Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දම්සක් පැවතුම් සුතුර

බුදුරජාණන් වහන්සේ පළමුවෙන්ම දේශනා කළේ ‘ද්වේ මේ භික්‍ඛවේ අන්තා පබ්බජිතේන න සේවිතබ්බො’ යනුවෙනි. මහණෙනි, පැවිද්දන් මේ අන්ත දෙක අත්හල යුතුය යන්නයි. ඒ මොනවාද? කාමසුඛල්ලිකානුයෝගය හා අත්තකිලමථානුයෝගයයි.

බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායේ වැඩ වසන සමයේ පස්වග භික්‍ෂූන් වහන්සේ අමතා ඇසළ පෝදා ධම්ම චක්ක දේශනය වදාළ සේක. මෙය ප්‍රථම ධර්ම දේශනයයි. පළමුවෙන්ම ධම්ම චක්ක යන්නෙහි තේරුම බලමු. ධම්ම යනු අවබෝධ කරගත් ධර්මයයි. චක්ක යනු රෝදයයි. රෝදයෙහි ස්වභාව කැරකීමයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයද දෙවි, බඹ, මිනිසුන්ගේ සිත්සතන් වෙත චක්‍රයක් මෙන් ළඟා විය.

බුදුරජාණන් වහන්සේ පළමුවෙන්ම දේශනා කළේ ‘ද්වේ මේ භික්‍ඛවේ අන්තා පබ්බජිතේන න සේවිතබ්බො’ යනුවෙනි. මහණෙනි, පැවිද්දන් මේ අන්ත දෙක අත්හල යුතුය යන්නයි. ඒ මොනවාද? කාමසුඛල්ලිකානුයෝගය හා අත්තකිලමථානුයෝගයයි. කාමසුඛල්ලිකානුයෝගය යනු කම් සැපයේ ඇලී ගැලී සිටීමයි. මෙය ළාමක වූ, ඕලාරික, වූ අගය නොකරන, ශ්‍රේෂ්ඨත්වයට පත් නොවන, අනර්ථ වූවක් බව දේශිතයි. අත්තකිලමථානුයෝගය යනු ශරීරයට දුක් දීමයි. මෙයද දුක් සහිත වූ,ශ්‍රේ්ෂ්ඨත්වයට පත් නොවන අනර්ථ වූවකි. මේ අන්ත දෙක බැහැර කොට මධ්‍යම ප්‍රතිපදාවේ ගමන් කරන ලෙස බුදුරජාණන් වහන්සේ ප්‍රථම වරට ලොවට හෙළි කළ සේක. එය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.

එම අරි අටඟි මඟෙහි සම්මා දිට්ඨි යනු චතුරාර්ය සත්‍ය අවබෝධ ඥානයයි. සම්මා දිට්ඨිය ඇතිවීමට මූලික කාරණා දෙකක් සම්පූර්ණ වන්නට වුවමනාය. එනම් ධර්මශ්‍රවණය හා යෝනිසෝ මනසිකාරයයි. එය හොඳට මතකයට ගන්න. සම්මා දිට්ඨිය ප්‍රථමයෙන් ඇතිවී ඉන් අනතුරුවයි ඉතිරි අංග සත පහළ වෙන්නේ. සම්මා සංකප්ප යනු අවබෝධයට හේතුවන කල්පනාවයි. සම්මා වාචා යනු වැරැදි කථාවලින් තොර, අවබෝධයට හේතුවන නිවැරැදි වචනයයි. සම්මා කම්මන්ත යනු කයින් සිදුවන වැරැදි වලින් වෙන් වී තමාට, අනුන්ට යහපත සැලසෙන කටයුතු වල යෙදීමයි. සම්මා ආජීව යනු ජීවිතය පිරිසුදුව පවත්වා ගැනීමයි. සම්මා වායාම යනු අකුසල් මැඩිම සඳහා වීර්යය කිරීමයි. කුසල් දහම් සඳහා වීර්යය කිරීමයි. සම්මා සති යනු සතර සතිපට්ඨානයේ සිහිය පිහිටුවා ගැනීමයි. සම්මා සමාධි යනු ධ්‍යාන මට්ටමට සිත දියුණු කිරීමයි. මේ සියල්ලටම සම්මා දිට්ඨිය මූලිකයි.

මේ මධ්‍යම ප්‍රතිපදාව ඔස්සේ ගොස් බුදු රජාණන් වහන්සේ තමන් විසින්ම අවබෝධය කරා එළැඹුණහ. මේ මාර්ගය පිළිපැදීමෙන් චක්ඛු කරණි දහම් ඇස ලැබෙයි. ඤාණ කරණි අවබෝධය ඇතිවෙයි. උපසමාය යනු කෙලෙස් නැති කිරීමයි. අභිඤ්ඤාය යනු විශේෂ ඥානය ලැබීමයි. සම්බෝධාය යනු චතුරාර්ය සත්‍යාවබෝධය ලැබීමයි. නිබ්බානාය සංවත්තති, එනම් නිවන කරා යන්නට උපකාර වීමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන විට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට ඒකාන්ත වශයෙන් හැකි වෙයි.

ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයයි. පළමු ආර්ය සත්‍ය වන්නේ දුකචා්‍යාර්ය සත්‍යයයි. මෙම සත්‍ය විස්තර කරන්නේ මෙසේ ය. ඉපදීම, දිරාපත්වීම, රෝග ඇතිවීම, මරණයට පත් වීම, අපි‍්‍රය වස්තූන් හා පුද්ගලයන් සමග එක්වීම, පි‍්‍රය වස්තූන් හා පුද්ගලයන්ගෙන් වෙන්වීම, කැමැති දෙය නොලැබීම, කෙටියෙන්ම කියතොත් පංච උපාදානස්ඛන්ධයම දුකක් බව දේශනා කළහ. මේ සත්‍ය, කිසිදු කෙනෙකුගේ මඟ පෙන්වීමක් නොමැතිව උන්වහන්සේ විසින්ම අවබෝධ කරගනු ලැබූවක්. එම නිසා දහම් ඇස පහළ විය. (චක්ඛුං උදපාදි) අවබෝධය ඇති විය. (ඤාණං උදපාදී වටහා ගැනීමේ ශක්තිය පහළ විය. (පඤ්ඤා උදපාදි) විද්‍යාව ඇති වීය (විජ්ජා උදපාදී) අවිදු අඳුර දුරු වී ප්‍රඥාලෝකය පහළ විය. (ආලෝකෝ උදපාදි) .

දුක්ඛාර්ය සත්‍ය ආර්ය සත්‍යක් ලෙස අවබෝධ කරගන්නට තිපරිවට්ටය අවශ්‍ය වේ. තිපරිවට්ටය යනු ආර්ය සත්‍ය දෙස තුන් අයුරින් බැලීමයි. එනම්, සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, හා කෘත ඥාන වශයෙනි. සත්‍ය ඥානයට අනුව දුක්ඛාර්ය සත්‍ය බලන්නේ මෙසේ ය. දුක ලෝකයේ ධර්මතාවක් ලෙස දකින්නට ලැබේ. ඒ සත්‍යයක් බැවින් තථා නම් වේ. එය අසත්‍යයක් නොවන බැවින් අවිතථා වේ. වෙනස් ස්වරූපයකට පත්වන්නේ නැති හෙයින් අනඤ්ඤථා වේ. මෙලෙස දුක ආර්ය සත්‍යයක් වේය යනුවෙන් කරගන්නා අවබෝධය සත්‍ය ඤාණ යනුවෙන් හැඳින්වෙයි. කෘත්‍ය ඤාණ යනු දුක අවබෝධ කළ යුතුයි යන්නයි. ඊළඟට කෘත ඤාණ ඇති වෙයි. එනම් දුකෙහි යථා ස්වභාවය අවබෝධ කරගත්තා යනුයි. මෙලෙස දුක ආර්ය සත්‍යක් අවබෝධ කළ යුතු දෙයක්, අවබෝධ කරගත්තා යන දැනීම, ලෙස තුන් අයුරින්ම බැලීමයි අපට අවශ්‍ය වෙන්නේ. මෙය ධර්මයට අනුව තමා තුළින්ම අවබෝධ කරගන්නා දෙයකි.

දුක්ඛ සමුදයාර්ය සත්‍ය යනු නැවත භවයක් ඇති කරන දුකට හේතුවන තෘෂ්ණාවයි. තෘෂ්ණාව, කාම, භව හා විභව වශයෙන් තුන් වැදෑරුම් වේ. එසේ දුකට හේතුවන තෘෂ්ණාව බුදුරජාණන් වහන්සේ අවබෝධ කළහ. දහම් ඇස පහළ විය. ඥානය, ප්‍රඥාව, විද්‍යාව, ආලෝකය පහළ විය. තෘෂ්ණාව යනු ප්‍රහාණය කළ යුතු දෙයක් ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. තිපරිවට්ටයට අනුව මේ ආර්යය සත්‍යද බැලිය යුතු ය. සත්‍ය, ඤාණයට අනුව දුක්ඛ සමුදය තථා, අවිතථා, අනඤ්ඤථා වශයෙන් බැලිය යුතු ය. ඊළඟට කෘත්‍ය ඤාණයට අනුව, දුකට හේතුව යෝනිසෝමනසිකාරයෙන් දුරුකළ යුතුයි යන්නයි. කෘත ඤාණයට අනුව තෘෂ්ණාව ප්‍රහාණය කළා යන දැනීම ඇතිවිය යුතුය.

දුක්ඛ නිරෝධාර්ය සත්‍ය යනු දුක නැති කිරීමයි. තෘෂ්ණාවේ නොඇලීමත්, අත්හැරීමත්, දුරලීමත් වේද එය දුක්ඛ නිරෝධය නම් වේ. මෙම ආර්ය සත්‍ය සාක්ෂාත් කළ යුතු වෙයි. සාක්ෂාත් කළ යුතු වන්නේ නිවනයි. මෙයත් තිපරිවට්ටයට අනුව බැලිය යුතු යි. එනම් සත්‍ය ඤාණයට අනුව ආර්ය සත්‍යක් යන අවබෝධයයි. කෘත්‍ය ඤාණයට අනුව සාක්ෂාත් කළ යුතුයි යන දැනීමයි. කෘත ඤාණයට අනුව සාක්ෂාත් කළා යන දැනීමයි. මෙලෙස දකින විට දහම් ඇස, ඤාණය, ප්‍රඥාව, විද්‍යාව, ආලෝකය පහළ වේ. පුනර්භවයක් හට ගැනීම නවතී.

දුක්ඛ නිරෝධගාමිණී පටිපදාර්ය සත්‍ය යනු දුක නැති කිරීමේ මාර්ගයයි. දුක නැති කිරිමේ වැඩපිළිවෙළ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඉහතින් සඳහන් කළ සම්මා දිට්ඨි ආදි කොට ඇති මධ්‍යම ප්‍රතිපදාවමය. මෙය, ශීල, සමාධි, ප්‍රඥා තුළ වර්ග කොට දක්වන්නකි.

මධ්‍යම ප්‍රතිපදාවෙහි ගමන් කරන විට දුක්ඛ නිරෝධගාමිණී පටිපදාව ආර්ය සත්‍යයක් ලෙස අවබෝධ වේ. ඒ සඳහා සත්‍ය ඤාණය අවශ්‍යය. තථා, අවිතථා අනඤ්ඤතා වශයෙන් නොවෙනස් ආර්ය සත්‍යක් ලෙස අවබෝධ කර ගත යුතු ය. එය සත්‍ය ඤාණයයි. එසේම බුදුරජාණන් වහන්සේ මෙම ආර්ය සත්‍ය ප්‍රගුණ කළ යුතු දෙයක් ලෙස දේශනා කළ සේක. කෘත්‍ය ඤාණයට අනුව මෙය ප්‍රගුණ කළ යුතුයි. කෘත ඤාණයට අනුව ප්‍රගුණ කළා යන දැනීම ඇති වේ. ඒ අනුව දුක නැති කිරීම නම් නිවන සාක්ෂාත් කර ගැනීම, සිදුවේ.

ඕනෑම ගැටලුවක් විසැඳීමට ආර්ය සත්‍ය සතර උපකාරී වෙයි. ලෙඩක් වූවද සුවකරන්නේ මෙසේම බව අපට වටහාගත හැකි ය. රෝගය රෝගයට හේතුව, රෝගය නැති කිරීම, රෝගය නැති කිරීමේ මාර්ගය යන ක්‍රම සතර ඔස්සේ බැලීමෙනි. චතුරාර්ය සත්‍ය තිපරිවට්ටයට අනුව බලන විට දොළොස් ආකාර වෙයි. ඒ අයුරින් බැලීමෙනුයි බුදුරජාණන් වහන්සේ පුනර්භවයක් නැතිචේතෝ විමුක්ති (නිවන) වූ පිරිසුදු දහම දෙව්, මිනිසුන් සහිත ලෝකයාට හෙළි කළේ මේ ධර්මය අසා සිටි කොණ්ඩඤ්ඤ තාපසතුමා දහම අවබෝධ කළේ ය. කෙසේද යත් යංකිඤ්චි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මං’ යමක් හට ගැනීමට හේතුවක් ඇද්ද එම හේතුව නැති කිරීමෙන් ම එහි හට ගැනීම නැති වී යන්නේ ය.’ යන අවබෝධය තුළින් ය. බුදුරජාණන් වහන්සේ හෙළි කළ විස්මිත ධර්ම චක්‍රය ලෝක විසි දෙකක් අසාගෙන සිටියහ. එනම්, මිනිස් ලෝකය, දිව්‍ය ලෝක සය, බ්‍රහ්ම ලෝක පහළොවයි. ශ්‍රමණයකු බ්‍රාහමණයකු දෙවියකු, මාරයකු, බ්‍රහ්මයකු විසින් හෝ ලොව අන් කිසිවකු විසින් හෝ පවත්වනු ලැබීය නොහැකි අනුත්තර වූ ධර්ම චක්‍රය බුදුරජාණන් වහන්සේ විසින් පවත්වනු ලැබීයැයි ඔවුහු දහම් ඝෝෂා නැඟූහ. සියල්ලන්ටම චතුරාර්ය සත්‍යාවබෝධය වේවා!


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.