රුවන්මැලි
මහ සෑ වරුණ
ගම්පහ, උග්ගල්බොඩ
ධම්මාරාම යෝගාශ්‍රමයේ
අනුශාසක
නවගත්තේගම සුගතවංස හිමි
සෝණුත්තර නම් මහරහත් සාමණේරයන් වහන්සේ විසින් නාග භවනයෙන්
වඩමවාගෙන එන ලද ද්‍රෝණයක් (නැලි 4 ක්) පමණ සර්වඥ ධාතූන් වහන්සේ
මෙම අසදිස මහා සෑයේ නිදන් ව පවතී. සක්දෙව් මහරජතුමා තව්තිසාවෙන් ගෙනා
රන් කරඬුවක තැන්පත් කරන ලද
මෙම ධාතූන් වහන්සේ මතුයෙහි
මහා බ්‍රහ්මයා විසින් වාලවිජිනි ඡත්‍රය දරනු ලැබ සිටියදී දුටුගැමුණු
රජතෙමේ ලක්ෂ ගණන් සඟරුවන මැද කෝටි ගණන්
දෙව්, බඹ මිනිසුන් මැද
එම සධාතුක කරඬුව ශ්‍රී ලංකා රාජ්‍යයෙන් තුන්වරක් පූජා කළේය.
අනුරාධපුර මහමෙව්නා උයනේ සුදෝ සුදු රැසින් විරාජමානව වැජඹෙමින් දෙස්
විදෙස් බෞද්ධ ජනතාවගේ හෘද්‍යාභ්‍යන්තරයෙන් නැඟෙන අකලංක ශ්‍රද්ධා
ප්‍රණාම පූර්ණක වන්දනාමානයට සහ ගුවන්ගැබ සිසාරා නින්නාදවන හරසර ගුණ
ගායනාවට පාත්‍රව සිටින අසදිස ස්වර්ණමාලී මහා සෑ රදුන් සිරිලක් බිම පිට
දිවමන්ව වැඩ සිටින බුදුරජාණන් වහන්සේ හා සමානය.
මෙම චෛත්‍ය රාජයන් වහන්සේ ක්‍රි.පූ. 101 - 77 ලක්දිව රජකම් කළ අසහාය
ලංකාපුත්‍ර ධීර වීර දුටුගැමුණු මහරජතුමා විසින් කරවන ලද්දකි. ශ්‍රී
ලංකාවේ බුදු සසුන නිල වශයෙන් ස්ථාවරව ස්ථාපිත කිරීමට මෙහි වැඩම කළ මහා
මහීන්ද්‍ර රහතන් වහන්සේගේ උපදෙස් පරිදි දේවානම්පියතිස්ස මහරජතුමා
විසින් ‘දෙවන පෑ තිස් රජුගේ මුණුබුරු වූ දුටුගැමුණු අභය තෙමේ මේ
පෙදෙසෙහි මහා ස්ථුපය කෙරේවා!’’ යි දුටුගැමුණු මහරජතුමාට මග පෙන්වා
පිහිටුවන ලද සෙල් ලිපිය පිහිටා තිබුණු බිම මෙම මහා ස්ථූපය ඉදිවිය.
(මෙකී සෙල් ලිපිය මහා සෑයට උතුරු දෙසින් නැවත පිහිටුවා ඇති අතර එය අද
පවා දක්නට ලැබේ.
මහාමේඝ උද්‍යානයේ පූජනීය (අටමහා) ස්ථාන දෙවන පෑතිස් නිරිඳුට දක්වමින්
වඩින මිහිඳු මහරහතන් වහන්සේ මෙම ස්ථානයට සපුමල් පුදා වඳින කල්හී ‘මතුදා
මෙතැන ඉදිවන මහා සෑ රදුන්ගේ බර මම දරා සිටිමි’ යි කියන්නාක් මෙන්
මහීමාතාව භූමි චලනයක් උපදවා සපථ කර පිළිගත්තා ය. මේ බිම ඒ වනවිට ද
සම්බුදු පා පහස ලද පින්බිමක් ව තිබුණි. බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ
කැලණියට වැඩි බුදුරදහු මෙතැනටද වැඩම කර පන්සියයක් පමණ ශ්‍රාවක මහ රහතන්
වහන්සේ සමඟ සමවත් සුවයෙන් වැඩ සිටි සේක. මේ ස්ථානය අතිශය පාරිශුද්ධ
සම්බුද්ධ සේවිත පින්බිමක් බවට පත්කර වදාළහ.
ඉන්පසු කලෙක සිරිලක රජ පැමිණි දුටුගැමුණු මහ රජතුමා සියලු පරසතුරු
උවදුරු මැඩ පවත්වා තුන් සිංහලය එක්සේසත් කොට ‘ සතුරන් මර්දනය පිණිස මා
විසින් ජනයා බදු බරින් පෙළන ලදී. බදු තවදුරටත් වැඩි නොකර මම මහා ස්ථූපය
ඉදිකිරීමට ධනය කෙසේ ලබම් දැයි සිතමින් සිටින විට සේසත් ඡත්‍රයට
අධිගෘහිත දෙවියාගේ ප්‍රධානත්වයෙන් භූමාටු දෙවියන්ගේ පටන් සක්දෙව්
රජතුමා වෙතට යනතුරු මෙම කථාව පැතිර ගියේය.
මේ අනුව ශක්‍ර දේවේන්ද්‍රයාගේ අණින් විශ්මකර්ම දිව්‍ය පුත්‍රයා විසින්
නගරයට යොදුනක් දුරින් මහාස්ථූප කර්මාන්තයට අවශ්‍ය ගඩොළු මවන ලද්දේ ය.
තවත් තැනක තුන්යොදුනක් පමණ බිම් ප්‍රදේශයක් පුරා වියතක් පමණ උඩට රන්
පුරුක් වැවිණි. (මතුවිය) මහවැලි ගඟින් එතෙර තඹවිට ප්‍රදේශයේ තඹ පුරුක්
මතුවිය. සුමනවාපී නම් ගමින් බොහෝ මැණික් පහළ විය. අම්බට්ඨකෝලලේණ
දනව්වෙහි රිදී පහළ විය. හැඩයෙන් සහ ප්‍රමාණයෙන් නෙල්ලි ගෙඩි පමණ වූ
මුතු උරුවේල පට්ටනයෙන් ලැබුණි.
මෙසේ එම සෑ රදුන්ගේ් චෛත්‍ය කර්මාන්තය සඳහා අවශ්‍ය කරන සියලු ද්‍රව්‍ය
සහ ධනය දේවානුභාවයෙන් පහළ වී ය. ‘මාගේ මේ ව්‍යායාමය කිසි කලෙකත් රජ සැප
පිණිස නොවන්නේ ය. මාගේ මේ උත්සාහය බුද්ධ ශාසනයාගේ පිහිටුවීම (සම්බුද්ධ
සාසනස්සේවඨපනාය) පිණිසමැයි’ උත්සාහවන්ත වූ දුටුගැමුණු රජතුමා එම සියලු
අමුද්‍රව්‍ය සහ වස්තුව (දේවානුභාවයෙන්ම) එක්තැන් කරගෙන ලක්ෂ ගණන් වූ
භික්ෂූ භික්ෂුණීන් පෙරමුණේ තබාගෙන සපරිවාරව හිඳ මෙම මාහැඟි මහා සෑයෙහි
කටයුතු ආරම්භ කළේය.
සත් රියන් ගැඹුරට බිම සාරා ඇතුන් ලවා පාගවා තදකොට ඒ මත (අභිඥාලාභී
සාමණේරවරුන්) අනවතප්ත විල්තෙරින් ගෙනා නවනීත නම් මැටි වෙසෙස අතුරුවා ඒ
මත කළුගල් තට්ටුවක් එළා නවනීත මැටියෙන් ම කුස්තුර මකා නැවත එහි බොරළු
මුසු ගල්තට්ටුවක් අතුරා (සාමණේර හිමිවරුන් විසින්) හිමාලයෙන් ගෙනන ලද
මරුම්බ නම් සුවඳ මැටි පුරවා ඒ මත පළිඟු ගල් තහඩු අතුරා සකස් කරන ලද
පදනම මත රාජකීය පූජා උත්සව පුරස්සරව පුරපසළොස්වක දා උතුරුසළ නැකතින් මේ
මහා සෑයේ මංගල ශිලා ප්‍රතිශ්ඨාපනය සිදුකරන ලදී. මෙලෙස මහ සෑ නැංවීම්
කටයුතු අරඹන ලද ආකාරය සහ එහි කටයුතු සිදු කරගෙන ගිය පිළිවෙළ පිළිබඳ ඉතා
විසිතුරු දීර්ඝ විස්තරයක් අපේ පෞරාණික ග්‍රන්ථ කිහිපයකම සඳහන් වේ.
එහි ඉදිකිරීම් ආරම්භ වූ පසු විස්කම් දෙව් පුත් තෙමේ ප්‍රධාන පෙදරේරු
ශිල්පියාට ආවිෂ්ට වී ‘ බුබ්බුලාකාරව (දිය බුබුළක හැඩයට) සෑය ඉදිකරමු’
යැයි තීරණය කරගෙන, තුන්වැනි පේසාව දක්වා ඉදිකළ පසු මහිද්ධික වූ මහරහතන්
වහන්සේ ගේ අධිෂ්ඨානය පරිදි එය පොළොවේ ගිලී ගියේය. ඉන් පසුබට නොවූ මහ
රජතෙමේ නැවත ද එය ඉදිකර වීය. නමුත් එවිට ද එය පොළොවේ ගිලුනේමය. මෙසේ
ගඩොළු කෝටිය, කෝටිය බැගින් නවකෝටියක් යොදාගෙන අවස්ථා නවයකදී තුන්වැනි
පේසාව දක්වා ඉදිකළ චෛත්‍යය පොළොවට ගිලා බැස ගියේ ය. මහ සඟරුවන මෙවන්
අධිෂ්ඨානයක් කළේ මහාථූපයේ බර දැරීමට හැකි පරිදි ශක්තිමත් බව ඇති කිරීම
පිණිසය. (ඒ නිසා රත්නමාලී මහා සෑ රදුන් කෙරෙහි අද අපට දක්නට ලැබෙන්නේ
දසවැනි වතාවට ඉදිකළ පේසාවන් ය) ඉන්පසු මහරහතන් වහන්සේගේ අනුශාසනා පරිදි
නැවත චෛත්‍ය කර්මාන්ත අරඹා අඩි 120 ක් පමණ උසැති වන පරිදි ඉදිකරගෙන
ගියේය.
ඊළඟට මෙහි ධාතු ගර්භ කර්මාන්තය පිළිබඳ ද ඉතා චිත්තාකර්ෂණිය විස්තරයක්
පැරැණි පොතපතේ දක්නට ලැබේ. රනින් කළ පිළිම සහ මූර්ති ලක්ෂ ගණනක් මෙම
ධාතු ගර්භය තුළ දක්නට ලැබෙන බව ඉන් පැහැදිලි වේ. ධාතු නිධානය පිළිබඳ ද
දතයුතු බොහෝ කරුණු එම පොතපතින් අපට හමුවේ. මහාභිඥාලාභී සෝණුත්තර නම්
මහරහත් සාමණේරයන් වහන්සේ විසින් නාග භවනයෙන් වඩමවාගෙන එන ලද ද්‍රෝණයක්
(නැලි 4 ක්) පමණ සර්වඥ ධාතූන් වහන්සේ මෙම අසදිස මහා සෑයේ නිදන් ව
පවතී. සක්දෙව් මහරජතුමා තව්තිසාවෙන් ගෙනා රන් කරඬුවක තැන්පත් කරන ලද
මෙම ධාතූන් වහන්සේ මතුයෙහි මහා බ්‍රහ්මයා විසින් වාලවිජිනි ඡත්‍රය දරනු
ලැබ සිටියදී දුටුගැමුණු රජතෙමේ ලක්ෂ ගණන් සඟරුවන මැද කෝටි ගණන් දෙව්,
බඹ මිනිසුන් මැද එම සධාතුක කරඬුව ශ්‍රී ලංකා රාජ්‍යයෙන් තුන්වරක් පූජා
කළේය. එය ධාතු ගර්භයේ තැන්පත් කළේ ඉන් පසුව ය. මෙසේ මහත් විසිතුරු
සිදුවීම් මැද ඉදි වූ චෛත්‍යයේ වැඩ සම්පූර්ණයෙන් නිම කිරීමට නොලැබම
දුටුගැමුණු මහරජුන් කළුරිය කළ අතර එහි ඉතිරි කොටස නිම කරනු ලැබුවේ
සද්ධාතිස්ස මහරජාණන් විසිනි. මෙසේ ඉදි වූ මෙම චෛත්‍ය රාජයාණන්ගේ
ඓශ්චර්යවත්භාව ගැන මහාවංසය, වංසත්ථප්පකාසනී ටීකාව ඇතුළු පාලි ග්‍රන්ථවල
අඩංගු විස්තර සිංහල භාෂාවෙන් දැන ගැනීමට කැමැතියන්ට සිංහල ථූපවංසය
කියවා එය දැන ගත හැකිය.
එදා දුටුගැමුණු, සද්ධාතිස්ස දෙසොහොයුරු රජ දරුවන් විසින් ඉදිකරවන ලද
මහා සෑය අනුරාධපුර රාජධානියේ පිරිහීමත් සමඟ වනගත වී වල්බිහි වී ගරා
වැටී තිබිණි. මෑතකාලීනව (1884 දී පමණ) නාරන්විට සුමනසාර නම් ස්වාමීන්
වහන්සේ විසින් එම චෛත්‍ය බිම පාදා වල් ඉවත් කරනු ලැබ තමන් වහන්සේගේ
ශක්ති පමණින් ගොඩනැංවීමට උත්සාහයක් ගනු ලැබිණි. එහෙත් එම උත්සාහය වැළකී
ගියෙන් 1912 දී ඇවරිවත්තේ වෙද රාළහාමිගේ ප්‍රධානත්වයෙන් අරඹන ලද
රුවන්මැලි චෛත්‍ය වර්ධන සමිතිය නම් සමාගම මගින් දක්ෂ ඉංජිනේරුවන්
යොදාගෙන බොහෝ දෙස් විදෙස් පරිත්‍යාගශීලි සැදැහැතියන්ගේ දායකත්වයෙන්
චෛත්‍යය නැවත ඉදිකිරීමේ කටයුතු 1940 වර්ෂයේදී නිමා කරන ලදී. වර්තමාන
චෛත්‍යයේ උස අඩි 338 ක්ද විෂ්කම්භය අඩි 294 ක්ද වේ.
එසේම චෛත්‍යය මුදුනේ කොත්කැරැල්ල මත පළඳවා ඇති ලෝහමය කොත අඩි 24 ක්
උසය. එහි බර ටොන් 6 කි. මෙහි පළඳවා ඇති චූඩාමාණික්‍යය ලැබීම ගැන ද
ඇත්තේ විමතිය මුසු ශ්‍රද්ධාව දනවන ශාසනික ඓශ්චර්යමත් බව ස්ඵුට කරන
රසවත් කථාවකි.
කොළඹ දෙමටගොඩ මහා මකුටාරාමාධිපතිව වැඩ සිටි යූ. විනයාලංකාර නම් බුරුම
ජාතික නාහිමිපාණන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් බුරුම රට වැසි බෞද්ධ
ජනතාවගේ පරිත්‍යාගයක් ලෙස මෙම චූඩාමාණික්‍යය ලැබී ඇත. එහි උස අඟල් 18
කි. (අඩි 1 1/2 කි) වට ප්‍රමාණය අඟල් 26 කි. (අඩි 2 යි අඟල් 2 කි) බර
රාත්තල් 66 කි. එසේම මෙම වූඩාමාණික්‍යය මුදුනේ ධාතූන් වහන්සේ 98 නමක්
තැන්පත් කරන ලද ධාතු කරඬුවක් ද පිහිටුවා ඇති අතර මැණික් ගල් දහස් ගණන්
අල්ලා එම චූඩාමාණික්‍යය සරසා අලංකාරවත් කර ඇත. මේ ගැන වැඩි විස්තර
රේරුකානේ චන්දවිමල මහානායක හිමියන් විසින් සම්පාදිත ‘සතිපට්ඨාන භාවනා
විවේචනය සහ වෙනත් කෘති’ පොතේ සඳහන්ව ඇත.
මෙවන් අසිරිමත් බවකින් හෙබි අසදිස මහ සෑ රදුන් දැක බුද්ධාලම්භන
පී‍්‍රතිය උපදවා ගෙන වැඳ පුදා බුදුගුණ ගයා මහත් පින් රැස්කර ගෙන ස්වර්ග
මෝක්ෂ සම්පත් ප්‍රතිලාභ කර ගත්තෝ අනන්ත වෙති. අපටද එබඳු පුණ්‍ය ලාභයක්
අත්කර ගැනීමට අදාළ පොතපත කියවා අවබෝධයක් ලබාගෙන තිබීමද මහත් පිටිවහලක්
වන්නේ ය. එබැවින් අපේ සැදැහැතියන් මහ සෑ වරුණ අධ්‍යයනය සඳහා වඩ වඩාත්
යුහුසුළු විය යුතුය. |