Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ජීවිත යහපත උදාකර ගන්නේ කෙසේද?

දුතිය මහානාම සූත්‍රය

අපි ගෞරවයෙන් සරණගිය අපගේ ශාස්තෘ වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව වදාළ කල්හි වැඩ සිටියේ ශාක්‍ය ජනපදයේ කපිලවස්තු නුවර නිග්‍රෝධාරාමයේ යි.

එකළ කිඹුල්වත් නුවර සිටියා මහනාම කියලා ශාක්‍ය වංශික පුද්ගලයෙක්. ඔහු බොහෝම කීර්තිමත් කෙනෙක්. ඔහු දිනක් භාග්‍යවතුන් වහන්සේ බැහැ දකින්නට ගියා. ගිහින් භාග්‍යවතුන් වහන්සේට බොහෝම ගෞරවයෙන් වන්දනාමාන කරල එකත්පස හිඳගෙන මෙහෙම ඇසුවා. “ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ගිහි ජීවිතය ගත කරන අප නොයෙක් ආකාරයෙන් විහරණ ඇතුවයි ජීවත් වන්නේ. නොයෙක් කටයුතු කරන උදවියෝ ය. ස්වාමීනි ඒ නොයෙක් කටයුතු කරන අපි ඉතාමත් කාර්ය බහුලයි.

ඒ විදිහට කාලය ගෙවන අපට නිරන්තරයෙන් සිහි කරන්න හොඳ මොකක්ද? මොනවගේ දෙයක් කල්පනා කළොත් ද අපේ ජීවිතයේ යහපත උදාකර ගන්න පුළුවන්කම ලැබෙන්නේ? මහානාම ශාක්‍යයා ඒ විදිහට ඇසුවාම භාග්‍යවතුන් වහන්සේ ඔහුට ප්‍රශංසා කළා. සාධු... සාධු... මහනාම ගිහි ගෙදර ගත කරන කුල පුත්‍රයෙක් වන ඔබ තථාගතයන් වහන්සේ ළඟට ඇවිල්ලා ඔය විදිහට ප්‍රශ්නයක් අහපු එක ඉතා හොඳයි. ඒක ඔබ වගේ කෙනෙකුට ගැළපෙන දෙයක්.

ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා “සද්ධෝ ඛෝ මහානාම ආරාධකෝ හෝති නෝ අස්සද්ධෝ” පින්වත් මහානාම ශ්‍රද්ධාවන්ත තැනැත්තා තමයි මේ නිවන් මාර්ගය පරිපූර්ණ කරන්නේ. ඔහු තමයි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට සුදුස්සෙක් වන්නේ. ශ්‍රද්ධාව නැති කෙනා නොවෙයි.

ඒ වගේ්ම මහනාම, වීරිය තිබෙන පුද්ගලයා තමයි මේ නිවන් මාර්ගය පරිපූර්ණ කරන්නේ. වීරිය නැති කුසීත තැනැත්තා නොවෙයි.

ඒ වගේම පින්වත් මහානාම, සිහිය පිහිටුවාගෙන සිටින පුද්ගලයා තමයි මේ නිවන් මාර්ගය පරිපූර්ණ කරන්නේ. සියමුලාවෙච්ච තැනැත්තා නොවෙයි. මහානාම, සමාහිත පුද්ගලයා තමයි මේ නිවන් මාර්ගය පරිපූර්ණ කරන්නේ. අසමාහිත පුද්ගලයා නොවෙයි. ඒ වගේම ප්‍රඥාවන්ත කෙනා තමයි මේ නිවන් මාර්ගය සම්පූර්ණ කරන්නේ. දුෂ්ප්‍රාඥ පුද්ගලයා නොවෙයි. මහානාම ඔබ මේ ධර්ම පහේ පිහිටලා තවත් ධර්ම හයක් වඩන්න වීර්යය කරන්න ඕන. භාග්‍යවතුන් වහන්සේ මේ ධර්ම පහ තවදුරටත් විස්තර කරනවා.

පින්වත් මහානාම! ශ්‍රද්ධාව ගැන ඔබ දැන ගන්න ඕන මේ විදිහටයි. ඉසද්ධාහති තථාගතස්ස බෝධිං” තථාගතයන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීම තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. අපගේ ශ්‍රද්ධාව බුදුරජාණන් වහන්සේගේ ගුණ අවබෝධයෙන් තේරුම් අරගෙන ඇතිකරගත් ශ්‍රද්ධාවක් විය යුතුයි. ඉතාමත් හොඳින් බුදුරජාණන් වහන්සේගේ ගුණ අවබෝධයෙන්ම තේරුම් අරගෙන ශ්‍රද්ධාව ඇති කරගත්ත පුද්ගලයා තමයි මේ නිවන් මඟ සම්පූර්ණ කරන්නේ. යම් කෙනෙක් තුළ ශ්‍රද්ධාව නැතිනම් එයාගේ නිවන් මාර්ගය එතැනින්ම ඉවරයි.

ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වදාළේ “පටන්ගත් වීර්යය තිබෙන පුද්ගලයා තමයි නිවන් මඟ සම්පූර්ණ කර ගන්නේ කියලා. පටන්ගත් වීර්යය කියන්නේ,

1. නූපන් අකුසල් නුපදවීමට කරන වීර්යය
2. උපන් අකුසල් ප්‍රහාණය කිරීමට කරන වීර්යය
3. නූපන් කුසල් උපදවා ගන්නට කරන වීර්යය
4. උපන් කුසල් නො පිරිහී පවත්වා ගන්නට භාවනා වශයෙන් වැඩිදියුණු කර ගන්නට කරන වීර්ය.

මේ සතර ආකාරයේ වීර්යය තිබෙන පුද්ගලයා තමයි අකුසල් මැඩලමින්, කුසලය දියුණු කරමින් නිවන් මගේ ඉදිරියට යන්නේ. වීර්යය නැති කුසීත පුද්ගලයාට කිසි දිනෙක ලෝකෝත්තර තබා ලෞකික වශයෙන්වත් දියුණුවක් ඇතිකර ගන්න අමාරුයි. එනිසා වීර්යය කියන්නේ තමා තුළම ඇතිකරගත යුතු දෙයක්.

ඊළඟට භාග්‍යවතුන් වහන්සේ මහානාමට වදාළ කාරණය තමයි “එළඹ සිටි සිහිය තියෙන තැනැත්තා නිවන් මාර්ගය පරිපූර්ණ කරන බව සහ මුලා වූ සිහියක් තිබෙන තැනැත්තාට එය කළ නොහැකි බව

සිහිය කියන්නේ සතර සතිපට්ඨානයේ මනා කොට පිහිටුවාගත් සිහියයි. ඒ තමයි කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව තුළ සිහිය පිහිටුවා ගැනීම. සතර සතිපට්ඨානය තුළ සිහිය පිහිටුවා නොගෙන වාසය කරන පුද්ගලයාට කවරදාවත් නිවන් මඟ පරිපූර්ණ කරගත නොහැකියි. තමා සිහියෙන් සිටියොත් පමණයි තම සිත තුළ ඇතිවන කුසල අකුසල හඳුනාගත හැකි වන්නේ අසිහියෙන් සිටින පුද්ගලයාට ඒ වීර්යය නැහැ.

භාග්‍යවතුන් වහන්සේ ඊළඟට මහනාමට වදාළ කරුණු තමයි සමාහිත තැනැත්තා නිවන් මඟ පරිපූර්ණ කරන බවත් අසමානහිත තැනැත්තාට එය සිදු කළ නොහැකි බවත්. සමාධිය කියන්නේ නිවන් මඟේ අනිවාර්ය අංගයක්. පංචනීවරණයන්ගෙන් බැටකන සිතකින් ජීවිතයේ යථාර්ථය අවබෝධ කරන්නට බැහැ. ජීවිතයේ යථාර්ථය අවබෝධ කරන්න නම් නීවරණ සංසිදී ගිය සමාහිත සිතක් අවශ්‍යයයි. එනිසයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ පින්වත් මහණෙනි! සමාධිය වඩන්න. සමාහිත භික්‍ෂුව යථාර්ථය දකින්නේය.” කියලා ඊළඟට භාග්‍යවතුන් වහන්සේ මහානාමට වදාළ පස්වෙනි කරුණ තමයි “නිවන් මාර්ගය සම්පූර්ණ කරන්නේ ප්‍රඥාවන්ත පුද්ගලයා”. ප්‍රඥාව නැති දුෂ්ප්‍රාඥ කෙනා නොවෙයි.

ප්‍රඥාව කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ ඇති අවබෝධ ඤාණයටයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තමාගේ ජීවිතයට ගලපාගෙන ඒ ධර්මය තමා තුළින් දකින්නට දක්‍ෂ තැනැත්තා තමයි ප්‍රඥාවන්ත තැනැත්තා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තමන්ගේ ජීවිතයට ගළපාගෙන තමන් තුළින් දකින්නට යම්කිසි කෙනෙක් අසමත් වෙනවා නම් අන්න මේ පුද්ගලයාට නිවන් මාර්ගය සම්පූර්ණ කරන්නට හැකි වෙන්නේ නැහැ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මහානාමට වදාළ මේ කරුණු තුළ පිහිටලා තවත් කරුණු හයක් වඩන්න කියලා. ඒ තමයි තථාගතයන් වහන්සේ ගුණ වශයෙන් සිහි කරන්න ඕන. ඒ තමයි උන්වහන්සේ් අරහං වනසේක, සම්මා සම්බුද්ධ වන සේක, විජ්ජාචරණ සම්පන්න වන සේක, සුගත වනසේක, ලෝකවිදූ වන සේක, අනුත්තරෝ පුරිස දම්ම සාරථි වන සේක, සත්ථා දේව මනුස්සානං වන සේක, බුද්ධ වන සේත, භගවා වන සේක, මේ ආකාරයට බුදුගුණ සිහි කරන්නැයි වදාළහ.

ඒ වගේම මහානාම දහම් ගුණත් ඔබ හොඳින් ජීවිතයට පුරුදුකර ගන්න. භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය ස්වක්ඛාතයි, සන්දිට්ඨිකයි, අකාලිකයි, ඒහිපස්සිකයි, ඕපනයිකයි, පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤොහි ආදී වශයෙන් සිහි කරන්න.

ඒ වගේම භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සුපටිපන්නයි, උජුපටිපන්නයි, ඤායපටිපන්නයි, සාමිචිපටිපන්නයි, ඒ ශ්‍රාවක සංඝරත්නය ආහුනෙයිය වන සේක, පාහුනෙයිය වන සේක, දක්ඛිනෙයිය වන සේක, අංජලිකරණීය වන සේක, අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස වන සේක කියා සිහි කළ යුතු යි.

පින්වත් මහනාම ඒ වගේම ඔබ නොකැඩුණු සිදුරු නැති, පුල්ලි නැති, කබර නැති, තණ්හාවට දාස නොවුණ, නුවණැති අය විසින් ප්‍රශංසා කරණ තණ්හාවෙන් අල්ලා නොගත් සමාධිය පිණිස පවතින ඔබගේ සීලය සිහි කරන්න. යම් අවස්ථාවක ආර්ය ශ්‍රාවකයා ඒ විදිහට තමන්ගේ සීලය සිහිකරනවා ද ඒ අවස්ථාවේ ඔහුට රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් යට වූ සිතත් පවතින්නේ නැහැ.

ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා පින්වත් මහානාම ඔබ තමාගේ ත්‍යාගී ගුණයක් සිහි කරන්නට ඕන. මසුරුමල වලට යට වූ මිනිසුන් ජීවත්වන සමාජයක මම නම් මසුරුමල බැහැර කරලයි ඉන්නේ. දන් දීම පිණිස සෝදාගත් අත් ඇතිවයි ඉන්නෙ. දන් දීමට ඇලුන සිතින් තමයි වාසය කරන්නේ. ඒ කාන්තයෙන්ම එය මට ලාභයක් කියලා සිතන්න ඕන. එසේ සිහිකරන විට ඔහුගේ සිතේ රාගයක් ද්වේෂයක්, මෝහයක් ඇති වන්නේ නැහැ. සිත ප්‍රමුදිත භාවයට පත් වෙනවා. ප්‍රමුදිත කෙනාට පී‍්‍රතිය ඇති පුද්ගලයා සැප විඳිනවා. සැපය ඇති පුද්ගලයාගේ සිත සමාහිත වෙනවා.

භාග්‍යවතුන් වහන්සේ වදාළ පින්වත් මහනාම ඔබ දෙවිවරුන් ගැනත් සිහි කරන්න ඕන. ඒ මෙහෙමයි. චාතුම්මහාරාජික දිව්‍යලෝකය, තාවතිංස දිව්‍ය ලෝකයේ යාම දිව්‍ය ලෝකයේ, තුසිත දිව්‍ය ලෝකයේ, නිම්මානරතී දිව්‍ය ලෝකයේ, පරනිම්මිතවසවත්තී දිව්‍ය ලෝකයේ දෙවිවරු ඉන්නවා. ඒ වගේම ඊටත් ඉහළ දෙව්ලොව වල දෙවිවරු ඉන්නවා. ඒ දෙවිවරු ඒ දෙව්ලොවවල ඉපදුනේ මනුස්ස ලෝකයේ සිටින කාලවලදී ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන ගුණධර්ම දියුණු කරලයි. ඒ දෙවිවරුන්ට වගේ මටත් ඒ ගුණ ධර්ම තිබෙනවා කියලා සිහි කරන්න. එසේ සිහිකරන විට ඒ පුද්ගලයාගේ සිතට රාගයත්, ද්වේෂයත්, මෝහයත් ඇති වන්නේ නැහැ.

මේ ආකාරයට කරුණු පහක් මත පිහිටා වැඩිය යුතු අනුස්සති භාවනා හයක් ගැන බුදුරජාණන් වහන්සේ මහානාම ශාක්‍යයාට දේශනාකොට වදාළහ. ඔහු ඒ උතුම් දේශනාව සාදුකාර නංවමින් සතුටින් අනුමෝදන් වුණා.

භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ භාවනා ක්‍රම ජීවිතයට නිතර නිතර පුරුදු කරගතහොත් අපට සිත දියුණු කර ගැනීමට අවස්ථාව උදාවෙනවා. මරණින් මත්තේ සුගතියේ ඉපදිලා සුගතිගාමීව ධර්මය අවබෝධ කොට නිර්වාණය ලබා ගන්නත් අවස්ථාව උදාවෙනවා.

 


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.