Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

වස් විසීමයි පිළිවෙත් පිරීමයි

වස් විසීමේ පිළිවෙත බුදුරජාණන් වහන්සේගේ කාලයට පෙර සිට පැවතුනකි. එකල සිටි විවිධ ආගමික ශාස්තෘවරුන් වැහි සමයේදි සිය ආරාමවලට වී සිටියහ. එහෙත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වැහි කාලය ගැන නොසලකා පිණ්ඩපාතය ආදී කටයුතු සඳහා ගම් දනව්වල සංචාරය කළහ. පොදු පිළිවෙත්වල වැරැදි සොයමින් සිටි අන්‍ය ආගමිකයන්ට මෙය වැදගත් කරුණක් විය. එවිට ඔවුහු,

වැහි කාලයේ පක්‍ෂීහු පවා ආහාර සොයා නොගොස් කැදලිවලට වී සිටිති. එහෙත් ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයෝ වැහි කාලයේදීද ගම් දනව්වල සංචාරය කරති. එයින් වැඩෙන ලා දළුපත්ද කුඩා ජීවිහු ද ඔවුන්ගේ පා වලට පෑගී මිරිකී යයි. ඔවුහු ප්‍රාණඝාතාදී බොහෝ අකුසල් සිදුකර ගනිති,යි. චෝදනා කළහ.

මේ ගැන අසන්නට ලැබුණ බිම්බිසාර රජතුමා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ,

භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්ස!

අපගේ භික්‍ෂූන් වහන්සේ වැහි කාලයේද ගම් දනව්වල සැරිසරති. එයින් තණපත් ආදියත් කුඩා ප්‍රාණීහුත් පයට පෑගී මිරිකී යෙති. එහෙයින් බුදුරජාණන් වහන්ස! ඒ සඳහා යම් විනය නීතියක් පැනවීම නුසුදුසුදැයි විමසීය. එම අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ ඒ ගැන සලකා බලා භික්‍ෂූන් වහන්සේට වැහි කාලයේදී වස් වාසය කිරීම සඳහා මෙසේ අනුදැන වදාළහ.

“ අනුජානාමි භික්ඛවෙ වස්සානේ වස්සං උපගන්තු”

මහණෙනි! ඔබට වස් කාලයෙහි වස් සමාදන් වී වාසය කරන ලෙස අනුදැන වදාරමියි යනුවෙනි. එම අවස්ථාවේ දී භික්‍ෂූන් වහන්සේට වස් එළඹීම කෙතෙක් කල් දැයි විමතියක් විය. උන්වහන්සේලා ඒ පිළිබඳ බුදුරජාණන් වහන්සේගෙන් විමසූ විට මෙසේ වදාළහ.

මහණෙනි! පෙර වස් එළඹීම පසු වස් එළඹීම යයි මේ වස් එළඹීම් දෙකකි. ඇසළ පුනු පොහොයට පසු දිනයෙහි එනම්, ඇසළ අව පෑළවිය දිනයෙහි පෙර වස් එළඹිය යුතුය. ඇසළ පුනු පොහොය දිනයෙන් මසක් ඉක්ම ගිය කල්හි නිකිණි අව පෑළවිය දිනයෙහි පසුවස් එළඹිය යුතුය. මේ වස් එළඹීම් දෙකයි වදාළහ.

වස් සමාදන් වීම

වස් සමාදන් විය යුත්තේ අවස්ථා දෙකකදී බව මෙයින් පැහැදිළිය. එනම්

1. පෙර වස් සමාදන් වීම
2. පසු වස් සමාදන්වීම යනුවෙනි

පෙර වස් සමාදන් වීම

ඇසළ පසළොස්වක පොහොයට පසු දින ඇසළ අව පෑළවිය දිනයෙහි පෙර වස් සමාදන් විය යුතුය.

 පසු වස් සමාදන් වීම

යම් හේතුවක් නිසා පෙර වස් සමාදන් වීමට අපහසු වූ භික්‍ෂූන් වහන්සේට නිකිණි පොහොය දින පොහොය කොට නිකිණි අව පෑළවිය දින පසු වස් එළඹිය යුතුය.

වස්සාන කාලයෙහි භික්‍ෂූන් වහන්සේ අනිවාර්යයෙන්ම පෙර වස් හෝ පසුවස් එළඹිය යුතුය. මෙය බුද්ධ නියමයකි. මෙම දින දෙකින් එක දිනක හෝ වස් එළඹීම් නො කළ භික්‍ෂුවට දුක්කටාපත්ති ඇවත සිදුවෙයි.

න භික්ඛ වෙ වස්සං න උපගන්තබ්බං යො න උපගච්ඡෙය්‍ය ආපත්ති දුක්කටස්ස”

මහණෙනි, යමෙක් වස් නො එළඹෙන්නේ නම් දුකුලා ඇවැත්වේ.

(මහා වග්ගය වස්සුපනායිකක්ඛන්ධන)

එහෙයින් උපසම්පදා භික්‍ෂූන් වහන්සේට වස් ආරාධනා කළත් නො කළත් අනිවාර්යයෙන්ම වස් එළඹිය යුතුය.

වස් ආරාධනය

භික්‍ෂූන් වහන්සේට වස් ආරාධනා කරනු ලබන්නේ දායක පින්වතුන් විසිනි. ඒ අනුව විහාරස්ථානයේ වැඩ වසන භික්‍ෂූන් වහන්සේට මෙන්ම වෙනත් විහාරස්ථානවල වැඩ සිටින භික්‍ෂුන් වහන්සේටත් වස් ආරාධනා කරීමට පුළුවන. විහාරස්ථායට පැමිණෙන දායකයෝ පළමුව බුදුන් වැද භික්‍ෂූන් වහන්සේ හමුවී දැහැත් පිළිගන්වා වස් විසීමට ආරාධනා කරති.

දැහැත් ගොටුව

වස් ආරාධනයට දැහැත් පිළිගැන්වීම වට්ටියක බුලත් තබා කරන ආරාධනයට වෙනස්ය.

මේ සඳහා දැහැත් ගෙන රවුමට තබා එකිනෙක සම්බන්ධ වන ආකාරයට ඉරටු ගසා දැහැත් ගොටුවක් සකස් කරනු ලැබේ. මෙය අලංකාර නිර්මාණයකි. ගොටුව මැදට පුවක්, හුණු සහ එනසාල් ආදී සුවඳ ද්‍රව්‍ය දමනු ලැබේ. එක භික්‍ෂූන් වහන්සේ නමකට එක් දැහැත් ගොටුවකි. සතර නමකට ගොටු සතරකි. ආදී වශයෙනි.

එයින් පසු භික්‍ෂූන් වහන්සේට දැහැත් ගොටුව පිළිගන්වා මෙසේ ආරාධනා කළ යුතුය.

ස්වාමීන් වහන්ස!

මෙම වස් කාලය තුළ අපි අපේ ශක්ති ප්‍රමාණයෙන් ඔබ වහන්සේට ප්‍රත්‍ය සපයමු. අප කෙරෙහි අනුග්‍රහය පිණිස මෙම කාලය තුළ වස් වාසය කරන ලෙස ගෞරවයෙන් ආරාධනය කර සිටිමු. එවිට භික්‍ෂූන් වහන්සේ පහත සඳහන් වාක්‍ය ප්‍රකාශ කරමින් වස් අරාධනය පිළිගනිති. ඉමස්මිං විහාර ඉමං තෙමාසං වස්සං උපෙමි. ඉධ වස්සං උපෙම්.

ඉධ වස්සං උපෙමි
(උපෙමි, එළඹෙමි)

වස් වාසයට සුදුසු ස්ථාන

පුරාණයේදී වස් වාසය සඳහා ගල් ගුහා තෝරා ගෙන තිබිණ, වස් වාසය කරන ස්ථානය වහලක් සහිත ආරක්‍ෂක ස්ථානයක් විය යුතුය. වර්තමානයේ වස් වාසය විහාරස්ථානවල සිදු කරති.

වස් වාසයට නුසුදුසු ස්ථාන

ගස්යට, ගස්බෙන , ගස් දෙබල්, ඡත්‍රයට, එළිමහන් ආවරණයක් නැති ස්ථාන, සුසාන භූමි, සතුරු බිය සහ වගවලසුන් සිටින ස්ථාන, සර්පයන් සිටින ස්ථාන, ස්වාභාවික විපත් (ගිනි ,ජල)) පැමිණෙන ස්ථාන යක්‍ෂ, භූත දෝෂ ඇති ස්ථාන

වස් වාසයට සෙනසුනක් තිබිය යුතු බව බුදුරජාණන් වහන්සේ වදාළහ.

න භික්ඛවෙ අසේසනාසනිකෙන වස්සං උපගන්තබ්බං

යො උප ගච්ඡෙය්‍ය ආපත්ති දුක්කටස්ස “

මහණෙනි! සෙනසුන් නැත්තහු විසින් වස් නො එළඹිය යුතුය. යමෙක් එළඹෙන්නේ නම් දුකුලා ඇවැත්වේ. “

වැසි සළුව

භික්‍ෂූන් වහන්සේ වස්වසන අවස්ථාවට වැසි සළුවක් ද පූජා කරති. එය සඟළ සිවුර සහ දෙපොට සිවුරට වඩා දිග පළලින් වැඩිය. එය තමන් විසින් දායකයින්ට දන්වා පිළියෙළ කර ගැනීමට පුළුවන.

වැසි සළුව පූජා කිරීම ආරම්භ වූයේ විශාඛා උපාසිකාවගේ ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙනි. එකල වස් වාසය කළ භික්‍ෂූන් වහන්සේට පිණ්ඩපාතය සෙවීමේදී වැස්සෙන් පීඩා විදින්නට සිදුවිය. එය දුටු විශාඛා උපාසිකාව,

ඉච්ඡා මහං භන්තෙ සංඝස්ස යාවජීවං වස්සික සාටිකං දාතුං

“ ස්වාමීනි මම ජිවිතාන්තය දක්වා සංඝයා වහන්සේට වැසි සළු

පූජා කරන්නට කැමැත්තෙ මැයි ප්‍රකාශ කළාය.

එය පිළිගත් බුදුරජාණන් වහන්සේ

අනුජානාමි භික්ඛවේ වස්සික සාටිකං වස්සානං චාතු මාසං

අධිට්ඨාතුං තතොපරං විකප්පෙතුං

මහණෙනි! වස් සාර මාසයෙහි වැසි සළුව අධිෂ්ඨාන කොට ප්‍රයෝජනයට ගන්නටත්, එයින් පසු විකප්පනය කරන්නටත් අනු දනිමියි වදාළහ.

සති කරණය

වස් විසූ භික්‍ෂූන් වහන්සේ ආරාමයෙන් පිටත යන විට සත්තාහකරණයෙන් යා යුතුය.

“අනුජානාමි භික්ඛවෙ සත්තන්නං සත්තාහ කරණීයෙන පහිතෙ ගන්තුං

මහණෙනි පණිවුඩ එවූ කල්හි සත් දෙනෙකු වෙත සත්තාහකරණයෙන් යන්නට අනු දනිමියි වදාළහ.

සත්තාහකරණයෙන් යෑම යනු සත් දිනක් ඉක්ම යන්නට පෙර වස් විසූ ස්ථානයට පැමිණීමයි.

එසේ සත්තාහකරණයෙන් යා හැක්කේද සත් දෙනෙකු වෙත පමණි. ඔවුහු නම්, භික්‍ෂුව භික්‍ෂුණිය ශික්‍ෂමාතාව, සාමණේර, සාමණේරිය මව සහ පියා යන අය වෙති.

මේ අයගේ ආරාධනයක් ඇතත් නැතත් සත්තාහ කරණයෙන් යා හැකිය. එහෙත් සතිය ඉක්මෙන්නට පෙර වස් විසූ ස්ථානයට පැමිණිය යුතුය.

මෙය බුද්ධ නියමයයි.

තවද ගිලන් භික්‍ෂුවකට උපස්ථාන කිරීමට, භික්‍ෂුවකට අවවාද කිරීමට සැක දුරු කිරීමට මිත්‍යාමත දුරු කිරීමට යන සංඝ කර්මයක් සඳහාත් මව්පිය ඥාතීන් රෝගීව සිටින අවස්ථාවලදීත් ඔවුන් බැලීමට සත්තාහකරණයෙන් යා හැකිය.

වස් බිඳීම

වස් විසූ භික්‍ෂූන්ට ඒ ආරාමයන්හි යම් සතුරු උවදුරු වෙත්නම්, සත්තාහකරණයක් නැතිව ආරක්‍ෂක ස්ථානයකට යා හැකිය. විසකුරු සතුන්ගෙන්, යක්‍ෂයන්ගෙන්, ගින්නෙන් ,ජලයෙන් උවදුරු ඇති වීමෙන්ද, ආරාමය පිහිටිගම වෙනස්වීමෙන්, ගම් වැසියන් සිටින ස්ථානයට ද, ගම් වැසියන් දෙකට බෙදුනහොත් සැදැහැතියන් සිටින ස්ථානයට ද පැමිණීමට පුළුවන. තවද කැපකරුවන් නොලැබීම , පිණ්ඩපාත, ගිලානප්‍රත්‍ය නොලැබීම, සංඝ භේදයකට හේතුවීම සහ සීලයට බාධාවීම යන කරුණු නිසා ස්ථානයෙන් බැහැර වීම වස් බිඳීමට හේතු නොවේ.

වස් පවාරණය

ඇසළ අවපෑළවිය වස් සමාදන්වූ භික්‍ෂූන් වහන්සේ වප් පොහොය දිනද, නිකිණි අව පෑළවිය වස් සමාදන්වූ භික්‍ෂූන් වහන්සේ මුල් පොහොය දිනද වස් පවාරණය කරති. කඨින චීවරය ලබාගත හැක්කේ පෙර වස් සමාදන්වූ භික්‍ෂූන් වහන්සේට පමණි. පසු වස් විසූ භික්‍ෂූන් වහන්සේට කඨින චීවරය ලබා ගැනීමට අවසරයක් නැත.

ආනිශංස

වස් කාලයේ වස් වසන භික්‍ෂූන් වහන්සේට දන් පිළිගැන්වීමෙන් ධර්මසාකච්ඡා කිරීමෙන්, බණ ඇසීමෙන් සහ භාවනාදී ප්‍රතිපත්තිවල යෙදීමෙන් ගිහියන්ට මහත් පින්කම් රාශියක් සිදුකර ගැනීමට අවස්ථාව උදාවේ. එසේම භික්‍ෂූන් වහන්සේටද දහම් පිළිවෙත්හි යෙදීමෙන්ද ධර්මය දේශනා කිරීමෙන්ද කුසල් රැස්කර ගැනීමට හැකිවෙයි. වස් පින්කම් වලට සහභාගිවීමට හැකිවන්නේ වසරකට වරක් පමණි. එහෙයින් වස් කාලය ගිහි පැවිදි දෙපිරිසටම ඵලදායක වූවකි. උදාවූ මෙම වස් කාලය තුළ වස් පින්කම්වලට සහභාගි වීමෙන් දෙලොව සැපත උදාකර ගැනීමට සියලු දෙනාම අධිෂ්ඨාන කර ගනිත්වා!

 


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.