වස් විසීමේ අනුසස්
ශාස්ත්‍රපති, උඩුගම
මෝහාන් නන්දන නානායක්කාර
“අනුජානාමි භික්‍ඛවේ වස්සානෙ වස්සං, උපගන්තුං” මහණෙනි වැසිසමයේ වස්
විසීමට අනුදනිමි. ඒ බුද්ධ නියමයයි.
තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ උතුම් දහම
පුද්ගලාන්තරව හඳුන්වාදීමේදී ශ්‍රාවකයන් වහන්සේලාගේ මනා දැනීමත්,
පුද්ගලානුරූපව දේශනයත්, නිත්‍ය චාරිකා ක්‍රියාවලියත් අපේක්‍ෂා කළහ.
ක්‍රමයෙන් ව්‍යාප්ත වූ බුදුදහම සෙසු ආගමික ඉගැන්වීම් අභිභවා තහවුරු වන
විට ශ්‍රාවකයන්ගේ සංකීර්ණ අදහස් පාලනය කොට පෞද්ගලික ශික්‍ෂණය සඳහා විනය
නීති රීති පනවන ලදී.
පරිසර විඥානවාදී අදහස් නීතිමය සදාචාරය දක්වා වූ පුළුල් පරාසය තුළට වී
නොසිට බුදුරදුන් විසින් හඳුන්වා දුන් නිර්වාණගාමී ප්‍රතිඥා මඟ ගමන් කරන
බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලාට කඨින චීවර දාන පින්කම දීප්තිමත් පහන්
තරුවකි. විනයනය පරිදි දැහැමින් උපයා සපයා තෙරුවන් බැතියෙන් පුදන එකම
සිවුර කඨිනයයි. එය සපයා ගැනීම, මැසීම, පිදීම, පිළිගැනීම, පින්
අනුමෝදනය, පැවරීම, පරිහරණය, ගෙනයාම, තැබීම ආදී සියලු කාර්යය
සිදුකෙරෙන්නේ ධර්ම විනය අනුවමය.
බුදුරජාණන් වහන්සේ විසින් පනවන ලද විනය නිසාම ශාසනය පවතී. භික්‍ෂූන්
පොහෝ කරණය, ආරාධනය, වැසිසළු පිදීම, සිව්පස පූජාව, වස් විසූ අයගේ
පිළිපැදීම, පවාරණය, කඨින පූජාව, පූජා පෙරහර ආදී ක්‍රියා රාශියක ඒකකයක්
ලෙස ශ්‍රී ලංකාවේ පමණක් නොව තායිලන්තය, බුරුමය ආදී රටවලද පැවැත්වීම
විශේෂිතය. මෙය පැවිදි, ගිහි සැමගේ විනය ආරක්‍ෂාවීමේ අන්‍යෝන්‍ය ආරක්‍ෂා
පවුරකි. මාහැඟි පුණ්‍ය කර්මයකි. සංඝ සාමගි‍්‍රයකි. දෙය්‍ය හා දායක අතර
සම්බන්ධීකරණයකි. සංස්කෘතික මංගල්‍යයකි. ගමේ විහාරස්ථානයේ, නගරයේ,
පිරිවෙනේ, ආයතනයේ, වස්පොළේ සිදු කෙරෙන ජන හමුවකි. විනයනය බණ දහම්
ක්‍රියාවට නැංවීමකි.
වස් විසූ භික්‍ෂූන් වහන්සේලාට කඨින චීවර සපයා ගත යුතු වන්නේ ඉතා
ධාර්මික ආකාරයෙනි. තවද කඨින චීවර දානයෙන් උසස් ප්‍රතිඵල ලැබීමට නම්
ප්‍රධාන කරුණු 05 ක් සපුරා ගත යුතු වේ. ඒවා නම්,
1. උපසම්පදාලාභී භික්‍ෂූන් වහන්සේ නමක් ආරාමයක වස්වසා එය ආරක්‍ෂා
කිරීම.
2. දායකයන් විසින් කඨින චීවරයට අවශ්‍ය රෙදි සැපයීම.
3. එය ධාර්මිකව උපයා සපයා ගැනීම.
4. කඨින චීවරයක් වශයෙන් සකස් කොට මහා සංඝරත්නයට සුදුසු කළ හෙවත් චීවරමය
පූජා කිරීම.
5. මහා සංඝරත්නයට අයත් කඨින චීවරය එක් භික්‍ෂූන් වහන්සේ නමකට පවරා පූජා
කිරීම.
කඨින චීවර පූජාව රාජකීය උත්සවයක් ලෙසද ථෙරවාදී රටවල සිදු කෙරේ. ඒ අනුව
ජාතික සිරිත් විරිත් රාශියක් ද මෙයට එක්වේ. පෙරහර, සැරසිලි, සංගීත යන
සෞන්දර්යය විෂයයන් නිසා කලාත්මක අගයක් ද පවතී. ගමේ ආරාමයන්හි සිදුකෙරෙන
වාර්ෂික මහා පින්කම් මාලාවන් ද වෙසක්, පොසොන්, ඇසළ මාසවල ආරම්භව වප්,
ඉල් මාසයන්හි සිදු කෙරෙන කඨිනපූජා උත්සව වලින් අවසන් වේ.
ශ්‍රී ලංකා රාජාවලියේ බොහෝ රජවරුන් ද කඨින පින්කම් කරවා ලෝ සසුන්
වැඩූහ. මහා පරාක්‍රමබාහු රජතුමා, සවැනි පැරකුම්බා, කීර්ති ශ්‍රී
රාජසිංහ ආදී නරපතීන් දහස් ගණන් භික්‍ෂූන් වහන්සේලාට සිව්පසයෙන් ඇප
උපස්ථානකොට කඨින පින්කම් කරවූ බව වංශකතාවල සඳහන් ය. කඨින පින්කම්
ඉතිහාසයේ සටහන් වන්නේ උදාර ආගමික ජාතික මෙන්ම රාජකීය උත්සවයක් වශයෙනි.
මෙයට ඇතැම් පළාත්වල අන්‍යාගමිකයන්ගේ පවා සහාය ලැබීම ද විශේෂයෙන් සඳහන්
කළ යුතු ය. ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනජීවිතය සකස් වී ඇත්තේ සෑම මාසයකම
එළැඹෙන පොහොය උත්සව ප්‍රධාන කරගෙනය. වැඩිහිටියන් සිල් සමාදන් වීම වැනි
කාර්යයන්ටද, ළමා හා තරුණ උදවිය පෙරහර උත්සව සංවිධාන, සංග්‍රහ, සැරසිලි,
පූජා ආදී අංශවලට ද වඩාත් නැඹුරුවෙති. මේ දෙපාර්ශවයෙන්ම සිදුවන්නේ සසුන්
කෙත සරු කිරීමකි.
කඨින පූජෝත්සවයට අලුතින් එක් වූ අංග කිහිපයක් ද ඇත. කඨින වස්ත්‍රය
දායකයාගේ ගෙදර සිට ගම වටා මහත් භක්ත්‍යාදරයෙන් පෙරහරින් රැගෙන ගොස්
විහාරස්ථානයට භාරදීම, කඨින පූජා අවස්ථාවේ කප් රුක් පූජාව, වස් විසූ
භික්‍ෂුව පෙරහරින් පිටත වැඩමවීම, තෙමසක් මුළුල්ලේ හේවිසි, ඝංඨා නාද ආදී
සිරිත් විරිත් මාලාවක් ඇතුළත් වේ. තෙමසක් තුළ වස් සමාදන්ව දායකයන්ගේ
සිව් පසයෙන් යැපෙන භික්‍ෂූන් වහන්සේලා ද තම ජනතාවට දායක කාරකාදීන්ට
අර්ථයෙන්, ධර්මයෙන්, විනයෙන්, සීලයෙන් අනුශාසනා කරති. ඒ අනුව යන
සැදැහැවත් බොදුනුවෝද තවතවත් දෙලොව අභිවෘද්ධි මාර්ගයට සමීප වෙති. සසර
කෙළවර සිව්සත් දම් නැණින් නිවන් දැන සදා සැනසෙති.
|