Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සත්තාහකරණීය හා වස්සච්ඡේදනය යනු මොනවාද?

වස් විසීම යනු උපසම්පදා භික්‍ෂුවකගේ වැදගත් විනය කර්මයකි. මුල් බුද්ධ කාලයේ වස් විසීම පිළිබඳ බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන්ට අනුදැන නොවදාළ අතර භික්‍ෂුහු වස් (වර්ෂා) කාලය තුළද සදහම් චාරිකාවේ නිරත වූහ. එහෙත් අන්‍යසාමයිකයින් විශේෂයෙන් ජෛනාගමිකයින් වර්ෂා කාලය තුළ චාරිකාවේ නො යෙදෙමින් එක් තැන්ව වාසය කළහ.

ඊට හේතුව නව වර්ෂාවත් සමඟ අලුත් තෘණ වර්ගවල හටගැනීමත් විවිධ කෘමි වර්ගවල හටගැනීමත් සිදුවන නිසා ඒවා මතින් ගමන් කිරීම නො සුදුසු ක්‍රියාවක් ලෙස ඔවුහු විශ්වාස කළ නිසා ය. එය එකල මහ මහජනයාද අනුමත කළ මෙන්ම තදින් විශ්වාස කළ ක්‍රියාවක් විය. එහෙත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භික්‍ෂූන් වහන්සේ මේ පිළිබඳ තැකීමක් නොකොට වර්ෂා කාලය තුළද සදහම් චාරිකාවේ නිරත වූහ. එය මහජනයාගේ දෝෂ දර්ශනයට, හේතු විය. ඒ පිළිබඳ දැනගත් බුදුරජාණන් වහන්සේ මහජන මතය ගරු කරමින් භික්‍ෂූන් වහන්සේලාට වර්ෂා කාලය තුළ චාරිකාවේ නො යෙදෙමින් එක්තැන්ව වාසය කළ යුතු බව පවසා ශික්‍ෂා පදයක් පැන වූ සේක. එපමණක් නොව වස් නො වසන භික්‍ෂුවට ඇවතක් සිදුවන බවද දේශනා කළහ.

මෙසේ ආරම්භ වූ වස් විසීමේ චාරිත්‍ර ධර්මය, මේ වන විට ගිහි – පැවිදි දෙපක්‍ෂයේම විශේෂ අවධානයට ලක් වූ අංගයක් බවට පත්ව ඇත. වස් එළෙඹි භික්‍ෂුව එම කාල සීමාව තුළ විනය නීතිවලට අනුගතව වාසය කිරීමෙන් ආත්ම පාරිශුද්ධිය ඇතිකර ගනී. ගිහි සැදැවතුන් ද වස් එළෙඹි භික්‍ෂුවට හෝ භික්‍ෂූන් වහන්සේලාට සිව්පසයෙන් උපස්ථාන කරමින් පින් රැස් කර ගනිති. භික්‍ෂූන් වහන්සේද තමන්ට සිව්පසයෙන් උපස්ථාන කරන දායකයාට අර්ථයෙන් – ධර්මයෙන් අනුශාසනා කොට උභයාර්ථ සිද්ධිය සලසති. එමෙන්ම භික්‍ෂුවගේ නිවැරදි වස්විසීමෙනුත්, නිවැරදි උපස්ථානයෙනුත් අනතුරුව වස්කාලය අවසානයේ සිදු කරන “කඨින චීවර පූජාව‘ ශාසනයේ සඳහන් වන වැදගත්ම පින්කම ලෙස බෞද්ධයෝ සලකති.

මෙහිදී අපගේ අවධානය යොමු වන්නේ වස් සමාදන් වූ භික්‍ෂූන් වහන්සේට අදාළ විනය නීති සම්බන්ධවයි. එනම් ‘සත්තාහකරණීයය’ හෙවත් එම භික්‍ෂූන් වහන්සේට වස් විසූ ස්ථානයෙන් බැහැරව යා හැකි අවස්ථාවන් හා සම්බන්ධවයි. බුද්ධ කාලයේ බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලාට වස්විසීමට අනුදැන වදාළද බැහැරව යා හැකි අවස්ථාවන් පිළිබඳව දේශනා නොකළහ. එබැවින් භික්‍ෂූන් වහන්සේ එම කාල සීමාව තුළ පිටත නො ගොස් එහිම වාසය කළහ. දිනක් කොසොල් ජනපදයෙහි වූ සැදැහැති උදේන නම් වූ උපාසකයෙකු විසින් විශාල ධනයක් වියදම් කොට භික්‍ෂූන් වහන්සේ සඳහා ආරාමයක් කරවා දානයක් ද සූදානම් කොට එය පිළිගන්නට වඩින ලෙස වස් එළඹ සිටි භික්‍ෂූන් වහන්සේලාට ආරාධනා කරමින් දූතයෙකු එවීය. එහෙත් භික්‍ෂූන් වහන්සේලා වස් කාලයෙහි බැහැර යා නොහැකි බැවින් එය ප්‍රතික්‍ෂේප කළහ. එයට කලකිරුණු උදේන උපාසකයා භික්‍ෂූන් වහන්සේලාට දොස් නගන්නට, විය. එය දැනගත් බුදුරජාණන් වහන්සේ ‘සත්තාකකරණීය’ නම් විනය නීතිය හඳුන්වා දී පණිවුඩ එවුවත් නො එවුවත් සත් දෙනෙකු උදෙසා සත්තාහකරණීයෙන් යා හැකි බවත් පණිවුඩ එවු කල්හි පමණක් පස් දෙනෙකු උදෙසා යා හැකි බවත් එය සිහියෙන් කළ යුතු දෙයක් මෙන්ම දින හතක් ඇතුළත නැවත වස් විසූ ස්ථානයට පැමිණීම කළ යුතු බවත් දේශනා කළහ. දින හතක් ඇතුළත නැවත වස්විසූ ස්ථානයට පැමිණීම ‘සත්තාහකරණීයය’ ලෙස හඳුන්වයි. එසේ දින හතක් ඇතුළත වස් විසූ ස්ථානයට නො පැමිණියහොත් ‘වස්සව්ඡේදනය’ හෙවත් වස් සිඳීම සිදුවෙයි.

පණිවුඩ එවුවත් නොඑවුවත් සත්තාහකරණියෙන් යා හැකි සත්දෙනා

1. යම් භික්‍ෂුවක් ගිලන් වූයේ, ධර්ම – විනය පිළිබඳ යම් ගැටලුවක් ඇතිවූයේ, මහණකම පිළිබඳ යම් කළකිරීමක් ඇතිවූයේ එමෙන්ම යම්භික්‍ෂුවක් ඇවතකට පත්වූයේ තමාගේ පැමිණීම එයට යම් සහනයක් වන්නේයැයි සිතෙන්නේ නම් පණිවිඩ කරුවෙකු එව්වත් නොඑව්වත් සත්තාහකරණීයෙන් යා හැක.

2. යම් භික්‍ෂුණියක් ගිලන් වූයේ, ධර්ම – විනය පිළිබඳ යම් ගැටලුවක් ඇතිවූයේ, මහණකම පිළිබඳ යම් කළකිරීමක් ඇතිවූයේ එමෙන්ම යම්භික්‍ෂුණියක් ඇවතකට පත්වූයේ තමාගේ පැමිණීම එයට යම් සහනයක් වන්නේයැයි සිතෙන්නේ නම් පණිවිඩ කරුවෙකු එව්වත් නොඑව්වත් සත්තාහකරණීයෙන් යා හැක.

3. යම් උපසම්පදා අපේක්‍ෂාවෙන් හික්මෙන තැනැත්තියක ගිලන් වූයේ, ධර්ම – විනය පිළිබඳ යම් ගැටලුවක් ඇතිවූයේ, ශික්‍ෂාවන් පිළිබඳ යම් කළකිරීමක් ඇතිවූයේ එමෙන්ම උපසම්පදාවට පත්වීමේ කැමැත්තෙන් සිටිනුයේ තමාගේ පැමිණීම එයට යම් සහනයක් වන්නේයැයි සිතෙන්නේ නම් පණිවිඩ කරුවෙකු එව්වත් නොඑව්වත් සත්තාහකරණීයෙන් යා හැක.

4. යම් සාමණේර භික්‍ෂුවක් ගිලන් වූයේ, ධර්ම – විනය පිළිබඳ යම් ගැටලුවක් ඇති වූයේ, ශික්‍ෂාවන් පිළිබඳ යම් කළකිරීමක් ඇතිවූයේ, නැවත ශික්‍ෂාවන් සමාදන්වීමේ අපේක්‍ෂාව ඇත්තේ එමෙන්ම උපසම්පදාවට පත්වීමේ කැමැත්තෙන් සිටිනුයේ තමාගේ පැමිණීම එයට යම් සහනයක් වන්නේයැයි සිතෙන්නේ නම් පණිවිඩ කරුවෙකු එව්වත් නොඑව්වත් සත්තාහකරණීයෙන් යා හැක.

5. යම් සාමණේර භික්‍ෂුණියක් ගිලන් වූයේ, ධර්ම – විනය පිළිබඳ යම් ගැටලුවක් ඇතිවූයේ, භික්‍ෂාවන් පිළිබඳ යම් කළකිරීමක් ඇතිවූයේ, නැවත ශික්‍ෂාවන් සමාදන්වීමේ අපේක්‍ෂාව ඇත්තේ එමෙන්ම උපසම්පදාවට පත්වීමේ කැමැත්තෙන් සිටිනුයේ තමාගේ පැමිණීම එයට යම් සහනයක් වන්නේයැයි සිතෙන්නේ නම් පණිවිඩ කරුවෙකු එව්වත් නොඑව්වත් සත්තාහකරණීයෙන් යා හැක.

6. තමාගේ මෑණියන් ගිලන්වූයේ, තමාගේ පැමිණීම අපේක්‍ෂාවෙන් සිටිනුයේ, උපස්ථාන අපේක්‍ෂාවෙන් සිටිනුයේ පණිවිඩ කරුවෙකු එව්වත් නොඑව්වත් සත්තාහකරණීයෙන් යා හැක.

7. තමාගේ පියාණන් ගිලන්වූයේ, තමාගේ පැමිණීම අපේක්‍ෂාවෙන් සිටිනුයේ, උපස්ථාන අපේක්‍ෂාවෙන් සිටිනුයේ පණිවිඩ කරුවෙකු එව්වත් නොඑව්වත් සත්තාහකරණීයෙන් යා හැක.

පණිවුඩ එව්වොත් පමණක් සත්තාහකරණියෙන් යා හැකි පස්දෙනා

1. වස්විසූ භික්‍ෂුවගේ සහෝදරයෙක් ගිලන් වූයේ තම සහෝදර භික්‍ෂුවකගේ පැමිණීම අපේක්‍ෂාවෙන් පණිවිඩ කරුවෙකු එවන්නේ නම්, ඒ සඳහා සත්තාහකරණීයෙන් යා හැක. පණිවිඩ කරුවෙකු නොඑවූ කල්හි යා නොහැක.

2. වස්විසූ භික්‍ෂුවගේ සහෝදරියක් ගිලන් වූයේ තම සහෝදර භික්‍ෂුවගේ පැමිණීම අපේක්‍ෂාවෙන් පණිවිඩ කරුවෙකු එවන්නේ නම්, ඒ සඳහා සත්තාහකරණීයෙන් යා හැක. පණිවිඩකරුවෙකු නොඑවු කල්හි යා නොහැක.

3. වස්විසූ භික්‍ෂුවගේ ඥාතියෙක් ගිලන් වූයේ තම ඥාති භික්‍ෂුවගේ පැමිණීම අපේක්‍ෂාවෙන් පණිවිඩ කරුවෙකු එවන්නේ නම්, ඒ සඳහා සත්තාහකරණීයෙන් යා හැක. පණිවිඩකරුවෙකු නොඑවූ කල්හි යා නොහැක.

4. වස්විසූ භික්‍ෂුවකගේ උපස්ථායකයෙක් (මෙහෙකරුවෙක්) ගිලන් වූයේ තම කුළුපග භික්‍ෂුවගේ පැමිණීම අපේක්‍ෂාවෙන් පණිවිඩ කරුවෙකු එවන්නේ නම්, ඒ සඳහා සත්තාහකරණීයෙන් යා හැක. පණිවිඩකරුවෙකු නොඑවූ කල්හි යා නොහැක.

5. මහ සංඝයාට අයත් විහාරස්ථායකට යම් කරදරයක් වූ කල්හි එහි වූ බඩු බාහිරාදිය කිසියම් උපාකයයෙකු විසින් ආරක්‍ෂා කොට නැවත මහා සංඝයාට දීම සඳහා තමාට ද පණිවුඩයක් එවන්නේ නම්, ඒ සඳහා සත්තාහකරණීයෙන් යා හැක. පණිවිඩ කරුවෙකු නොඑවූ කල්හි යා නොහැක.

භික්‍ෂුවකගේ වස් නො සිඳෙන අවස්ථාවන්

වස් විසූ භික්‍ෂුවට තමා වස් විසූ ස්ථානය ශාසන බ්‍රහ්මචරියාව පවත්වාගෙන යෑම සඳහා නුසුදුස්සක් ලෙස සිතන්නේ නම්, එම ස්ථානයෙන් බැහැරව යා හැක. එය භික්‍ෂුවගේ වස් සිඳෙන්නට මෙන්ම ඇවතක් සිදුවීමට බලනොපායි. එම අවස්ථාවන් මෙසේ ය.

1. තමන් වස් විසූ ස්ථානයේ නපුරු වන සිව්පාවන්ගෙන් කරදර ඇති වන්නේ නම්, එය තමන්ගේ ජීවිතයට අනතුරක් සඳහා හේතුවන්නේ නම්, වස් විසූ භික්‍ෂුවට එම ස්ථානයේ බැහැරව යා හැක. වස් සිඳීමක් සිදු නොවේ.

2. තමන් වස් විසූ ස්ථානයේ නපුරු සර්පයින්ගෙන් කරදර ඇති වන්නේ නම්, එය තමන්ගේ ජීවිතයට අනතුරක් සඳහා හේතුවන්නේ නම්, වස් විසූ භික්‍ෂුවට එම ස්ථානයේ බැහැරව යා හැක. වස් සිඳීමක් සිදු නොවේ.

3. තමන් වස් විසූ ස්ථානයේ සොරුන්ගෙන් කරදර, පීඩා, හිංසා හා තර්ජනය කිරීම් ඇති වන්නේ නම්, එය තමන්ගේ ජීවිතයට අනතුරක් සඳහා හේතුවන්නේ නම්, වස් විසූ භික්‍ෂුවට එම ස්ථානයේ බැහැරව යා හැක. වස් සිඳීමක් සිදු නොවේ.

4. තමන් වස් විසූ ස්ථානයේ පිශාචාදී අමනුෂ්‍යයින්ගෙන් කරදර, පීඩා, හිංසා ඇති වන්නේ නම්, එය තමන්ගේ ජීවිතයට අනතුරක් සඳහා හේතුවන්නේ නම්, වස් විසූ භික්‍ෂුවට එම ස්ථානයේ බැහැරව යා හැක. වස් සිඳීමක් සිදු නොවේ.

5. තමන් වස් විසූ ගම හෝ සෙනසුන ගින්නෙන් දැවීගොස් සිව්පසය හා සෙනසුන් නොලැබෙන්නේ නම්, එය තමන්ගේ ජීවිතයට අනතුරක් සඳහා හේතුවන්නේ නම්, වස් විසූ භික්‍ෂුවට එම ස්ථානයේ බැහැරව යා හැක. වස් සිඳීමක් සිදු නොවේ.

6. තමන් වස් විසූ ගම හෝ සෙනසුන ගින්නෙන් දැවීගොස් සිව්පස හා සෙනසුන් නො ලැබෙන්නේ නම්, එය තමන්ගේ ජීවිතයට අනතුරක් සඳහා හේතු වන්නේ නම්, වස් විසූ භික්‍ෂුවට එම ස්ථානයේ බැහැරව යා හැක. වස් සිඳීමක් සිදු නොවේ.

7. තමන් වස් විසූ ස්ථානයේ රළු හෝ මිහිරි හෝ ආහාර ප්‍රමාණවත්ව නො ලැබෙන්නේ නම්, වස් විසූ භික්‍ෂුවට එම ස්ථානයේ බැහැරව යා හැක. වස් සිඳීමක් සිදු නොවේ.

8. තමන් වස් විසූ ස්ථානයේ රළු හෝ මිහිරි හෝ ආහාර ප්‍රමාණවත්ව ලැබුණත් ඒ පිළිබඳ රුචියක් නැතිනම්, වස් විසූ භික්‍ෂුවට එම ස්ථානයේ බැහැරව යා හැක. වස් සිඳීමක් සිදු නොවේ.

9. තමන් වස් විසූ ස්ථානයේ රළු හෝ මිහිරි හෝ ආහාර ප්‍රමාණවත්ව මෙන්ම රුචි ලෙස ලැබුණත් බෙහෙත් ද්‍රව්‍ය නො ලැබේ නම්, වස් විසූ භික්‍ෂුවට එම ස්ථානයේ බැහැරව යා හැක. වස් සිඳීමක් සිදු නොවේ.

10. තමන් වස් විසූ ස්ථානයේ රළු හෝ මිහිරි හෝ ආහාර ප්‍රමාණවත්ව මෙන්ම රුචි ලෙස ලැබුණත් බෙහෙත් ද්‍රව්‍යයද නිසි ලෙස ලැබුණත් සුදුසු උපස්ථායකයෙකු නොලැබේ නම්, වස් විසූ භික්‍ෂුවට එම ස්ථානයේ බැහැරව යා හැක. වස් සිඳීමක් සිදු නොවේ.

11. තමන් වස් විසූ ස්ථානයේ, තම බ්‍රහ්මචරියාට හානිවන අයුරින් ස්ත්‍රීන් හැසිරෙත් නම්, කාමය සඳහා පොළඹවත් නම්, ඇවතුම් පැවතුම් පවත්වත් නම්, වස් විසූ භික්‍ෂුවට එම ස්ථානයේ බැහැරව යා හැක. වස් සිඳීමක් සිදු නොවේ.

13. වෛශ්‍යාවන්, විවාහයට පත්නොවූ වයස්ගත ස්ත්‍රීන්, පණ්ඩකයින්, නෑෑයන්, රජවරුන්, සොරුන්, ධූර්තයින් ආදීන් විසින් භික්‍ෂූන්ට කැපසරුප් නොවූ දැසි දසුන්, ස්ත්‍රීන්, ගවයන් ආදී සතුන් මෙන්ම රන්රිදී ආදිය දීමට යෝජනා කරත්නම්, එය තමාගේ බ්‍රහ්මචරියාවට හානියක් ලෙස සිතෙන්නේ නම් වස් විසූ භික්‍ෂුවට එම ස්ථානයේ බැහැරව යා හැක. වස් සිඳීමක් සිදු නොවේ.

14. අයිතිකරුවන් නැති නිධන් ආදිය දැක, ඒ පිළිබඳ ආශාව ඇතිව තම සිත පෙරළේ නම්, එය තමාගේ බ්‍රහ්මචරියාවට හානියක් ලෙස සිතෙන්නේ නම්, වස් විසූ භික්‍ෂුවට එම ස්ථානයේ බැහැරව යා හැක. වස් සිඳීමක් සිදු නොවේ.

15. තමන් වස් වසන ස්ථානයේ (විහාරස්ථානයේ) තවත් සෙසු භික්‍ෂූන් වසන්නේ නම්, තමාගේ පැමිණීම එම භික්‍ෂූන්ට කරදරයක් ලෙස සිතෙන්නේ නම්, එමෙන්ම එය සංඝ භේදයට තුඩු දෙන්නක් ලෙස පෙනී යන්නක් නම්, වස් විසූ භික්‍ෂුවට එම ස්ථානයේ බැහැරව යා හැක. වස් සිඳීමක් සිදු නොවේ.

වස් නොවැසිය යුතු ස්ථාන

උපසපන් භික්‍ෂුවක් වස් කාලය තුළ වස් විසීම විනය නීතියකි.

වස් නො වැසීම ඇවතක් සිදුවීමකි. වස් කාලයේ වස් සමාදන් වන භික්‍ෂුව වස් නො එළඹිය යුතු ස්ථාන කිහිපයක් ද වෙයි. ඒවා මෙසේ ය.

1. ගස් බෙනවල වස් නො එළඹිය යුතු ය.

2. ගස් දෙකක් අතර හිදැස් ඇති තැන්හි වස් නො එළඹිය යුතු ය.

3. හිස් අවකාශයේ (එළිමහනේ) වස් නො එළඹිය යුතු ය.

4. සෙනසුනක් නැති ස්ථානයන්හි වස් නො එළඹිය යුතු ය.

5. සොහොනෙහි වස් නො එළඹිය යුතු ය.

6. කුඩයට වස් නො එළඹිය යුතු ය.

7. සැලිවල වස් නො එළඹිය යුතු ය.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.