විවාහයේ දෙව් විමන
අතුරුගිරිය මැදගොඩලන්ද
පුරාණ විහාරවාසී,
ජාතික අධ්‍යාපන ආයතනයේ සිංහල අංශයේ ව්‍යාපෘති නිලධාරි ශාස්ත්‍රපති
කුකුරම්පොල ඤාණවිමල හිමි
දෙවියෙක් දෙව් දුවක සමග වාසය කරන හතරවැනි පවුල සතුට පිරුණ සාර්ථක විවාහ
ජීවිතය ගත කරන පවුල ලෙස බුදුරජාණන් වහන්සේ පඨම සංවාස සූත්‍රයේ දී දේශනා
කළහ. මෙහි දෙවියා සහ දෙවි දුව සිල්වත්කමින් හා ගුණවත්කමින් පිරුණු
ස්වාමි භාර්යාවෝය. මේ දෙදෙනා තිදොරින් සංවරය. පිරිසුදුය. සැබෑ
ස්වාමියෙකු හා භාර්යාවක වාසය කරන එ නිවස දෙව් විමනකි.
සමාජයේ
පදනම හෙවත් අඩිතාලම වන්නේ පවුල යි. පවුලේ පදනම වන්නේ විවාහය යි. විවාහය
වූ කලි දැඩි කැප කිරීමකින් හා පරිත්‍යාගයකින් සුරැකිය යුත්තකි. එය
යුතුකම් හා වගකීම්වලින් පිරී පවතී.
අපේ බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ පඨම සංවාස සූත්‍රයේ දී විවාහ
ජීවිත ගත කරන හතර දෙනෙකු පිළිබඳව දේශනා කළහ. එම සතර දෙනා නම්,
1. ඡවො ඡවාය සද්ධිං සංවසති – මළ මිනිසෙක් මළ ස්ත්‍රියක සමග විසීම
2. ඡවො දෙවියා සද්ධිං සංවසති – මළ මිනිසෙක් දෙව්දුවක සමග විසීම
3. දෙවො ඡවාය සද්ධං සංවසති – දෙවියෙක් මළ ස්ත්‍රියක සමග විසීම
4. දෙවො දෙවියා සද්ධිං සංවසති - දෙවියෙක් දෙව්දුවක සමඟ විසීම
එහිදී මළ මිනිසෙක් මළ ස්ත්‍රියක සමග වාසය කරන විවාහ ජීවිතය පළමු වැනි
පවුලයි. මෙහි මළ යන්නෙන් අදහස් කෙරෙන්නේ කයෙන් වචනයෙන් හා සිතෙන්
දුසිරිතෙන් යෙදී කටයුතු කරන ස්වාමි භාර්යාවෝ ය.
මෙහි ස්වාමියාත් භාර්යාවත් දෙදෙනා ම දුසිල්වත් ය. අකුසල්වල නිරත වෙති.
මේ දෙපළට විවාහ ජීවිතයේ සැබෑ සතුට විඳිය නොහැකි ය. එම විවාහ ජීවිතය තුළ
ඇත්තේ කලකිරීම හා අසහනය පමණි.
මළ මිනිසෙක් දෙව් දුවක සමග වාසය කරන විවාහ ජීවිතය දෙවැනි පවුලයි. එහි
ස්වාමියා දුසිරිතෙන් පිරුණ අයෙකි. එහෙත් භාර්යාව තුළ ගුණවත්කම
සිල්වත්කම ඇත.එසේ වුවත් එම ස්වාමි භාර්යාවන්ට ද සතුටින් විවාහ ජීවිතය
ගත කළ නොහැකිය. දුසිල්වත් ස්වාමියා ගුණවත් බිරිඳට නිතර හිරහැර කිරමින්
අපහසුතාවට ලක් කරයි. දෙදෙනා දෙපසකට ගමන් කරන බැවින් විවාහ ජීවිතයේ සැබෑ
අරුත විඳිය නොහැකිව අසාර්ථක විවාහ ජීවිතයක් ගත කරති.
දෙවියෙක් මළ ස්ත්‍රියක සමග වාසය කරන පවුල තෙවැනි විවාහ පවුල ලෙස සඳහන්
වන එහි ස්වාමියා ගුණවත් වන අතර භාර්යාව දුසිල්වත් ය.මේ පවුල තුළ ද සැබෑ
ලෞකික සතුටක් විඳිය නොහැකිය. ස්වාමියා සිල්වත් වුවද භාර්යාව තුළ
සිල්වත්කම නොමැති බැවින් නිතර ගැටුම් ඇති වී විවාහ ජීවිතයේ සතුට විනාශ
වී යයි.
දෙවියෙක් දෙව් දුවක සමග වාසය කරන හතරවැනි පවුල සතුට පිරුණ සාර්ථක විවාහ
ජීවිතය ගත කරන පවුල ලෙස බුදුරජාණන් වහන්සේ මෙම පඨම සංවාස සූත්‍රයේ දී
දේශනා කළහ. මෙහි දෙවියා සහ දෙව දුව සිල්වත්කමින් හා ගුණවත්කමින් පිරුණු
ස්වාමි භාර්යාවෝය. මේ දෙදෙනා තිදොරින් සංවරය. පිරිසුදුය. සැබෑ
ස්වාමියෙකු හා භාර්යාවක වාසය කරන එ නිවස දෙව් විමනකි.
මෙසේ සමාන ගුණ ධර්මවලින් යුක්ත ස්වාමි භාර්යාවන් ලැබෙන්නේ ඉතා
කලාතුරකිනි. ඒ සඳහා පෙර පින ද උපකාර වේ.විවාහ ජීවිතය සාර්ථක වීම සදහා
ස්වාමියා හා භාර්යාව තුළ සම ගුණාංග හතරක් තිබිය යුතු බව අපේ බුදුරජාණන්
වහන්සේ අංගුත්තර නිකායේ පඨම නකුල සමජීවි සූත්‍රයේ දී නකුල මවට හා නකුල
පියාට දේශනා කළහ. එම ගුණාංග හතර නම්,
1. සමසීල - සීලයෙන් ස්වාමි භාර්යා දෙදෙනා ම සමාන වීම
2. සමසද්ධා- ශ්‍රද්ධාවෙන් ස්වාමි භාර්යාව දෙදෙනා ම සමාන වීම
3. සමචාග - පරිත්‍යාගයෙන් ස්වාමි භාර්යා දෙදෙනාම සමාන වීම
4. සමපඤ්ඤා – ප්‍රඥාවෙන් ස්වාමි භාර්යා දෙදෙනාම සමාන වීම
යහපත් විවාහ ජීවිතයක් සඳහා සීලයෙන් සමාන වීම හෙවත් චරිත සංවර්ධනය
අත්‍යවශ්‍ය වූවකි. ස්වාමි භාර්යා දෙදෙනාම සිල්වත්කම ආරක්ෂා කළ යුතුය.
එමෙන්ම සම ශ්‍රද්ධාව හෙවත් භාවමය බැඳීම, අන්‍යෝන්‍ය අවබෝධය විවාහ
ජීවිතයේ අවශ්‍ය ම දෙයකි. භාවමය බැඳීම කැඩුණු තැන විවාහ ජීවිතයක් නොමැත.
ස්වාමි භාර්යා දෙදෙනාම මෙම භාවමය බැඳීම ආරක්ෂා කළ යුතුය. එපමණක් නොව සම
චාග හෙවත් එකිනෙකා වෙනුවෙන් සියලු පරිත්‍යාගයන් සහ කැපකීරීම් දෙදෙනාම
සමානව සිදු කළ යුතුය. විවාහ ජීවිතයේ කෙරෙන අන්‍යෝන්‍ය පරිත්‍යාගය මත
විවාහ ජීවිතය සුරැකේ. සම ප්‍රඥාව හෙවත් දෙදෙනාගේ සමාන බුද්ධිමත් භාවය ද
විවාහ ජීවිතයේ පැවැත්ම පිණිස තිබිය යුතුමය.
අංගුත්තර නිකායේ සත්තභරියා සූත්‍රයේ දී භාර්යාවන් හත් දෙනෙකු පිළිබඳ ව
සඳහන් වේ. එනම්.
1. වධක භරියා
2. චෝර භරියා
3. සාමි භරියා
4. මාතු භරියා
5. සඛී භරියා
6. භගිනි භරියා
7. දාසි භරියා එම සත්දෙනාය.
මෙහි මාතු භරියා, සඛී භරියා, භගිනි භරියා සම දාසි භරියා යන සතර දෙනා
යහපත් භාර්යාවන් ලෙසත් වධක භරියා, චෝර භරියා සහ සාමි භරියා යන තිදෙනා
අයහපත් භාර්යාවන් ලෙසත් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. භාර්යාවගේ
හැසිරීම අනුව යහපත් භාර්යාවක් ද අයහපත් භාර්යාවක් ද යන්න තීරණය වේ.
කෙසේ වුව ද විවාහ ජීවිතයේ දී බිරිඳට තම ස්වාමියා අභියස මවක මෙන්
සොයුරියක මෙන් යෙහෙළියක මෙන් කටයුතු කළ හැකි නම් එම පවුල කෙතරම්
වාසනාවන්න පවුලක් වේද? එමෙන් ම ස්වාමියාට ද තම භාර්යාව අභියස පියෙකු
මෙන්, සොයුරෙකු මෙන්, මිතුරෙකු මෙන්, කටයුතු කළ හැකි නම් එම පවුල ද
කෙතරම් නම් වාසනාවන්තවේ ද?
විවාහ ජීවිතයේ සැබැ බැඳීම ගෞරවය ආරක්ෂා කර ගැනීමට නම් අවංක බවත්,
ඉන්ද්‍රිය පාලනයත්, ඉවසීමත්, පරිත්‍යාගයත් ස්වාමි භාර්යා දෙදෙනා ම
පුරුදු කළ යුතුය.එවිට කලකිරීමෙන් තොර සතුටින් පිරුණු ශක්තිමත් විවාහ
ජීවිතයක් ගත කිරීමට මග සකස් වනු ඇත. |