Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සරු වදන් පවසන්න ජීවිතය ජය ගන්න

බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට අන්තර්ගත සම්මා වාචා නම් වූ අංගයෙන් අවධාරණය කර ඇත්තේ නිවැරැදි වචන භාවිතා කිරීමේ වැදගත්කම පිළිබඳයි. සාර්ථක සමාජ ජීවිතයක් ගතකරන අයෙකුට නිවැරැදි වචන භාවිතය අත්‍යවශ්‍ය අංගයක් බව බුදු සමයේ මතයයි. සත්‍යවාදී වූත් සෞම්‍යවූත් පි‍්‍රයශීලි වචන ඇසීමට අපි කවුරුත් කැමැත්තක් දක්වන්නෙමු.

මානව වර්ගයා ලද සුවිශේෂී දායාදයන් අතර භාෂාවද එකකි. තම සිතැඟි හා ආවේදනයන් අන්‍යයන් වෙත සන්නිවේදනය කිරීමටත්, එසේම එමඟින් ඉතා සුහඳ ශීලි සමාජ වාතාවරණයක් පවත්වා ගැනීම පිණිසත් භාෂාව මිනිසාට අතිශයින් උදවු වේ. එහෙත්, එකී භාෂාව සමාජයේ දියුණුවට මෙන්ම එහි විනාශය පිණිසද යොදා ගැනීමේ හැකියාව මිනිසා සතුය. එකී දියුණුව හෝ පරිහානිය තීරණය වන්නේ මිනිසා භාෂාව පාවිච්චි කරන ආකාරය මතයි. තීරණාත්මක සාධකයක් ලෙස භාෂාව සතුව පවත්නා මෙකී සුවිශේෂත්වය නිසාම විවිධ දාර්ශනිකයන් හා ශාස්තෘවරුන් ද භාෂාව ගැන නානාවිධ අදහස් දක්වා ඇත. පොදුවේ ගත්කළ ඒ සෑම දෙනාගේ මතය වන්නේ මිනිසා භාෂාව පාවිච්චි කළ යුත්තේ සමාජයේ පරිහානිය පිණිස නොව එහි දියුණුව පිණිස බවයි. මෙහිදී අප උත්සාහ කරනුයේ භාෂාවේ වාචික අංශය නොහොත් “ වචනය” නම් වූ අංගය සමාජයේ දියුණුව සඳහා හැසිරවිය යුත්තේ කෙසේදැයි බුදුදහමට අනුව විමසා බැලීමටයි.

බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට අන්තර්ගත සම්මාවාචා නම් වූ අංගයෙන් අවධාරණය කර ඇත්තේ නිවැරැදි වචන භාවිතා කිරීමේ වැදගත්කම පිළිබඳයි. සාර්ථක සමාජ ජීවිතයක් ගතකරන අයෙකුට නිවැරැදි වචන භාවිතය අත්‍යවශ්‍ය අංගයක් බව බුදු සමයේ මතයයි. සත්‍යවාදී වූත් සෞම්‍යවූත් පි‍්‍රයශීලි වචන ඇසීමට අපි කොයිකවුරුත් කැමැත්තක් දක්වන්නෙමු. මිනිසුන් පමණක් නොව දෙවියෝත්, තිරිසන් සත්වයෝත් පි‍්‍රයශීලි වචන ඇසීමට කැමැති වෙති. පි‍්‍රය වෙති. නන්දිවිසාල ජාතක කතාවෙන් පවා තිරිසන් සතුන් පි‍්‍රයශීලි වචන ඇසීමට කෙතරම් පි‍්‍රයකළේද යන්න පැහැදිලි වෙයි. එසේ නම් කෙනෙකුගෙන් වැඩක් ගන්න පවා ඊට සුදුසු කරුණාබර වචන තිබිය යුතු බව පෙනෙනවා. සත්‍යවාදි වූ යහපත් වචනවලට කරන්න බැරි දෙයක් නැහැ. ඒ තුළ පුදුමාකාර බලයක් තියෙනවා. බලන්න අපේ බුදුරජාණන් වහන්සේ අංගුලිමාල , නාලාගිරි වැනි දුර්දාන්තයන් පවා දමනය කළේ වෙන කිසි ආයුධයකින් නොවේ. කරුණාබර , පි‍්‍රයශීලි වචනවලිනුයි.

අපේ බුදුරජාණන් වහන්සේ නිතරම අපට අනුශාසනා කළේ යහපත් වචන කතාකරන ලෙසයි. යහපත් වචන ඇතිකරගන්න ඕන නම් අපි නරක වචන මොනවාද? යන්න හැඳින ඒවා දුරුකරගත යුතු වෙමු. එවිට යහපත් වචන ඉස්මතු ‍ෙවනවා. ඒ සදහා නරක වචන මොනවාද යන්න ඉතා පැහැදිලිව බුදුදහමේ පෙන්නලා දී තිබෙනවා.

බුදුදහමට අනුව දුභාෂිත හෙවත් අයහපත් වචනය කොටස් හතරකට බෙදෙනවා. එනම් “ මුසාවාදා, පිසුනාවාචා, පරුසාවාචා සම්ප්‍රප්පලාපා (බොරු කීම,කේලම් කීම පරුෂ වචන කීම, හිස්වචන කීම ) යන සතරයි. වචනයෙන් සිද්ධ වෙන මෙකී දෝෂ හතරෙන් මිදුණු විට සම්මාවාචාව පුරුදු කරන්න අපට පුළුවන් වෙනවා.

ඉන් පළමුවැන්න බොරු කීමයි. බොරු කියන කෙනාට නොකළ හැකි දෙයක් නැහැ. යන කියමන බුදුදහමේ උගන්වන්නකි. බොරු කියන කෙනාගේ අභ්‍යන්තරය ඒ තරමටම දුර්වලයි. එයාට ඕනෑම අපරාධයක්, වංචාවක් කරලා කිසිම ලජ්ජාවක් බියක් නැතිව තමා එවැනි දෙයක් සිදුකළේ නැති බව කිව හැකියි. සමාජයේ සියලු දෙනාම පාහේ එවැනි අය වුවහොත් එය සමාජයේ විනාශයට හේතුවනවා. එවැනි සමාජයක අන්‍යෝන්‍ය විශ්වාසය බිඳවැටෙනවා. බොරුව කියලා කියන්නේ පුද්ගලයෙකු විසින් තවත් පුද්ගලයෙකු රවට්ටනු ලබන එක විතරක් නොවෙයි සමාජය නොමග යවන සුළු අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය, බොරු සාක්‍ෂිදීම ආදියද ඊට ඇතුළත් . කෙනෙක් නිතර බොරු කියනවානම් එයාට කවදාවත් සාර්ථක ජීවිතයක් ගතකරන්න ලැබෙන්නේ නැහැ. එයාගේ වචන කවුරුවත් විශ්වාස කරන්නේ නෑ. අන්තිමට එයා කපපු බොරු වලේ වැටිලා එයාම විනාශයට පත්වෙනවා. බොරුකීමෙන් මෙලොව පරලොව පිරිහී විශ්වාසවන්ත බව පිරිහෙනවා. බොරුකීම නිසා අත්වන විපාක දෙස බැලීමෙන්ද එහි භයානක බව කෙතෙක්දැයි හඳුනාගන්න පුළුවන්.

ඊළඟ එක තමයි කේලම් කීම. බුදුරජාණන් වහන්සේ කේලම්කීමද වචනයෙන් සිදුකරන වරදක් බව පෙන්වා වදාළ සේක. මෙතනින් අහන දෙය එතනට ගොස් කීම, එතනින් අහන දෙය මෙතන විත් කීම මඟින් එකිනෙකා අතර පවත්නා සමඟිය නැතිකොට ඔවුනොවුන් අසමඟි කරවන සුළු වචන කේලම් ලෙස ධර්මයේ පෙන්වාදී තියෙනවා. මෙහි කේලම් කීම පුරුද්දක් බවට පත්කරගත් අය අප අතර ඉන්නවා. නිතරම කරන්නේ මොනවා හරි අනුන්ගේ කුණක් හොයාගෙන ඒඒ තැන්වලට ගිහින් අන්‍යයන් අතර ගැටුම් නිර්මාණය කරවන එක සැමියා බිරිය අතර මවුපියන් දරුවන් අතර ස්වාමි සේවකයන් අතර පැවැති සමඟිය නැතිකොට ඔවුන් අසමගි කරවන්න ඇතැමුන්ට මේ කේලම හොඳම අවියකි. සමාජය තුළ ඇතිවන විශාල සමාජ අවුල් වියවුල් දිහා හොඳින් විමසලා බැලුවම ඒ අස්සේ කේලම් කියපු අවස්ථා වලුත් සැඟවිලා තියෙනවා. ඒ නිසා කේලම කියලා කියන්නේ වචනයෙන් කරනු ලබන භයානක වරදක්, ඒ කෙනාගෙන් කවදාවත් සමාජයට වත් අපිටවත් හොඳක් සිද්ධවෙන්නේ නැහැ. සමහර අය කේලම් කියලා . ඒ ඒ පුදගලයන් අතර ගැටුම් ඇතිකරවා අවසානයේදී ඒ ඇත්තෝ වෙන් වෙනකොට ඒ දිහාවේ සතුටින් බලාගෙන ඉන්නවා. නමුත් කේලම් කියලා අනුන් භේද කරපු එකේ විපාක ලැබෙනකොට ඒ තැනැත්තා බලවත් දුකටත් කනස්සල්ලටත් පත්වෙනවා. ඒ නිසා ජීවිතය සාර්ථක කරගන්න උත්සාහ කරන අප සැමදෙනාම කේලම නම් වූ මෙකී දුර්ගුණයෙන් ඇත්වෙන්න මහන්සි ගන්න ඕන. ඒ වෙනුවට සමාජයේ එකිනෙකා අතර සතුට සමාදානය ඇතිවන, සමඟිය අන්‍යෝන්‍ය විශ්වාසය ඇතිවන වචන පාවිච්චි කරන්න උත්සාහ ගන්න ඕන.

අනිත් කරුණ තමයි සැර පරුෂ නපුරු වචන කීම ධර්මයේ පරුෂ වචනය විස්තර කරන්නේ ත කකසා (කැකුළු) පරකටුකා) (කටුක වූ) කෝධසාමන්තා (ක්‍රෝධය ඇතිවන සුළු) අසමාධිසංවතතනිසා (සමාධියට අහිත පිණිස හේතුවන වචන ) යනා දි ඒවා පරුෂ වචන ලෙසයි. කටුක රළු නපුරු වචන අහන්න අප කිසිකෙනෙක් කැමැති නැහැ. අපි වගේම සමාජයේ ඉන්න අන් අයත් සැරපරුෂ නපුරු වචන අහන්නට පි‍්‍රය කරන්නේ නැහැ. මිනිසුන්ට පමණක් නොව ගෙදර ඇති කරන සුරතල් සතෙකුට වුවත් සැර වචනයෙන් කතා කරනවා නම් ඒ සතා අප සමග වැඩි ලෙන්ගතු කමක් පවත්වන්නේ නැහැ. නමුත් ක්‍රෝධය මිශ්‍රිත නපුරු රළු වචන වලට පි‍්‍රය කරන ඒවා අහාර කරගන යැපෙන ඇතැම් අමනුෂ්‍ය පිරිස් ඉන්නා බව ධර්මයේ කියවෙනවා. අප නිතරම සැරපරුෂ වචන කතා කරනවාට එවැනි අමනුෂ්‍ය පිරිස් ඉතා කැමැතියි. ඔවුන් අප සමීපයේම සිටිමින් ඒවා ආහාර කරගෙන යැපෙන්න උත්සාහ කරනවා. එවිට අමනුෂ්‍ය බලපෑම නිසා නිවසේ දියුණුව පවා අහිමි වී යා හැකිය. මෙහිදී සංයුක්ත නිකායේ දුබ්බන්නිය සූත්‍රය කදිම ආදර්ශයක් සපයනවා.

ඒ අනුව දිනක් සක් දෙවිදුන් ආසනයේ නැති විටෙක භයානක කැත මිටි සිරුරක් ඇති අමනුෂ්‍යයෙක් පඩුපුල් අසුනේ හිඳ ගනී. මෙය දුටු සක්දෙවිදුන්ගේ පරිවාර දෙවිවරුන් තරමක් රළු සැර වචන කියමින් අමනුෂ්‍යයා පලවා හැරීමට උත්සාහ කළා. රළු වචන ඇහෙන්න ඇහෙන්න අමනුෂ්‍යයා ඒවා ආහාර කරගෙන ලස්සන වෙන්න පටන් ගත්තා. කෙමෙන් ඔහුගේ භයානක බව නැතිව ගොස් ඔහු ඉතා ලස්සන අයෙක් බවට පත්වුණා. පසුව මේ ගැන අසා කරුණු අවබෝධ කරගත් සක්දෙවිදුන් මේ පැමිණ ඇත්තේ ක්‍රෝධය ආහාරය ලෙස ගන්නා අමනුෂ්‍යයකු බව දැන ඔහු අසලට විත් පි‍්‍රයශීලි වචන වලින් අමනුෂ්‍යයාට කතා කළා. හොඳ වචන අසා තවත් සමඟ එතන සිටීමට අපොහොසත් වූ අමනුෂ්‍යයා ක්‍රමයෙන් නැවත විරූපි වී වහා අතුරුදන් වුණා. ඒ අනුව පෙනීයන්නේ සැරපරුෂ රළු වචන වලට පි‍්‍රය කරන ඒවා ආහාර කරගෙන යැපෙන අමනුෂ්‍ය පිරිස් ඉන්න බවය. අප නිතර එවැනි සැර පරුෂ වචන කතා කරන්නේ නම් අපේ ජීවිත වලටද අමනුෂ්‍ය බලපෑම් එල්ල විය හැකිය. ඒ නිසා අප නිතරම යහපත් වචන කතා කරන්න උත්සාහ කරන්න ඕනෑ. යහපත් වචන කතා කරනකොට දෙවිමිනිසුන්ගේ පමණක් නොව ස්වභාවධර්මයේ පවා ආශිර්වාදය අපට ලැබෙනවා.

පරුෂ වචන වෙනුවට යොදාගත යුතු යහපත් වචන මොනවාදැයි බුදුදහමේ විස්තර වේ. ඵරුසං වාචං පහාය “ පරුෂ බස් හැර දමා අප ඒ වෙනුවට නෙලා (නිදොස් වු ) කණ්ණසුඛා (කනට සුව එලවන සුළු) පේමණීයා (පේ‍්‍රමය දනවන) හදයංගමා (හෘදයාංගම වු) පොරී (ගුණයෙන් පිරිපුන් වු බහුජනකන්තා බොහෝ දෙනාට කාන්ත වු) බහුජනමනාපා (බොහෝ දෙනාට මනාප වු) සෞඛ්‍ය වචනම කතා කළ යුතු බව ධර්මයේ පෙන්වා දී තිබෙනවා. ඒ නිසා අපත් අනුන්ගේ සිත් තැලෙන සැර පරුෂ කටුක වචන වලින් ඈත් වී ඒ වෙනුවට කවුරුත් පි‍්‍රය කරන යහපත් සෞම්‍ය වචන කතා කරන්න උත්සාහ ගන්න ඕන.

හතරවන කාරණය තමයි හිස් වචන කීම.මේ හිස් වචනය නැති නම් සම්ප්‍රප්පලාපය යන්න දහමේ විස්තර වන්නේ මෙසේයි. එනම් අකාලමාදී, අභූතවාදී. අන්තර්වාදී, අධර්මවාදී, අවිනයවාදි වචන හිස් වචන වන බවය. එසේ නම් මෙලොවටත් පරලොවටත් තමන්ටත් අනුන්ටත් කිසිඳු ප්‍රයෝජනයක් නැති වචන හිස් වචන වන බව පෙනෙනවා. එවැනි අර්ථ රහිත හිස් වචන යමෙක් නිතර කතා කරනවා නම් ඒක එයාගේ ජීවිතය සාර්ථක කරගන්න ලොකු බාධාවක්. හිස් වචන කතාකරන කෙනාට සමාජයෙන් කිසිම පිළිගැනීමක් ලැබෙන්නේ නෑ. ඇතැම් අය ඉන්නවා කතාකරන්න ගියාම කෙළවරක් නෑ. අන්තිමට බලපුවාම ඒ කියපු ඒක වචනයකින්වත් ගන්න දෙයක් නෑ. ඒ නිසා අප පුළුවන් තරම් උත්සාහ ගන්න ඕන හිස් වචන කීමෙන් වෙන්වෙන්න . කාලයට අනුව අර්ථවත් වූ ධර්මවාදි වචනම කතා කරන්න,උත්සාහ ගත යුතුයි. කතා කිරීමට එවැනි යහපත් දෙයක් හෝ ඊට සුදුසු පුද්ගලයන් හෝ නොමැතිනම් රහතන් වහන්සේ මෙන් නිශ්ශබ්දව සිටින ලෙස බුදුන්වහන්සේ අපට අනුශාසනා කළහ.

එහෙයින්, අප සියලු දෙනාද බොරුකීම, කේලාම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම යන දුභාෂිතයන්ගෙන් වෙන්වී ඒ වෙනුවට සත්‍යවාදි වූ අන්‍යයන් යහපත් කරවන අර්ථ සහිත පි‍්‍රයශීලි වචනම කතා කරන්න උත්සාහ ගන්න ඕන. එය අපට සමාජයේ පි‍්‍රය මනාප පුද්ගලයකු බවට පත්වීම සදහා පමණක් නොව සසර සුගතිගාමි වීමටද හේතුවක් වේ. නිවන් මගේ සම්මා වාචා යන අංගය සම්පූර්ණ කර ගැනීම සඳහාද එය ඉවහල් වන බව සිතට ගත යුතුයි.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.