UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ඇසළ මහේ අසිරිය

ඇසළ පොහොය බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් බුදුසිරිතේ සිදුවූ වැදගත් කරුණු කිහිපයක් නිසා බෞද්ධ ලෝකයාටම විශේෂ වූ දිනයකි. අප මහ බෝසතාණන් වහන්සේ බෝසත් අවධියේදී මනුෂ්‍ය ලෝකයේ පහළ වූ අන්තිම ආත්මභාවය වූයේ වෙස්සන්තර ආත්ම භාවයයි. එයින් පසු උන්වහන්සේ තුසිත දෙව්ලොව සන්තුසිත නම් දෙව්රජව පහළ වූහ. එහි දිව සැප විඳිමින් සිටි උන්වහන්සේ වෙත පැමිණි දෙවියෝ මෙසේ ආරාධනා කළහ.

කාලො යංතෙ මහා වීර –උප්පජ්ජ මාතු කුජ්ජියං (කුච්ඡියං)
සදේවතා තාරයනෙතා - බුජ්ඤස්සු අමත පදං”

නිදුකාණනි, ඔබ වහන්සේ මනුෂ්‍ය ලෝකයට බැස මව්කුස ඉපිද ලොව්තුරා බුද්ධත්වයට පැමිණ සියලු සත්ත්වයෝ සසර දුකින් මුදන සේක්වා! යනු මෙහි සරල අදහසයි.

ආරාධනය පිළිගත් උන්වහන්සේ කරුණු පසක් ගැන බැලූහ. එනම්,

කාලය- මෙය බුදු බව ලබා ගැනීමට සුදුසු කාලයක්ද මේ කාලයේ දෙසන ධර්මය අවබෝධ කරගැනීමට හැකි අය සිටිත් ද?

දීපය :– මීට පෙර බුදුරජාණන් වහන්සේලා පහළ වූයේ කිනම් දීපයක ද?

දේශය :– එහි මිහිකත සැලීම් ආදියෙන් තොර දේශය කුමක්ද?

කුලය :– මේ කාලයේ ජනතාව උසස් යයි පිළිගෙන තිබෙන කුලය කුමක්ද?

මව් – බුදු බව පතන කෙනෙකුට සුදුසු මව කව්ද? යනුයි.

මව්කුස පිළිසිඳ ගැනීම

දඹදිව මධ්‍ය දේශයේ ශාක්‍ය නම් ජනපදයක් විය. එහි විසුවෝ ශාක්‍ය වංශිකයෝය. ඔවුහු එකළ දඹදිව උසස් වංශිකයෝ වූහ. එහි රජතුමා ශුද්ධෝධනය. දේවිය මහාමායාය. මේ දෙදෙනා බෝසතාණන් වහන්සේගේ දෙමාපියෝ වූහ. දඹදිව ඇසළ සැණකෙළි පවත්වන කාලයක් විය. ඒ ඇසළ මාසයයි. ඇසළ පුන් පොහොය දින අළුයම් වේලෙහි බෝසතාණෝ මායාදේවි කුස පිළිිසිඳ ගත්හ. බෝසතාණන් වහන්සේ මව්කුස පිළිසිඳ වැඩ සිටි ආකාරය සිංහල බෝධිවංශ කතුතුමා මෙසේ වර්ණනා කළහ.

“රත් පියුම් කෙමියක් මත්තෙහි හුන්නා වූ රන් පිළිමයක් මෙන් පලක් බැද මව්කුස හුන්නේ විශේෂයෙන් ප්‍රසන්න වූ මාණික්‍ය රත්නයෙක්හි අමුණන ලද රන් පලස් හූයක් මෙන් මෑණියන්ට පෙනෙමින්...”

සිංහල බෝධි වංශය –පිටුව 02
අලව් ඉසි සැබි හෙළ
ඇම්.ඩී. ගුණසේන සහ සමාගම –කොළඹ
1962 ප්‍රථම මුද්‍රණය

ගිහිගෙය හැරයාම

සිදුහත් කුමරුවෝ ගිහිගෙය හැර ගොස් පැවිදි වන බව පිය රජතුමා කලින් දැන සිටියහ. එතුමෝ එම අවස්ථාව වලකාලීමේ අදහස ඇතිව තුන් කාලයට ගැලපෙන සේ කුමරුට රම්‍ය, සුරම්‍ය, සුභ යයි මාලිගා තුනක් කරවූහ. යසෝදරා නම් රූමත් කුමරියක් සරණපාවා දුනි. කුමරු ගිහි ගෙය හැරයාමට හේතුවන මහල්ලන්, ලෙඩුන්, මිය ගිය අය සහ ශ්‍රමණයන් නො දක්නා ලෙස කටයුතු කළහ. එහෙත් එම දර්ශනය දෙවියන් විසින් මවාපෑමෙන් කුමරුට දක්නට ලැබුණ බව සඳහන් වෙයි. ඒ එතුමා උයන් කෙළි සඳහා යන අවස්ථාවලදී ය. මේවා සතර පෙර නිමිතිය.

බෝධිවංශ කතුතුමා සතර පෙරනිමිති ගැන අලංකාර වැනුමක් කරති. ඒ මෙසේය.

සකක් සේ ධවල වූ කේශ කලාපයක් ඇත්තාක් වැනි වූ..

දුර්වල ශරීර යන්ත්‍ර ඇති....

ජරාවට පැමිණියා වූ චිත්‍ර ශාලාවක් බඳු වූ...

ලැව් ගිනි ගත්තා වූ වෘක්‍ෂයක් බඳු වූ ජරාවෙන් දැදුරු වූ ශරීර ඇති...

වෙව්ල වෙව්ලා එන්නහු දැක,

“ඉතා පළල්ව ඉදිමි ගියා වූ බඩ හා පාද යුග ඇති’....

ව්‍යාධි නමැති සතුරා විසින් පෙළන ලද්දා වූ..

අනවරතයෙන් වෙව්ල වෙව්ලා බැගෑ හඬින් හඬ හඬා

සෙමෙන් සෙමෙන් එන්නා වූ පුරුෂයෙකු දැක”

“ අන්‍ය පුරුෂයින් හතර දෙනෙකු විසින් උසුලාගෙන යනු ලබන්නා වූ..

ස්ත්‍රී පුරුෂ සමූහයා විසින් පිරිවරන ලද්දා වූ මල පුරුෂයක් හු දැක....”

“ යහපත් කොටගත් පෙරවි සිවුරු ඇති සන්සුන් වූ..

භික්‍ෂූ ශ්‍රීය අනුව ගියාක් වැනි වූ නුදුටු විරූ වෙස් ඇති ශ්‍රමණ රූපයක්

එන්න වූ දැක....”

සිංහල බෝධි වංශය

13,14,15 පිටු

මෙය දුටු බෝසතාණන් වහන්සේ ජීවිතයේ ඇති අස්ථීර බව අවබෝධ කර ගත්හ. සසර දුකින් මිදීමට ඇති එකම මග මහණදම් පුරා ගැනීමයයි සිතා ගත්හ. එය නිතර උන්වහන්සේ සිහි කළහ. දිනක් ජල ක්‍රීඩාවෙහි යෙදී සිටි කුමරුට පිය රජතුමාගෙන් සතුට දෙන පණිවිඩයක් ලැබිණ. ඒ රාහුල කුමරුගේ උපත ගැනයි. ගිහි ගෙයහැර ගොස් පැවිදිවීමට සිතා සිටින කුමරුට මෙය සුභදායක පුවතක් නොවීය.

ඒ සමග එතුමාගේ මුවින් පිටවූයේ

“ රාහු ජාතෝ බන්ධනං ජාතං යනුයි

රාහු උපන්නේය. බැම්මක් ඇතිවිය යනු මෙහි අදහසයි. මාලිගයට පැමිණි කුමරු යහන් ගැබට පිවිසිණ. එවිට නාටිකාංගනාවෝ පැමිණ කුමරු සතුටු කරන්නට වූහ. මේ අතර කුමරු නින්දට පිවිස සිටියහ. නාටිකාංගනාවෝද කුමරු නිදන බව දැන නිදන්නට වූහ.

මොහොතකින් පිබිදුණ කුමරුට දක්නට ලැබුණේ නොයෙක් විකාර ඇතිව නිදන නාටිකාංගනාවෝය.

මෙයින් වඩාත් කළකිරුණ කුමරු අදම ගිහිගෙයින් නික්මයමියි සිතා ගත්හ.

දොරටුව අසල නිදා සිටි ඡන්න ඇමති පිබිද වූ කුමරුවෝ කන්ථක අසු සූදානම් කරන්නට දැන්වූහ.

නික්මයාමට පෙර සිය පුතු දැකගන්නට කුමරු සිතුවේය. දේවිය නිදන යහන් ගැබට පිවිස කුමරුට දක්නට ලැබුණේ දේවිය සමග නිදන සිය පුතුය. පුතු වඩා ගැනීමේ අදහස ඇති වුණ නමුත් දේවිය පිබිදීමෙන් තම ගමනට බාධා විය හැකි බව සිතූ කුමරු තම අදහස් අත්හලහ. සිදුහත් කුමරුවෝ පියරජුට ද නොදන්වා ඡන්න ඇමති සමග මාලිගයෙන් නික්මුනහ. තෙලෙස් වසක් රජ සැප විදි සිදුහත් කුමරු මෙසේ ගිහිගෙය හැර ගියේ ඇසළ පොහොය දිනකදීය.

දම්සක් පැවතුම් සූත්‍රය

ඡන්න ඇමති සමග අනෝමා ගංතෙරින් එතර වූ කුමරු පැවිදි බවට පත්වූහ. එයින් පසු දුෂ්කර ක්‍රියා කොට ගයා පෙදෙසෙහිවූ බෝ මැඩ වැඩ හිඳ සියලු කෙළෙසුන් සිඳ බිද සියලු සත්‍යය අවබෝධ කර ගත්හ. සම්මා සම්බුද්ධත්වයට පත්වූහ.

බුද්ධත්වයට පත් උන් වහන්සේ, තමා අවබෝධ කරගත් ධර්මය ගැඹුරු යයි සිතුහ.අවබෝධ කරගත හැකි කෙනෙක් නැතැයි සිතූහ. ඒ බව දැනගත් සහම්පති මහා බ්‍රහ්මයා උන්වහන්සේ ඉදිරිපිට පෙනී සිට, “ නිදුකාණනි, දහම් අවබෝධ කර ගත හැකි අය සිටිති. දහම දෙසව මැනවයි ආරාධනා කළහ. එවිට බුදු ඇසින් උන් වහන්සේ ලොව බැලූහ. ආලාරකාලාම, උද්දකාරාම තවුසන් කාල ක්‍රියා කොට බඹලොව පහළව සිටි බව දැන තමන් වහ්නසේට උපකාර කළ පස්වග තවුසන් දැක ඉසිපතන මිගදායට වැඩියහ. එහිදී උන්වහන්සේ තමන් වහන්සේ මංගල ධර්ම දේශනාව වූ ධම්ම චක්ක පවත්වන සුත්‍රය දේශනා කළහ. ධම්ම යනු ඥානයයි. මෙම දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ අවබෝධ ඥානයද, දහම් දෙසීමෙන් දේශනා ඥානයද ලබා ගත්හ. චක්ක යනු පැවැත්මය. මේ දෙවදෑරුම් ඥානය චක්‍ර ආකාරයෙන් පැවැත්ම ධම්මචක්ක නම් විය. මෙහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද්දේ කාමසුඛල්ලිකානුයෝගය අත්තකිලමතානු යෝගය යන අන්ත දෙකින් මිදී මැදුම් පිළිවෙත අනුගමනය කරන ලෙසයි. මධ්‍යම ප්‍රතිපදාවෙන් නුවණ ඇති කරන ඥානය පහළ වෙයි. එය කෙළෙස් දුරු කර සත්‍යය දැන ගැනීම පිණිස, සම්බෝධි නිර්වාණය පිණිස හේතුවෙයි. මධ්‍යම ප්‍රතිපදාව නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව , සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යනු එයයි.

ධම්ම චක්ක පවත්වන සූත්‍ර දේශනාව අවසානයේදී කොණ්ඩඤ්ඤ තවුසා එය අවබෝධ කර ගති. එහෙයින් හේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ නමින් හැදින්විණ. බුදුරජාණන් වහන්සේ මෙම දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව පැවැත්වූයේ ඇසළ පොහොය දිනකදීය. එයින් පසු බුදුරජාණන් වහන්සේ පස්වග මහණුන් සමග ඉසිපතන මිගදායේ ප්‍රථම වස් විසීම ආරම්භ කළහ. බුදු සසුනේ මෙම ප්‍රථම වස් ආරම්භය ඇසළ පොහෝ දිනයේදී සිදුවීමද වැදගත් කරුණකි. මේ අතර වැදගත් සිදුවීම් පෙළක් නිසා ඇසළ පෝය දිනය බෞද්ධයන්ට ඉතා වැදගත් වෙයි. ඒවා නම්

රාහුල කුමරුගේ උපත

තීර්ථක දමනය සඳහා බුදුරජාණන් වහන්සේ යමාමහ පෙළහර දැක්වීම

සත් වැනි වස තව්තිසා දෙව්ලොවට වැඩ මාතෘ දිව්‍ය රාජයාට විජම් බණ දේශනා කිරීම

සම්බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසු රජගහනුවර වේභාර පර්වතයේදි ප්‍රථම ධර්ම සංඝායනාව පැවැත්වීම

මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රධාන සංඝයා විසින් සම්මත කළ සීමාව තුළ ප්‍රථම බණ්ඩ සීමාව සම්මත කිරීම

අරිට්ඨ කුමරු ඇතුළු සිංහල පණස් දෙනාගේ මහණ උපසම්පදාව

දෙවන පෑතිස් රජතුමා විසින් කරවන ලද අටසැටලෙන් පූජාව සහ දෙසැටක් රහතන් වහන්සේලා ලක්දිව පළමු වස් සමාදන්වීම

දුටුගැමුණු රජතුමා විසින් රුවන්වැලි මහ සෑයට මුල්ගල තැබීම

රුවන්වැලි මහ සෑයේ ධාතු නිදන් කිරීම

ඇසළ මහ පෙරහර ආරම්භ කිරීම

අතීතයේ සිට දෙවියන්ට පුද පෙරහර පවත්වා දේවාරාධනය කිරීම යන මේ කරුණු අතින් ඇසළ පොහොය ලෝකවාසි බෞද්ධ ජනතාවටම ඉතා උතුම් දිනයකි.

එබැවින් ඇසළ පොහොය දින විහාරස්ථාන වැඳ පුදා ගන්නා සියලුම බෞද්ධ සැදැහැවතුන් පිළිවෙතින් පෙළ ගැසීමට අධිෂ්ඨාන කරගත යුතුය.

පිළිවෙත නම් ධර්මයෙහි හැසිරීමයි.

ධර්මයෙහි හැසිරෙන්නා දෙලොවම දිනයි

ඇසළ පුර පසළොස්වක පෝය

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි මස 14 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 12.49 ට ලබයි. 15 වන දා සිකුරාදා අපර භාග 12.14 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 14 වන දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
ජූලි මස 23 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 14

Second Quarterඅව අටවක

ජූලි 23

New Moonඅමාවක

ජූලි 30

First Quarterපුර අටවක

අගෝස්තු 06


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]