UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ප්‍රාර්ථනය නිවන් ලැබීමට උපකාර වෙයි

දන් දෙන්නාට ශ්‍රද්ධාව අවශ්‍ය වේ. ශ්‍රද්ධාව තුළ බලාපොරොත්තුව නැතහොත් ප්‍රාර්ථනය ඇත. දානාදී කුසල ක්‍රියා පිළිබඳව පිළිගැනීමක් නැතිව කුමන කෙලෙස් නැති කිරීමක්ද? එනිසා අහිංසක අසරණ කෙලෙස් වලින් යුක්ත වූ ලෝකයා දෙන දානයද නිෂ්ඵල ලෙස අවතක්සේරු කිරීම මෙලොවම පසුබෑමකි. දාන පාරමිතාවෙන් තොර නිවනක් ඔබ අප අසා නැත

පොසොන් පුර පසළොස්වක දින (2011 ජුනි 15 ) ‘බුදුසරණ’ පුවත්පතෙ හි පළවූ බෝකුන්දර කුසලධම්ම හිමියන් විසින් ලියන ලද ‘ප්‍රාර්ථනාවෙන් නිවන් දැකිය හැකි ද?’ යන ලිපියට කරුණු දැක්වීමක් ලෙස මෙම ලිපිය සකස් කිරීමට සිත් විය.

ප්‍රාර්ථනාව සියලු බුදුවරයන්ගේ ප්‍රාථමික අවධියේම එළි දැක්වේ. කාය ප්‍රතිධානය , වාග් ප්‍රතිධානය, මනෝ ප්‍රතිධානය යනුවෙන් ත්‍රිවිධ ආකාරයෙන්ම බෝසතාණන් වහන්සේ සාර අසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් තම බුද්ධ කාරක ධර්මයන් සඳහා සසර සැරූ ආකාරය බෞද්ධ සාහිත්‍ය තුළින් ද දැක්වේ. සත්‍ය අවබෝධය පිණිස කරුණු එළිදක්වන බුදු දහමෙහි ශ්‍රද්ධා, ප්‍රඥා සමත්වයත්, වීර්ය ප්‍රඥා , සමත්වයත්, මධ්‍ය සමයක ඤාණ දස්සන විසුද්ධිය පහළවන අවස්ථාවේ නාම රූප විවිඡේදනයෙන් සසර හට නොගන්නා ස්වභාවය අරහත් බෝධිය හෙවත් සාක්ෂාත් කරන අයුරු මැනවින් පැහැදිලි වේ.

මෙයින් පැහැදිලි වන එක් කරුණක් නම් ශ්‍රද්ධාවෙන් තොර ලෝකෝත්තර ප්‍රඥාව ලබා ගැනීමට නොහැකි බවය. පණ්ඩිතයන්, වියතුන්, ප්‍රඥාවන්තයන් යැයි සිතා ගන්නා ඇතැම් අය බෞද්ධ සාහිත්‍ය ප්‍රතික්ෂේප කරන්නෝය. ශ්‍රද්ධාවන්තයන්ට පහර ගසන්නෝය. බොදු දසුන පිළිබඳව අනවබෝධයෙන් යුත් ජන සමූහයා මිසදිටුවන් කරන්නෝය. තෙරුවන ලොව දිගුකල් පැවැත්මට අකුල් හෙළන්නෝය. මෙලොවම රහත් වීමට ජන සමූහයා දිරිගැන්වූව ද රහත් බෝධියට අවශ්‍ය මූලික අඩිතාලම නොමැතිව මුලාවන්නෝ ය.

ගසක වුවද මූලික අවස්ථාවන් කිහිපයක් පසු කොට මල් පිපී ඵල දරයි. මෙය ස්වාභාවික සංසිද්ධියකි. පෘථිවි තලයද එකවර සකස් නොවේ. සතර මහා භූතයන්ගේ එකතුවෙන් සත්ත්ව සම්භවය ඇතිව ලෝක ආරම්භක ගස්වැල් පවා පසුකාලීනව ජෛව විවිධත්වයන්ට මුහුණ දෙමින් ඇතිව පැවැත නැතිවන ආකාරය දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්‍රය කරුණු එළි දක්වයි. මෙලෙස කරුණු ගොණුවන විට රහත් බෝධියද මේ අත්භවයේම ලබා ගැනීම එතරම් පහසු නොවනු ඇත.

මෙලෙස කරුණු ඉදිරිපත් කොට එවැනි රහත් බෝධියට වීරිය වඩන්නන් වීරිය අත්හැරවන්නට උත්සාහ කිරීමක් නොවේ. පදනමක් , අත්තිවාරමක් නැති ගෘහ නිර්මාණය තාවකාලික බැවින් රහත් බෝධියට අවැසි මූලික පදනම් ලෙස දාන සීල, භාවනා යන ත්‍රිවිධ පුණ්‍ය සිතිවිලි නිවනට අවශ්‍ය ධර්මතා වේ.

දානයෙන් තොර සීලයකුත්, සීලයෙන් තොර භාවනාවකුත් නැත. දන් දෙන්නා සිල් රකියි. සිල් රකින්නා භාවනා කරයි. භාවනා කරන්නා නාමරූප ධර්මයන්ගේ ක්‍රියාකාරී බව දැන හැඳීන එහි කලකිරී ජීවයත් ශරීරයත් පිළිබඳ තිලකුණු ‘අනිත්, දුක්, අනත් බව පංචස්කන්ධයෙහි දැක මාර්ගඵල අවබෝධයන්ට පත්වේ. එය මනසෙහි ඇතිවන සප්ත විසුද්ධීන් ලෙස පෙළ ගැස්විය හැක. සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, දිට්ඨි විසුද්ධී , සංඛා විවරණ විසුද්ධී , මග්ගා මග්ග ඤාණ දස්සන විසුද්ධී පටිපදාඤාණ දස්සන විසුද්ධි , ඤාණ දස්සන විසුද්ධී ලෙස නම් කොට ඇත.

දන් දෙන්නාට ශ්‍රද්ධාව අවශ්‍ය වේ. ශ්‍රද්ධාව තුළ බලාපොරොත්තුව නැතහොත් ප්‍රාර්ථනය ඇත. දානාදී කුසල ක්‍රියා පිළිබඳව පිළිගැනීමක් නැතිව කුමන කෙලෙස් නැති කිරීමක්ද? එනිසා අහිංසක අසරණ කෙලෙස් වලින් යුක්ත වූ ලෝකයා දෙන දානයද නිෂ්ඵල ලෙස අවතක්සේරු කිරීම මෙලොවම පසුබෑමකි. දාන පාරමිතාවෙන් තොර නිවනක් ඔබ අප අසා නැත.

දුන් දානයෙන් එක්වරම නිවන් දැකිය නොහැකි බව ඔබ අප කාට වුවද වැටහෙන්නේය. පරම පූජනීය මහ සඟරුවන අනේකවිධ දුෂ්කරතා මැද දාන ගෙවල් වලදී පින් වාක්‍යයෙන් කරන්නේ සදෙව් ලොව සිහිගන්වා දන් හැන්දකින් දෙව් ලොව යැවීමක් නොව ප්‍රාර්ථනා කළද නොකළද අනුරූප විපාක අත්පත්වන තත්වයන් පැහැදිලි කිරීමකි. එහි සුබ අසුබ විපාක දන් දෙන පක්ෂයත් ලබන පක්ෂයත් අතර පවතින පාරිශුද්ධතාව මත අත්පත් වන්නකි.

බුදුවරයන් ලොවෙහි පහළ නොවූවද නොයෙක් දේව ධර්ම ආදිය ලොවෙහි පැවැත ඇත. මොහඳුර බලවත් නිසා ඇතමෙක් දුන් දෙයට වඩා යමක් බලාපොරොත්තු වනවා ඇත. එහෙත් දහම් පදයකට අනුව යා දීසං වපතේ බීජං තාදිසං ලබතේ ඵලං යනුවෙන් වැපිරූ දෙයට අනුව ඵල ලබන අයුරු පෙන්වා ඇත. එමෙන්ම වල්පොළ රාහුල හිමියන්ගේ සත්‍යෝදය පොතින් උපුටාගත් ඡේදයකට අනුව දස පාරමිතාවන්ගේ වීර්ය අධිෂ්ඨාන පාරමිතා පමණක් සඳහන් කර ඇත.අනෙක් පාරමි අට අතුරුදන්ව ඇත. මෙවැනි අදහස් ලෝකයා හමුවට ඉදිරිපත් කිරීමේදී අනෙකුත් පාරමිතා ගැන සිතා බැලීම වැදගත් වේ. පාරමිතා හෙවත් ප්‍රාර්ථනා නැති තැනැත්තෙක් තුළ දීන බව ඇත. නිවන පිළිබඳව පවතින්නේද තණ්හාවකි. ආශාවකි. එහෙත් එම තත්ත්වයට පත්වූවාට පසු තෘෂ්ණාක්ෂය කිරීමෙන් එහි ආශාවද සංසිඳි ඒක බීජ කොළං කොළ සත්තක් සත්ත පරම යන අවස්ථාවකින් සිත සසරින් සමු ගනී. තමන් රැස්කර ගන්නා කුසල අකුසල කර්ම ශක්තීන්ගේ බලය නිවන් මගඵල ලැබීමට මෙත් බුදුරදුන් දවස හෝ ඊට පෙර හෝ පසුව තීරණය වනු ඇත. එම ලිපියෙහි කර්මය පිළිබඳව කරුණු පෙන්වන එක් තැනක එහිදී හැඟෙන අයුරින් නිවන අතින් අත පැවරිය හැක්කක් නොව ඒක පුද්ගල අවබෝධනීය දහමකි. එකම නිවන විවිධ සූත්‍ර වල පුද්ගල අවබෝධ ශක්තීන්ට අනුව කෙටියෙන් හෝ දීර්ඝව දේශනා කොට ඇත. කර්ම විෂයද අචින්ත්‍ය වේ. බුදු සමයට පෙරාතුව විසූ වෛදික මුනිවරුන් පවා පිළිගත් අදහසකි. එයද බුදුරජාණන් වහන්සේ ඒ පුද්ගලයන්ගේ අවබෝධ පහසුව තකා දීර්ඝවද කෙටියෙන්ද විස්තර කොට ඇත.

එදා ලොවුතුරා බුදුරදුන් දවස ද පැවැති භික්ෂු ජීවිතය චාරිකා භික්ෂු ජීවිතයම විය. එම මහා සංඝ රත්නය ග්‍රන්ථ ධූර්ය විදර්ශනා ධූරය ලෙසද ඔවුනොවුන්ගේ රුචිය පරිදි පැවිදි දිවිය සකස් විය. පසුකාලීනව ශාසනයේ තිර පැවැත්ම අපේක්ෂාවෙන් ආරාමික භික්ෂූ ජීවිතයට හැඩ ගැසී ඇත. උන්වහන්සේලා අතරද ග්‍රන්ථ විදර්ශනා ධුර දෙකම පවතිනු ඇත. වර්තමානයේ මහ සඟරුවන මහත් දුෂ්කරතා මැද වුවද ඉටුකරන ශාසනික මෙහෙවර කියා නිම කළ නොහැක. කොස්වත්තේ අරියවිමල පණ්ඩිත හිමියන්ගේ ලිපියක කොටසක්ද ගෙන හැර දක්වමි. ආරාමික භික්ෂු අධ්‍යාපනයද ශාස්ත්‍රීය සීමාවට කොටු වී තිබේ. මහණෙනි, අලුත පැවිදි වූ ළඟදී මේ සසුනට පැමිණ යම් නවක පැවිද්දෙක් වෙත්නම් ඔවුහු නුඹලා විසින් සතර සතිපට්ඨානය වඩනු පිණිසය. සමාදන් කරවිය යුතුය. එහි වාසය කරවිය යුතු වෙති’ පිහිට විය යුතු වෙති. යනුවෙන් බුදුරජාණන් වහන්සේ ආරාමික භික්ෂු ශික්ෂණයෙන් බලාපොරොත්තු වන කාරණය ස්ථවිර භික්ෂූන් වහන්සේලාගෙන් ඉටුවන්නේ නැත. නිවැරැදි දහම් පණිවිඩය සන්නිවේදනය වීමටද මේ පසුබිම අත්‍යඅවශ්‍යය. මේ අනුව කාලීන අවශ්‍යතා එළිදැක්වීම ඉතා ශ්‍රේෂ්ඨ වේ. ප්‍රශංසනීය වේ. යම් යම් කරුණු ගැන අන්තගාමී නොවී සංයමයකින් කරුණු එළි දැක්වීම වඩා වැදගත් යැයි හැඟේ.

ඇසළ පුර පසළොස්වක පෝය

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි මස 14 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 12.49 ට ලබයි. 15 වන දා සිකුරාදා අපර භාග 12.14 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 14 වන දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
ජූලි මස 23 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 14

Second Quarterඅව අටවක

ජූලි 23

New Moonඅමාවක

ජූලි 30

First Quarterපුර අටවක

අගෝස්තු 06


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]