සෙල් ලිපි වලින් හෙළිවන
පුරාණ ලංකාවේ
පුද පූජා
පාදක සටහන්
කොත්මලේ අමරවංස හිමි
ලක්දිව සෙල් ලිපි
පාලි මහාවංසය
බටුගොඩ ශ්‍රී ජයසුන්දරාරාම
මහා විහාරාධිපති
නාලන්දේ විමලවංශ හිමි
රටක ඉතිහාසය පිළිබඳ නොබිඳිය හැකි සාධක ලබා ගත හැකි ප්‍රධානතම මාධ්‍යය
සෙල් ලිපි වශයෙන් සැළකිය හැකිය. සෙල් ලිපි වර්ග රැසක් ඇත. ඒවා අතර 1.
ලෙන් ලිපි 2. ගිරි ලිපි 3. ටැම් ලිපි 4. පුවරු ලිපි වශයෙන් බෙදා
දැක්විය හැකිය. එම ශෛලමය ලිපි වලට අමතරව රන් තඹ පත් ඉරු වල ලියන ලද
ලිපි ලේඛණ ද ඉතිහාසගත කරුණු තහවුරු කිරීමෙහිලා වැදගත් තැනක් ගනියි. එම
ලිපි අතරින් ලෙන් ලිපි වශයෙන් හඳුන් වන්නේ ගල් ගුහාවල ඇතුළත හෝ කටාරම්
අසල ලියන ලද ලිපි වේ. ලංකාවේ එවැනි ලෙන් ලිපි රාශියක් ඇත. මිහින්තලේ
වෙස්සගිරිය රිටිගල වැනි ස්ථාන මෙහිලා ප්‍රධාන තැනක් ගනියි.
ගිරි ලිපි වශයෙන් හඳුන්වන්නේ පිහිටි ගල් මත ලියන ලද ලිපි වෙති. ඉඩකඩං
මායිම් පිළිබඳ විස්තර රාජ්‍ය පාලන ව්‍යවස්ථා පූජාවන් පවත්වනු ලැබූ
දානපතියන් පිළිබඳ විස්තර ඒවා තුළ අන්තර්ගතව ඇත. තෝනිගල අනුරාධපුරයේ
වෙහෙරබැන්ද කුටිය වැනි ස්ථාන වල මෙවැනි ලිපි දැකිය හැක. සකස් කළ සෙල්
කුලුනු වල එක් පැත්තක දෙපැත්තක ඇතැම් විට සතර පැත්තේම ලියන ලද ලිපි
ටැම් ලිපි වශයෙන් හඳුන්වයි. බදුලු ටැම් ලිපිය චිරප්‍රසිද්ධ ටැම්
ලිපියකි. අනුරාධපුරයේ මොරගොඩ ටැම් ලිපිය ද එවැන්නකි.
සකස් කරන ලද ගල් ලෑලි මත ලියන ලිපි ‘පුවරු’ ලිපි වශයෙන් හඳුන්වයි.
මිහින්තලාව, ජේතවනය, වේවැල්කැටිය, පුලියම්කුලම වැනි ස්ථානවල තිබෙන
පුවරු ලිපි නිදසුන් වශයෙන් ගත හැකිය. ඉතිහාසය හැදෑරීමේදී එම පුවරු ලිපි
බෙහෙවින් ප්‍රයෝජනවත් වන්නේ රජවරුන්, ඇමති වරුන්, සෙන්පති වරුන්,
ප්‍රභූ වරුන් වැනි අයගේ නම්ගොත් විහාර ආරාම පිළිබඳ තොරතුරු ද එම ලිපිවල
වඩාත් අන්තර්ගතවැ ඇති නිසාය. මෙම ලිපි වලට අමතරවැ වාන් ගල්, ගල් ඔරු,
පියගැට පෙළ වැනි ස්ථාන වල ලියන ලද ලිපි මෙන්ම තඹ පත් ඉරු වලත් රන් පත්
ඉරු වලත් ලියැවී තිබෙන සන්නස් වැනි ලේඛන ඉතිහාසය හැදෑරීමේදී බොහෝ
සෙයින් ප්‍රයෝජනවත් වෙයි. පල්කුඹුර සන්නස, වල්ලිපුරම් රන් සන්නස ඉතා
ප්‍රසිද්ධ සන්නස් වශයෙන් සැළකිය හැකිය.
ලංකාවේ පැරණිම සෙල් ලිපි වශයෙන් සැළකිය හැකි වන්නේ මිහින්තලාවේ ලෙන්
හැට අටක් තුළ කොටන ලද ලිපි බව ඉතිහාසඥයන්ගේ මතය යි. එම ලෙන් සකස් කරන
ලද්දේත්, ඒවා තුළ ලිපි ලියන ලද්දේත් මහින්දාගමනයෙන් මාසයකට පමණ පසු
‘දෙවනපෑතිස්’ රජ තුමා විසින් බව පුරා විද්‍යාඥ සෙනරත් පරණවිතාන ශූරීන්
පවසති. සෙල් ලිපි කියැවීම අපහසු කරුණකි. ඒ සඳහා දැණුම ඤාණය තිබිය
යුතුය. එසේම නිවැරදිව අර්ථ නිරූපණය කිරීමේ හැකියාව තිබිය යුතුය. එසේ
නොවුනහොත් අර්ථය වෙනස් වීමෙන් ඉතිහාසය විකෘති වීමේ අවදානමට පවා ලක් විය
හැකිය. සෙල් ලිපි කියැවූ ඉතිහාසඥයන්, පුරාවිද්‍යාඥයන් අතර සෙනරත්
පරණවිතාන, පී. ගෝලඩ් ස්මිත්, ඊ. ම්‍යුලර්, එච්. සී. පී බෙල්, ඊ. ආර්.
අයටන්, හොකාර්ට් වින්සර් ඒ. එච්. ලෝංහස්ට් වැනි පුරා විද්‍යාඥයෝ
ප්‍රධාන තැනක් ගනිති.
විවිධ හේතුන් අනුව සෙල් ලිපි පිහිටුවා තිබෙන බව ඒවා පිළිබඳ ගවේෂණය
කිරීමේදී පැහැදිළි වෙයි. විහාර ආරාම කරවා සඟ සතු කර පූජා කිරීමේදී ද එම
විහාර ආරාම වලට ඉඩකඩම් වැව් අමුණු පූජා කිරීමේදී ද ඒ බැව් මතු පරපුරට
තහවුරු වනු පිණිස සෙල් ලිපි සහ අනෙකුත් ලිපි පිහිටුවා ඇත. එමෙන්ම
රජවරුන් විසින් විවිධ අණ පනත් මහජනයාගේ දැන ගැනීම පිණිස සුදුසු ස්ථානවල
සෙල් ලිපි මගින් ප්‍රකාශයට පත් කැර ඇත.
එසේම යුධ හමුදාව ලද ජයග්‍රහණ වල දී එකී හමුදාවල ප්‍රධානීන්ට දෙන ලද ගම්
බිම් වරප්‍රසාද සෙල් ලිපි මගින් ප්‍රකාශයට පත් කළහ. රජවරුන් පමණක් නොව
බිසෝවරුන් උපාසිකාවන් සහ වෙනත් ප්‍රභූ®න් විසින් ශාසනය වෙනුවෙන් කරන ලද
පුද පූජා ගැන සෙල් ලිපි වැනි ඉතිහාස ගත සාධක වලින් දැන ගත හැකිය.
මිහින්තලාවේ පිහිටි ලෙන් විශාල සංඛ්‍යාවක පූර්ව බ්‍රාහ්මී යුගයට අයත්
ලිපි රැසක් ඇත. එසේම මහනුවර දිස්ත්‍රික්කයේ කටුගස්තොට ආසන්නයේ ‘දුල්වල’
නම් ඓතිහාසික ගමෙහි ගල් ගුහා වල ද ලිපි කිහිපයක් ඇත. ක්‍රි. පූ. 1 – 2
සියවස් වලට අතර කාලයේ ලියන ලදැ’ යි සැළකෙන මෙම ලිපි වලින් පැවසෙන්නේ
එකල රජවරුන්, බිසෝවරුන්, ප්‍රභූවරුන්, උපාසිකාවන් විසින් පූජා කරන ලද
ගල් ගුහා පිළිබඳව ය.
‘පරුමක ගුත පුත පරුමක සුමනහ ලෙණෙ අගත අනගත චතුදිශ ශගශ’ ප්‍රමුඛ ගුත්තගේ
පුතා වන සුමනගේ ලෙණ පැමිණි නොපැමිණි සිව් දිග සංඝයාට පූජා කරන ලදී
යනුවෙනි.
‘මහ රජහ ගමිණි තිශහ බරිය උපශික රමදතය ලෙණෙ ශගශ’ ගාමිණී තිස්ස මහ රජුගේ
භාර්යාව වූ ‘රාමදත්තා’ උපාසිකාවගේ ලෙණ සංඝයාට යනුවෙන් සඳහන් වේ.
ලෙන් පූජා කිරීම පිළිබඳ ලියැවුනු ලිපි රැසක් පුරා විද්‍යා ගවේශණ මගින්
සොයගෙන ඇත. ඇතැම් විට භික්ෂූන් වහන්සේලා ද ගල් ලෙන් කැරවා පූජා කරන
ලදී. රුහුණෙහි වැලියායෙහි පිහිටුවා තිබෙන සෙල් ලිපියකින් ඒ බව පැහැදිළි
වෙයි.
‘ පුශගුත ථෙරෙන බරපිතෙ ලෙණෙ’ පුස්සගුත්ත තෙරුන් විසින් කරවන ලද ලෙණ යි.
‘ මිතගුත තෙරශ දිනෙ අගත අනගත චතුදිශ ශගශ’ මිත්තගුත්ත තෙරුන්ගේ දානය
පැමිණි නොපැමිණි සංඝයාට දෙන ලදී. ඇතැම් දෙනා විහාර ආරාම වල ප්‍රයෝජනය
පිණිස වැව් අමුණු පූජා කරන ලදී. ඒ බැව් කරඳහෙල ලිපියෙහි මෙලෙස සඳහන්
වෙයි. ‘හබුතගල විහිරහි උවසික පුස තුම්බ ශමණවීර වචි ශගශ දිනෙ’ ‘පුස’
උපාසිකාව තමාගේ ‘භමණවීර’ වැව ‘හබුතගල’ විහාරයෙහි සංඝයාට දුන්නාය. ‘
දියබැට්ට’ විහාරයෙහි සෙල් ලිපියට අනුවැ ‘සිද්ධම් නක මහ රජයහ තිකනක
විහරහි පුණකොඩක වචි දිනි....’ මංගල්‍යයක් වේවා..... නාග මහ රජතුමා ‘
තිකනක’ විහාරයට ‘පුණකොඩක’ වැව දුන්නේය. ’ජෙට්ඨතිස්ස’ රජතුමා ( ක්‍රි.
ව. 267 – 277 ) සෑගිරි වෙහෙර ( මිහින්තලේ ) භික්ෂූන් උදෙසා ‘කාලමත්තික’
වැව පූජා කළ බව එයින් කියැවෙයි. වැව් වලට අමතරවැ ඇළ වේලි පූජා කිරීම
පිළිබඳව ද ලිපිවල සඳහන් වෙයි. ඒ බව ‘දිඹුලාගල’ ආසන්නයේ පිහිටි
‘මොලාහිටිය’ ලිපියෙහි සඳහන් වේ. ක්‍රි. ව. 1 වන සියවසෙහි ‘භාතිකාභය’
රජු විසින් කරන ලද මෙහි සඳහන් වන්නේ
‘රජ අබයෙ අතර ගඟහ ගණ තකහ අඩි පිලි පවත විහරහි බිකු සඟය සොවණ කොතුරු
නියතෙ.... යනුවෙන් සඳහන් පරිදි ‘අභය රජු විසින් ‘අතරගග‘ නම් ස්ථානයෙහි
‘ගණතකහ’ නම් ඇළ ‘පිලිපවත’ විහාරයෙහි සංඝයාට රන් කෙණ්ඩියෙන් අත පැන්
වත්කොටැ කරන ලද පූජාවක් පිළිබඳව එයින් කියැවෙයි. ‘මහරත්මලේ’ පර්වත
ලිපියට අනුවැ ‘ මහාදාඨික මහානාග‘ රජතුමන් විසින් ‘විහිරබිජිකා’ නම්
ගමෙහි ‘මුටිගුතික’ සහ ‘පරිවතක’ විහාරස්ථානයෙහි සංඝයාට කැඳ බත් සහ වැසි
සළු පූජා කළ බව සඳහන් වේ. (විසිනි හමාණන යාකු ච බත ච වස වසික හාටික...
කටු දිනෙ උතිරෙක චානක කටු දිනෙ ) වස් වාසික සාටක ද තනිපට සිව්රු සඳහා
වස්ත්‍ර ද වියා දුන් බව වැඩිදුරටත් එම ලිපියෙහි සඳහන් වේ.
අනුරාධපුර දිස්ත්‍රික්කයෙහි ‘පාලුමැකිච්චාව‘ වැවෙහි වාන් ගලක තවත්
විශේෂ ලිපියක් ඇත. ‘ගජබාහු ( ක්‍රි. ව. 112 – 134 ) රජතුමා විසින්
පිහිටවනු ලැබූ මෙහි ඇතුළත් වන්නේ රජතුමා කහවණු පන්සියයකට මිළදී ගත් ‘
උපල’ පළාතේ’ වඩමහක’ නම් වැවෙන් ලබන ආදායම ථූපාරාමයෙහි වැඩ සිටින
භික්ෂූන්ගේ සිව්පසය සඳහා පූජා කළ බවයි.
යාපනය දිස්ත්‍රික්කයේ ‘වඩමරච්චි’ ප්‍රදේශයෙන් හමු වූ ‘වල්ලිපුරම්’ රන්
සන්නස මගින් ඉතිහාසයෙහි නොබිඳිය හැකි සාක්ෂි ගෙනහැර දක්වයි. ‘වසභ’
රජතුමාගේ ( ක්‍රි. ව. 1 ) ‘ඉසිගිරය’ ඇමති තුමන් විසින් කරවන ලද මෙමගින්
පැවසෙන්නේ නාගදීපයේ ‘බදකරඅතන’ නම් ස්ථානයේ බෞද්ධ විහාරස්ථානයක් කැරවන
ලද පුවතකි. එම විහාරය ’පියගුක තිස්ස’ විහාරය නමින් හඳුන්වයි.
උඳු සහ මුං තැන්පත් කැර එහි පොලිය විහාරස්ථානයට වඩින සංඝ රත්නයේ
ප්‍රයෝජනයට යෙදවූ බව සෙල් ලිපිවලින් දක්වා ඇත. තෝනිගල ගිරි ලිපියෙහි ඒ
බැව් සඳහන් වේ. ’දේව‘ නැමති පුද්ගලයකු ‘කාලහුමනක නියමතන්හි’ වී උදු මුං
වැනි ධාන්‍ය තැන්පත් කැර එහි පොලිය ‘යහිසපවය’ විහාරයෙහි අරියවංස
උත්සවයට වඩින සංඝයාගේ සිව්පසය සඳහා පරිත්‍යාග කළ බවයි.
විහාරයට පූජා කරන ඉඩම් වලට අදාළ නීති රීති උල්ලංඝනය කරන්නවුන් බලු
කපුටුව උපදින බව ඇතැම් ටැම් ලිපිවල සඳහන් වේ. ‘මොරගොඩ’ ටැම් ලිපිය එයට
එක් නිදසුනකි. ‘ 4 වන කාශ්‍යප’ රජතුමාගේ සමයෙහි මෙම ටැම් ලිපිය
පිහිටුවන ලද්දේ ‘අතරගලුකොත්තා’ සහ ‘මුලවඩාසකරා’ යන ඇමතිවරුන් දෙපල
‘වැදෑරා’ පිරිවෙනට පූජා කරන ලද ‘පදුන්නරු’ වැවේ ජලයෙන් වගා කරන ඉඩම්
සම්බන්ධව අණපනත් ඇතුළත් කිරීමෙනි. මෙහි අවසන සඳහන් වන්නේ ‘මේ ආන්නැ
උලඝණ කළ කෙනෙක් ඇත්නම් කවුඩු බලු වෙත්වා’ යනුවෙනි.
‘වෙස්සගිරිය’ පුවරු ලිපියෙහි සඳහන් වන්නේ රත්‍රන් පූජා කිරීමක්
පිළිබඳවයි. ක්‍රි. ව. 900 ‘දප්පුල’ රාජ සමයෙහි ‘පුල්ලා’ නමැති උපාසක
තුමන් විසින් කරවන ලද මෙහි ‘මුලසෝ වෙහෙර් සංග්වැල්ලෙ වන් පුල්ලා උපාසක
විරංකුරා අරමැ මහ සංග්වත් හිමියනට් ලබ්සකර් දෙමින් දෙසීයක් කලන්ද් රන්
දී ...’ සඳහන් පරිදි මුලසෝ වෙහෙර සංවැල්ලට පැමිණි පුල්ලා උපාසක තුමන්
‘වීරාංකුර’ ආරාමයේ භික්ෂූන්ගේ ප්‍රත්‍යය පහසුව පිණිස රන් කලං දෙසීයක්
පූජා කැර එයින් වසරක් පාසා වස් වසන පවාරණය කරන පොහොය දිනයන්හි එක් නමකට
අවුලුපත් විස්සක් දීමටත් තවද කැඳ බත් දීමට රන් කලං හැටක් ද අවුරුද්ද
අවසානයේ එක් නමකට සිව්රක් බැගින් පූජා කිරීමට රන් කලං විස්සක් ද හකුරු
සහ ගිතෙල් පූජා කිරීමට රන් කලං විස්සක් ද පූජා කළ බව එහි වැඩි දුරටත්
සඳහන් වේ.
ජයශ්‍රී මහා බෝධියෙහි ප්‍රධාන ගිහි භාරකරු වශයෙන් සැළකෙන ‘උදාමහයා’
තුමන් විසින් ‘අබාසලමෙවන්’ රජ සමයෙහි ( ක්‍රි. ව. 10 ) පිහිටුවන ලද
‘පුලියම්කුලම’ පුවරු ලිපියෙහි සඳහන් වන්නේ තමන්ගේ නමින් සහ තම පුතුන්
දෙදෙනාගේ නමින් ‘උදාකිතග්බෝ’ නමින් ආරාමයක් කැරවා ‘කපාරමුලයට’ අයත්
‘පුවරම්’ වෙහෙරෙන් භික්ෂූන් දොළොස් නමක් ගෙන්වා වස් වසවා ගෙන සිව්පසය
සඳහා ගම් බිම් පූජා කිරීම පිළිබඳවය. ‘උකුණුහුහුසු කොට්ටා’ නමැත්තා
විසින් ‘පමගලු’ වෙහෙරට සහ එහි බෝධියට සහ පිළිම ගෙයි පූජා පිණිස රන් කලං
අටක් දී මිළට ගත් කුඹුරෙන් කොටසක් ද පොලී වශයෙන් වී ලැබෙන සේ දුන් රන්
කලං දෙකක් ද වශයෙන් රන් කලං දහයක් පූජා කැර එම විහාරයෙහිම පූජාසනයෙහි
වියන සඳහා තවත් රන් කලං දෙකක් ද පූජා කළ බවත් එම ලිපියෙහි සඳහන් වේ.
අනුරාධපුර ‘ගල්ඔරුවේ’ සන්නසෙන් පැවසෙන්නේ නගරයට ගෙන එන වීගෝනි එකකින්
වී පත බැගින් ‘මහාපාලි’ දාන ශාලාවට ගත යුතු බවත් ආහාර වලින් තමන්ට හිමි
කොටස් ජේතවනාරාමයේ නව කම් සඳහා දුන් බවත් මෙම කටයුතු සඳහා අනදර කළවුන්
ඇත්නම් ඔවුහු සියලු රටවැසියන් කරන අකුසල් ගත යුතු බවත් එසේම ‘මාතොට’
එලු ඝාතකයාගේ සියලු අකුසල් ගත්තවුන් බවට පත් වන බවත් එහි සඳහන් වේ.
මෙසේ ඉතිහාස ගත තොරතුරු මෙන්මැ සමාජගත තොරතුරු ද ආගමික තොරුතුරු ද
දැනගත හැකිවී ඇත්තේ පුරාණ රජවරුන් මෙන්මැ රටෙහි ජනතාව ද විවිධ පුද පූජා
පවත්වමින් ඒවා පිළිබඳ නොමැකෙන සටහන් තැබූ නිසා බව පසක් වේ. |