Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ජීවිතයේ ආරම්භයේ සිට අවසානය තෙක් ම අපි විවිධ දේ ඉගෙනීමෙහි නිරතව සිටිමු. සඵල අධ්‍යාපනය පුද්ගල ජීවිතයේ සාර්ථකත්වයට ඉවහල් වන බව අප අවිවාදයෙන් පිළිගන්නා කරුණකි. උගත් දේ තහවුරු කර ගැනීමට, නැතහොත් අප සතු බුද්ධි මට්ටම කිසියම් අගැයීමකට ලක්කිරීමට යොදාගන්නා ක්‍රමවේදයක් වශයෙන් විභාග හෙවත් පරීක්ෂණ හඳුන්වා දිය හැකිය.

විභාග යන්න ඇසූ පමණින් ම බොහෝ දෙනා භීතියට, තැති ගැන්මට පත්වනු දැකිය හැකිය. ඒ තරමට ම එය අප පීඩාවට පත් කරන්නක් බවට පත්වී තිබීම ඊට හේතුවයි. එහෙත් විභාග සඳහා අසාමාන්‍ය බියක්, චකිතයක් ඇති කර ගැනීම අවශ්‍ය නොවේ. කළ යුත්තේ ඒ සඳහා ප්‍රමාණවත් පරිදි සූදානම් වීමයි. ප්‍රායෝගික වශයෙන් ඔබ අවශ්‍ය ප්‍රමාණයට පරීක්ෂණය සඳහා සූදානම් වී ඇත්නම් එවිට සිත තුළ පවතින බිය නිරායාසයෙන් ම මගහැරී යනු ඇත.

මෙහි දී විශේෂයෙන් කිවයුතු කරුණක් ඇත. එනම්, නොයෙක් ආකාරයේ ගුප්ත ක්‍රම හෝ විවිධ හාස්කම් මගින් හෝ විභාග සමත් කරවීමට නොහැකි බවයි. මෙවැනි විවිධ ආකාරයේ ප්‍රචාරක දැන්වීම්, පුවත්පත් නිවේදන ඔබ කොතෙකුත් දැක ඇතිවාට සැක නැත. කරුණු මැනැවින් පරීක්ෂා කර බැලුවහොත් පැහැදිලි වන්නේ ඇතැම්විට එවැනි හාස්කම් කරතැයි පැවසෙන පුද්ගලයන් කිසිදු පරීක්ෂණයකින් සමත් වූ අය නොවන බවයි. කෙසේ නමුත් විභාගයක දී කෙනකු අදහන ආගමකින් හෝ විශ්වාස කරන වෙනත් බලවේගයක් මගින් හෝ කිසියම් පිහිටක් පැතීම සම්පූර්ණයෙන් ම ඵලදායී නොවේ යැයි සර්ව අශුභවාදී වීම ද අවශ්‍ය නොවේ. මන්දයත් කෙනකු සිය ආගම කෙරෙහි දක්වන විශ්වාසය ආත්ම ධෛර්යය වර්ධනය කරගන්නට කිසියම් පමණකින් හෝ දායක විය හැකි බැවිනි. මෙහි දී හැම කෙනකුම සිහි තබාගතයුතු වැදගත් ම කරුණ වන්නේ විභාගයෙන් සමත්වීම පිළිබඳ සම්පූර්ණ වගකීම එවන් ගුප්ත බලවේගවලට පමණක් පවරා තමන් එම වගකීම්වලින් සම්පූර්ණයෙන් ම බැහැර නොවිය යුතු බවයි.

උදාහරණ වශයෙන්, ඕනෑම ආගමක් අදහන කෙනකු තමන් පෙනී සිටින විභාගයට දිනකට හෝ දෙකකට හෝ පෙර අදාළ ආගමික සිද්ධස්ථාන වෙත ගොස් වත් පිළිවෙත් සිදුකර ආගමික ආශිර්වාද ලබා ගැනීමෙහි කිසිදු වරදක් දැකිය හැකි නොවේ. එමගින් පරීක්ෂණයේ දී ආත්ම විශ්වාසය වැඩිදියුණු වීමට බෙහෙවින් අවකාශ ඇත. මීට අමතරව තමන්ට පහසු ආකාරයට කෙටි කාල වේලාවක් තුළ හෝ භාවනානුයෝගීව ගත කිරීමට හැකිනම් එය ද ඔබගේ මනැස සන්සුන්භාවයට පත් කිරීමට පමණක් නොව ඉදිරි දිවි මඟ වඩාත් හොඳින් ගොඩ නඟා ගැනීමටත් උපකාරී වනු ඇත. විභාගයක දී විශේෂයෙන් වැදගත්වන මතකයන් අවදිකරවා ගැනීමේ හැකියාව ද එමගින් උදාවනු ඇත. එබැවින්, සති ගණන් මාස ගණන් අදෘශ්‍යමාන දේ කෙරෙහි විශ්වාසය තබමින් නිකරුණේ කාලය නාස්ති කර ගැනිමෙන් වැළැකී ප්‍රායෝගික වශයෙන්ම විභාගය සඳහා සූදානම් වීම වැදගත් ය.

විභාග සඳහා පුද්ගලයන් තුළ පවත්නා අසාමාන්‍ය බිය විභාග භීතිකාව( examination phobia ) ලෙස මනෝවිද්‍යාඥයන් විසින් හඳුන්වනු ලබයි. මනෝචිකිත්සක ක්‍රමවේදයන් මගින් එවන් භීතිකා තත්ත්වයන් තුරන් කර ගැනීමේ හැකියාව ඇති බව ද ඔවුන් පෙන්වා දී ඇත. කෙසේ නමුත් විභාගයක් සඳහා පෙනී සිටින ප්‍රථම දිනයේ දී කෙනකු තුළ කිසියම් අපහසුතාවක් හෝ කාන්සා තත්ත්වයක් පැවැතීම ස්වභාවික දෙයකි. එහෙත් ඔබ විභාගය සඳහා හොඳින් සූදානම් වී ඇත්නම් ඔබගේ එම අසහනකාරී මානසික ස්වභාව ක්‍රමයෙන් මගහැරී ගොස් සාමාන්‍ය පරිදි පිළිතුරු ලිවීමට ඔබට හැකියාව ලැබෙනු ඇත. එසේ වුවත් ඔබ අවශ්‍ය ප්‍රමාණයට විභාගය සඳහා සූදානම් වී නොමැත්තේ නම් විභාගය පිළිබඳ ඔබගේ කාන්සා තත්ත්වය තවදුරටත් වර්ධනය වීමට ඉඩ ඇත. මෙවැනි තත්ත්වයක් ඇති නොවීම සඳහා අනුගමනය කළ යුතු හොඳ ම ක්‍රමවේදය වන්නේ ආරම්භයේ සිට ම විධිමත් කාල සටහනකට අනුව පාඩම් කටයුතුවල නිරත වෙමින් විභාගය සඳහා හොඳින් සූදානම් වීමයි.

කාල සටහනකට අනුව අධ්‍යයන කටයුතු සැලසුම් කිරීමේ දී විශේෂයෙන් මතක තබාගතයුතු තවත් කරුණක් වන්නේ් පාඩම් කටයුතුවල නිරත වීම සඳහා සියලු දෙනාට ම පොදුවේ භාවිත කළ හැකි ක්‍රමවේදයක් ඉදිරිපත් කළ නොහැකි බවයි. නැවත අධ්‍යයනයන්හි නිරත වීමට, ගණන් සෑදීමට ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමට ආදි වශයෙන් කාල වේලාව සකස් කරගතයුත්තේ ද ඔබට ම ආවේණික වූ ක්‍රමයකට යි.

කෙනකු හිමිදිරි උදෑසන සිය අධ්‍යයන කටයුතුවල නිරතවීමට වැඩි කැමැත්තක් දක්වන අතර තවත් කෙනකු ඒ සඳහා රාත්‍රි කාලය තෝරා ගැනීමට ඉඩ ඇත. එහි කිසිදු වරදක් නැත. තමාට වඩාත් පහසුවන ආකාරයට මෙසේ වේලාව වෙන් කර ගැනීම මෙන් ම සෑම විෂයක් සඳහා ම ගැළපෙන ආකාරයට කාලය බෙදා වෙන්කර ගැනීම ද මෙහි දී වැදගත් වේ. ශරීරයට අහිතකර ආකාරයට අධික ලෙස නිදි වර්ජිතව පාඩම් කටයුතුවල නිරතවීම ඵලදායී නොවන බව ද කිව යුතුය. අධ්‍යයන කටයුතුවල නිරතවන හැම අයකුම තමාට අවශ්‍ය පරිදි නින්ද ලබා ගැනීම වැදගත් වන්නේය.

බුදු රජාණන් වහන්සේ සිය අනුගාමිකයන් හට ගැඹුරු ධර්ම කරුණු පිළිබඳ අවබෝධය ලබා දීමේ දී එක් එක් පුද්ගලයාගේ චරිත ස්වභාව විමසා බලා ඒ අනුව ක්‍රියාකොට ඇති බව පෙනේ. විසුද්ධි මාර්ගයේ සඳහන් වන එම චරිත වර්ග අතර රාග චරිත, ද්වේශ චරිත, මෝහ චරිත, ශ්‍රද්ධා චරිත, බුද්ධි චරිත, විතර්ක චරිත ආදී වශයෙන් චරිත වර්ග සයකි. මෙසේ පුද්ගලයා හඳුනාගෙන ඔවුන්ගේ චරිත ස්වභාවයට ගැළපෙන පරිදි භාවනා ක්‍රම ලබා දී ඒ ඔස්සේ ධර්මය අවබෝධ කර ගැනීමට ඉඩ ප්‍රස්ථාව සලසා දී තිබෙනු දැකිය හැකිය. ඒ ආකාරයෙන්, අධ්‍යයන කටයුතුවල නිරතවන ඔබ ද කළ යුත්තේ පාඩම් කටයුතු සඳහා ඔබට ම ගැළපෙන ක්‍රමයක් සකස්කර ගැනීම යි. එය තමා ම ගොඩනඟා ගතයුත්තකි. උදාහරණයක් ලෙස කෙනකුට සියුම් සංගීතයකට සවන් දෙමින් ගණන් සෑදීම වැනි දේ කළ හැකිය. තවත් අයකු යමක් කට පාඩම් කිරීමේ දී එය ශබ්ද නඟා කියැවීමට පුරුදු වී සිටිය හැකියි. එහි කිසිදු වරදක් දැකිය හැකි නොවේ. වඩා යෝග්‍ය, ඵලදායී ක්‍රමය තෝරා ගැනීම ඒ ඒ පුද්ගලයා සතුය.

යමක් ඉගෙන ගැනීම සඳහා භාවිත කළ හැකි ක්‍රම කිහිපයක් පිළිබඳ බුදු රජාණන් වහන්සේ පැහැදිලි කර ඇත්තේ මෙසේය.

සුතා - සවන් දීම
ධතා - අවබෝධ කර ගැනීම
වචසා පරිචිතා - වචන හඬ නගා කියැවීම
මනසානුපෙක්ඛියා - මනැසින් මෙනෙහි කිරීම
දිට්ඨියා සුප්පටිවිද්ධා - ප්‍රත්‍යවේක්ෂණය කිරීම

විභාගයට සූදානම් වන ඔබට මෙය ඉතා යෝග්‍ය වනු නිසැක ය. යමක් ඉගෙනීමේදී මුලින් ම එයට සවන් දී එය සිතට ගෙන අවබෝධ කරගත යුතුය. අනතුරුව මනැසින් වටහා ගත් දෙය තැන්පත් වීමට ශබ්ද නඟා කියැවීම වැදගත් ය. වරින් වර තමා උගත් දෙය මතක් කර ගැනීම ද කළ යුතුය. එසේ ම දැනුම ස්ථාවර වීමට නම්, ඔබ උගත් දෙය නැවත නැවත පරීක්ෂා කර බැලිය යුතුය. එවිට ඔබ උගත් දෙය ඔබගේ දීර්ඝ කාලීන මතකයේ තැන්පත්ව ඔබට අවශ්‍ය වූ විට ප්‍රයෝජනයට ගත හැකිය. නමුත් කෙටි කාලීන මතකයේ රැඳුණු යමක් ඔබට ඉක්මනින් ම අමතක වී යෑමට ඉඩ ඇත. විභාග අරමුණු කරගෙන ඉගෙන ගන්නා කරුණු දිගු කාලීන වශයෙන් මතකයේ රඳවා ගැනීම සඳහා ක්‍රියා කිරීමේ වගකීම ඔබ සතු වන්නේය. බටහිර මනෝ විද්‍යාව තුළත් බුදු දහමේ ඉගැන්වෙන අධ්‍යයන ක්‍රමවේදයට සමාන අධ්‍යයන ක්‍රමයක් හඳුන්වා දී ඇත. පී. එෆ් රොබින්සන් විසින් හඳුන්වා දෙනු ලැබ ඇති මේ ක්‍රමවේදය ඉQ3 අ ක්‍රමය වශයෙන් හැඳින් වේ. එම ක්‍රමවේදය මතු සඳහන් අංශයන්ගෙන් සමන්විත වේ.

සමීක්ෂණය - ඉභපමඥර
ප්‍රශ්න කිරීම - Qභඥඵබඪධදඪදඨ
කියැවීම - අඥචඤඪදඨ
කට පාඩම් කිරීම - අඥජඪබඥ
නැවත මතක් කිරීම - අඥමඪඥඹ

මේ ආකාරයට ද විධිමත් අධ්‍යයනයක නිරතවීමට අවකාශ ඇති බව පෙනේ. මෙහි දී වැදගත් වන්නේ තමාට වඩාත් සුදුසු ක්‍රමය කුමක්දැයි තේරුම්ගෙන, ආරම්භයේ පටන් අධ්‍යයන කටයුතු ක්‍රමවත්ව පවත්වාගෙන යෑමයි. එසේ අධ්‍යයන කටයුතුවල යෙදුණු අයකු හට විභාගය සඳහා ඉතා සාර්ථකව මුහුණ දිය හැකි බව අමුතුවෙන් කිව යුතු නැත. විභාගයට ඉතා ආසන්නත ම කාලය පුණරාධ්‍යයන කටයුතු (නැවත අධ්‍යයනය) සඳහා යොදා ගැනීම ඔබට බෙහෙවින් වැදගත් ය. සමස්ත විෂය පිළිබඳ කෙටියෙන් අධ්‍යයනය කිරීම සහ කෙටි සටහන් කියැවීම එහි දී වැදගත් වනු ඇත. ඊට අමතරව පසුගිය ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය තුළින් ප්‍රශ්නවල ස්වභාව හඳුනා ගැනීමට ද ඔබට හැකියාව ලැබෙනු ඇත.

විභාගය ආරම්භ වීමට පෙර දිනය ඔබ ඉතා සන්සුන් සහ පැහැදිලි මනැසකින් කාලය ගත කිරීම වැදගත් ය. සෙසු දිනයන්හි දී මෙන් සාමාන්‍ය පරිදි කාලය ගතකිරීම වඩාත් සුදුසු ය. අසාමාන්‍ය පරිදි නිදි වර්ජිතව පාඩම් කිරීම හෝ වෙනත් ආගන්තුක කාර්යයන්හි නිරතවීම හෝ එවැනි දේ පිළිබඳ කල්පනා කිරීමෙන් වැළැකීම ද මෙහි දී වැදගත් වේ.

විශේෂයෙන් ශරීර සෞඛ්‍යයට බාධාකාරී වියහැකි කටයුතු පිළිබඳ කල්පනාකාරී විය යුතුය. පසු දින විභාගයට අවශ්‍ය දෑ සූදානම් කොට තබා ගැනීම ද මෙහි දී වැදගත් ය. තමාගේ අභිමතය පරිදි සුදුසු ලෙස ආගමික වතාවත්හි නිරත වීමෙන් අනතුරුව විභාගයට පෙර දින රාත්‍රී සුපුරුදු වේලාවට නින්දට යෑම ඉතාමත් යෝග්‍ය වේ. විභාගය පැවැත්වෙන දින උදෑසන එදිනට නියමිත විෂය පිළිබඳ පැයක පමණ කාලයක් තුළ අවසන් වරටත් සිහියට නඟා ගැනීමට හැකි නම් එය ද ඔබට බෙහෙවින් වාසිදායක වනු ඇත. විභාගයට යන දූ දරුවන් සිය නිවෙසින් පිටත් වීමට පෙර ආශිර්වාද කිරීමට මවුපියන් ද විශේෂයෙන් වගබලාගත යුතු වේ. එය තම දරුවාගේ මානසික ශක්තිය වැඩිදියුණු කිරීමට හේතුවක් වන බව මවුපියන් තේරුම් ගත යුතුය.

විභාග මධ්‍යස්ථාන වෙත කල් වේලා ඇතිව පැමිණීමට ද විභාග අපේක්ෂකයන් වගබලා ගැනීම අවැසිය. විශේෂයෙන් කල්වේලා ඇතිව විභාග මධ්‍යස්ථානය වෙත ළඟාවීමෙන් එම පරිසරයට මඳක් හුරුවීමට විභාග අපේක්ෂකයන්ට අවස්ථාව ලැබෙනු ඇත. නුහුරු පරිසරයක විභාග පැවැත්වෙන මධ්‍යස්ථානය පිහිටා ඇති අවස්ථාවල දී එය විශේෂයෙන් වැදගත් වේ. එසේ විභාග මධ්‍යස්ථානයට කල්වේලා ඇතිව පැමිණීමෙන් විභාග ශාලාවට ඇතුළුවීමට මත්තෙන් සිය කෙටි සටහන් ආදිය පෙරළා බලමින් කිසියම් ඉක්මන් ආවර්ජනයක යෙදීමේ අවස්ථාව ද විභාග අපේක්ෂකයකුට හිමිවනු ඇත. අවසන් මොහොතේ වුව ද කරනු ලබන එවැනි ආවර්ජනයන් බොහෝ සේ ඵලදායී බව මනෝ විද්‍යාඥයන්ගේ පිළිගැනීමයි.

ඔබ කෙතරම් ක්‍රමානුකූල ලෙස අධ්‍යයන කටයුතුවල නිරතව සිටිය ද පරීක්ෂණයේ දී සාර්ථක ලෙස පිළිතුරු සැපයීමට අපොහොසත් වීමෙන් ඔබගේ සියලු උත්සාහයන් ව්‍යවර්ථ වීමට ඉඩ ඇත. එබැවින් පිළිතුරු සැපයීමේ දී ද ඒ සඳහා විධිමත් සහ මනෝ විද්‍යාත්මක ක්‍රමෝපායයන් අනුගමනය කිරීම ඉතා වැදගත් වන්නේ ය. විශේෂයෙන් ඔබගේ අත් අකුරු කියැවිය හැකි පරිදි පැහැදිලි ලෙස ලිවීම ද ඉතාමත් වැදගත් ය. කෙතරම් කරුණු ප්‍රමාණයක් සටහන් කළ ද පරීක්ෂකවරයාට එය කියැවීම අපහසු නම් ලකුණු දීමේ දී ඔහු අපහසුතාවකට පත්විය හැකිය.

එබැවින් අත් අකුරු පිළිබඳ සැලකිලිමත් වීම බෙහෙවින් වාසිදායක වේ. එමෙන්ම, පිළිතුරක් සඳහා අනවශ්‍ය කරුණු ගොනු නොකොට, ප්‍රශ්නයට අදාළ කරුණු පමණක් ගෙන හැර දැක්වීමට උත්සාහ කිරීම ද මෙහි දී වැදගත් ය. තමා දන්නා කරුණු සියල්ල පිළිතුරක් සඳහා ලිවීමට අවශ්‍ය නොවේ. කාල කළමනාකරණය කොටගෙන හොඳ පිළිතුරක් සකස් කර ගැනීමට ඔබ හැමවිට ම වගබලා ගත යුතුය.

විභාග සඳහා පෙනී සිටින සියලු දෙනාගේ ම අපේක්ෂාව වන්නේ ඉන් ජයග්‍රහණය කිරීම යි. ඒ සඳහා ඉහත දක්වා ඇති කරුණු ඔබට බෙහෙවින් වැදගත් විය හැකිය. ස්ථිර අධිෂ්ඨානයෙන් යුතුව විභාග සඳහා මුහුණ දෙන්න. ඔබ බලාපොරොත්තු වන ඉලක්කය කරා ළඟා වීමට හැකිවනු නොඅනුමානය.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.