Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මම මගෙන් නිදහස් ද ?

‘මහණෙනි, යම් දවසක ආර්ය ශ්‍රාවකයා පංච උපාදානස්ඛන්ධයේ හට ගැනීමත්, නැති වීමත්, ආස්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත් ඒ ආකාරයෙන්ම අවබෝධ කරනවා නම්, පින්වත් මහණෙනි, එම ආර්ය ශ්‍රාවකයාට තමයි සෝවාන් කියලා කියන්නේ. සතර අපායේ නොවැටෙන ස්වරූපයෙන් යුතු කෙනා නියත වශයෙන්ම නිවන් අවබෝධය පිහිට කර ගෙන ඉන්න කෙනෙකු බවයි’ යනුවෙනි. මෙය තමා විසින්ම නුවණින් විමසා බැලිය යුත්තකි.
 

නමෝ තස්ස භගවතෝ
අරහතෝ සම්මා සම්බුද්ධස්ස
යතෝ ඛෝ භික්ඛවේ අරිය සාවකෝ ඉමේසං
පඤ්චනං උපාදානක්ඛන්ධානං සමුදයඤ්ච
අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච
නිස්සරණඤ්ච යථාභූතං පජනාති.
අයං වුච්චති
භික්ඛවේ අරියසාවකෝ සෝතාපන්නෝ
අචිනිපාතධම්මෝ නියතෝ
සම්බෝධිපරායනෝති

(සංයුත්ත නිකායේ ඛන්ධ සංයුක්තයේ සෝතාපන්න සූත්‍රය)

පින්වත් අරිය ශ්‍රාවකයිනි,

මම කියන්නේ රූප වේදනා සංඥා, සංඛාර, විඤ්ඤාණ යන උපාදානස්ඛන්ධ පහටයි. පළමුව බලමු මොකක්ද මේ පංච උපාදානස්ඛන්ධය කියන්නේ කියලා රූපය කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා භූ®තවලින් හට ගත් දෙයයි, වේදනාව කියන්නේ ස්පර්ශය නිසා හටගත් විදීමයි.

සංඥාව යනු ස්පර්ශය නිසා හටගත් හදුනා ගැනීමයි. සංඛාර යනු ස්පර්ශය නිසා හටගත් චේතනා පහළ වීමයි. විඤ්ඤාණය යනු නාමරූප නිසා හටගත් සිතයි. මෙය හේතුඵල දහම අනුව හටගත්තක් නිසා පංච උපාදානස්ඛන්ධය දුකක් යැයි පුහුදුන් ඇතැම් කෙනෙකුට හිතුනත් යථාර්ථයෙන්ම තේරුම් ගන්න බැරිවෙලා. ඊට හේතුව ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සත්වයා තුළ සඤ්ඤා විපල්ලාසය යනු සත්‍ය වශයෙන් තියන දෙය හඳුනාගන්නේ නැතිව වෙනත් දෙයක් හඳුනා ගැනීමටයි. පින්වතුනි,, බුදුරජාණන් වහන්සේ විසින් සඤ්ඤා විපල්ලාස හතරක් දේශනා කරනවා. එනම් 1. අසුභෙ සුභ සඤ්ඤා (අසුභ දේ සුභ ලෙස හඳුනා ගැනීම. ) 2. දුක්ඛෙ සුඛ සඤ්ඤා (දුක් වූ දේ සැප ලෙස හඳුනා ගැනීම. ) 3. අනිච්චේ නිච්ච සඤ්ඤා (අනිත්‍ය වූ දේ නිත්‍ය ලෙස හඳුනා ගැනීම. ) 4. අනත්තේ අත්ත සඤ්ඤා (අන්තාම දේ ආත්ම වශයෙන් හඳුනා ගැනීම.) ඒ කියන්නේ සත්‍ය වූ දේ තමයි අසුභ, දුක්ඛ, අනිත්‍ය, අනාත්ම හතර. නමුත් ඒවා අන්ධ වූ පෘථග්ජනයා සුබ, සැප, නිත්‍ය, ආත්ම වශයෙන් පටලවාගෙන අවිද්‍යාව නමැති දැලකින් සිත වෙළාගෙන දුක් විඳින්නේ නැද්ද ? දුක් විඳිනවා. ඒ නිසාම පුහුදුන් කෙනා පංච උපාදානස්ඛන්ධයට දැඩි ලෙස බැදී යනවා. ඒ කියන්නේ සක්කාය දිට්ඨියටයි.

ඒ හොඳට මතකයට ගන්න. විශාකා උපාසිකාව අසන ප්‍රශ්නයට ධම්මදින්නා තෙරණිය පිළිතුරු දෙන්නේ, සද්ධර්මය අසන්න ලැබෙන්නේ නැති එහි හැසිරෙන්නේ නැති අශ්‍රැතවත් පුහුදුන් කෙනා රූපය ආත්මයක් (තමාගේ වසගයේ පැවැත්විය හැකි දෙයක් ) ලෙස ගෙන මුළාවෙන් දකිනවා. නැති නම් ආත්මය රූපයෙන් හැදුනු එකක් ලෙසද දකිනවා.

ආත්මය තුළ තමයි රූපය තියෙන්නේ කියලත් දකිනවා. එසේත් නැතිනම් ආත්මය තියෙන්නේ රූපය තුළමයි කියලත් දකිනවා. මෙලෙස අවස්ථා හතරක් ලෙස රූපය දෙස බලනවා. වේදනා සංඥා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ හතරත් එලෙසින්ම හතර ආකාරයෙන් බලමින් ආත්ම ලෙස ගන්නවා. එවිට තමාට තියෙන්නේ මම යන හැගීමයි.

නමුත් මම කියන කෙනා උපතේ සිට මරණය දක්වා හෝ සසරේ දිගටම පවතින දෙයක් වෙන්න ඕනේ. නමුත් මම කියන කෙනා වරින් වර වෙනස් වෙනවා, ලෙඩ වෙනවා, වයසට යනවා, නිදාගන්නවා, දහඩිය දානවා, අඬනවා, මැරෙනවා. මෙලෙස වෙනස් වන්නේ නැද්ද ? වෙනස් වෙනවා. වරින් වර වෙනස් වන දෙයට තමයි ‘ මම ‘ කියන්නේ. පින්වතුනි, මේ රූපකය තමාම ක්‍රියාවේ යොදවන අයුරු බලන්න. මම කමි, මම යමි, මම දනිමි, ආදී වශයෙන් කථා කරන මම විටක මගේ ඇඟ, මගේ කණ, මගේ ඇඟ පණ නැත මගේ ඇඟ කෙට්ටුය. යනුවෙන් පවසන්නේ නැද්ද ? පවසනවා. කලින් මම කියලා ගත් ශරීරය තව විටකදී මගේ වෙලා. ඒ තුළින් පෙනී යන්නේ මම මගේ වීමෙන්ම ‘මම’ නොවන බවයි.

මේ අනුව බලන විට ආත්මීය වශයෙන් ගත යුතු දෙයක් නැත. ඒ අනුව පෘථග්ජනයාට හිතෙන්න පුලුවන් ජීවත් වෙන නිසා මේ දුක තියෙන්නේ කියලා. ඒ නිසාම ජීවිතය නැති කර ගන්න බලනවා. එය නොව සත්‍ය. තමා තුළ ඇති අවිද්‍යාව ( නොදැනීම ) හා තණ්හාවයි. මේ ප්‍රශ්නේ තේරුම් ගන්න මාර්ගයක් තියනවා. ඒ තමා සම්මා දිට්ඨි ආදි කොට ඇති මධ්‍යම ප්‍රතිපදාවයි. එමගින් ‘මම’ කියන කෙනා සසරින් නිදහස් වෙනවා. මෙය ආරිය ශ්‍රාවකයා හොඳින් දන්නා කරුණකි.

පංච උපාදානස්ඛන්දය ස්කන්ධ, ධාතු, ආයතන වශයෙන් වෙන් වෙන්ව නුවණින් බලන්න පුරුදු වෙන්න ඕනේ. එලෙස බලන කෙනාට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙන්න පටන් ගන්නවා.

බලන්න මේ කථාව, බුදුරජාණන් වහන්සේ ගේ කාලයේ හිටියා දාරුචීරිය කියලා කෙනෙක්. මොහු දර පතුරු ඇඳ ගෙන බුදුරජාණන් වහන්සේ දැකීමට මහ පාරේ යන කොට බුදුරජාණන් වහන්සේ මහ පාරේ පිණ්ඩපාතේ වඩිනවා.

දාරුවිරිය බුදුරජාණන් වහන්සේ දැක හඳුනා ගෙන මහ පාරේ ඇද වැටී වැඳ ධර්මය දේශනා කරන ලෙස ඉල්ලනවා. පිණ්ඩපාතේ වඩින වේලාව නිසා බුදුරජාණන් වහන්සේ එය නොපිළිගනී. නමුත් තුන් වතාවක්ම ආරාධනා කර සිටින්නේ සුදුසු ධර්මයක් දේශනා කරන ලෙසටයි. බලන්න ඔහුට ධර්මය අහන්න තිබෙන කැමැත්ත. අන්තිමේදි බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරනවා. එනම් බාහිය, දැක්කොත් දැක්කා විතරයි.

ඇහුණොත් ඇහුණා විතරයි. ගඳ, සුවඳ ගත්තොත් ගත්තා විතරයි. රස වින්දොත් වින්දා විතරයි. කයට පහස ලැබුණොත් ලැබුණා විතරයි. සිතින් සිතුවොත් හිතුවා විතරයි. ඔබ යමක් හිතුවොත්, විමසුවොත් ඒ සියල්ල එතනින් ඉවරයි. එතැන යමක් හැදෙන්නේ නැතිනම් ඔබ ඒ තැන නෑ.

යම් තැනක ඔබ නැති නම් ඔබ වෙන තැනකත් නැත්නම් ඒ අතරත් ඔබ නෑ. එවිට බාහිය, ඔබ දුකින් නිදහස් කියලා. මෙය පුළුල් අර්ථයක් තියන දෙයක්. බාහිය මහපාරෙම හිටගෙන නුවණින් කල්පනා කරලා බලා මහපාරෙම රහත් වුණා. ප්‍රඥාව තියනවා නම් සසරින් නිදහස් වෙන්න පුළුවන් සුප්පාවාසා දේවියට ද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ

’අසාතං සාත රූපේන
පිය රූපේන අප්පියං
දුක්ඛං සුබස්ස රූපේන
පමත්ත මතිවත්ති

‘අමිහිරි දේවල් මිහිරි ස්වරූපයෙන්, අප්‍රිය දේවල් ප්‍රිය ස්වරූපයෙන්, දුක් දේවල් සැප ස්වරූපයෙන් ප්‍රමාදී පුද්ගලයාව යටකර ගෙන යන්නේය’ යනු මෙහි අදහසයි. මේ ඇසූ සුප්පාවාසා ජීවිතයේ තිබෙන යථා ස්වරූපය තේරුම් ගත්තා. කිසිම දේකට ඇලෙන්නේ නෑ කියලා සිතා ගත්තා.

ඉහතින් මාතෘකා කරගත් බුද්ධ දේශනාවෙන් ධර්ම දේශනය අවසන් කරනවා. එම ගද්‍ය පාඨයෙන් අදහස් වන්නේ මෙයයි. ‘මහණෙනි, යම් දවසක ආර්ය ශ්‍රාවකයා පංච උපාදානස්ඛන්ධයේ හට ගැනීමත්, නැති වීමත්, ආස්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත් ඒ ආකාරයෙන්ම අවබෝධ කරනවා නම්, පින්වත් මහණෙනි, එම ආර්ය ශ්‍රාවකයාට තමයි සෝවාන් කියලා කියන්නේ.

සතර අපායේ නොවැටෙන ස්වරූපයෙන් යුතු කෙනා නියත වශයෙන්ම නිවන් අවබෝධය පිහිට කර ගෙන ඉන්න කෙනෙකු බවයි’ යනුවෙනි. මෙය තමා විසින්ම නුවණින් විමසා බැලිය යුත්තකි. එවිට මම මගෙන් නිදහස් වෙනවා.

තෙරුවන් සරණයි !


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.