Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ප්‍රශ්නය
මජ්ඣිම නිකායේ ‘කෝසම්බි ‘ සූත්‍ර දේශනාවට අනුව සපයාගත් දෙය කෙතරම් දැහැමි වුවද සමාජ යහපැවැත්ම සඳහා සහජීවනය අරමුණු කොටගෙන ධනය බෙදා හදා ගත යුතුවේ.අවම වශයෙන් තම පාත්‍රයට ලැබුණු සුළු දෙය වුවද බෙදා හදා නොගෙන නොවැළඳිය යුතු බව දැඩි ලෙස ම අවධාරණය කොට ඇත. පෙළ දහමට අනුව “චාග” සම්පත්ති සිව් සඟරාවතින් (චතුස්ස ගහ වත්ථු)දානය පළමුවැන්නෙන් අවධාරණය කළේ ඒ නිසයි. සමාජ සාධරණී කරනය සඳහාද බුදුදහම දානය අවශ්‍යම අංගයක් වශයෙන් සලකා තමා වෙතින් අනෙක් අයට හෙවත් “එකා සැමටත් සැම දෙනාටත්” යන තේමාව ඔස්සේ (පරිත්‍යාග) චාග සම්පත්තිය අත්‍යවශ්‍ය අංගයක් විය යුතු බව පැහැදිලි කරන්න.

පිළිතුර
පෙළ දහමට අනුව ප්‍රධාන හේතු දෙකක් නිසා “දන්දීම “ අවධාරණය කර තිබෙන බව පැහැදිලිවේ. ඉන් පළමුවැන්න පුද්ගලයා සමාජ සත්වයෙකු ලෙස සැලකීමයි.අනෙක පුද්ගලයෙකුගේ පරිත්‍යාගශීලි බව සමාජ ප්‍රගතියට බෙහෙවින් හේතු සාධකයක් වන බවයි. පුද්ගල හා සමාජගත දුකට ප්‍රධාන හේතුව තෘෂ්ණාව බව බුදුරදුන් වදාළහ. තෘෂ්ණාව නිසා අයත් කර ගැනීම රැස්කිරීම පැහැර ගැනීම මගේ බවට පමුණුවාගැනීම. මමත්වය ගොඩනැගීම එමගින් (සක්කාය දිට්ඨි) හෙවත් ආත්මීය මානයක් ගොඩනගා ගැනීම ආදිය සිදුවෙයි.

මෙම මිථ්‍යා දෘෂ්ටිය පුද්ගල සන්තානය තුළින් ඉවත් කිරීමට ප්‍රතිපක්ෂ ධර්මයක් පුහුණු කළ යුතුයි. මෙසේ ලෝභය රාගය, තෘෂ්ණාව ප්‍රහීණ කිරීමට පරිත්‍යාගය අනුගමනය කළ හැකි ඵලදායි මාර්ගය වෙයි.

අත්හැර දැමීමේ සංකල්පය ‘නෙක්ඛම්ම’ නමින් හැඳින්වෙයි. ආධ්‍යාත්මික දියුණුව සැලසීමේ අඩිතාලම එයින් දැමෙයි. සිව් සඟරාවතින් වඩාත් අවධාරණය කර ඇත්තේ දන් දීමෙහි (පරිත්‍යාගයෙහි) සමාජමය අරුතයි. සමාජයේ යහපැවැත්ම මෙන්ම සත්ගුණවත් භාවයට පරිත්‍යාගය අත්‍යවශ්‍ය වෙයි. නොදීමෙන් තැන්තැන්වල එක්රැස්වීමට පටන් ගැනේ. එවිට වෙනත් තැනක හිදැසුත් (ඉඩක්) අවකාශයක් (අඩුවක්) ඇතිවෙයි. සමාජය තුළ සමතුලනය (සමසේ බෙදීයාම) නැතිවේ. සම්පත් සූරාකෑමකට ලක්වේ. එවිට සම්පත් හිඟයකට හා විනාශයකට මුහුණපෑමට සිදුවේ.


ප්‍රශ්නය
පුද්ගලයෙකු උපයාගත් ධනය ධාර්මික වන්නේ උට්ඨාන විරියාධිගත” යන බෞද්ධ සංකල්පය නිසා බව බුදු දහම අවධාරණය කරයි. “උට්ඨානවීර්ය” පිළිබඳ හඳුනාගැනීම සඳහා ව්‍යග්ඝපජ්ජ සූත්‍රාගත උට්ඨාන සම්පදා” යන්න පැහැදිලි කරන්න.

පිළිතුර
ව්‍යාඝ්‍රපදය “උට්ඨාන වීර්ය” කවරේද? කුලපුත්‍රයා විසින් කෘෂිකර්මයෙන්, වෙළදාමෙන්, ගවපාලනයෙන්, දුනුශිල්පයෙන් , රාජ්‍ය සේවයෙන් හෝ වෙනත් උගත් ශිල්පයකින් කර්මාන්ත කර ජීවිකාව කෙරේද? හෙතෙම එහි දක්ෂ වෙයි. අලස නොවෙයි. එහි උපාය විමසා කළමණාකරනය කරයි. සූත්‍රාගත භාවිතයන්ම සටහන් කළොත් මෙහිදී සලකා බැලෙන කරුණු පහක් සලකා බැලේ. 1.දක්ඛො (දක්ෂවීම 2. අනලසො (අලස නොවීම) 3. තත්තෘපාය වීමංසාය සමන්නාගතො (උපාය විමසන සුළුවීම) 4. (තමන් එම කාර්ය කිරීමට හැකියාවක් ඇත්තකු වීම) අලංකාතුං 5. අලං සං විධාතුං (සංවිධානයට හෙවත් අනුන් ලවා එය කරවීමට සමත්කම යනුවෙනි.


ප්‍රශ්නය
අනුට්ඨානය (උත්සාහවත් නොවීම) ආලස්්‍යය අලසකම, ගර්හාවට ලක්කරන බුදු දහම මිනිසා ක්‍රියාවට පොළොඹවන බෞද්ධ ආකල්පය සූත්‍රාගත දේශනා වලින් පැහැදිලි කරන්න.

පිළිතුර
අං.නි. අට්ඨක නිපාත කුසිතාරම්භ වත්ථු, සූත්‍රාගත දේශනා බෙහෙවින් ආධාරක වෙයි. ඒ අනුව කුසිතාරම්භ වත්ථු අට වශයෙන් කරුණු අටක් මෙසේ දක්වා ඇත.

මිනිසෙකු යම් කිසි ශ්‍රමය වැය කරන ක්‍රියාවකදී මට මෙම කටයුත්ත ශරීරයට වෙහෙස කරයි. එම නිසා වෙහෙස නිවාගැනීම සඳහා නිදාගනිමි.

එසේ වූ ඔහුට ලබාගත හැකි කිසියම් ලාභයකට හිමිකරු නොවී කිසිදු අභිවෘද්ධියකට හිමිකමක් නොලබයි. එසේම මම කළ කටයුත්තෙන් වෙහෙසට පත් වූයෙමි.

යායුතු ගමනක් එය වෙහෙස කරයි

ගමනක් ගියෙමි, එය වෙහෙස කරයි.

ආහාර පාන ප්‍රමාණවත්ව නොලැබීමි. ඒ නිසා මගේ ශරීරයට ශක්තිය නැත.

ආහාරපාන අසීමිතව ගැනීම නිසා ස්ථූල ගතියෙන් සිරුරට වෙහෙසක් දැනෙන නිසා කටයුතු ඉදිරියට ගෙන යා නොහැකිය.

සුලු අසනීපයක් ඇත. එය වැඩකිරීමෙන් අසාධ්‍ය විය හැක. ඒ නිසා උත්සාහය අත්හරියි. ශ්‍රමාභිමානය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉදිරිපත් කරන මෙම සූත්‍රය උද්යෝගිමත් මිනිසෙකු නිර්මාණය කිරීම සඳහා කරුණු සටහන් වී ඇත.

1. ඉදිරියට කරන්නට ඇති කටයුතු ගැන සිතා දැන් කළ යුතුදේ දැන්ම කරන්න.

2. කටයුත්තක් කර අවසන් වූවිට එය අවසන් කළා යැයි නොසිතා ඒ ක්‍රියාව කළ කාලය තුළ අතපසු වූ වැඩක් ඇත්දැයි සොයා බලා එය ද කරන්න.

3. ගමනක් යාමට අවශ්‍ය වූ විට නියමිත කටයුත්ත නිමාව දැක යන්න. අසංවිධිත කාර්යක් සේ කටයුතු නොකරන්න.

4. නිරතුරුව කළ යුත්ත මග හැරුණු තැන් පිළිබඳව ආපසු බලන්න.

5. ආත්ම සුඛ විහරණය දෙවැනිව සිතා පළමුව ආරම්භ කළ කටයුත්තෙහි නිමාව දකින්න.

6. ප්‍රමාණවත් ආහාර ගැනීම කටයුත්ත නිමාව සඳහා පමණක් සිතා ආහාර ගන්න.

7. මඳ ගිලන් බව උකටලීවීමට හේතුවක් කර නොගෙන හැකිතාක් උත්සාහවත් වන්න.

8. රෝගී බව හැකිතාක් මානසික රෝගයක් බවට පත් නොකොට ආරම්භ කළ කාර්යය අවසාන කරන්න.


ප්‍රශ්නය
මහා මංගල සූත්‍රයෙහි “සුභාසිත වාචා” යනුවෙන් සඳහන් වන මංගල කරුණ පිළිබඳව පැහැදිලි කරන්න.

පිළිතුර
සු + භාසිත යන පදදෙක එක්ව සැදුන පදයකි. ‘සු’ යන උපසර්ග පදය යහපත් වඩා හොඳ යන අර්ථය ගෙන දෙයි. ‘භාසිත.’ කියන ලද අර්ථය ගෙන දෙන අතීත කෘදන්තයෙකි. ඒ අනුව යහපත ගෙනදෙන වචන සුභාසිත වාචා නම් වෙයි. ත්‍රිපිටක බුද්ධ වචනය සුභාසිත වචනය බව. අටුවා චාරීන් වහන්සේලා නිරතුරුව සඳහන් කරයි. වචනයෙහි සුභාසිත ගුණය රඳා පැවැත්මට හේතුකාරණා පෙළ දහමෙයි දක්නට ඇත. පළමුවැන්න ‘කාලෙන භාසිතං’ තැනට පුද්ගලයාට සුදුසු වචන කථා කිරීමයි. දෙවැන්න වචනයේ හෘදයංගම බව හෙවත් සත්‍යවාදී බවයි. රළු නොවන මෘදු මොලොක් වචන භාවිතය තෙවැන්නයි. සතරවැන්න හරාත්මක හෙවත් මෙලොව පරලොව දෙකට යහපත් වන වචනයයි. පස්වැන්න තමන් හා අන්‍යයන්ට අමිහිරි අවැඩදායක වචනවලින් බැහැරව මෙත් සිත් පෙරටු වූ භාවිත වචනයයි. එබදු වචන තමෙව වාචං භාසෙය්‍ය යා යත්තාහං න තාපනං පරෙචන විහිංසෙය්‍ය යා වාචා සුභාසිතං යනුවෙන් පැහැදිලි කැරේ.


ප්‍රශ්නය
දානමය පුණ්‍ය කර්මයක අවසානයෙහි (භුත්නානුමෝදනාව) කළ පින් කමෙහි ඵල වශයෙන් ‘ආයුරාරෝග්‍ය සම්පත්ති ආදි වශයෙන් සම්පත් බොහොමයක් ලබන්නට දායක පිරිසට අනුශාසනා කරති. සම්පත් යන්නෙහි සරල අර්ථය ඒ අනුව ලැබීම යන්නයි. බුදු දහමෙහි එබඳු දැහැමි ලැබීම් (පංච සම්පදා) පහක් පිළිබඳ සටහන් වෙයි. පැහැදිලි කරන්න.

පිළිතුර
පංච සම්පදා නම්

ඤාති සම්පදා – ඤාතීන් ලැබීම
භෝග සම්පදා – භෝග ධනය ලැබීම
සීල සම්පදා - ශීල සම්පත්
ආරෝග්‍ය සම්පදා – නීරෝගි සම්පත්
දිට්ඨි සම්පදා – නිරවද්‍ය දැකීම


ප්‍රශ්නය
බුදු දහමට අනුව ‘ශ්‍රද්ධාව‘ ශ්‍රේෂ්ඨ ධර්මයක් බව සඳහන් වෙයි. ඒ බව බුදුරජාණන් වහන්සේ එක දේවතාවකු වෙත දෙසූ ගාථා පාඨයකින් කිංසුධ චිත්තං පුරිසස්ස සෙට්ඨං” යනුවෙන් පුරුෂයෙකුට ශ්‍රේෂ්ඨ වන්නේ කුමක්ද? යන්න ඇසූ විට උන්වහන්සේ සද්ධීද චිත්තං පුරිසස්ස සෙට්ඨං” යනුවෙන් ශ්‍රද්ධාව පුරුෂයාට ශ්‍රේෂ්ඨ වන බව දේශනා කළ සේක. බෞද්ධ ධර්මයෙහි ශ්‍රේෂ්ඨ වන මෙම ශ්‍රද්ධාව පිළිබඳව හැඳින්වීමක් කරන්න.

පිළිතුර
ධම්මපද ග්‍රන්ථයෙහි ප්‍රකීර්ණක වර්ගයෙහි ලෞකික හා ලෝකෝත්තර වශයෙන් ශ්‍රද්ධා වෙහි ප්‍රභේද දෙකක් පෙන්නුම් කර ඇත. ‘සද්ධො සීලෙන සම්පන්නො යසො භෝග සම්පිතෝ. යනුවෙන් දැක්වෙන අතර (යසොභොග - සම්පතො) සද්ධො යන්න ලෞකික හා ලෝකෝත්තර යනුවෙන් විස්තර කරයි. මෙහි ත්‍රිවිධ ගුණ මෙනෙහිකොට කුසලධර්ම කෙරෙහි සිත පැහැදවීම ලෞකික ශ්‍රද්ධාවයි. මාර්ග ඵල ප්‍රත්‍යක්ෂ කිරීමෙන් නිවන් අරමුණු කොට සිත පහදා ප්‍රසන්න තත්වයකට පැමිණීම ලෝකෝත්තර සද්ධා නම් වෙයි. මෙවැනි ශ්‍රද්ධාවන් ලැබූ පුද්ගලයා සීලයෙන් යුක්ත යශස් ඇති සම්පත් ඇති නිසා ඒ තැනැත්තා සෑම තැන දීම පුදනු ලැබීමට සුදුසු බවද සඳහන් වෙයි. බෞද්ධ ශ්‍රද්ධාව ශෝභන චෛතසිකයක් වශයෙන් අභිධර්මයෙහි සඳහන් වෙයි. චෛතසික කාණ්ඩයෙහි ශෝභන චෛතසික 25 අතුරෙන් 19 වන ශෝභන සාධාරණ වශයෙන් දැක්වීමෙහිදි මුලින්ම සදහන් වන්නේ ‘සද්ධා’ චෛතසිකයයි. මෙහි සද්ධා නම් සිත්හි යෙදෙන බුද්ධාදී උතුමන් අරමුණු කොට සම්ප්‍රයුක්ත ධර්මයෙන් පහදවන ස්වභාවයයි.

ශ්‍රද්ධාවෙහි ලක්‍ෂණ දෙකක් මෙහිදී විස්තර කරයි. එනම් ‘සම්පසාදන ලක්ෂණ සම්පක්ඛන්ධන ලක්ෂණය වශයෙනි. මිළින්ද ප්‍රශ්නයෙහි දී මිළිඳු රජ නාගසේන හිමියන්ගෙන් ශ්‍රද්ධාවෙහි ලක්ෂණ කෙසේදැයි ඇසූ ප්‍රශ්නයට මේ ලක්‍ෂණ දෙකම කමණීය නිදර්ශන දෙකකින් හඳුන්වා දෙයි. සම්පාදන ලක්‍ෂණය විස්තර කරන්නේ මෙසේය. චක්‍රවර්ති රජකුගේ උදකප්‍රසාදක මාණික්‍ය කැලැත්තූ බොරදියට දැමූ විට බොර මඩ සෙවෙල ආදී අපිරිසුදු දේ බැහැර වී ජලය ඉතා නිර්මල බවට පත්වන්නාක් මෙන් ශ්‍රද්ධාවෙන් සිත අති ප්‍රසන්න වෙයි. එසේ ශ්‍රද්ධාව ඇතිවත්ම පංචනීවරණාදි ක්ලේෂ ධර්මයන් යට පත්වී සිත මනාව ප්‍රසන්න වන්නේය. සම්පඛන්ධන ලක්ෂණය විස්තර කරන මිළින්ද ප්‍රශ්නය මෙසේ විස්තර කරයි. මහා මේඝයක් පර්වත මුදුනින් ඇද හැලී කඳු, ගල්, ගස් ආදිය යටකරමින් යන සැඩ ගැඹුරු ගඟ දිය දැක දෙපසින් ආ ජනයා ජල ඕඝයට බියෙන් ගං තෙර රැස්ව සිටිති. එතැනට එන නිර්භීත බලැති පුරුෂයෙක් කැසපට ගන්වා දියට බැස කඩුවෙන් දැති මෝරුන් කපමින් තමාද එතෙර වෙන අතර අන්‍යයන්ද එගොඩ කරවීමට උපකාර කරන්නේය.මේ අනුව සමහරු ධෛර්ය සිත් උපදවා එතෙරට යාමට උත්සාහ කරයි. එමෙන්ම යෝගී පුද්ගලයාද අනුන්ගේ මිදුන සිත් බලා සතර ඵලයට පැමිණීමට වීර්ය කරනුයේ මේ සම්පක්ඛන්ධන ලක්‍ෂණයයයි.

 


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.