බෞද්ධ
අල්පේච්ඡතාව
අතුරුගිරිය මැදගොඩලන්ද
පුරාණ විහාරවාසී
මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සිංහල දෙපාර්තමේන්තුවේ
ව්‍යාපෘති නිලධාරි ශාස්ත්‍රපති
කුකුරම්පොල
ඤාණවිමල හිමි
නූ තන අධිපරිභෝජනවාදය තුළින් මතු වූ ගැටලු විසඳා ගැනීම සඳහා බුදු දහමේ
ඉගැන්වෙන අල්පේච්ඡතා සංකල්පය බෙහෙවින් ඉවහල් වේ. නූතන පරිභෝජන රටාව
තුළ දිනකට වේලක්වත් ආහාර නොලබන කෝටි සංඛ්‍යාත ජනකායක් ද තාක්ෂණයේ උපරිම
ඵල නෙලමින් අධිපරිභෝජනයෙහි නියැලි ඉතා සුලු ජන සංඛ්‍යාවක් ද බිහිකර ඇති
නූතන පරිභෝජනවාදය නිසි මගට ගෙන ඒම සඳහා බෞද්ධ අල්පේච්ඡතා සංකල්පය තුළ
විසදුම් පවතී.
ප්‍රථමයෙන් ම අල්පේච්ඡතාව යනු කුමක්දැයි හඳුනාගත යුතුය.බොහෝ වස්තු
සම්පත් නොපතන බව හෙවත් ලද දෙයින් සතුටු වීමේ ගුණය අල්පේච්ඡතාව යනුවෙන්
හඳුන්වනු ලැබේ. කරණීය මෙත්ත සූත්‍රයේ සඳහන් වෙන පරිදි අල්ප වූ කෘත්‍ය
(අප්පකිච්චො) ඇති බවත් සැහැල්ලු පැවතුම් ඇති බව (සල්ලහුකවුත්ති) හෙවත්
බොහෝ බඩුබාහිරාදිය නොපතන බවත් අල්පේච්ඡතාවයේම තවත් ලක්‍ෂණයකි.
බෞද්ධ සමාජයෙහි අල්පේච්ඡතාව ඉතා අගය කොට සලකනු ලබන
ගුණාංගයකි.බුදුරජාණන් වහන්සේ ගිහි පැවිදි දෙපාර්ශ්වය අල්පේච්ඡතාවයේ
ඇති අගය පෙන්වා දුන්හ. භික්ෂු ජීවිතය අල්පේච්ඡතාවයෙන් පවත්වා ගෙන යාම
සඳහා අදාළ වන මූලික අවශ්‍යතා වන්නේ චීවර, පිණ්ඩපාත, සේනාසන හා
ගිලානපච්චය යන සිවුපසයයි. භික්ෂුව සඳහා වූ මෙම මූලික අවශ්‍යතා සපුරා
දෙනු ලබන්නේ බෞද්ධ ගිහි ජනතාව විසිනි.
ගිහි සමාජයේ ද මූලික අවශ්‍යතා වන්නේ ආහාර, නිවාස, ඇඳුම් පැලඳුම් හා
සෞඛ්‍යය පහසුකම්ය. එමෙන්ම ගිහි ජනතාව සඳහා ම වූ ද්විතීයික අවශ්‍යතා ද
රැසක් පවතී. තවද ගිහියාට යුතුකම් හා වගකීම් රැසක් සමාජය තුළ පැවරී ඇත.
(සිඟාලෝවාද සූත්‍රය) මෙහිදී ගිහි සමාජය තුළ මුදල හෙවත් ආර්ථිකය ප්‍රධාන
බලවේගයක් බවට පත් වී ඇත.
අල්පේච්ඡතාව එකිනෙකට සාපේක්ෂ වන බව බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව
පැහැදිලි වේ. සුනාපරන්තයට වැඩම කළ පුණ්ණ භික්ෂුවට පාවහන් පැළඳීම
ප්‍රතික්ෂේප නො කිරීම හා එය අල්පේච්ඡතාවයට හානියන් නොවීම තුළ බෞද්ධ
අල්පේච්ඡතාව ඒ ඒ අවස්ථාවන්ට හා පුද්ගලයන්ට සාපේක්ෂ බව ප්‍රකට කරයි.
අල්පේච්ඡතාවයට විරුද්ධ පදය වන්නේ මහිච්ඡතාව හෙවත් පමණට වඩා ප්‍රාර්ථනා
කිරිමයි. එය කාමසුඛල්ලිකානුයෝගයට සමීප වීමකි. එහෙත් ගිහියන් වශයෙන් භෝග
රැස්කිරීම ගිහි ගෙදර විසීමට සමත් වීමක් ලෙස බුදු දහම අගය කරයි. ධනවත්
වීම මග ඵල ලැබීමට බාධාවක් නොවන බව අනේපිඩු මහ සිටු, බිම්සර මහ රජු හා
විශාඛා සිටු දියණිය වැනි බෞද්ධ චරිත කතා මගින් පැහැදිලි වේ. ගිහි
ජීවිතයේ ඇති සැප සම්පත් අතර ආර්ථිකය ප්‍රධාන වන බව අත්ථි සුඛ (ධාර්මිකව
හම්බ කළ ධනයක් ඇති බව) භෝග සුඛ (හම්බ කළ ධනය ධාර්මිකව පරිභෝජනය කිරීම)
අනණ සුඛ (ණය නැති බව) අණන සූත්‍රය වැනි පරිභෝජන අංශ විස්තර කරන
සූත්‍රවලින් පැහැදිලි වේ. එමෙන්ම හම්බ කරන ධනය කොටස් හතරකට බෙදා එකක්
පමණක් පරිභෝජනයට වෙන් කළ යුතු බව (එකෙන භෝගෙ භුඤ්ජෙය්‍ය) බෞද්ධ
අල්පේච්ඡතා සංකල්පයෙන් අගය කරයි. එපමණක් නොව උතුම්ම ධනය සතුට බව
බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. (ධම්මපදය සුඛ වග්ග) එහෙත් මහිච්ඡතාව හා
අධිපරිභෝජනය බුදුදහම ප්‍රතික්ෂේප කරයි.
අල්පේච්ඡතාව නොමැතිව මහිච්ඡතාව වර්ධනය වීමෙන් සතුට නැති වී ගැටුම්
නිර්මාණය වන බව අග්ගඤ්ඤ සූත්‍රයෙන් පැහැදිලි වේ. එමෙන්ම අසීමිත සම්පත්
ප්‍රාර්ථනා කිරීම මහිච්ඡතාව හෙවත් අධිපරිභෝජනයට යාමේදී ලෙඩ රෝග මෙන්ම
අවුල් වියවුල් ද මතුවී අධර්මය ඉස්මතු වන බව චක්කවත්තිසීහනාද සූත්‍රයෙන්
විස්තර කෙරේ.
භාණ්ඩ හා සේවා යොදාගෙන මිනිස් අවශ්‍යතා සපුරා ගැනීම පරිභෝජනය නමින්
හැඳින්වෙන බව ආර්ථික විද්‍යාවේ පදනම නම් කෘතියේ සඳහන් වේ. අවශ්‍යතා
ඉටුවීම තුළ පුද්ගලයාට සතුටක් හෝ තෘප්තියක් ලැබේ. එමෙන්ම පවුලේ පරිභෝජන
මට්ටම එම පවුලේ ආදායම් මට්ටම අනුව තීරණය වේ. එසේ වුවද සමාජයෙහි ආදායම
ඉක්මවා වැය කිරීමට යාම තුළ ඇති වී තිබෙන ප්‍රශ්න කෙතරම්ද?
එහෙත් සීමාසහිත සම්පත් ප්‍රමාණයක් භාවිත කරමින් අසීමිත මිනිස් උවමනා
සපුරා ගැනීමට යාමේ දී හිගකම නමැති ඓන්ද්‍රීය ආර්ථික ගැටලුවට මුහුණ දීමට
සිදුවේ. මිනිස් උවමනා තෘප්තිමත් කිරීම සඳහා සම්පත් බෙදාදීමේ ගැටලුව මත
ප්‍රශ්න රැසක් මතු වී තිබේ. මෙම පරිභෝජන ක්‍රියාවලිය නූතන පරිභෝජනවදය
නමින් නූතන ආර්ථික විද්‍යාඥයෝ හඳුන්වති.
වර්තමාන ලෝකය භෞතික දියුණුවේ ඉහළ ම තළයෙහි පැවතිය ද භෞතික දියුණුවත්
සමගම ආධ්‍යාත්මික දියුණුව ද තිබිය යුතු බව බුදුදහම උගන්වයි. උභයාර්ථ
දියුණුව ම අගය කරන බුදුරජාණන් වහන්සේ ලෞකික හා ලෝකෝත්තර අර්ථ සිද්ධිය
සඳහා මග පෙන්වූහ. කාමභෝගී ගිහියාට දිළිදු බව දුකක් වන හෙයින් තරුණ කල
සිටම ධනය ඉපයිය යුතු බව බුදුදහම පෙන්වා දෙයි. තරුණ කල ධනය ඉපයීමක් නැති
අධාර්මිකව කටයුතු කරන පුද්ගලයා වතුර සිඳී ගිය විලක සිටින මහලු
කොස්ලිහිණියෙකු මෙන් තැවීමට ලක්වේ. (ධම්මපද ජරා වග්ග) එහෙත්
ආධ්‍යාත්මික දියුණුව අමතක කර ලබන ආර්ථික දියුණුව මිනිසාගේ පරිහානිය ළඟා
කරන්නකි. පුද්ගල පෞරුෂ සංවර්ධනයෙහිලා ආර්ථිකය පදනම විය යුතු අතර එය
අධ්‍යාත්මික හැඩගැස්මෙන් ඔප්නැන්විය යුතුය.
ලෝකය සංවර්ධන හා ඌණ සංවර්ධිත වශයෙන්ද දියුණු හා නොදියුණු වශයෙන් ද
දුප්පත් හා පොහොසත් වශයෙන් විවිධ බෙදීම්වලට ලක්කරමින් හඳුන්වනු ලබයි.
මෙම සංවර්ධිත පොහොසත් දියුණු රටවල් මිනිසාගේ මූලික අවශ්‍යතා වන ආහාර
නිවාස ඇඳුම් හා සෞඛ්‍යය මෙන්ම අධ්‍යාපනය යානවාහන වැනි ද්විතීවික
අවශ්‍යතාද මානුෂීය අවශ්‍යතාද ඉහළම ආකාරයෙන් භුක්ති විඳිමින් සිටී.
එමෙන්ම මොවුහු කාර්මික, විද්‍යාත්මක හා තාක්ෂණික දියුණුවේ උපරිම තලයෙහි
ජීවත්වෙමින් සිටිති.
සන්නිවේදන විනෝදය හා විවේකයද ඉහළම ආකාරයෙන් භුක්තිවිඳින මොවුහු
අධිසුඛෝපභෝගි ජීවිත ගත කරති. සැප සම්පත් උපරිමයෙන් වින්දනය කළ ද
මිනීමැරුම්, දරුණු අපරාධ, ස්ත්‍රී දූෂණ, දික්කසාද, මත්ද්‍රව්‍ය, මානසික
රෝග, පරම්පරා හා යුධ ගැටුම් අසහනය වැනි මිනිසාගේ පරිහානියට බලපාන
කරුණුද උපරිම තත්වයක පවතී. අධිසුඛෝපභෝගී අවශ්‍යතා ඉටු කර ගැනීමට යාමේ
දී විවිධ ගැටලුවලට මුහුණ දීමට සිදුව ඇත.
මිනිසාගේ මූලික අවශ්‍යතා අභිභවනය කරමින් අධිසුඛෝපභෝගි පරිභෝජන රටාවක්
පුරුදු පුහණු කිරීම සඳහා නූතන ප්‍රචාරණ ජාලය සමත් වී ඇත. පාරිභෝගික
සමාජය ප්‍රචාරක දැන්වීම් මගින් පාලනය වීම අද දැකිය හැකි සුලභ ලක්ෂණයකි.
තමන් මිලදී ගත යුත්තේ කුමක්දැයි මිනිසාට අවබෝධයක් නොමැති අතර වෙළෙන්දා
දිනපතා අලුතින් නිෂ්පාදනය කරන කෘත්‍රිම අවශ්‍යතා කිසි වග විභාගයකින්
තොරව ඔහු ඒ ආකාරයෙන් ම පිළිගෙන ඇත.මේ ආකාරයෙන් ඉතා සුලුපිරිසක් විසින්
මුළුමහත් ජනතාව ම පාලනය කරනු ලැබේ. වර්තමාන සමාජයේ ප්‍රචාරණය මගින්
ග්‍රහණයට නතු කරගත් පාරිභෝගික ජනතාව සිත්පිත්නැති රූකඩ මෙන් වෙළඳ
උපක්‍රමවලට රැවටී වෙළෙන්දා අත නැටවෙමින් සිටී. නූතන ප්‍රචාරණ ජාලය
මනෝවිද්‍යාත්මක ක්‍රම ද උපයෝගී කරගනිමින් අධිසුඛෝපභෝගී ජීවන රටාවක්
සඳහා මිනිසා පුරුදු කර ඇත.
එවන් සමාජයක සතුටින් ජීවත්වීමට නම් අධිපරිභෝජනයෙහි ඇති නිසරු බව හා
ගැටලුකාරි බව තේරුම් ගත යුතුය. බුදු දහමේ උගන්වනු ලබන අල්පේච්ඡතාව තුළ
කටයුතු කිරීමෙන් ගැටලුවලින් හා අසහනයෙන් තොර සතුටින් පිරුණු ජීවිතයක්
ගත කිරීමට ක්‍රියා කළ යුතුය. |