Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ශිෂ්ට සම්පන්න සමාජයකට දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යයේ උපයෝගීතාව

සම්මා සමාධිය නම් යහපත් සිතෙහි එකඟ බවයි. එනම් කුසලය දෙසට යොමු වූ අවධාන යයි. එවැනි අවධානයක් ඇති පුද්ගලයා තම කායික, වාචසික, මානසික සියලු ක්‍රියා නිවැරදිව එකඟ වූ සිතින් සිදු කරයි. මේ අනුව පුද්ගලයා ශිෂ්ටත්වයට යොමු කරවන මාවත ලෙස හා සුබ සහගත සමාජයක් ගොඩනගන

උපයෝගීතා දර්ශනය ලෙස දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍යය හඳුන්වා දිය හැකිය.

“ආගම” යන වචනයෙන් දේශිත ධර්මය හෙවත් ශාස්තෘවරයෙකුගේ උපදේශාත්මක ඉගැන්වීම අර්ථවත් වේ. සාමාන්‍යයෙන් ඉංගී‍්‍රසි භාෂාවේ ආගම හදුන්වනුයේ Religion (රිලිජන්) යන වචනයෙනි. ආගම යන භාවිතාව බටහිර රටවල විශේෂයෙන් යෙදුනත්, ඉන්දියාව, ලංකාව වැනි දේශයන් හි විවිධ සමයන් හදුන්වන්නේ “ ධර්ම” යන වචනයෙනි. එය භාවිත වී ඇත්තේ බුද්ධ ධර්මය, හින්දු ධර්මය, ක්‍රිස්තු ධර්මය ආදි වශයෙනි. ලොව පුරා ඇති සෑම ආගමක දර්ශනයකම ඒකායන අරමුණ මිනිසා සදාචාරවත් අයෙකු කිරීමයි, ශිෂ්ටයෙකු බවට පත් කිරීමයි. ඒ ඒ ආගම් එහිදී සාර්ථක වී ඇත්තේ යම් යම් ප්‍රමාණයන්ටය. බුදු දහම එහි දී සඵලත්වයෙන් ඉදිරියෙන්ම සිටී. ආගම යන වචනයට ශිෂ්ටත්වයට පැමිණීම යන අර්ථය ලබාදිය හැකිය. (ආගම යන්න ආ පූර්ණ ගමු ධාතුවෙන් නිපන් පැමිණීම යන අර්ථය ඇති පදයයි)

බොහෝ ආගමික ප්‍රතිපදාවන් පුද්ගල සදාචාරයට අනුබල ලබාදුන්න ද වඩා නිවැරදි ඍජු ගමන් මාර්ගයක් ඒ වෙනුවෙන් ඉදිරිපත් කොට ඇත්තේ බෞද්ධ දර්ශනයෙන් පමණි. එසේ පැවසීම අතිශයෝක්තියක් නෙවේ. මන්ද බෞද්ධ ප්‍රතිපදාව අඩුපාඩු සහිතයි, වැරදි සහිතයි, විමුක්තියට හේතු නොවේ යැයි දෙවියන්, මරුන්, බඹුන් සහිත තුන් ලෝකයේ කිසිවෙකුටත් ඊට අභියෝග කළ නොහැකිය. ඒ බව බුදුරදුන් තම මංගල ධර්ම දේශනයේ දීම අවධාරණය කරයි. එය

ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමණේන වා බ්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුනා වා කේනචි වා ලෝකස්මින්ති

“ අනුත්තර වූ දහම් සක(ධර්මය නමැති රෝදය) ඉසිපතන මිගදායේ දි ප්‍රවර්තනය කරන ලදි (පෙරලන ලදි) එය පැවිද්දෙකුට හෝ බ්‍රාහ්මණයකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ්‍රහ්මයෙකුට හෝ ලොව කිසිවෙකුටත් ආපසු හැරවිය නොහැකිය.යන්නෙන් පැහැදිලි වේ. එබදු පිරිපුන් දහමක පුද්ගල ශිෂ්ටත්වය ඇති කිරීමට දක්වන උනන්දුව පිළිබඳ එක් ධර්ම කොට්ඨාසයක් ගුරු කොටගෙන සැකෙවින් සාකච්ඡා කිරීම මෙහිදී සිදු කෙරේ.

බෞද්ධ දර්ශනයේ ප්‍රමුඛතාව ලබාදෙන්නේ චරිත සංවර්ධනයටයි. (අපදාන සෝභිනි පඤ්ඤා) බුදු සමයේ චරිත සංවර්ධනය සඳහා ඇති උනන්දුව පෙළ සාහිත්‍යය විමසීමෙන් පැහැදිලි කරගත හැකිය. එම කරුණේදී චතුරාර්ය සත්‍යයට හිමිවන්නේ ඉතා වැදගත් තැනකි. එම චතුරාර්ය සත්‍යයන්හී එන සිව්වැනි ආර්ය සත්‍යය නිර්වාණ ප්‍රතිපදාව හා සදාචාර ශික්ෂණ ගමන්මගද වේ. එම මැද මාවත(මධ්‍යම ප්‍රතිපදාව) සාමාන්‍ය ගිහියාට නොගැලපේ ද, කාමයන් හි යෙදෙමින් එහි ගමන් කළ නොහැකිද? යන්න විමසිය යුතු වූවකි. එහි දී එම අංග අටකින් යුතු දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදා ආර්ය සත්‍යය මෙසේය.

1. සම්මා දිට්ඨි 2. සම්මා සංකප්ප 3. සම්මා වාචා 4. සම්මා කම්මන්ත 5. සම්මා ආජීව 6. සම්මා වායාම 7. සම්මා සති 8. සම්මා සමාධි

මෙහි මුලින්ම දැක්වෙන සම්මා දිට්ඨිය ගමන් මග නිවැරදිව දැකීමට ඇති ආලෝක යයි. එය අඳුරෙහි ගමන් කරන්නෙකුට විදුලි පන්දමක් වැනිය. මෙම සම්මා දිට්ඨිය කොටස් දෙකකට බෙදා දැකීමක් ම.නි.චත්තාරිසක සූත්‍රයේ එයි, එහිදී

1. සාසච පුඤ්ඤාභාගි උපධිවේපක්ඛ සම්මා දිට්ඨි (කෙලෙස් සහිත පිනට යොමු වු සම්මා දිට්ඨිය)

2. අරිය අනාසව ලොකුත්තර මග්ගංග සම්මා දිට්ඨි (කෙලෙස් රහිත නිවනට යොමු වූ සම්මා දිට්ඨිය)

මෙම සම්මා දිට්ඨී දෙකෙන් දෙවැන්න පරිපූර්ණ නිවැරැදි දැකීමයි. එය පෘතග්ජන සමාජය තුළින් අපේක්ෂා කිරීම එතරම් ප්‍රායෝගික නොවේ. ඒ තුළින් කියවෙන්නේ ඉහලම ශිෂ්ටත්වයක් පිළිබඳවයි. උපයෝගීතා අර්ථයෙන් විමසා බැලීමේදී හැම දෙනාටම එකසේ පුබුදු කරගත හැකි සම්මා දිට්ඨිය වන්නේ පිනට බර වූ කෙලෙස් සහිත සම්‍යග් දෘෂ්ටියයි. ශිෂ්ට සම්පන්න සමාජයක් සඳහා එම සම්‍යග් දෘෂ්ටිය ලබාදෙන දායකත්වය විමසා බැලිය යුතුය. එම පුණ්‍යභාගී සම්මා දිට්ඨිය දසවස්තුක සම්මා දිට්ඨියක් වශයෙන් ඉහත සූත්‍රයෙහි දක්වා ඇත. එනම්

අත්ථී දින්නං අත්ථි ඉට්ඨං අත්ථී හුතං අත්ථී සුකටදුක්ඛටානං කම්මානං ඵලං විපාකෝ අත්ථී අයං ලෝකෝ අත්ථි පරලෝකෝ අත්ථී මාතා අත්ථී පිතා අත්ථී සත්තා ඕපපාතිකා අත්ථීලෝකේ සමණබ්‍රාහ්මණා සම්මා පටිපන්නා

එහි එන දුන් දෙයෙහි විපාක ඇත, පිදීමෙහි විපාක ඇත, සුසිරිත් දුසිරිත් විපාක ඇත, මවට පියාට කරන හොඳ නොහොඳට විපාක ඇත, ආදි කරුණු ක්‍රියාවට නගන ඒ අනුව සිතන ඒවා පසසන යම් සමාජයක් හෝ පුද්ගලයකුවේ නම් එම පුද්ගලයා හා එම සමාජය ඒකාන්තයෙන්ම ශිෂ්ට සම්පන්න බව නොකිවමනාය.

සම්මා සංකප්පය මීළඟ මාර්ගාංගයයි. එහි දී නිවැරදි සංකල්පනාව ත්‍රිවිධ වේ. එනම් නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප යනුයි. කාමයන්හි දැඩි ඇල්මෙන් වැළකීම නෙක්ඛම්ම යයි. දැඩි ලෙස කාම පිපාසයෙන් ගමන් කරනා පිරිස් සමාජයට කෙතරම් පිළිල වී ඇද්ද යන්න අශිෂ්ට සමාජ සිද්ධීන් නිතරම අසන්නට හා දකින්නට ලැබීමෙන් පසක් වේ. අව්‍යාපාද සංකප්ප නම් අනුන් කෙරෙහි මෛත්‍රිය පතුරුවමින් කටයුතු කිරීමේ කල්පනාවයි. එය ශිෂ්ට සමාජයට අවශ්‍යම කරුණකි. මෙත්තානිසංස සූත්‍රයේ අව්‍යාපාද සංකල්පනා ඇති තැනැත්තා.

....මනුස්සානං පියෝ හෝති, අමනුස්සානං පියෝ හෝති, දේවතා රක්ඛන්ති,.....චිත්තං සමාධියති මුඛ වණ්ණෝ විප්පසීදති.

ඔහු සමාජය පි‍්‍රය කරන සමාජයට හිතකර වූ අයෙකු වන බව ඉන් පැහැදිලි වේ. අවිහිංසා සංකප්පයද ඊට සමාන ලක්ෂණ දරයි.

සම්මා වාචා යනු වාග් සුචරිතයයි. මේ තුළ මුසාවට (බොරුවට) , පිසුණු බසට (කේළමට) පරුෂ වචනයට, සම්පප්ඵලාපයට(හිස් වචනයට) ඉඩක් නොමැත. එයින් ගොඩනැගෙන සදාචාරය සමාජයත් සමඟ ගලපා සිතිය හැකිය.

කාය දුශ්චරිතයෙන් වැළකීම සම්මා කම්මන්ත නම් වේ. එනම් ප්‍රාණඝාතයෙන්, සොරකමින්, කාමය වරදවා හැසිරීමෙන් වැළකීමයි. මෙම විරමනයන් යම් සමාජයක පවතී ද එම ශිෂ්ට සමාජය තුළ බියෙන් හා සැකෙන් තොරව ජීවිත පැවැත්විය හැකිය. එවැනි උසස් සමාජ තලයකට ගමන් කිරීමට අවස්ථාවක් මේ තුළින් හිමිවේ. නිවැරදි ජීවන වෘත්තියක් තෝරාගෙන දැහැමි සාධාරණ ජීවිතයක් ගත කිරීම සම්මා ආජීව යයි. ඒ මගින් තම ජීවන පැවැත්ම වෙනුවෙන් අන්‍යයන් මුලා කිරීම, රැවටීම , පීඩාවට පත් කිරීම ආදි සාහසික ක්‍රියා වැළකීයයි. එම සත් ගුණය බෞද්ධ ප්‍රතිපදාව නිසා ඇති වන්නකි. සම්මා වායාම නම් නිවැරදි උත්සාහයයි. එනම් නූපන් අකුසල් නොඉපදවීමටත්, උපන් අකුසල් ප්‍රහාණය පිණිසත්, නූපන් කුසල් ඉපදවීමටත්, උපන් කුසල් වැඩි දියුණු කිරීමටත් දරන උත්සාහයයි, වෑයමයි. එවැනි උත්සාහයක් යම් පිරිසක් අවංකව සිදුකරයි නම් එම සමාජය කිලිටි බවට කිසි දිනක නොපැමිණේ. මනා සිහියකින් කටයුතු කිරීම සම්මා සති යයි. දීඝ නිකායේ මහා සතිපට්ඨාන සූත්‍රයේ විස්තර කරන කාය ආදි අරමුණු පිළිබඳ මනා අවධි කරමින් සිටීම සම්මා සති යයි. එය අත්වැරදීම් හා අනතුරුද වැළකීමට හේතුවන ගුණ ධර්මයකි. සම්මා සමාධිය නම් යහපත් සිතෙහි එකඟ බවයි. එනම් කුසලය දෙසට යොමු වූ අවධාන යයි. එවැනි අවධානයක් ඇති පුද්ගලයා තම කායික, වාචසික, මානසික සියලු ක්‍රියා නිවැරදිව එකඟ වූ සිතින් සිදු කරයි. මේ අනුව පුද්ගලයා ශිෂ්ටත්වයට යොමු කරවන මාවත ලෙස හා සුබ සහගත සමාජයක් ගොඩනගන උපයෝගීතා දර්ශනය ලෙස දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍යය හඳුන්වා දිය හැකිය.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.