Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මහා සාගරය හා සමාන බුදු සසුන

වෙරළ අයිනෙන් ගත්තත්, සාගරයේ මැදින් ගත්තත්, සාගරයේ කුමන ස්ථානයකින් ගත්තත් ,මුහුදු ජලයේ ඇත්තේ ලුණු රසයයි. ලුණු රසය හැර වෙනත් රසයක් මුහුදු වතුරේ නැත. මෙසේ එකම රසයක් ඇත්තේ මුහුදු වතුරේ පමණක් නොව ශාසනයේ ද එසේ ඇති බව පෙන්වා දෙන බුදුරදුන් , සෑම භික්‍ෂුවකගේම එකම පරමාර්ථය නිවන් රසය ලැබීම බවත් වෙනත් රසයක් බලාපොරොත්තු නොවන බවත් පැවසීය. මුහුදු වතුරේ එකම ලුණු රසය ඇත්තා සේම ශාසනයේ ඇත්තේ නිවන් රසයයි.

දිනක් බුදු රජාණන් වහන්සේ වේරංජා නගරයේ කොහොඹ ගසක් මුල වැඩ සිටින විට එම ස්ථානයට පහාරාද නමැති අසුරයා පැමිණ උන්වහන්සේ සමඟ සුහද සාකච්ඡාවකට මුල පිරීය. සාගරයේ දක්නට ලැබෙන කරුණු අටක් නිසා තමන් ඇතුළු අසුර පිරිස සාගරයේ සතුටින් ජීවත් වන බව එම අසුරයා බුදුරදුන්ට පැවසීය. ඔහුගේ කථාවට සවන් දුන් උන්වහන්සේ ශාසනයේ දක්නට ලැබෙන කරුණු අටක් නිසා භික්‍ෂූන් වහන්සේද සතුටින් ජීවත්වන බව පෙන්වා දෙමින් අංගුත්තර නිකායේ අට්ඨික නිපාතයේ ඇති පහාරාද සූත්‍රය දේශනා කළ සේක. ශාසනය සාගරයට සමාන කිරීමක් මෙම සූත්‍රයෙන් දැකිය හැකිය.

ආරම්භයේ දී මහ මුහුද ගැඹුරු නොවන බවත් වෙරළේ සිට මුහුදට ගමන් කිරීමේ දී ක්‍රමයෙන් ගැඹුරු වන බවත් ඒ නිසා අසුරයන් මුහුදේ සතුටින් ජීවත් වන බවත් පහාරාද අසුරයා බුදු රදුන්ට පැවසීය. බුද්ධ ශාසනයද ආරම්භයේ සිට ගැඹුරු නොවන බවත් පන්සිල්, අටසිල් සමාදන් වී පසුව පැවිදි දස සිල්, උපසම්පදා සිල් සමාදන්වී ශීලවන්තයකු බවට පත්වී සමාධිය හා ප්‍රඥාව ඇති කර ගන්නා බවත් බුදුරදුන් පෙන්වා දුන් සේක.

අසුරයන් සාගරයට කැමැති වන දෙවනි කාරණය වන්නේ මහා සාගරය වෙරළ නොඉක්මවා කටයුතු කිරීමයි. මුහුද වටා වෙරළ ඇති නිසා කිසිම අවස්ථාවක මුහුදු ජලය වෙරළෙන් පිට නොයයි.

මේ නිසා සාගර ජලයට යම්කිසි සීමාවක් ඇති බව අසුරයා පැවසීය. ඔහුගේ කථාවට සවන් දුන් බුදුරජාණන් වහන්සේ එම ලක්‍ෂණය බුද්ධ ශාසනය තුළද දක්නට ලැබෙන බව කී සේක.

භික්‍ෂූන් වහන්සේට විනය නීති පනවා ඇති බවත් උන්වහන්සේ කිසිම අවස්ථාවක එම විනය නීති ඉක්මවා කටයුතු නොකරන බවත් පෙන්වා දුන්හ. සාමණේර භික්‍ෂූන්ට සිල් පද දහයක්ද උපසම්පදා භික්‍ෂූන්ට සිල් පද දෙසිය විසි හතක් ද ඇති නිසා එම සීමාව තුළ කටයුතු කිරීමට උන්වහන්සේ කටයුතු කරති.

මහා සාගරයට අසුරයන් කැමැති වන තුන්වෙනි කාරණය වශයෙන් පහාරාද අසුරයා පෙන්වා දුන්නේ සාගරය තුළ කුණුරොඩු තබා නොගන්නා බවයි. සාගරයට කුණු රොඩු, අපද්‍රව්‍ය වැටුණොත් සාගරය ඒවා ගොඩට දමයි. සාගරය තුළ තබාගෙන සිටින්නේ නැත. සාගරය තුළ දක්නට ලැබෙන්නේ මුතු මැණික් වැනි වටිනා වස්තුන්ය. ඔහුගේ කථාව ඇසූ බුදුරදුන් එම ලක්ෂණය සම්බුද්ධ ශාසනය තුළද දක්නට ලැබෙන බව පැවසීය.

ශාසනය තුළ දක්නට ලැබෙන්නේ සිත, කය, සහ වචනය සංවර කර ගත් භික්‍ෂූන් බවත් දුශ්ශීල භික්‍ෂුන් සිටියහොත් ශීලවන්ත භික්‍ෂූන් විසින් දුශ්ශීල භික්‍ෂූන් ශාසනයෙන් නෙරපා දමනු ලබන බවත්, එවැනි පිරිස් කොන් කරන බවත්, ආශ්‍රය නොකරන බවත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ.

අසුරයන් සාගරයට කැමැති වන සතරවෙනි කාරණය පහාරාද මෙසේ පෙන්වා දෙයි. ගංගා යමුණා, අචිරවතී , සරභු යන ගංඟාවලින් පැමිණි ජලය මුහුදට වැටුණු පසු මුහුදු වතුර යනුවෙන් හදුන්වන බවත් සාගරයෙන් ජලය ටිකක් ගෙන මේ අසවල් ගංඟාවෙන් පැමිණි ජලය යැයි පැවසිය. නොහැකි බවත් කීය. එම ලක්‍ෂණය බුද්ධ ශාසනය තුළද දක්නට ලැබෙන බව පැවසූ බුදු රදහු බ්‍රාහ්මණ, ක්‍ෂත්‍රිය, වෛශ්‍ය, ශුද්‍ර යන කුලවලින් පැමිණි පුද්ගලයන් පැවිදි වු පසු සියලු දෙනාම බුද්ධ පුත්‍ර යනුවෙන් හඳුන්වන බවත් පැවිදි වූ පසු පැවිදි වීමට පෙර සිටි කුලයේ නමින් හඳුන්වන්නේ නැති බවත් පැහැදිලි කළ සේක. ගංගාවලින් ගලා ආ ජලය මුහුදේ දී මුහුදු ජලය වූවා සේම නොයෙක් කුලවලින් පැමිණි පුද්ගලයන් ශාසනයට ඇතුළු වු පසු බුද්ධ පුත්‍ර යනුවෙන් හඳුන්වාලති.

මීළඟට මහා සාගරයේ දක්නට ලැබෙන පස්වෙනි කාරණය අසුරයා බුදු රදුන්ට පෙන්වා දෙයි. වැසි කාලයේදී ගංගා වලින් විශාල ජල ප්‍රමාණයක් සාගරයට ගලා ආවත් නියං කාලයේ දී ගංඟාවලින් සුළු ජල ප්‍රමාණයක් සාගරයට ගලා ආවත් මුහුදු ජලයේ අඩු වැඩි වීමක් දක්නට නොමැත. සෑම කාලයකම සාගරයේ ජලය එකම ප්‍රමාණයකට තිබෙනවා මිස එක් එක් කාලවලදී සාගර ජලයේ අඩු වැඩි වීමක් දක්නට නොමැතිබව අසුරයා පැවසීය. මෙම ලක්‍ෂණය ශාසනය තුළ ද දක්නට ලැබෙන බව පවසන බුදු රදුන් එක් පැත්තකින් භික්‍ෂූන් වහන්සේ පිරිනිවන් පාන විට තවත් පැත්තකින් ගිහි පිරිසක් ශාසනයට ඇතුළු වන බව පැවසූහ. මේ නිසා කිසිම අවස්ථාවක ශාසනයේ අඩු වැඩි වීමක් දක්නට නොලැබෙන බව බුදුරදුහු අසුරයාට පැහැදිලි කර දුන්හ.

මහා සාගරයේ ඇති සයවෙනි කරුණ පහාරාද අසුරයා මීළඟට බුදුරදුන්ට පෙන්වා දෙයි. ඒ අනුව වෙරළ අයිනෙන් ගත්තත්, සාගරයේ මැදින් ගත්තත්, සාගරයේ කුමන ස්ථානයකින් ගත්තත් ,මුහුදු ජලයේ ඇත්තේ ලුණු රසයයි. ලුණු රසය හැර වෙනත් රසයක් මුහුදු වතුරේ නැත. මෙසේ එකම රසයක් ඇත්තේ මුහුදු වතුරේ පමණක් නොව ශාසනයේ ද එසේ ඇති බව පෙන්වා දෙන බුදුරදුන් , සෑම භික්‍ෂුවකගේම එකම පරමාර්ථය නිවන් රසය ලැබීම බවත් වෙනත් රසයක් බලාපොරොත්තු නොවන බවත් පැවසීය. මුහුදු වතුරේ එකම ලුණු රසය ඇත්තා සේම ශාසනයේ ඇත්තේ නිවන් රසයයි.

අසුරයන් මහා සාගරයට කැමැති වන සත්වෙනි කාරණය වන්නේ මහා සාගරය තුළ වටිනා මුතු මැණික් තිබීමය. සාගරයට බැසීමෙන් මේවා දැක ගත හැකි බවත් වෙරළේ සිට බැලීමෙන් මේවා නොපෙනෙන බවත් පහාරාද අසුරයා පැවසීය. එම කථාවට පිළිතුරු දෙන බුදුරදහු ශාසනය තුළද වටිනා වස්තුන් ඇති බවත් ඒවා සත්තිස් බෝධි පාක්‍ෂික ධර්ම, සතර ඍද්ධිපාද, චතුරාර්ය සත්‍ය, ආර්ය අෂ්ඨාංගික මාර්ගය ආදී වශයෙන් හඳුන්වන බවත් ශාසනයට පිවිසීමෙන් මේවා දැක ගත හැකි බවත් ශාසනයට ඇතුළු නොවන අයට මේවා නොපෙනෙන බවත් පෙන්වා දුන් සේක.

අසුරයන් මහා සාගරයට පි‍්‍රය කරන අවසාන හෙවත් අටවෙනි කාරණය වන්නේ මහා සාගරය තුළ විශාල සතුන් සිටීමයි. තිමිර, තිමිංගල, නාග, අසුර ආදී එම සතුන් බැලිය හැක්කේ සාගරයට පිවිසීමෙන් බවත් ගොඩ සිටින අයට ඔවුන් නොපෙනෙන බවත් පහාරාද අසුරයා පැවසීය.

එයට පිළිතුරු දෙන බුදුරදහු ශාසනය තුළද සෝවාන් , සකෘදාගාමී, අනාගාමී, අරහත් යනුවෙන් මාර්ග හාඵල ලාභී වශයෙන් කොට්ඨාස අටක් සිටින බවත් ශාසනයට පිවිසීමෙන් මෙම පිරිස් දැක ගත හැකි බවත් පැහැදිලි කළහ.

සාගරයේ දක්නට ලැබෙන ඵෙශ්චර්යවත් කරුණු 8 ක් නිසා අසුරයන් මහා සාගරයට පි‍්‍රය කරන්නා සේ සම්බුද්ධ ශාසනයේ ඇති කරුණු 8 ක් නිසා භික්‍ෂූන් වහන්සේද ශාසනයට පි‍්‍රය කරන බව පෙන්වා දෙමින් බුදුරජාණන් වහන්සේ මෙම පහාරාද සූත්‍රය දේශනා කළසේක.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.