Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ප්‍රශ්නය :- බ්‍රාහ්මණ ධර්මයට අනුව පුද්ගල ජීවිතය අවස්ථා හතරකට බෙදා දක්වන ලදී. මේවා චතුරාශ්‍රම ධර්ම යන නමින් ද එකල ව්‍යවහාර විය. මේ චතුරාශ්‍රම ධර්ම යනු මොනවාද?

පිළිතුර:- 1 බ්‍රාහ්මචාරි තරුණ වියට පත්වන තුරු චාරිත්‍ර ගරු කරමින් අධ්‍යාපනය ලබමින් දෙමවුපියන් ඇසුරෙහි කුමරි බඹසරින් යුතුව ගත කිරීම පළමු ආශ්‍රම ධර්මය

2. ගෘහස්ථ දොළොස් විය ඉක්මවා තරුණ අවධියට පත් වූ විවාහ ජීවිතයට ඇතුළත්වීමත් ස්වාධීන ජීවිතයක් හා ගුරු දෙගුරුන් ගේ ආශ්‍රයෙන් ඈත්ව අඹු දරු පෝෂණය කරමින් සැප විඳිමින් ගත කරන ජීවිතය

3. වානප්‍රස්ථ – මධ්‍යම වයසට පත්වීමත්, ගෘහ බන්ධනවලින් නිදහස් ව වනගත ව විමුක්තිය සොයමින් ගතකරන අවධිය

4. සන්‍යාසී –නිදහස්ව සංචාරක ජීවිතයක් ගත කළ අවසාන අවස්ථාව ය.


ප්‍රශ්නය :– කපිල වස්තුව, වෙසාලිය, කුසිනාරාව, සහ පාවා, කෙසපුත්තු , පිප්ඵලී වනය යන රාජධානි තුළ පැවැති පාලන ක්‍රමය සහ පාලකවරු පිළිබඳ හඳුන්වන්න.

පිළිතුර- කපිල වස්තු ශාක්‍යවරු වෙසාලිය – ලිච්ඡවී කුසිනාරා සහ පාවා මල්ල රජවරු, කෙසපුත්ත කාලාමවරු, පිප්ඵලී වනය මෞර්යවරු, විසින් පාලනය කරන ලදී.


ප්‍රශ්නය :- බ්‍රාහ්මණ ධර්මයට පටහැනි ව ගිය ආගමික දර්ශන ද බුද්ධකාලීන භාරතය, තුළ දක්නට ලැබෙයි.මේ සම්ප්‍රදායන් සියල්ල එක්කොට ශ්‍රමණ යන පොදු නාමයකින් ද හඳුන්වා ඇත. මෙම කණ්ඩායම් බුද්ධ කාලය වන විට කොපමණ තිබුණා ද? ඒ අය නමින් හඳුන්වන්න.

පිළිතුර :- ෂට් ශාස්තෘවරු වශයෙන් හය දෙනෙකු දී. නි. සාමඤ්ඤඵල සූත්‍රයෙහි දක්නට ලැබෙයි. ඒ අය නම් පූරණ කාස්සප, මක්ඛලීගෝසාල, අජිත කේසකම්බල, පකුධ කච්චායන, සංජය බෙල්ලට්ඨිපුත්ත, නිගණ්ඨනාතපුත්ත වේ.


ප්‍රශ්නය :- නිගණ්ඨනාතපුත්ත බුද්ධ කාලයේ විසූ විශේෂිත ශාස්තෘවරයෙකි. ඔහු පිළිගත් ආගමික දර්ශනය පැහැදිලි කරන්න.

පිළිතුර :- පරම අහිංසාවාදියෙකු වූ නිගණ්ඨනාත පුත්ත “ජෛන මහා වීර “ නමින්ද හඳුන්වයි. අංග 04 කින් යුත් සීල සංවරයෙන් යුක්ත වූයේ වෙයි. ශ්වේතමවර හා දිගමවර යනුවෙන් ඔහුගේ ශ්‍රාවක පිරිස කොටස් 02 කි.


ප්‍රශ්නය :- මෙම ෂට් ශාස්තෘවරුන් බෞද්ධ සූත්‍රවල දී හඳුන්වනු ලබන්නේ “ තීර්ථක යන නාමයෙනි. මේ හැරුණු විට ශ්‍රමණ සම්ප්‍රදායට අයත් තීර්ථක යන නාමයන් ද හඳුන්වන වෙනත් අනගාරික තවුස් පිරිසක් බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථවල දක්වා ඇත. ඒ අය කවුද?

පිළිතුර :- පරිබ්‍රාජක ,ජම්බූක ආජීවක සුන්දරී පරිබ්‍රාජිකාව මෙම පිළිවෙත අනුගමනය කළ දෙදෙනෙකි.

අචේලක :- මොවුහු සාධුවරයෝ වූහ. මොවුහු ද අත්තකිලමතානුයෝගී ව විවිධ දුෂ්කර ක්‍රියා අනුගමනය කළ අනගාරික පිරිසක් විය.

ආජීවක - උපක මෙහි අනුගාමිකයෙකි.

ජටිල - සංචාරක පැවිදි පිරිසකි. සවිර ආරාම ද තිබුණි. රාජ සම්මානලාභි මොවුන් උරුවෙල, නදී, ගයා යන නමින් සිටි තිදෙනා පිළිබඳ ව විස්තර බෞද්ධ ග්‍රන්ථවල ද එයි.


ප්‍රශ්නය :- යම් සේ නූල් පන්දුවක් උස්තැනක සිට දමාගැසූ විට නූල දිග හැරී ගොස් නූල අවසන් වූ විට නවතී ද එසේ ම බාල පණ්ඩිත සියල්ලෝ ම ඉබේම සසර ගමන් කොට දුක් කෙළවර කෙරෙත්. මේ බුද්ධ කාලීන එක් ශාස්තෘවරයෙකුගේ ඉගැන්වීමකි .මේ තැනැත්තා කවුද?

පිළිතුර :- මක්ඛලීගෝසාල ශාස්තෘවරයා


ප්‍රශ්නය :- මහා කාරුණික වූ බුදුරජාණන් වහන්සේ අසරණ වු දරුවෙකු දැක අනුකම්පාව උපදවා ආලෝකය පතුරුවා ඔහුට පියවි සිහිය ලබා දී දරුව මෙහි එව. තථාගතයන් දෙස බලව. රාහුගෙන් සඳ මිදුනාක් මෙන් මම නුඹ මුදාගන්නෙමියි වදාළ සේක. විපතට පත් මේ දරුවා කවුද?

පිළිතුර :- රජගහනුවර පුක්කුස කුලයට අයත් කාන්තාවක ගේ කුසින් උපන් සෝපාක


ප්‍රශ්නය :- “මහණෙනි! යම් කෙනෙන් මට උවටැන් කෙරෙත් නම් හේ ගිලනාට උවටැන් කෙරේවා”මේ බුද්ධවාදය දේශනා කරන ලද්දේ කවර අවස්ථාවකදීද?

පිළිතුර :- ගිලන් භික්ෂුවක් අරභයා දෙසන ලද්දකි.


ප්‍රශ්නය :– මහා ධර්මපාල ජාතක කථාව අසා අනාගාමී ඵලයට පත් වූ රජතුමා කවුද?

පිළිතුර - සුද්ධෝදන මහ රජතුමා


ප්‍රශ්නය :- බුද්ධ ධර්මයෙහි ඉරියව් 04 ක් ගැන සඳහන් වේ. ඒ මොනවාද?

පිළිතුර- සිට ගැනීම, ගමන් කිරීම, හිඳ ගැනීම, නිදා ගැනීම, නිට්ඨං චරං නිසින්නෝවා සයානෝවා.


ප්‍රශ්නය :- සිව්මහා ගංගාවන් ගලා අවුත් මහ මුහුදට එක් වූ විට එක ම ලුණු රසයෙන් යුක්ත වෙයි. මේ උපදේශය බුද්ධ ශාසනයේ කුමන කරුණක් හෝ අවස්ථාවක් සදහා ගැලපෙන්නේ කෙසේද?

පිළිතුර– කුල , ජාති, වර්ණ ආදී ප්‍රභේදයකින් තොරව භික්ෂූ සාසනයේ ඒකග්‍රතාව හා සමඟ සැසදේ.


ප්‍රශ්නය :- අනුරාධපුර ශාසනික ඉතිහාසයේ චේතියගිරිය, මිස්සක පබ්බත සෑගිරිය යන නම්වලින් හැඳින්වෙන ස්ථානය කුමක් ද?

පිළිතුර – මිහින්තලය


ප්‍රශ්නය :- බුදු දහමට අනුව යහපත් ස්වාමියෙකු ගේ ගති ලක්‍ෂණ පැහැදිලි කරන්න.

පිළිතුර – මානව හිතවාදිත්වය, සන්තාප වරදින් මුදවා ගැනීම සදහා ස්වාමියා විසින් මෙහෙකරුවාට අකමැත්තෙන් දඩුවම් කරයි. තමා කෙරෙහි භක්තිමත් භාවය ගරු කරයි.අවංකභාවය අගය කරයි. ආශංසා , සේවක තැනගේ අභිවෘද්ධිය සෑමවිටම බලාපොරොත්තු වෙයි. කරුණා මෙහෙකරුවාගේ විපත තමාට සිදුවු විපතක් සේ සලකයි.


ප්‍රශ්නය :- චතුරාර්ය සත්‍ය ගැන ධර්ම විවරණයෙහි දී බුදුරජාණන් වහන්සේ විසින් දුක්ඛ නිරෝධාර්ය සත්‍යය සච්ජිකාතබ්බං සච්චිකතං යන විශේෂණ පද දෙකකින් හඳුන්වා ඇත. මෙය පැහැදිලි කරන්න.

පිළිතුර :- දුක්ඛ නිරෝධාර්ය සත්‍යය සාක්ෂාත් කළ යුත්තකි. දෙවනුව තාම විසින් සාක්ෂාත් කළේ මැයි යනුවෙන් තමාට ම ප්‍රත්‍යක්‍ෂ විය යුතුය.


ප්‍රශ්නය :- මුසාවාදයෙහි අනිවාර්ය විපාක මොනවාද?

පිළිතුර – පිරිස් ඉදිරියෙහි නින්දා අපහාසවලට භාජන වන්නට සිදුවීම, අවිශ්වාසයට පත්වීම, මුඛ දුර්ගන්ධය.


ප්‍රශ්නය :- පිසුණාවාචා අකුසල කර්මය සිදුවීමට කරුණු සතරක් සම්පූර්ණ වෙයි. මේ කරුණු සතර මොනවාද?

පිළිතුර – 1 භේද කරනු ලැබීමට පුද්ගලයන් සිටීම 2 ඔවුන් භේද කිරීමේ හෝ තමා එයින් කෙනෙකුට පි‍්‍රය බවට පත්කර ගැනීමේ චේතනාව 3 ඒ සඳහා උත්සාහ කිරීම 4 කේළාම් කීම මෙම කර්මයෙහි අනිවාර්ය විපාකය නම් හේතු විරහිතව මිත්‍රත්වය බිඳී යාමයි.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.