Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ලොවට සද්ධර්මය පහළ වූ දිනය

මේ, ඇසළ පුර පසළොස්වක් පොහෝ දිනය යි. වෙසක් පුර පසළොස්වක් පොහෝ දිනය අප ලොව්තුරා සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය, පරිනිර්වාණය යන තෙමඟුල සිහිපත් කරන්නාක් මෙන්ම, පොසොන් පුර පසළොස්වක් පොහෝ දිනය අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනය සිහිපත් කරන්නාක් මෙන් ම, ඇසළ පොහෝ දිනය අපේ සිහියට නංවන්නේ අප බුදුරජාණන් වහන්සේගේ මංගල ධර්ම දේශනය යි. මේ නිසා ඇසළ පොහොය, ලොවට සම්‍යක් දර්ශනය හෙවත් සම්බුද්ධ ධර්මය පහළ වූ දිනය හැටියට සැලකිය හැකිය.

භාරත දේශයේ බරණැස් නුවර ඉසිපතනාරාමයේ දී කොණ්ඩඤ්ඤ, වප්ප, භද්දිය, මහානාම, අස්සජි යන පස්වග තවුසන් අරබයා දේශිත “ධම්ම චක්ක පවත්තන සූත්‍රය” බුදුරජාණන් වහන්සේගේ මංගල ධර්ම දේශනය යි.

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියෙන් පසු එළැඹෙන පළමු ඇසළ පුන් පොහෝ දිනය මෙයයි. ඒ නිසාම මෝහයෙන් මුළා වී, තෘෂ්ණාවෙන් පෙළී දුකට පත් මිනිස් වර්‍ගයා කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කරන ලද ධම්ම චක්ක පවත්තන සූත්‍රයේ අන්තර්ගත ධර්ම කාරණා පිළිබඳව නැවත මතකයට නගා ගන්නටත්, එවන් ශ්‍රේෂ්ඨ ධර්මයක් පහළවීමට තුඩුදුන් සමාජ පරිසරය පිළිබඳව පුනරාවලෝකනයක් කිරීමටත් මේ අවස්ථාව ඉතාම උචිත බව අපේ හැඟීමයි.

ත්‍රිපිටකයේ සඳහන් වන අන්දමට ක්‍රිස්තු පූර්ව 6 වන ශත වර්ෂය වන විට භාරතයෙහි පැවතියේ ආගමික උන්මාදයකි. වසර දහස් ගණනක් තිස්සේ බ්‍රාහ්මණ ඒකාධිකාරයෙන් පීඩාවට පත් ව සිටි ජනතාව, තමන්ගේ දාර්ශනික ගැටළුවලට බ්‍රාහ්මණ ධර්මයෙන් නිවැරදි විනිශ්චයක් නොලැබෙන බව අවබෝධ කර ගැනීමේ ප්‍රතිඵලය වූයේ “සත්‍යය කුමක්දැ යි සෙවීමට ස්වාධීන ව නැගී සිටීමයි. පෙළ දහමෙහි මේ තත්වය විස්තර කරන්නේ බුද්ධිමත් පිරිස්” කිං සච්ච ගවේසී” ව සැරි සැරූ බවය. ඊශ්වර නිර්මාණවාදය, පුබ්බේකත හේතු වාදය, අහේතු අප්පච්චය වාදය, ආත්ම වාදය වැනි විවිධ මත වාදයන් ඉදිරිපත් කරමින් විශ්වයේත්, සත්වයාගේත් අග මුල සොයන්නට යත්න දැරූ විවිධ ආගමික කණ්ඩායම් නිසා, ක්‍රිස්තු පූර්ව හයවැනි සියවස වන විට භාරතයෙහි පැවැති ප්‍රධාන මාතෘකාව වූයේ ද සැබෑ විමුක්තිය යනු කුමක් ද? එය ළඟා කරගත හැක්කේ කෙසේ ද යන්නය. බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වන අන්දමට, ඒ වන විට දර්ශන වාද හැට දෙකක් භාරතයෙහි විද්‍යාමාන විය. එහෙත් ඒ සියල්ල සැබෑ විමුක්ති මාර්‍ගය හෙළි නොකළ සාවද්‍ය මත වාදයන් නිසා බුදු දහම ඒවා හඳුන්වා ඇත්තේ “දෙසැටක් මිථ්‍යා දෘෂ්ටි” යන පොදු නමිනි.

ශාස්වත, උච්ඡේද දෘෂ්ටි ගණයට අයත් වන මේ දර්ශන වාද පිළිගත් කණ්ඩායම්, විමුක්තිය උදෙසා විවිධ මාර්ග අනුගමනය කළහ. ඒවා පිළිබඳ විස්තරයක් මෙහි දී ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා නොකෙරේ.

බුදුරජාණන් වහන්සේ ලොව පහළ වන විට, බමුණු දහමට අමතරව, නිඝණ්ඨ නාත පුත්ත, මක්ඛලී ගෝසාල, අජිත කේස කම්බල, සංජය බෙල්ලට්ඨි පුත්ත, පකුධ කච්චායන, පූරණ කාශ්‍යප යන ෂට් ශාස්තෘවරුන්ගේ ඉගැන්වීම් පිළිගත් විශාල පිරිසක් ද, සුනඛ ව්‍රත, අජ ව්‍රත, ගෝ ව්‍රත වැනි ඉතා කටුක ව්‍රත පුරමින් විමුක්තිය සෙවීමට උත්සාහ කළ ආජීවක, පරිබ‍්‍රාජක, ජටිල, තාපස, ශ්‍රමණ වැනි ආගමික පිරිස් ද භාරතය පුරා විසිරී සිටියහ. මේ පසුබිම තුළ ඉස්මතු වී පෙනෙන්නට වූයේ තම අනුගාමික පිරිස වැඩි කර ගැනීමේ තරගයක් විනා විශ්වයත්, සත්වයාත් පිළිබඳ සත්‍යය ඒ එකද කණ්ඩායමක් විසින්වත් අවබෝධ කරගෙන නොසිටි බවය. සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදුවන්නේ මෙවැනි සංකීර්ණ ආගමික වාතාවරණයක් පැවැති වකවානුවක දී ය.

සිද්ධාර්ථ කුමාර චරිතය, උත්පත්තියේ සිට ම ආශ්චර්යමත් සංසිද්ධීන්ගෙන් පිරුණු එකකි. සුද්ධෝදන රජතුමාට දාව, මහාමායා බිසෝ කුසින් උපන් සිදුහත් කුමාරයා බිළිඳු අවධියේ සිට ම අනාගත මහා පුරුෂයකුගේ ලක්‍ෂණ පෙන්නුම් කළේය. බුද්ධ චරිතයෙහි විස්තර වන අන්දමට රාජ කුමාරයකු ලෙස කාමභෝගී දිවියක් ගත කළ ද, සතර පෙරනිමිති දැකීම තුළින් ජීවිතයේ යථාර්ථය අවබෝධ කර ගැනීම නිසා වයස 29 දී සියලු රාජකීය උරුමයන් හා සැප සම්පත් හැර පියා පැවිදි වන්නේ සැබෑ විමුක්තිය ශාක්සාත් කර ගැනීමේ චේතනාවෙනි. සාරාසංඛ්‍ය අසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පාරමිතා පුරමින් එතුමා සසර සැරිසැරුයේ ද ඒ උතුම් අරමුණෙන් බව බෞද්ධ සාහිත්‍යයෙන් පෙනේ. ඒ වන විට භාරතයේ ශ්‍රේෂ්ඨ තපස්වීන් ලෙස සැලකුණු ආලාරකාලාම, උද්දකරාමපුත්‍ර වැනි පුද්ගලයන් ඇසුරු කිරීමෙන් වුවද තම අභිලාශය සපුරා ගත නොහැකි බව ප්‍රත්‍යක්‍ෂ කරගත් සිදුහත් තවුසාණෝ, සැබෑ විමුක්ති මාර්ගය අවබෝධ කර ගැනීම සඳහා ස්වාධීන මාර්‍ගයක් අනුගමනය කර මින් වසර හයක් පුරා දුෂ්කර ක්‍රියාවෙහි යෙදෙති. ඒ වන විට, විමුක්තිය ලබා ගැනීම සඳහා භාවිතයෙහි පැවැති කම් සුව විඳීම හා ශරීරයට දුක් දීම යන මාර්ග දෙක අත්හදා බැලීමෙන් ඒවායේ නිස්සාරත්වය ප්‍රත්‍යක්‍ෂ වීම නිසා, ඒ දෙමග ම බැහැර ලා මධ්‍යම ප්‍රතිපදාවෙහි ගමන් කිරීමෙන් සර්වඥතා ඤාණය ලබා සම්මා සම්බුද්ධත්වයට පත් ව, එතෙක් ලොව කිසිදු ශාස්තෘවරයකු විසින් ඉදිරිපත් නොකළ ස්වාක්ඛාත වූ සංදිට්ඨික වූ, අකාලික වූ ඒහි පස්සික වූ ඕපනයික වූ පච්චත්තං වේදිතබ්බ වූ නෛර්යාණික ධර්මය ලෝක සත්වයා හමුවේ තබන්නට සමත් වෙති. ධම්ම චක්ක පවත්තන සූත්‍රය යනු ඒ විශිෂ්ට ධර්ම මාර්ගයෙහි සාරාංශය යි.

අද වැනි ඇසළ පුන් පොහෝ දිනක, බරණැස ඉසිපතනාරාමයේ දී පස්වග මහණුන් උදෙසා දේශනා කරන ලද්දේ ඒ උතුම් ධර්ම මාර්ගය යි.

ධම්මචක්ක පවත්තන සූත්‍රයෙහි අන්තර්ගත ධර්මමය කාරණා මොනවාදැයි මීළඟට විමසා බලමු. සූත්‍රය ආරම්භ වන්නේ “ද්වේ මේ භික්ඛවේ අන්තා පබ්බජිතේන න සේවිතබ්බා” යනුවෙනි. එහි තේරුම “ මහණෙනි පැවිද්දකු විසින් අත්හළ යුතු අන්ත දෙකක් තිබේ” යනුයි.

“යෝ චායං කාමේසු කාම සුඛල්ලිකානුයෝගෝ හීනෝ, ගම්මෝ, පෝථුජ්ජනිකෝ අනරියෝ අනත්ථ සංහිතෝ යෝ චායං අත්තකිලමථානුයෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්‍ථ සංහිතෝ”

මේ පාඨයෙන් විස්තර වන්නේ අත්හළ යුතු අන්ත දෙක කවරේද යන්නයි. ලාමක වූ ග්‍රාම්‍ය වූ පෘථග්ජනයන්ට පමණක් අයත් වූ, අනාර්ය වූ, අවැඩ පිණිස ම හේතුවන්නා වූ කාම වස්තූන් කෙරෙහි ඇලී ගැලී සිටීම නම් වූ “කාම සුඛල්ලිකානු යෝගයත්” අවැඩ පිණිසම හේතුවන්නාවූ අනාර්ය වූ ශරීරයට දැඩි ලෙස දුක් පැමිණවීම නම් වූ “අත්තකිලමථානු යෝගයත්” පැවිද්දන් විසින් අත්හළ යුතු වූ අන්ත දෙක වන්නේය.

මෙහිදී කාම යන්නෙන් අදහස් කෙරෙන්නේ සත්වයා තුළ පවත්නා වස්තු කාමයත්, ක්ලේශ කාමයත් යන දෙකය. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන කාම වස්තූන් කෙරෙහි ඇලීම වස්තු කාමය නම් වේ. තවත් පැහැදිලි කරතොත් සත්වයා විසින් තෘෂ්ණාවෙන් පිළිගනු ලබන්නා වූ ධන – ධාන්‍ය, ස්ත්‍රී - පුරුෂ ආදී සියලු ම සවිඤ්ඤාණක හා අවිඤ්ඤාණක වස්තූන් කෙරෙහි ඇලීම වස්තු කාම නම් වේ. ඒ වස්තුන් කෙරෙහි ඇති වන්නා වූ තෘෂ්ණාව, ආශාව ක්ලේශ කාමය යි. ඒ අනුව මේ දෙයාකාර වූ කාමයන් කෙරෙහි දැඩිව ඇලී ගැලී වෙලී සිටීම කාමසුඛල්ලිකානු යෝගය නමින් මෙහි දී හඳුන්වා තිබේ.

ශරීරය ක්ලාන්ත බවට, වෙහෙසට පත් කරන කටුක දුක් පීඩා ගෙනදෙන මිථ්‍යා ව්‍රතයන් හි හා මිථ්‍යා ප්‍රතිපදාවන්හි නැවත නැවත යෙදෙමින් එහි එල්බ ගෙන සිටීම “අත්තකිලමථානුයෝගය හැටියට මෙහි දී අදහස් කර තිබේ. මේ අන්ත දෙකම නිර්වාණාධිගමයට බාධකයෝ වෙති. ඒවා අනුගමනය කිරීම, පෘථග්ජන අනාර්යයන්ට මිස නික්ලේශී ආර්යයන්ට උචිත නොවේ.

තත්කාලීන ඉන්දීය සමාජයේ විසූ බොහෝ පිරිස්, විමුක්තිය ලබා ගැනීමේ අපේක්‍ෂාවෙන් ශරීරයට දැඩි ලෙස දුක් පීඩා ගෙන දෙන ඉතා කටුක ව්‍රතයන්හි යෙදී සිටියහ. උදාහරණයක් ලෙස පංචතාපය නමින් හඳුන්වන ලද්දේ අතිශය වේදනාකාරී අත්තකිලමථානුයෝගයකි. නිරාවරණ වූ පොළොව මත උඩුබැලි අතට දිගා වී හිස, දෙපතුල්, දෑල යන ස්ථාන සතරෙහි ගිනි ;ගාඩවල් සතරක් ගසා ගෙන, දැඩි සූර්ය රශ්මියට ද නිරාවරණය වෙමින් පස් විදියකින් ශරීරය තැවීම පංචතාපය යි. එම දුෂ්කර ව්‍රතයෙහි යෙදුණවුන් විශ්වාස කළේ ඒ අන්දමින් සන්තානගත කෙළෙස් තවා දුරු කරගත හැකි බවය. කෙළෙස් තැවීම සඳහා භාවිත කරන ලද විවිධ දුෂ්කර ව්‍රතයන් රාශියක් පිළිබඳ විස්තර ත්‍රිපිටකයේ කොතෙකුත් දකින්නට ලැබේ.

අධික ලෙස කම් සැප විඳීමෙන් පුද්ගලයාගේ චිත්ත සන්තානය දූෂිත වෙයි. එවැන්නෙකුට ලෝකෝත්තර නිර්වාණය පිළිබඳව තබා ලෝකයේ හොඳ – නරක, පින් – පව්, යහපත – අයහපත පිළිබඳව පවා සිහි එළවා ගත නොහේ. ඔහුට කිසිදු මානසික විවේකයක් හෝ මානසික ඒකාග්‍රතාවයක් ඇතිවන්නේ නැත. ඔහුගේ දෑස් කෙළෙසුන්ගෙන් අන්ධය. මෝහයෙන් මුළා වීම නිසා ප්‍රඥාව හට ගැනීමට අවකාශයක් නොමැත. කාම සුඛල්ලිකානු යෝගය නිර්වාණාධිගමයට පටහැනි වන්නේ එබැවිනි. අත්තකිලමථානුයෝගය, පුද්ගලයාගේ ප්‍රකෘති සිහි කල්පනාව නසන මගකි. දැඩි දුක් විඳීන්නකු තුළ මානසික ඒකාග්‍රතාවක් කෙසේවත් හට ගන්නේ නැත. මානසික ඒකාග්‍රතාවක් නැති කල්හි නිර්වාණාවබෝධයට තබා ධර්මාවබෝධයටවත් සිත නැඹුරු කරගත නොහේ.

බුදුරජාණන් වහන්සේ මේ අන්ත දෙක අත්හළ යුතුයැයි වදාළේ තමන් වහන්සේ විසින් ප්‍රත්‍යක්‍ෂයෙන් ම එහි නිස්සාරත්වය අවබෝධ කරගත් නිසාය.

මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද ඒ මධ්‍යම ප්‍රතිපදාව, ප්‍රඥා ඇස ඇති කරයි. නුවණැස ඇති කරයි. කෙලෙස් සංසිඳීමට චතුරාර්ය සත්‍ය අවබෝධයට නිර්වාණාවබෝධයට හේතු වෙයි. ඒ මෙම ආර්ය අෂ්ටාංගික මාර්ගයමය.

බුදුරජාණන් වහන්සේ, ඒකායන විමුක්ති මාර්ගය ලෙස ඉදිරිපත් කරන්නේ මධ්‍යම ප්‍රතිපදාව හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. යට සඳහන් කළ අන්ත දෙක අත්හැර නිර්වාණාවබෝධය සඳහා අනුගමනය කළ මැදි පිළිවෙත යන අර්ථයෙන් මජ්ඣිම ප්‍රතිපදාව නමින් ද, බුදු – පසේ බුදු – මහ රහත් යන ආර්යයන් වහන්සේ ලා විසින් අනුගමනය කළ අංග අටකින් යුත් උතුම් මාර්ගය යන අරුතින් ආර්ය අෂ්ටාංගික මාර්ගය නමින් ද හඳුන්වන මේ ප්‍රතිපදාව අංග අටකින් සමන්විත වේ. ඒ අංග අට මෙසේ ය.

1. සම්මා දිට්ඨි ( නිවැරදි දැක්ම )
2. සම්මා සංකප්ප ( නිවැරදි සංකල්පනය )
3. සම්මා වාචා ( නිවැරදි වචනය )
4. සම්මා කම්මන්ත ( නිවැරදි කර්මාන්තය )
5. සම්මා ආජීව ( නිවැරදි දිවි පැවැත්ම )
6. සම්මා වායාම ( නිවැරදි ව්‍යායාමය )
7. සම්මා සති ( නිවැරදි සිහිය )
8. සම්මා සමාධි ( නිවැරදි චිත්ත ඒකාග්‍රතාව )

ආර්ය අෂ්ටාංගික මාර්ගයට අයත් අංග අට පිළිබඳව ඉහත දැක්වෙන අන්දමට සරල අරුත් දැක්වුවද ධර්මය වශයෙන් එය ඉතා ගැඹුරු ද විස්තීර්ණ ද වෙයි. ඒ නිසා එක් එක් අංගයක් පිළිබඳව සම්පූර්ණ විස්තරයක් වෙනුවට සංක්‍ෂිප්ත පැහැදිලි කිරීමක් පමණක් කිරීමට අදහස් කරමි.

සම්මා දිට්ඨිය යනු, දුක්ඛ, සමුදය, නිරෝධ මාර්ග යන චතුස්සත්‍යාවබෝධයට පිළිපන් තැනැත්තාගේ අවිද්‍යානුශය නැති කරන්නා වු, විද්‍යා නම් වූ ප්‍රඥා චෛතසිකය සම්මා දිට්ඨි නම් වෙයි. එය කම්මස්ස කතා සම්මා දිට්ඨි, චතු සච්ච සම්මාදිට්ඨි, විපස්සනා සම්මා දිට්ඨි, ඣාන සම්මා දිට්ඨි, මග්ග සම්මා දිට්ඨි, ඵල සම්මා දිට්ඨි යනුවෙන් සයාකාර වේ. ඊට අමතර ව ලෞකික, ලෝකෝත්තර වශයෙන් ද සම්මා දිට්ඨිය දෙවැදෑරුම් වන බව දැක්වේ. සම්මා දිට්ඨිය නැති කිසිවකුහටත් සසරින් නිදහස් වීමට හෝ සසර දුක් කෙළවර කිරීමට හෝ නොහැකි වන අතර, ඉතිරි මාර්ග අංග අට වැඩීමට ද නොහැකිය. ඉන් අදහස් වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පදනම සම්මා දිට්ඨිය බවයි.

නිවැරදි කල්පනාව සම්මා සංකප්ප නම් වේ. එය, නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා වශයෙන් තෙවදෑරුම් ය. සියලු කාමයන් පිළිකුල් ලෙස සලකා ඉන් වෙන් ව විසීමේ කල්පනාව නෙක්ඛම්ම සංකප්ප නමි. ක්‍රෝධ කිරීමේ විපාක සලකා ඉන් වෙන් ව සියලු සත්වයන් වෙත මෛත්‍රිය, කරුණාව දැක්වීමේ කල්පනාව අව්‍යාපාද සංකප්පය යි. හිංසා පීඩා කිරීමේ ආදීනව සලකා කරුණා සහගත කල්පනාව ඇති කර ගැනීම අවිහිංසා සංකප්පය යි.

බොරු කීම, කේළාම් කීම, හිස් වචන කථා කිරීම හා ඵරුස වචන කීම යන චතුර්විධ වූ වාග් දුෂ්චරිතයෙන් වැළකී චතුර්විධ වූ වාග් සුචරිතයෙහි යෙදීම සම්මා වාචා නම් වෙයි.

සම්මා කම්මන්ත යනු, ත්‍රිවිධ කාය දුශ්චරිතයෙන් වැළකී ත්‍රිවිධ කාය සුචරිතයෙහි යෙදීමයි.

චතුර්විධ වාග් දුශ්චරිතයෙන් හා ත්‍රිවිධ කාය දුශ්චරිතයෙන් ද, පංච විධ වැරදි වෙළඳාම්වලින් ද වෙන් ව දැහැමින් දිවි පැවැත්ම ගොඩ නගා ගැනීම සම්මා ආජීව නමින් දැක්වේ. සතර සම්‍යක් ප්‍රධාන වීර්යය උපදවා ගැනීම සම්මා වායාමය යි.

සම්මා සතිය නම් කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා යන සතර සතිපට්ඨානයෙන් යුක්ත වීමය. චිත්ත චෛතසිකයන් විවිධ වූ අරමුණු කෙරෙහි විසිර යා නොදී එක අරමුණක සිත තැන්පත් කරන ස්වභාවයෙන් යුත්, මිථ්‍යා සමාධිය නැති කරන ඒකග්ගතා චෛතසිකය සම්මා සමාධිය යි.

ආය¸ අෂ්ටාංගික මාර්ගය භාවේ තබ්බ වශයෙන් ඒක විධ වන අතර, සමථ විදස්සනා වශයෙන් ද්විධය, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප යන දෙක අයත් වන්නේ විදශ¡නාවට ය. ඉතිරි මාර්‍ග අංග හය සමථයට අයත් වේ. සීල - සමාධි – පඤ්ඤා වශයෙන් ත්‍රිවිධ වන මේ අංග අට, සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් යන මාර්‍ග වශයෙන් චතුර්විධ ද, පඤ්ඤා, විතක්ක, විරති, විරිය, සති, ඒකග්ගතා වශයෙන් ෂඩ්විධ ද වන්නේය.

ආය¸ අෂ්ටාංගික මාර්‍ගයට සුපිළිපන් තැනැත්තා චතුරාය¸ සත්‍යය අවබෝධ කර ගන්නා බව මේ සූත්‍රයෙන් විස්තර කෙරේ. ඒ සතර නම්, දුක්ඛ සත්‍යය, සමුදය සත්‍යය, නිරෝධ සත්‍යය සහ මාර්ග සත්‍යය යි.

සංසාරය දුකය. සංසාර ගමන දුක් සහිතය. මේ බව විස්තර වන්නේ මෙසේය.

(ඉපදීම, ජරාවට පත්වීම, රෝගීවීම හා මරණය දුකය. අප්‍රියයන් හා එක්වීමත්, ප්‍රියයන්ගෙන් වෙන් වීමත් දුකය, කැමැති දෑ නොලැබීම ද දුකය. සැකෙවින් කියතොත් – රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන පංච උපාදානස්කන්ධයම දුක් සහිතය. )

මේ පිළිබඳ යථාවබෝධය ලැබීම දුක්ඛ ආර්ය සත්‍යය නම් වේ.

( මහණෙනි! යම් තෘෂ්ණාවක් පුනර්භවය ඇති කෙරේද, නන්දි රාගයෙන් යුතු වේද, ඒ ඒ භවයෙහි ආශාව ඇති කෙරේද, කාම තණ්හා, භව තණ්හා විභව තණ්හා නම් වූ එම තෘෂ්ණාව දුක්ඛ සමුදය නම් වෙයි.)

සමුදය යන්නෙහි තේරුම “හේතුව” යනුයි. ඒ අනුව සමුදය සත්‍යයෙන් පැහැදිලි කර දෙන්නේ දුක් ඇතිවීමට හේතුවයි. ඊට හේතුව තෘෂ්ණාව බව මෙම සූත්‍රයෙන් අවධාරණය කෙරේ.

පංච කාම වස්තූන් කෙරෙහි ඇල්ම කාම තණ්හා නමින් ද, රූප අරූප භවයන් පිළිබඳව සත්වයා සදාකාලිකයැ යි ඇතිවන ශාස්වත දෘෂ්ටිය සමඟ උපදින ආශාව භව තණ්හාවයි.

මරණින් මතු පුනර්භවයක් නැතැයි ද ඒ නිසා සත්වයා උච්ඡේදයට යතැයි ද සිතීමෙන් හටගන්නා උච්ඡේද දෘෂ්ටිය සමග උපදනා ආශාව විභව තණ්හා නම් වෙයි.

මේ ත්‍රිවිධ තණ්හාවෙන් ම සිදුවන්නේ නැවත නැවත ඉපදෙමින් සංසාර ගමන දීර්ඝවීමය. ඉපදීමත් සමඟ දුක අත්වැල් බැඳ ගන්නා බැවින් දුක ඇතිවීමට හේතුව තෘෂ්ණාව බව පෙන්වා දී තිබේ.

දුඞඛ නිරෝධ ආය¸ සත්‍යය යනු ඉහත විස්තර කළ දුකෙහි නිරෝධය හෙවත් නැවැත්මය. යමක් පවතී නම් එහි නැවතීමක් තිබිය යුතුය. දුක යනු ලොව පවත්නා දෙයකි. හේතු ප්‍රත්‍ය න්‍යායය අනුව එහි නැවැත්මක් තිබීම අනිවාර්ය ස්වභාවයකි. දුක්ඛ නිරෝධ ආය¸ සත්‍යය නමින් ඉදිරිපත් කර ඇත්තේ එයයි.

තෘෂ්ණාවගේ අසේස විරාග නිරෝධයෙක් වේද යම් දුරු කිරීමක්, බැහැර කිරීමක්, මිදීමක්, නො ඇලීමක් වේද ඒ තෘෂ්ණා නිරෝධ සංඛ්‍යාත වූ නිර්වාණය නිරෝධාර්ය සත්‍යය යි.

මාර්‍ග සත්‍යය යනු ඉහත විස්තර කළ ආය¸ අෂ්ටාංගික මාර්ගය යි. තෘෂ්ණාව ක්‍ෂය කිරීමෙන් නිර්වාණ නම් වූ දුඞඛ නිරෝධය ලැබිය හැක්කේ ආය¸ අෂ්ටාංගික මාර්ගය නම් වූ මාර්ග සත්‍යය අවබෝධ කර ගැනීමෙනි.

මෙම චතුරාර්ය සත්‍යය සත්‍ය, කෘත්‍ය, කෘත වශයෙන් ත්‍රිවිධාකාර ද ඒ අනුව ම ද්වාදසාකාර ද වෙයි.

මහණෙනි, යම් තැනක පටන් ත්‍රිපරිවෘත්තයක් හා ද්වාදසාකාරයක් ඇති මේ චතුරාර්ය සත්‍යයන් පිළිබඳ යථාභූත ඤාණ දර්ශනය මට ඉතාම පිරිසුදු ලෙස පැහැදිලි විය.

මෙම සූත්‍රයෙන් අවධාරණය කෙරෙන පරිදි චතුරාය¸ සත්‍යය පිළිබඳ යථාභූත ඤාණ දර්ශනය පහළ වන තුරු තමා සම්මා සම්බෝධියට පත්වූ බව ප්‍රකාශ නොකළ බව ද, තමා සම්මා සම්බෝධියට පත් වූ බව ප්‍රකාශ කළේ චතුරාර්ය සත්‍යය පිළිබඳ යථාභූත ඤාණ දර්ශනය පහළ වීමෙන් පසුව බව ද බුදු රජාණන් වහන්සේ පැහැදිලි කර තිබේ.

ඉහත සඳහ් “තිපරිවට්ටය” හා ද්වාදසාකාරය පිළිබඳව ද යම් වැටහීමක් ලබා ගත යුතුය. එක් එක් සත්‍යයක් සත්‍ය, කෘත්‍ය, කෘත යනුවෙන් ත්‍රිවිධාකාරය. මේ දුඞඛ සත්‍යය ය, මේ සමුදය සත්‍යය ය, මේ නිරෝධ සත්‍යය ය, මේ දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා සත්‍යය ය යනු විසින් චතුරාර්ය සත්‍යය තත්වාකාරයෙන් දැන ගන්නා ප්‍රඥාව සත්‍ය ඤාණ නම් වෙයි.

දුඞඛ සත්‍යය පිරිසිඳ දත යුතුය, සමුදය සත්‍යය ප්‍රහීණ කළ යුතුය. නිරෝධ සත්‍යය ප්‍රත්‍යක්‍ෂ කටයුතුය, මාර්ග සත්‍යය වැඩිය යුතුය යනු විසින් චතුරාර්ය සත්‍යය පිළිබඳ ව කළ යුතු දේ ( කෘත්‍යය ) පිළිබඳව දන්නා නුවණ කෘත්‍ය ඤාණය යි.

කෘත ඤාණය යනු, චතුරාර්ය සත්‍යයන් පිළිබඳ ව කළයුතු කෘත්‍යයන් කළ බව දන්නා ප්‍රඥාවයි.

ආය¸ සත්‍යයෙහි “තිපරිවට්ටය” යනු එයයි.

එක් එක් සත්‍යයක් මේ ත්‍රිවිධ ඤාණයෙන් සමන්විත වන බැවින් එයින් ගුණ වීමෙන් චතුරාර්ය සත්‍යය “ද්වාදසාකාර” වන්නේය.

මේ ධර්ම දේශනයට සවන් දුන් පස්වග තවුසන් අතරින් කොණ්ඩඤ්ඤ තවුසා මාර්ග - ඵල අවබෝධ කළ බව සූත්‍රාවසානයෙහි දැක්වේ. ඒ අනුව බුදුරජාණන් වහන්සේ ලොවට හෙළි කළ නෛර්යාණික ධර්ම මාර්ගයෙන් ඵල නෙළාගත් ප්‍රථම ශ්‍රාවකයා වන්නේ කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේ ය.

බුදුරජාණන් වහන්සේ වසර හතළිස් පහක් පුරා ම විවිධ විස්තර සහිතව ලෝක සත්වයාට දේශනා කළේ ධම්ම චක්ක පවත්තන සූත්‍රයෙන් ප්‍රථම වරට හෙළි කළ ධර්ම මාර්‍ගය යි. එසේ කල්පනා කරන විට ධම්ම චක්ක පවත්තන සූත්‍රය විස්තරාත්මක හරිහැටි අවබෝධ කර ගැනීම යනු සමස්ත ත්‍රිපිටක ධර්මය ම අවබෝධ කර ගැනීම වැනිය.

නිබ්බාණ පච්චයෝ හෝතු !

 


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.