Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ජන දිවිය එකලු කරන ජාතක කතා

අනුරාධපුර, පොළොන්නරු හා දඹදෙණි යුගයන්හි ජාතක කතා කෙතරම් ජනපි‍්‍රය වීද යනු එකල රචිත ධර්ම ශාස්ත්‍රීය කෘති කිහිපයකින්ම ප්‍රකට වෙයි. ජාතක අටුවා ගැටපදය, අටදාසන්නය, උමංදා සන්නය හා විදුර ජාතක සන්නය ඒ අතර ප්‍රමුඛ වෙයි. ජාතක කතා ඇසුරින් නූතන කෙටිකතාකරුවාද මහත් ආභාසයක් ලබා ඇත. නවකතා හා ප්‍රබන්ධ කතා සාහිත්‍යයට ජාතක කතා වෙසෙසින් මූලාශ්‍රය විය.

බොදුනුවන් විසින් සම්භාව්‍යත්වයෙන් පිළිගනු ලබන කෘතියක් ලෙස ජාතක පොත් වහන්සේ හැඳින්විය හැකිය. ජන විඥානය පුබුදු කිරීම මෙන්ම දැනුම, ආදර්ශ, උපදේශ ලබාදෙමින් චරිත සංවර්ධනය සිදු කරන මානව සමාජ ධර්ම පමණක් නොව මානුෂීය දුබලතා ආදිය ද ප්‍රකට කරවන මා හැඟි කෘතියකි එය.

ජාතක කතා කෙරෙහි විමසිලිමත් වීමෙහිදී අන් කෘතීන්ට වඩා සුවිශේෂත්වයක් දැක ගත හැකි ය. එනම්, මෙහි කතා නායකයා බෝසතුන් වහන්සේ වීමය. යම් පාරමිතාවක් සපිරීම ගැන එහි විස්තර කෙරේ. ජාතක කතා ගැන තෙවළා දහමෙහි නොයෙක් තැන්හි සඳහන්ව තිබේ. ඛුද්දක නිකායට අයත් කෘති 15 න් එකක් ලෙසද ජාතක කතා සංගෘහිතය. හෙළ ඉපැරැණි ගද්‍ය කෘතියක් වන බුත්සරණෙහි අග කොටසෙහි වෙස්සන්තර ජාතකය සඳහන් වේ. ජාතක කතා සඳහා බුද්ධඝෝෂ හිමියන් විසින් අටුවා ග්‍රන්ථයක් රචනා කළ අතර එය ‘ජාතකට්ඨකතා’ නම් වේ.

ජාතක කතා මාගධී (පාලි) බසින් මෙන්ම සකු (සංස්කෘත) බසින්ද රචිතය. නිදසුන් ලෙස සුප්‍රකට මහායාන කවියකු වන ආර්ශූර පාදයන්ගේ ජාතක මාලාව, මහාකවි භදන්ත අශ්වඝෝෂපාදයන්ගේ බුද්ධ චරිතය, සූත්‍රාලංකාරය, ක්‍ෂෙමේන්ද්‍රගේ ‘කල්පලතා’ නම් කෘතියද දැක්විය හැකි ය.

කලක් ගත වනතුරු ජාතක කතා හෙළ බසට පරිවර්තනය නොවූවද චිත්‍ර, කැටයම්, බිතු සිතුවම් හා විශේෂයෙන් ධර්ම දේශනා මාධ්‍යයෙන් ජනයා ඒවා දැන සිටියහ. ඇතැම් කතා කවියෙන් හෝ ගීයෙන් හෝ ඉදිරිපත් කිරීමට ප්‍රබුද්ධ වියතුන් ගත් පියවර අතිශය ප්‍රශස්තය. සසදාවත, කුසදාවත, මුවදෙව්දාවත ඒ අනුව පද්‍ය (ගී) සාහිත්‍යයට එක් විය.

ජාතක කතා ඇසුරින් දහම් දෙසීමට දක්‍ෂ යතිවරුන් සිටි අතර ඔවුනට ‘ජාතක භාණක’ නමින් උපාධි ප්‍රදානය කිරීම් ගැන විසුද්ධි මාර්ගය හා අභිධර්ම සන්නයෙහි සඳහන් වෙයි. රුවන්මැලි සෑයෙහි ධාතු ගර්භයෙහි විවිත‍්‍ර ලෙස ජාතක කතා චිත්‍රයට නඟන ලද බව මහාවංශගත තතු පහදයි. නාලන්දාවෙහි හා බුද්ධගයාවෙහි ‘නළපාන’ වැනි ජාතක කතා සිතුවම් දැක ගත හැකි ය.

අපේ පැරැණි වෙහෙර විහාර රැසකම නොයෙක් ජාතක කතා සිතුවම් කොට හෝ මූර්තිමත් කොට තිබේ. සැදැහැතියාගේ චිත්ත ඒකාග්‍රතාව ඇතිකරමින් පිවිතුරු අරමුණු සන්නිවේදනය කරදීම නිසා මෙම ජාතක කතා ශීඝ්‍ර ලෙස ජනපි‍්‍රය විය. ගැමි වහරෙහි පවා ඒ සම්බන්ධ කියමන් නිතර යෙදුණු බවට ‘වෙස්සන්තර වගේ’ මූසිල වගේ්’ යන යෙදුම්වලින් පෙනේ. පද්‍ය කෘතියක් රචනා කරනුයේ නම් ජාතක කතාවක්ම වස්තු විෂය කොට ගත යුතු බවට සම්මතයක් ඇතැම් කාලයන්හි වූ බව “පෙදෙන් බුදු සිරිත ගතින් වත් සිරිත් ඈ” යන්නෙන් ගම්‍ය වෙයි.

මහනුවර සහ මාතර යුගයෙහි හැම පද්‍ය ප්‍රබන්ධකයම පාහේ ජාතක කතාවක් ඇතුළත්ව තිබිණ. මණිචොර, දශරථ, උම්මග්ග, අන්ධභූත, ඉල්ලීස ආදී කතා ඒ අතර ප්‍රමුඛ වෙයි. තත් කාලීන කවීන් තරගයකට මෙන් තම පද්‍ය නිර්මාණ සඳහා ජාතක කතා වස්තු බීජය කොට ගත් බව පෙනෙයි. අපේ සාහිත්‍ය ප්‍රගමනයෙහි ලා සුවිශේෂී අවධියක් වූ කුරුණෑගල යුගයෙහිදී ජාතක පොත හෙළ බසට නැඟීම මඟින් සාමාන්‍ය පොදු ජනයාට ඉමහත් සෙතක් සැලසුණි.

ජාතක කතා විමර්ශනයෙහිදී එය ඒක කර්තෘක කෘතියක් නොවන බවට ද නිගමනය කළ හැකි සාධක බහුලව දැක ගත හැකි ය. එනම්, භාෂා ශෛලියෙහි විශේෂතා සහ පාලි, සකු හා ද්‍රවිඩ ආභාෂය මෙහි මැනවින් දෘෂ්‍යමාන වන අයුරිනි. ජාතක කතා අපට වැදගත් වන තවත් කරුණක් වන්නේ, එහි සන්දර්භය, කතා වින්‍යාසය, නිදානය මෙන්ම වර්තමාන අතීත කතා නිසිලෙස හසුරුවා තිබීමෙහි පවතින සුසංවිධිත බවයි. මෙමඟින් පාඨකයා අපේක්‍ෂිත කතා රසය උකහා ගැනීමට මහත් වූ පිටිවහලක් ලබා දී ඇත.

ජාතක පොතෙහි එන සෑම කතාවකින්ම ජන විඥානය පුබුදු කරවන අනුභූතීන් හමු වෙයි. මිනිසා දිවි මඟෙහිදී මුහුණ දෙන ගැටලු සඳහා සපයන මාර්ගෝපදේශ රැසක් මේ අතර හමු වෙයි. ඒ අතර වණ්ණුපථ ජාතකය මඟින් නිරතුරුව දිරිමත් වීමෙන් ජය ලද හැකි අයුරු ද අපණ්ණක ජාතකයෙන් උත්සාහී බව (උට්ඨාන වීරිය) මඟින් සැපත ළඟා කරගත හැකි අයුරු ද චුල්ල පන්ථක කතාවෙන් දහමෙහි ශ්‍රේෂ්ඨත්වයද සුංසුමාර ජාතකයෙන් ප්‍රඥාවෙහි මහිමයද චුල්ල ධර්මපාල වස්තුවෙන් රාගයෙහිදී මිනිස් සිත ක්‍රියා කරන අයුරු ද ඉල්ලීස කතාවෙන් දැඩි (විෂම) ලෝභය මිනිසාට වින කරන අයුරු ද අන්ධභූත ජාතකයෙන් කෙළෙස් ගින්නට හසුවීමෙන් වන හානිය ද ඉස්මතු කරවයි. කතා ඉදිරිපත් කිරීමෙහිදී ජාතක කතාකරුවා තුළ මහා සංයමයක් හා ගෞරවාන්විත බවක් පැවැති බව මැනැවින් විද්‍යමාන වන්නකි.

ජාතක කතා පසු කලෙක නාට්‍ය මඟින් කරලියට පිවිසීම යහපත් සමාජ ප්‍රගමනයකට මඟ විවර කිරීමකි. බාල, තරුණ, මහලු කාහට වූවද රස විඳිය හැකි මාධ්‍යයක් ලෙස නාට්‍ය සම්ප්‍රදායක් බිහි වීම කාගේ වූවද පැසැසුමට ලක් වූවකි. ජාතක කතා ශ්‍රවණය සඳහා අපේ රජවරුද පි‍්‍රය කළ බවට සාක්‍ෂි හමුවෙයි. ඉලනාග රජු තුළාධාර පර්වත වැසි මහාපදුම තෙරුන්ගෙන් මහාකපි ජාතකය ශ්‍රවණය කළ බව මහාවංශය කියයි. එමෙන්ම දීඝවාපියෙහි ජාතක භාණක තෙර නමක් මහා වෙස්සන්තර ජාතකය දෙසූ බව මනෝරථපූරණියෙහි සඳහන් වේ. බුද්ධ කාලයෙහි පවා ජාතක භාණකයන් වහන්සේ සිටි බව මජ්ඣිම නිකාය අට්ඨකතාව වන පපංචසුදනියෙහි දැක්වේ. මෙලෙස ජාතක භාණකයන් වහන්සේ ගැන ත්‍රිපිටකයෙහි නොයෙක් තැන්හි සඳහන් වීමෙන් පෙනී යනුයේ ඒවාහි පැවැති ජනප්‍රියතාවයි. මිනිසා හට ජීවිතය දෙස හැරී බලා යම් ප්‍රගමනයක් සිය දිවියෙහි කර ගැනීමට ජාතක කතා ආධාරයක් විය.

තම දස්කම් විදහාපෑමට හෙළ කලාකරුවන් ජාතක කතා මාධ්‍ය කරගත් බව පෙනෙයි. දුටුගැමුණු නරපතියන් විසින් රුවන්මැලි සෑයෙහි වෙස්සන්තර ජාතකය චිත්‍රණය කරවූ බව මහාවංශය හා ථූපවංශය සඳහන් කරන අතර ක්‍රි.ව. 5වන සියවසෙහි ලංකාවට පැමිණි පාහියන් භික්‍ෂුව ජාතක කතා 500 ක් සිතුවම් කොට තිබෙනු දුටු බව වාර්තා කරයි.

පොළොන්නරු යුගයට අයත් චිත්‍ර කිහිපයක් එහි තිවංක පිළිමගෙයි හා දෙමළ මහා සෑයෙහි තිබී මහාචාර්ය සෙනරත් පරණවිතානයන් විසින් සොයා ගනු ලැබ ඇත. එම යුගයෙන් පසුව වෙසෙසින් නුවර, මාතර අවධියෙහි සෑම වෙහෙර විහාරයකම පාහේ ජාතක කතා සිතුවම් විය.

පැරැන්නෝ රාත්‍රී නින්දට පෙර පවුලෙහි ප්‍රධානියා ලවා ජාතක කතා කියවා ගත්හ. ආගමික හැඟීම් ජනිත කරවන මෙම කතා කලාව තුළින් හුදී ජනයා ලද්දේ ඉමහත් ආස්වාදයෙකි. දැනුම් සම්භාරයෙකි. ජාතක කතා ලොව පැරැණිම හා ශ්‍රේෂ්ඨම ජනකතා සංග්‍රහය ලෙස ජර්මන් ජාතික රීස් ඩේවිඩ්ස් වියතාණන් හඳුන්වයි. අනුරාධපුර, පොළොන්නරු හා දඹදෙණි යුගයන්හි ජාතක කතා කෙතරම් ජනපි‍්‍රය වීද යනු එකල රචිත ධර්ම ශාස්ත්‍රීය කෘති කිහිපයෙකින්ම ප්‍රකට වෙයි. ජාතක අටුවා ගැටපදය, අටදාසන්නය, උමංදා සන්නය හා විදුර ජාතක සන්නය ඒ අතර ප්‍රමුඛ වෙයි. ජාතක කතා ඇසුරින් නූතන කෙටිකතාකරුවාද මහත් ආභාසයක් ලබා ඇත. නවකතා හා ප්‍රබන්ධ කතා සාහිත්‍යයට ජාතක කතා වෙසෙසින් මූලාශ්‍රය විය.

භාරතයෙහි ප්‍රමුඛ ජනශ්‍රැති මාධ්‍යයක්ව පැවැති ජාතක කතා මහින්දාගමනයෙන් පසුව මෙරටට පැමිණි බව සිතිය හැකිය. ජාතක කතා ලොව ඉපැරැණි ජනශ්‍රැති සාහිත්‍යයට අයත් සාහිත්‍යාංගයක් ලෙස පිළිගැනෙයි. විෂ්ණුශර්මයන් විසින් රචිත පඤ්චතන්ත්‍රයට ද මෙහි ආභාෂය ලබා ගෙන ඇත. මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් පවසනුයේ සිංහලයෙන් විශ්ව සාහිත්‍යයට ඉදිරිපත් කළ හැකි හොඳම කෘතිය ජාතක කතා බවයි.

ජාතක කතාවෙහි ප්‍රධාන තැන ලැබෙනුයේ අතීත කතාවට බව කිව හැකි ය. සෑම කතාවකින්ම දුසිරිත හැර සුසිරිත වැඩිය යුතු බව අවධාරණය කෙරෙයි. මෙලොව පරලොව, වැඩ තකා දෙනු ලබන ධර්මෝපදේශ වලින් ජාතක පොත් වහන්සේ නිබඳවම පෝෂණය වී ඇත.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.