂුහු ආනන්ද හිමියන්ට කරුණු පහකින් දොස් පැවරූහ. ආනන්ද හිමියන් වෙත ඉදිරිපත් කරන ලද මේ චෝදනා කිසිවකට උන්වහන්සේ වැරැදිකරු නොවන බවත් සංගීතිකාරක මහ තෙරුන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් හා ඒ සියල්ල පිළිගන්නා බවත් ආනන්ද හිමියෝ පැවසූහ. සංගායනාව අවසානයේ ස්ථාවර කරගත් ධර්මය පසුකාලීන ජනතාවගේ ප්‍රයෝජනය සඳහා ආරක්‍ෂා කර තැබීමට මෙහිදී පියවරගෙන ඇත.

ඒ සඳහා එක් එක් ධර්ම කොටස් ආරක්‍ෂා කොට පවත්වාගෙනයෑම සදහා එක් එක් භික්‍ෂූ පරම්පරාවලට පවරන ලදී. ඒ නිසාම මෙම ප්‍රථම ධර්ම සංගීතිය ධර්මයෙහි පවිත්‍රත්වයට හා බුදු සසුනේ ස්ථාවර භාවයටද අතිශයින් ඉවහල් වූ බව සඳහන් කළ හැකිය.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.