බෝසත් සිරිතේ
මහා අභිනික්මන
ශාස්ත්‍රවේදී
හීනටිපනේ සීලරතන හිමි
බෝසතාණන් වහන්සේගේ
මහාභිනිෂ්ක්‍රමණය වූ කලී පශ්චිමාත්මභාවයට සීමා වූ හුදෙකලා සිද්ධියක්
නොවේ.
සාරාසංඛෙය්‍ය කල්ප ලක්‍ෂයක් පුරාවට පිරූ නෛෂ්ක්‍රම්‍ය පාරමිතාවේ උච්චතම
අවස්ථාව සේ එය සැලකිය හැකිය.
ඇසළ පුර පසළොස්වක පොහොය අනුස්මරණීය පොහෝ දිනයක් විමට හේතුවන වැදගත් එක්
කරුණක් නම් සිද්ධාර්ථ කුමරු ගිහි සැපත් අත්හැර පැවිදි වීම සඳහා නික්ම
යාමයි. සසර පෙර නිමිති දැකීමෙන් සසර කළ කිරුණු බෝසතාණන් වහන්සේ එදිනම
උපන් රහල් පුතුත් යශෝධරා බිසවුනුත් ඇතුළු සියලු රාජ්‍ය සම්පත් අතහැර
තවුස් පැවිද්දට එළඹීමේ අරමුණින් රාජමාලිගාවෙන් නික්ම ගියහ.
‘මහාභිණිෂ්ක්‍රමණය’ නමින් හඳුන්වන මේ ශ්‍රේෂ්ඨ වූ සිදුවීම සත්‍යගවේෂී
බෝසත් චරිතයෙහි ආරම්භක පියවර සේ සැලකිය හැකිය.
බෝසතාණන් වහන්සේගේ මහාභිනිෂ්ක්‍රමණය වූ කලී පශ්චිමාත්මභාවයට සීමා වූ
හුදෙකලා සිද්ධියක් නොවේ. සාරාසංඛෙය්‍ය කල්ප ලක්‍ෂයක් පුරාවට පිරූ
නෛෂ්ක්‍රම්‍ය පාරමිතාවේ උච්චතම අවස්ථාව සේ එය සැලකිය හැකිය.පෙරුම්දම්
පිරූ බෝසත් තුමන් නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව සම්පූර්ණ කළ අසිරිමත් ආකාරය
ජාතක කථා රාශියකම විසිතුරු අන්දමින් විස්තර වන්නේ බැතිමතුන්ගේ සිත
ප්‍රකම්පනයට පත් කරමිනි. මඛාදේව , සුසීම, යුද්ධජ්ජය, භිස, හත්ථිපාල,
අයොඝර, ශරභඞග, චුල්ලසුතසොම, මූගපකඛ,මහාජනක, නිමි, බන්ධනාගාර වැනි ජාතක
කථාවල බෝසත් තුමන් ගේ නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව විස්තර වෙයි.
මඛාදේව රජු තම හිසේ නර කෙසක් (පැසුණු කෙස් ගසක්) දුටු විටක තමාට ඒ බව
පවසන ලෙස කරණැවෑමියාට නියමකොට තිබුණේය. දිනක් කරණවෑමියා රජුගේ හිසෙහි
නරකෙසක් දැක එය ගළවා රජුු අතට දුන්නේය. ඉන් කැළඹෙනවා වෙනුවට මඛාදේව රජු
පැවසුවේ තමන්ට තපසට යන්නට කල් පැමිණි බව දන්වනු පිණිස දේව දූතයන් පැමිණ
ඇති බවයි.
උත්තමඕගරු හා මය්හං
ඉමෙ ජාතා වයොහරා
පාතුභූතා දේවදූතා
පබ්බජ්ජා සමයො මම ‘
ජාතක පොත මෙම අවස්ථාව සනිටුහන් කරන්නේ මෙසේය.
“ප්‍රථම වයසය, මධ්‍යම වයසය, පශ්චිම වයසය යැයි කියන ලද තුන්වයසම නසන
හෙයින් වයස පැහැර ගන්නා වූ මේ නරකෙස් මාගේ හිස හටගත්තේය. හිස නරකෙස්
හටගත් විටම මරණය අවුත් නළල්තෙලෙහි සිටියා නම් වෙයි. නරකෙස් නම් යම
රජ්ජුරුවන්ගෙන් එවු දේවදූතයන් වනැන්නෝයි”
යුද්ධජ්ජය ජාතකයේ යුද්ධජ්ජය කුමරු ජීවිතය ගැන කලකිරෙන්නේ හිමිදිරියේ
දකින තණග පිනි බිඳුව සවස නොදැකීමෙන් ජීවිතයේ අස්ථාවරත්වය කල්පනාවට
ගැනීමෙනි. මවුපියන් බලවත් පෙරැත්තයෙන් පැවිදිවීමට යාම වළකද්දී ඔවුන්ට
කරුණු පහදා දී ඔවුන්ගේ අනුමැතිය ලබාගෙන තම මල්බෑයා ද සමග යුද්ධජ්ජය
කුමරු මාලිගාවෙන් පිටත්ව හිමාල වනයට ගොස් පැවිදි වෙයි.
ඉතා සිත් ගන්නා සුළු අපූරු කථාවක් රැගත් කුද්දාල ජාතකයේදී බෝසත්හු
උදැල්ලකට පමණක් හිමිකම් කියන ගොවියෙකි. බිජු වපුරා අස්වනු නෙළාගෙන ඒවා
විකුණා ජීවත් වූ බෝසත්හු එකම වස්තුව වූ උදැල්ල සඟවා තබා තවුස් දිවියට
එළැඹෙති. බිජු වපුරන කාලය එළැඹි වහාම තවුස් දිවියෙන් ඉවත්ව ගොවිතැන්
අරඹති.
මෙසේ සය වරක්ම තවුස් දිවිය අත්හළ බෝසත්හු තම චපල භාවය මෙනෙහි කොට
කලකිරී තවුස් දිවිය අත්හැර දැමීමට හේතු වූ උදැල්ලගෙන දෑස් පියා හිස වට
සිසාරා සිරුරට වෙරගෙන ගඟ මැදට වීසිකොට ‘මම දිනුවෙමි’යි සත්වරක් කියා
උදම් අනති ගඟ අසබඩ සිටි බරණැස් රජු ඒ අසා බෝසත් තුමන් වෙත පැමිණ යුදකොට
ගම් දනව් ජයගත් තමන්ටත් වඩා උදම් අනන්නට තරම් ලැබූ ජයග්‍රහණය කුමක්දැයි
විමසයි. බෝසත් තුමන් පවසන්නේ රාජ්‍යයක් ජයගන්නවාට වඩා තම සිත ජයගැනීම
උසස් බවයි.
අයොඝර ජාතකයේ එන බෝධිසත්ව දානයද ඉතා විසිතුරුය. බරණැස්නුවර බ්‍රහ්මදත්ත
රජුගේ පළමුව හා දෙවැනිව උපන් දරුවෝ යක්‍ෂණියකට ගොදුරුවෙති. තෙවැනි
දරුවා වන බෝසතුන් කුස පිළිසිඳගත් කල්හි උපදින දරුවාගේ රැකවරණය සඳහා
අයෝමය මන්දිරයක් තනනු ලැබේ. එහි ඉපිද හැදි වැඩෙන බැවින් එකුමරු
ප්‍රසිද්ධ වන්නේද අයොඝර නාමයෙනි. කුමරු නිරුපද්‍රිතව සොළොස්විය දක්වා
වැඩෙයි. අයොමය මන්දිරයෙන් පිටතට නොගෙන එතුළදීම ශිල්ප ශාස්ත්‍රද උගන්වනු
ලැබේ. සොළාස් විය පිරුණු පසු පිය රජු පුත්කුමරු රාජ්‍ය පදප්‍රාප්ත
කිරීම සදහා මහපෙරහරින් කැඳවාගෙන එයි. පිය රජු වැඳ එකත්පස්ව හිඳ
පුත්කුමරු පවසන්නේ මවුකුසයේත් යකඩ මන්දිරයේත් සිරකරුවකුව කල්ගෙවු
තමන්ට පංචකාම සම්පත් පිළිබඳව ඇත්තේ කලකිරීමක් බවත් එනිසා පැවිදිවන්නට
අවසර දෙන ලෙසත්ය.අයොඝර කුමරු ගිහි ජීවිතයෙහි කලකිරී පැවිදිවෙන අතර පිය
රජුද ඔහු අනුවම පැවිදි දිවියට පත්වෙයි.
බෝසත් තුමන් මහාජනක නම් රජුව උපන් කල්හි ලෞකික ජීවිතය ගැන කලකිරෙන්නේ
පල සහිත අඹ රුකට හා පල රහිත අඹ රුකකට මුහුණ දීමට සිදුවු දෙවැදෑරුම්
අත්දැකීම් දැකීමෙනි. උයනට යන රජු පල ඇති අඹ රුක පල නිසා ගල්මුල්වලින්
පහරදීමේ අතු හා කොළ කඩා දැමීම් ආදී ව්‍යසනයන්ට භාජනය වූ බවත් පල රහිත
අඹ ගස කිසිදු පීඩාවකට පත් නුවූ බවත් දැක වස්තු සම්පත් නිසා සත්වයා
පීඩාවට පත්වන බවත් ඉන් ඉවත්වීම පීඩාවන්ගේ මිදීමේ මාර්ගය බවත් අවබෝධ
කරගනී. ඒ අනුව තවුස් පිරිකර ගෙන්වා ගෙන මාලිගාවේදීම කෙස් කපා පැවිදි
වෙස්ගෙන මාලිගා වෙන් පිටත්ව යයි. සිවලී නම් රජ බිසව සෙසු ජනතාව හා
පරිවාර කාන්තාවන් සමඟ හඬා වැළපෙමින් රජු පිටිපසින් යමින් රජු නවත්වා
ගැනීමට විවිධ උපක්‍රම යොදයි. විශ්වාසි පුරුෂයන් ලවා ගින්නක්
පෙන්වීමෙන්ද ඇනකොටා ගන්නා ජනතාව ව්‍යාජ ලෙස පෙන්වමින්ද රජු නතර කරවීමට
දරණ උත්සාහය නිෂ්ඵල වෙයි. පසුපසින් එන සීවලී බිසව බලා සිටියදීම බල්ලකු
ඩැහැගෙන විත් හැරදමා යන පිලිස්සූ මස් කැබැල්ලක් ආහාර වශයෙන් ගන්නේ
බිසවුන් තුළ කලකිරීම ඇති කරනු පිණිසය. කෙතෙකුත් කරුණු ගෙනහැර පෑවත්
සීවලි බිසව නොනැවතීම එන හෙයින් වන සීමාවේදි තණ මිටක් ගෙන දෙකට කඩා “
බිසවුනි, මේ කැඩු තණ දෙමිට එක්වේ. නමුත් තොප හා මා එක්වීමෙක් නැත.
තෘෂ්ණාව අලෙවි රඳවයි.’ කී කළ බිසවු තොමෝ නැවතුනාහ. බෝසත්හු හිමාලයට
වැදී තවුස් දිවියට එළැඹුනහ.
බෝසතුන්ගේ අධිෂ්ඨාන පාරමිතාවටද නිදසුනක් වන මුගපක්ඛ ජාතකයෙහි
අභිනිෂ්ක්‍රමණය පිළිබඳවද අපූරු නිදර්ශනයක් වෙයි. බරණැස් නුවර කසී රජුට
දාව උපදින බෝසතාණෝ බිළිඳු වියෙහිදී පිය රජුගේ ඇකයෙහි සුරතල් වෙද්දී
පියරජු සොරුන් සතර දෙනෙකුට රාජ දඬුවම් පමුණුවන බව දුටුවේය. බෝසත්හු
හෙවත් තේමිය කුමරු ජාතිස්මරණ ඥානයෙන් යුක්ත වූ බැවින් තමන් පෙර
අත්බැව්හිදි මෙසේම රාජ්‍යත්වයට පත්ව රැස්කළ අකුසලයෙන් කල්ප ගණන් නිරා
දුක් විඳි බව සිහිකොට මාලිගාවෙන් පිටත් වන විදියක් කල්පනා කළේය. එතැන්
පටන් සොළොස් විය දක්වා ගොළුවෙක්, බිහිරෙක් ලෙසින් ඇඟවූයේය. මවුපියෝ
කුමරුගේ ගති ලක්‍ෂණ වෙනස් කරනු සඳහා විවිධ උපක්‍රම යෙදූහ. එහෙත්
අධිෂ්ඨානශීලිව හා ඉවසීමෙන් යුක්තව සියලු වධවේදනා විඳ දරා ගනිමින් සිටි
තේමිය කුමරු රජ මාලිගාවට පමණක් නොව රාජ්‍යයටයත් අසුභ නිමිත්තක් සේ
නක්‍ෂත්‍ර ආචාර්යවරුන් විසින් පවසනු ලදුව රථයක නංවා වල දැමීම පිණිස
වනයට පිටත්කර යවනු ලැබිණ. කුමරු තමන් රජ මාලිගාවවෙන් නිදහස් වු බව දැන
රථාචාර්යයා වෙත ගොස් තමා පැවිදි වන බව මවුපියන්ට දන්වන ලෙස පවසා
හිමිවතට පිවිසුනේය.
සංසාර විමුක්තිය පතන්නවුන් විසින් සියලු ලෞකික සම්පත් අළුයම ලූ කෙළ
පිඬක් සේ අත්හළ යුතු බවත් බ්‍රහ්මචාරී පිළිවෙත් පිරිය යුතු බවත් ඉහත
සඳහන් බෝධිසත්වා දර්ශනයන්ගෙන් ගම්‍යමාන වන බව අපි වටහා ගත යුතු වෙමු. |