Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

තථාගත දහමෙහි ඕපනයික ගුණය

ආනයනය සහ අපනයනය යන කාර්යයන් දෙකක් ගැන අපි දනිමු. මෙරටට භාණ්ඩ ගෙන්වීම හා පිටරටට භාණ්ඩ යැවීම හැඳින්වීම සඳහා ඒවා යෙදේ. තවත් අයුරකින් කිවහොත් ආනයනය පිටතින් ඇතුළට ගැනීමකි. අපනයන ඇතුළතින් පිටතට යැවීමකි. වැඩි භාවිතයක් නොමැති උපනයනය යන වදනක් ද ඇත. පිටතට යැවීමක් හෝ පිටතින් ගැනීමක් හෝ නොපැවසෙන එමගින් ස්වසන්තානයේම උපදවා ගත යුතු දෙයක් හඟවයි. තථාගත ශ්‍රී සද්ධර්මයේ සය ගුණ අතර එන පස්වැන්න වන ඕපනයිකෝ ගුණය සඳහා හෙළ වහරෙහි උපනයන යන්න යෙදේ.

තථාගත ධර්මය ඕපනයික හෙවත් උපනයනීය ගුණයෙන් යුක්තය. එනම් ප්‍රත්‍යක්‍ෂ අවබෝධයෙන් ස්වසන්තානය තුළම උපදවා ගත යුතු, ඇතුළතින් ම දැකිය යුතු දහමකි. අපගේ පංචේන්ද්‍රියන් සැම විටම බාහිර ලෝකය (බාහිර අරමුණු) දෙසටම හැරී පවතින ස්වභාවයෙන් යුක්තය. එම අරමුණුවලට යටත් වී ක්‍රියා කිරීම පෘථග්ජන ස්වභාවයයි. එහි දී බාහිර ලෝකයම විමසමින්, අපගේ වසඟයේ පවත්වා ගැනීමට ප්‍රයත්න දරමින්, සත්‍යය පවතින්නේ එහිය යන දෘෂ්ටියෙහි අපි පිහිටා සිටිමු. එහි ප්‍රතිඵලය වන්නේ සුඛ, දුක්ඛ, උපේක්ඛා යන ත්‍රිවිධ විඳීම් මගින් තෘෂ්ණාව පෝෂණය කර ගැනීමයි. අරමුණු ගැනීමේ දී අපගේ අභ්‍යන්තරයේ සිදුවන විස්මිත ක්‍රියාවලිය ගැන අපි නොසොයමු. නොදකිමු. තථාගත ධර්මය අපට පෙන්වා දෙන්නේ සත්‍යාවබෝධය පුද්ගලයාගේ සන්තානය තුළින්ම ප්‍රත්‍යක්ෂ කරගත යුත්තක් බවයි.

බුදුරජාණන් වහන්සේ සම්‍යක් සම්බෝධිය සාක්ෂාත් කර ගැනීම සඳහා කළ අරිය පරයේෂණයේ දී හුදෙකලාවම කළේ පරම සත්‍යය අවබෝධ කර ගැනීම සඳහා ස්වකීය අභ්‍යන්තර ක්‍රියාවලිය සුපරීක්‍ෂාකාරීව අධ්‍යයනය කිරීමයි. ශ්‍රී සද්ධර්මය ඕපනයික ගුණයෙන් යුක්ත යැයි උන්වහන්සේ දේශනා කළේ මේ අනුභූතිය ප්‍රත්‍යක්‍ෂඥානය තුළිනි.

දෙවියකුට , බ්‍රහ්මයකුට තබා බුදුරජාණන් වහන්සේටවත් යාඥා කර කන්නලව් කර, ලබාගත හැකි උපදවා ගත හැකි කිසිවක් බුදු දහමෙහි නැත. ධර්මාවබෝධය ගුරුවරයාගෙන් ශිෂ්‍යයාට ලැබෙන්නක් නොවේ. ශාස්තෘන් වහන්සේත්, ආචාර්යවරයාත් මඟ පෙන්වන්නෝ මිස අවබෝධ ඥානය උපදවන්නෝ නොවෙත්. ගුරුවරයාට පෙර ශිෂ්‍යයා මාර්ග ඵල ලාභියකු විය හැකිය. තමන් අධිගමලාභියකුයයි පවසා මා ළඟට පැමිණියොත් ඒ අධිගමය ඔබටත් ලැබිය හැකියැයි පැවසීමට අනුබලයක් බුදු සමය නොදෙයි. ධර්මාවබෝධය පුද්ගලයා තමා තුළින්ම ප්‍රත්‍යක්‍ෂ කර ගත යුත්තකි. නිර්වාණ අවබෝධය උදෙසා අනිවාර්යයෙන්ම වැඩිය යුතු සතර සතිපට්ඨානය යනු තමාගේ කයෙහි, විඳීම්වල, සිතෙහි හා ධර්මතාවල යථා ස්වභාව තමා විසින්ම දකිනු ලබන්නා වූ යාන්ත්‍රණයයි.

ධර්මයෙහි ඕපනයික ගුණය මගින් පැහැදිලි කෙරෙන්නේ කුමක්දැයි යන්න පිළිබඳ වැඩිදුරටත් වැටහීමක් ලබා ගැනීම ධර්ම මාර්ගස්ථ පුද්ගලයාගේ මූලික අවශ්‍යතාව වේ.

“ මනෝ පුබ්බංගමා ධම්මා– මනෝ සෙට්ඨා මනෝමයා” යන ප්‍රචලිත ධම්මපද පාඨයෙන් අපට උගන්වන්නේ තිදොරින් කරනු ලබන සියලු ක්‍රියාවලට සිත ප්‍රධාන බවයි. පංචේන්ද්‍රියන්ගෙන් බාහිර අරමුණු ගැනීම කරණකොට ගෙන පෙනීම, ඇසීම, ගඳ සුවඳ දැනීම,රස දැනීම හා පහස දැනීම, සිදුවන බව අපි දනිමු. මෙයින් ඇස සහ පෙනීම පමණක් ගත් විට, එහිදී සිදු වන අන්තර් ක්‍රියාවලිය කුමක්දැයි බුදු දහම අපට උගන්වයි. ඒ ඇසුරෙන් පංචේන්ද්‍රියන්ගේ ක්‍රියාවලිය තේරුම් ගත හැකිය.

ඇසට රූපයක් පෙනීමට නම්, මසැස නිරෝගීව තිබීමද (අසම්භේදේන චක්ඛුස්ස) රූප අරමුණක් එළැඹීමද (රූප පාත ගමනේච) ආලෝකය තිබීමද (අලෝක නිස්සසේතාපි) මනැසෙහි හෙවත් චිත්ත චෛතසිකයන් ගේ සම්බන්ධය (සමනක්ඛාර) යන කාරණා සතරම හේතුවෙයි. මුල් තුන සපිරුණු විට දැකීමද මනසිකාරය නිසා පෙනීමද වෙයි. මේ අනුව පෙනීම යනු සිතෙහි ක්‍රියාකාරිත්වයක් බව පැහැදිලිය. මසැස කරන්නේ බාහිර අරමුණු ගැනීම පමණකි. ඒ් ගත් අරමුණ ඇසෙහි පිහිටි චක්ඛු ප්‍රාසදය නම් තැනෙක ගැටීමෙන් එතැන චක්ඛු විඤ්ඤාණය හට ගනී. රූපය පෙනෙන ඇස චක්ඛු ප්‍රසාද රූපයයි. බැහැරින් ගැනෙන රූපාරම්මණය ක්‍ෂණයක් පාසා ඇතිවී නැතිවී යන අනිත්‍ය වූවක්ම වන අතර චක්ඛු ප්‍රසාද රූපයද චක්ඛු විඤ්ඤාණයද ක්‍ෂණයක් පාසා ඇතිවී නැති වී යයි. පෙනීම නම් වූ ක්‍රියාව තුළ සිදුවන මෙම අපූර්ව අන්තර් ක්‍රියාවලිය තමා තුළින්ම දැකිය යුතු දෙයක් මිස පරිබාහිර සිද්ධියක් නොවේ. ඒ අන්තර් අවබෝධය ලැබීමට ධර්මය පිළිසරණ වෙයි.

අලෝකය නොමැතිව රූපයක් නොපෙනේ. එම අලෝකය රූපය මත වැටී ආපසු පරාවර්තනය වී ඇසෙහි මාංශමය කොටස හරහා ගොස් චක්ඛු ප්‍රාසාද රූපය වෙත එළැඹීමට නොමැනිය හැකි සියුම් කාලයක් ගතවෙයි. එයටත් වැඩි වේගයකින් රූපයෙහි ඇති නැති වීම සිදුවෙයි. ඒ කිසිම රූපයක් ඒ මොහොතේම (වර්තමාන අවස්ථාවේදීම) අපට දැකිය නොහැකිය.අපට පෙනෙන්නේ අතීත රූප පමණකි. ඇසයි, රූපයයි, චක්ඛු විඤ්ඤාණයයි එකතුවීමෙන් ඇසේ සර්පශය (ඵස්ස) හට ගනී. ඉහත කී තුනම අනිත්‍ය නිසා ස්පර්ශද අනිත්‍ය වේ. ඒ අයුරින් පූර්ව හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා වේදනා , සංඥා, සංඛාර , විඤ්ඥාණ (අභිසංඛත) යන සියල්ලම අනිත්‍යය.

ඇතුළතින් සිදුවන මේ ක්‍රියාදාමය කෙතරම් විස්මයජනකද? මේ ක්‍රියාවලියේදි, දිය බුබුලකට උපමා කර ඇති වේදනාව (විඳීම) විසින් ප්‍රස්තුත අරමුණ සුඛ, දුක්ඛ, අදුක්ඛමසුඛ වශයෙන් ගැනීම නිසා පෘථග්ජන පුද්ගලයා තුළ එය පිළිබඳ සංඥාව (හඳුනා ගැනීම) හටගන්නේ මමය, මගේය, මගේ ආත්මයය යන ආත්ම දෘෂ්ටිය ඇතිවය. ඒ අනුව තණ්හා, මාන, දිට්ඨි යන ප්‍රපංචයෝ සංස්කරණය වෙත. මේ නිසා ඇසෙන් රූප අරමුණක් ගත් විට මුලින්ම ඇතිවුණු අහේතුක චක්ඛු විඤ්ඤාණය දැන් විපාක පිණිස සකස්වුණු අභිසංඛත විඤ්ඤාණයක් වෙයි. එය සංසාරයාගේ පැවැත්ම අඛණ්ඩ කරවයි. පටිච්ච සමුප්පාදයෙහි සංඛාර පච්චයා විඤ්ඤාණං කීවේ මෙකී අභිසංඛත (පටිසන්ධියක් පවත්වන්නාවු )විඤ්ඤාණටයි.

මෙතෙක් සඳහන් කළේ ඇස හා සම්බන්ධ අන්තර් ක්‍රියාවලියයි. අනෙකුත් ඉන්ද්‍රියන්ගේ ස්වභාවද මීට සමගාමීව තේරුම් ගත හැකිය. තණ්හා, මාන, දිට්ඨි යන ප්‍රපංචයන් පුද්ගලයාගේ් ඇතුළාන්තයෙන් නිරුද්ධ වී ගියහොත් පංචේන්ද්‍රියන්ගෙන් ගන්නා අරමුණ වේදනා පරිශ්‍රයේදි සුඛ, දුක්ඛ, අදුක්ඛමසුඛ වශයෙන් උපාදාන නොකෙරෙයි. ඒ නිසා ඒ අරමුණු කෙරෙහි උපදින සංඥාව අවේදයිත වෙයි. අවේදයිත වූ ද ඇලීම් ගැටීම රහිත වුද සිත් ක්‍රියා සිත් ලෙස දැක්වේ. ඛුද්දක නිකායේ බාහිය සූත්‍රයේ දිට්ඨෙ දිට්ඨ මත්තං , සුතං සුත මත්තං ආදි වශයෙන් විස්තර කෙරෙන ස්වභාව එයයි. එයින් අදහස් කෙරෙන්නේ, දැක්කොත් දැක්කා පමණයි ඇසුවොත් ඇසුවා පමණයි යන්න නොව සියලුම දෙනා කරන පරිදි පංචේන්ද්‍රියන්ගෙන් අරමුණු ගන්නා අතර, ඒවා මගින් ක්ලේශ ප්‍රපචංයන් මතු නොවන බවයි. රහතන් වහන්සේගේ චිත්ත ස්වභාව එයයි.

පංචේන්ද්‍රියන්ගෙන් ගන්නා වූ අරමුණු මගින් සිදුවන සංස්කාර සම්පාදනය (සංඛතභාව) සිදු වන්නේ මමකම, මගේකම සහ ඒවා තම වසඟයේ පවත්වාගෙන සසර රැකීමට ඇති කැමැත්ත යන ආත්ම දෘෂ්ටිය හෙවත් සක්කාය දිට්ඨිය නිසාය. ලෝකෝත්තර මාර්ගයට ප්‍රවේශ වන පළමුවැනි දොරටුව වූ සෝවාන්ඵලය විවෘත වන්නේ මේ සක්කාය දිට්ඨිය නැති කළ විට යැයි දැක්වෙන්නේ ඒ නිසාය. ඒ නිසා මෙම ඇතුළාන්ත ක්‍රියාවලිය අරමුණු වශයෙන් ඉන්ද්‍රිය වශයෙන් ගෙන ඒවායේ අනිත්‍ය, දුක්ඛ, අනාත්මභාව යන ත්‍රිලක්‍ෂණ ස්වභාව දැකිය යුතු යැයි ශ්‍රී සද්ධර්මය අපට උගන්වයි. එකිනෙකට හේතු ප්‍රත්‍ය සිදුවන මේ අභ්‍යන්තර ක්‍රියාවලිය හෙවත් ඉදපච්චයතාව නමින් දැක්වෙන පටිච්ච සමුප්පාද සිද්ධාන්තය අවබෝධ කර ගන්නා තැනැත්තා ධර්මය දකීයයි බුදුරජාණන් වහන්සේ වදාළහ. මේ සත්‍ය දැක්ම නූතන විද්‍යානුකූල භෞතික න්‍යායන් යටතේ කෙතෙක් වෑයම් කළත් දැකිය නොහැකිය.

සමස්ත ත්‍රිපිටකයම සංග්‍රහ වී ඇත්තේ තථාගත ධර්මය තමා තුළින්ම, ඇතුළාන්තයෙන්ම දකින අකාරය විවෘත කර දෙන්නටය. ඒ නිසා සමස්ත ධර්මස්කන්ධයන්හිම සංගෘහිතව ඇත්තේ ධර්මයෙහි ඇති ඕපනයික ගුණයමය. ඇතුළතින්, තමා තුළින්ම නොදැක බාහිර ලෝකය තුළින් සත්‍යය දැකීමට වෑයම් කරන විට අප දකින්නේ සම්මුති සත්‍යයන්ය. නැතහොත් ප්‍රඥප්තීන්ය.

එහෙත් සම්මුතිය බැහැර කිරීමටද නොහැකිය. මක්නිසාද යත් සම්මුතිය තුළ නොසිට ජීවත් විය නොහැකි බැවිනි. පරමාර්ථ දර්ශනය, සම්මුතිය විනිවිද දැකීමෙන්ම උපදවා ගත යුත්තකි. ඒ විනිවිද දකින මානසික ශක්තිය ප්‍රඥාවයි. තථාගත ශ්‍රී සද්ධර්මය යනු එසේ විනිවිද දැක පරමාර්ථ සත්‍යය අවබෝධ කර ගන්නා ආකාරය මනාව පෙන්වා දෙන නොවරදින්නා වූ මාර්ගයයි. එම ගුණයද ධර්මයේ ඇති ඕපනයික ගුණයමය. චිත්ත, චෛතසික,රූප යන සංඛත ධර්මයන් නිරුද්ධ වීමෙන් අසංඛත වූ නිබ්බාන තත්ත්වයට එළැඹීමට හැකියාව ලබාදෙන ගුණය ශ්‍රී සද්ධර්මයේ ඇති බැවින්ද ධර්මය ඕපනයික වෙයි.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.