Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ප්‍රාර්ථනාවෙන් නිවන් දැකිය හැකි ද?

ශ්‍රීලංකා වාසී බෞද්ධයන් තුළ ප්‍රාර්ථනාව පිළිබඳව දැඩි විශ්වාසයක් පවතී. වන්දනාමාන කටයුතුවලදී මෙන්ම දාන මාන ආදී පින්කම් කටයුතු වල දී ද නොයෙක් දේ ප්‍රාර්ථනා කර බලාපොරොත්තු ඇති කර ගැනීම සියවස් ගණනාවක් තිස්සේ මුල් බැස ගෙන තිබෙන සිරිතකි.

සමාජගත පුද්ගලයාගේ දෛනික අවශ්‍යතා රාශියකි. බාහිර වශයෙන් ඇතිවන නොයෙකුත් උවදුරු බොහෝය. ඒ වායින් සැනසිලි සුවයක් ලබා ගැනීමට ආගමේ නාමයන් පහසුකම් සලසා තිබේ. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කිරීමෙන්, භාරහාර වීමෙන් සෙත් කවි කියවීමෙන්, නොයෙකුත් දෙවි දේවතාවුන්ට ද භාරහාර වීමෙන්, කන්නලව් කිරීමෙන්, නිරෝගිකම සමෘද්ධිය හා ජයග්‍රහණ ප්‍රාර්ථනා කරනු ලැබේ. මෙය එක්තරා විශ්වාසයක් පමණි.

අවබෝධ ශක්තිය අනුව බලන කල සෑම දෙනාගේම නුවණ එක හා සමාන නොවේ. ආගම ද ඊට අනුරූප අයුරින් විවිධත්වයක් පෙන්නුම් කරයි. වන්දනාමාන හා පුද පූජා ආදියෙන් බුද්ධිහීන පුද්ගලයින්ට පිහිට ලබා ගත හැකි බව ආගමේ නාමයෙන් පෙන්වන අතර, බුද්ධිමත් සමාජයට ද අනුරූප වන ක්‍රියා මාර්ග ඉදිරිපත් කර සූක්‍ෂ්ම ලෙස ඔවුන්ව ද ඒවායේ ඇද බැඳ තැබීමට ආගම අපූර්ව කුසලතාවක් ප්‍රකට කරනු ලැබේ.

මේ නයින් බලන කල දේවභක්තිකයන් අතරත් බෞද්ධ බැතිමතුන් අතරත් අවශ්‍යතා සපුරා ගැනීම පිණිස කරනු ලබන කටයුතු වල වෙනසක් පෙනෙන්නට නැත.

භික්‍ෂුවගේ හා ගිහියාගේ ආගමික ජීවිතය අද බොහෝ දුරට වත් පිළිවත් වලට පමණක් සීමා වී තිබේ. දෙවියන්ගෙන් පවා වැඳුම් ලැබිය යුතු භික්‍ෂුව ගිහි අවශ්‍යතාවන් සඳහා අද දෙවියන් ඉදිරියේ දනින් වැටී කන්නලව් කරන තත්ත්වයට පත්ව ඇත. ගිහියන්ගේ ආමිස අවශ්‍යතා සපුරාලීමට මුල් තැන දී කටයුතු කරන නිසා, ගිහි පැවිදි උභය පාර්ශ්වය අද ආර්ය මාර්ගයෙන් බොහෝ දුරට ඈත් වී සිටිති.

දෙවියන් කෙරෙහි පෞද්ගලික භක්තියක් ඇතිකොට ගෙන පූජෝපහාර දක්වා වැඳුම් පිදුම් කළත්, බුදුන් වහන්සේ කෙරෙහි පෞද්ගලික භක්තියක් ඇතිකොට ගෙන වැඳුම් පිඳුම් කළත් ඒ දෙකෙහි කිසිත් වෙනසක් නැත. බුදුන් වහන්සේගේ ධර්මය ග්‍රහණය පිණිස නොවේනම්, බුදුන් වහන්සේව උපාදානය කර ගැනීමෙන් කිසිවකුටත් යහපතක් සිදුවේද? ජීවිත යාත්‍රාව වන්දනා ගමනක් කරගත් බෞද්ධ බැතිමතුන්ට මෙය තේරුම් ගැනීම එතරම් පහසු නොවනු ඇත.

නොයෙක් සැප සම්පත් ප්‍රාර්ථනය කරමින් අවබෝධයෙන් තොරව දෙන දානය ද පොලියක් බලාපොරොත්තුවෙන් බැංකුවේ මුදල් තැන්පත් කරවනවා වැනි ක්‍රියාවකි.අප රටේ ජනතාව ආගන්තුක සත්කාරයට ඉතා ලැදි පිරිසක් බව ඉතිහාසයද සාක්‍ෂි දරයි. මෙ වැනි පරිත්‍යාගශීලි ජනතාවක් ඉතා ඛේදජනක ලෙස වෙනස් වූයේ දානයේ ආනිශංස ගැන ආත්මවාදී ලෙස ඉගෙන ගත් බැවිනි. සංඝයා උදෙසා බත් හැන්දක් පූජා කිරීමෙන් සව්සිරින් පිරි දිව්‍ය විමාන පහවීමටත්, මෛත්‍රි බුදුහාමුදුරුවන්ගේ ශාසනයේ විශාඛා, ඛේමා, ප්‍රජාපතී වැනි තත්ත්වයක් ලැබ ඉපදී, නිවන් දැකීමට පුණ්‍යානුමෝදනා වලදී ප්‍රාර්ථනා කරනු ලැබීමෙන් ඒ තත්ත්වය උදාවී තිබේ.

දානයේ ආනිශංස ගැන අවබෝධයෙන් යුතුව දානය දිය යුතුය. භික්‍ෂූන් වහන්සේ නමකට දානයක් පිළිගැන්වූ විට එම ආහාරයෙන් භික්‍ෂූන් වහන්සේගේ කුසගින්න නිවී ආයු, වර්ණ, බල, සැප, ප්‍රඥා නමැති බල පහ ලැබේ. දානවේල වැළඳීමෙන් භික්‍ෂුවට ලැබෙන ආනිශංසය එය යි. චීවර, සෙනසුන්, ගිලන්පස, බෙහෙත්හේත්, පූජා කළ විට ඒවායින් ද භික්‍ෂූන් වහනසේ ප්‍රයෝජන ගනිති. එහි ප්‍රතිග්‍රාහකයාට ලැබෙන ආනිශංසයි. දානය දුන් තැනැත්තාට එයින් ලැබෙන ආනිශංසය එම භික්‍ෂූන් වහන්සේගෙන් ධර්මය අසා සත්‍ය අවබෝධ කර ගැනීමයි. ධර්මය අවබෝධ කර ගැනීමට වඩා ආනිශංසයක් මේ ලෝකයේ තවත් තිබේද?

අකුසල මූලය ලෝභ, ද්වේෂ, මෝහ බව අපි දනිමු. දානය නමැති වචනයේ තේරුම දීම, අතහැරීම නම්, දානය දුන් පසු ඊට වඩා බොහෝ දේ ලබා ගැනීමට ප්‍රාර්ථනා කිරීමෙන් එය වෙළෙඳාමක් බවට පත්ව තිබෙන බව අවබෝධ කොට ගත යුතු ය.

බුදුසමය තුළ දානය නමැති උතුම් ක්‍රියාවට සැම විටම මුල් තැන දී තිබේ. දස පාරමිතා, දස පුණ්‍යක්‍රියා , දස රාජධර්මය සතර සංග්‍රහ වස්තු වල දානයට පළමු තැන දී තිබේ. එහි නිවන් ප්‍රාර්ථනා කිරීමට නොව සියලු කෙලෙස් අතහැරීම පුහුණු කිරීමටයි.

ප්‍රාර්ථනාව සම්බන්ධයෙන් අගනා විස්තරයක් වල්පොළ රාහුල හිමිපාණන් විසින් ලියන ලද “ සත්‍යොදය” පොතෙහි සඳහන්ව තිබේ. අද මුළු ලෝකයේම වියතුන් බුදුදහම ගැන යමක් ඉගෙන ගන්නේ වල්පොළ රාහුල හිමිපාණන් විසින් ලියන ලද පොත් වලිනි. එහෙයින්, “සත්‍යොදය” පොතින් ප්‍රාර්ථනාව ගැන ලියා ඇති කරුණු අප සැමගේ අවබෝධය සඳහා මෙහි පහත සඳහන් කරමු.

ප්‍රශ්නය , බුදු, පසේ බුදු, රහත් යන තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියක් ප්‍රාර්ථනා කළ යුතු බැව් සමහරු කියති. තවත් සමහරෙක්, ලොව්තුරා බුද්ධත්වයම ප්‍රාර්ථනා කළ යුතු බවත්, එසේ කළ විට එය ;නාලැබුණොත් පසේ බුදු බව හෝ එයත් වැරදුනොත් රහත් බව හෝ ලැබෙන බවත් කියති. මේ ගැන ඔබගේ අදහස කුමක්ද?

කර්තෘ :- මෙය අමුතුවෙන් කතා කළ යුත්තක් නොවේ. නමුත් එය නම් ඉතාම හීන අදහසක් බැව් කිය යුතුයි. මෙය තමා විසින් තමාම රැවැටීමකි. මේ අදහසේ කිසිත් වීර්යයක්, අධිෂ්ඨානයක් නැත. අධිෂ්ඨානය, වීර්යය පිළිබඳ වූ දෙයක් දී ‘වැරදුණොත්’ යන අදහසක් කවදාවත් ඇති නොවේ. වීර්යය, අධිෂ්ඨානය ආදි ධර්මයන් ඇතියකුට කිසි කලෙක නො වරදී. ‘වැරදුනොත්’ යන සිතිවිල්ල සමගම ඒ ගුණධර්මයෝ අතුරුදන් වෙති. මේ ප්‍රාර්ථනාව අනෙක් ප්‍රාර්ථනාවන්ටත් වඩා නිවට එකකි. මෙබඳු ප්‍රාර්ථනාවක් කරන්නා චපලයෙකි. ඔහුගේ ස්ථීර අදහසක් නැත. එබඳු මනුෂ්‍යයකුට නිර්වාණය තබා නැවත මනුෂ්‍ය ආත්මයක් ලබන්නටවත් පුළුවන් වේ දැයි සිතීම උගහටයි. නිර්වාණය මෙ බඳු නිවට නියාලූ දුබල සිතකට අවබෝධ වන දෙයක් නොවේ. එය වීර්යය අධිෂ්ඨානය, ප්‍රඥාව ආදී පාරමී ධර්මයන් ගෙන් ප්‍රාණවත් වූ දීප්තිමත් සිතටම අවබෝධ වන්නෙකි. එසේ නැතිව, මෙය වැරදුනොත් එය වත් ලැබෙනවා ඇතැයි කිසිත් ආත්ම ශක්තියක්,ආත්ම විශ්වාසයක් නැතිව දුර්වලව සිතන චපලයාට නිර්මාණය තබා එදිනෙදා කරන දෙයකින්වත් ජයක් ලැබිය නොහැක. මෙබඳු අදහස් වලින්, මනුෂ්‍යයා දීන බවට පැමිණෙයි.

ප්‍රශ්නය :- හොඳයි එතකොට මේ ප්‍රාර්ථනා කිරීමේ සිරිත ඇතිවුයේ කෙසේද?

කර්තෘ:- එය එතරම් රහසක් නොවේ. ආශාව නිසා සත්වයාගේ සිත්හි ප්‍රාර්ථනා කිරීමේ අදහස ඉබේම පහළ වීම ස්වභාවික සිද්ධියකි. එය අමුතුවෙන් පුරුදු කළ යුත්තක් නොවේ. මා කළ මේ ක්‍රියාවේ විපාකය නො ලැබී ගියොත් අලාභයකැයි මුළා වූ මනුෂ්‍යා තුළ භය හට ගනී. මේ මුළාවත් භයත් ආශාවත් නිසා මේ දේ ලැබේවා! යි හෙතෙමේ ප්‍රාර්ථනා කරයි.

ප්‍රාර්ථනාවට මිනිසුන් පෙළඹවීම ඉතාම පහසු වැඩකි. මෙය පසු කලෙක භික්‍ෂුන් විසින් දියුණු කරන ලද බැව් පොත් පත් කියවීමේ දී පෙනේ. පොත් පත් ලියූ සමහර කර්තෘවරුද, ඇතැම් දේශකයෝ ද මුලදී පස් කම් සැපයට දොස් නගා අවසානයේ දී (නුවණැතියන් සිනස්සමින්) එය ම ප්‍රාර්ථනා කරති. මෙහි ඇති නොගැළපීම සිතා බලන්න. යම් කිසිවකු දානයක් දුන් විට හෝ වෙන වැඩක් කළ විට ඔහු ලවා මේ පිනින් මට දෙව් මිනිස් සැප හා කෙළවර නිවන් සැපත් ලැබේවා’යි භික්‍ෂූහු ප්‍රාර්ථනා කරවති.

හෙතෙමේ එයින් පී‍්‍රතියට පැමිණෙයි. එසේම පින් කිරීම ලොකු වාසියක් බැව් සිතා යළි යළිත් එබඳු දේ කරන්නට පෙළඹෙයි. එසේ ප්‍රාර්ථනාවක් නොකළ හොත් ඔහුගේ සිත ඊට ඇදෙන්නට උපායක් නැත. නමුත් මේ ප්‍රාර්ථනාව නිසා මනුෂ්‍යාගේ විශාල පිරිහීමක් ඇතිවී තිබේ. මෙයින් චෛතසික ශක්තිය, ආත්ම බලය ඉතාම කනගාටුදායක ලෙස හීන වෙයි. ‍ෙම් ජීවිතයේදී ධර්මය පුරුදු කිරීමේ අදහස හැරදමා මෛත්‍රෙය බුදුන් ලොව පහළ වන තුරු එය කල්දමන්නට පුරුදුවෙයි.

ප්‍රශ්නය :- ප්‍රාර්ථනා නො කරන්නාගේ කුසල කර්මයන්හි නියම විපාක නොලැබේයයි සමහරු කියති

කර්තෘ :- එසේ නම් කුසල් පිළිබඳව පමණක් ඇයි අකුසල් පිළිබඳවද එසේ ම කිය යුතුයි. නමුත් එසේ කියන්නෝ කර්ම ඵල නොඅදහන්නෝය. කර්මයේ ඵලය ලැබීමට ප්‍රාර්ථනාවක් කුමටද? කර්මයට නියම ඵලය හටගැනීම කර්ම ඵලයන් පිළිබඳ ධර්මයයි. කුසල් අකුසල් දෙපක්‍ෂයම පිළිබඳව එය එසේමය. යම්කිසි සිතක් නිවන් දැකීමට තරම් දියුණුවී නම්, ඒ සිතට නිවන් පෙනීම ඒකාන්තයි. යමෙක් නිවන් මගෙහි, ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි ගමන් කරයි නම්, යමෙකුගේ සිත එපමණට දියුණු වී ඇත්නම් ඔහු නිවනට නොපැමිණ ඒ ගැන අමුතු ප්‍රාර්ථනාවක් නුවුමනාය. සංසාරයේ හැසිරෙන අපි නොඑක් ආත්ම වලදී නිවන් ප්‍රාර්ථනා කළෙමු. නමුත් අපට එයින් නිවන් ලැබිය හැකිවීද? වුවමනා කරන්නේ ප්‍රාර්ථනාව නොව ධර්ම මාර්ගයෙහි ගමන් කිරීමයි. ප්‍රාර්ථනාව නම් යාච්ඤාවේම විකෘතියකි. සිතා බැලීමට මම ඔබට උපමා කථාවක් කියමි.

ඔබත් මමත් අතිශයින්ම හිතවත් මිත්‍රයෝ වෙමු. බුදුරජාණන් වහන්සේ ඉදරියේ දී ඔබට නිවන් ලැබෙන්නට යයි. එවිට ඔබ මෙසේ කියන්නෙහි ය. මගේ මිත්‍රයාට නිවන් නොලැබතොත් මට පමණක් නිවනින් කම් නැත. ඉක්බිති බුදුරජාණන් වහන්සේ මෙසේ වදාරණ සේක. ඔව් ඔබ කැමති නම් ඔබට ලැබෙන නිවන ඔබගේ මිත්‍රයාට පැවරිය හැක. (මෙය කවදාවත් සිදුවිය හැක්කක් නොවේ) නමුත් අද ඔබට ලැබෙන මේ නිවන මිත්‍රයාට දුනහොත්, මින් පසු කිසි කලෙක ඔබට නිවන් දැක්ක නොහැක. මෙහිදී ඔබ මෙසේ සිතන්නෙහි ය. අද මට ලැබෙන මේ නිවන මගේ මිත්‍රයාට දුනහොත් මින් පසු කිසි කලෙක මට නිවන් නොලැබෙයි. පසුව නිවන් ලබන්නට ඔහුට ඉඩ දී මම දැන් නිවන් ලබමි. මේ සිතිවිල්ල සමගම ඔබ නිර්වාණයෙන් යොදුන් දහස් ගණනක් ඈත් වන්නෙහි ය. නමුත් මට කවදාවත් නිවන් ලැබිය නොහැකි වුවත් මින් පසු සදාකල්හිම අපායේ දුක් විඳින්නට සිදුවුවත් මට ලැබෙන මේ නිවන මගේ මිත්‍රයාට දෙමි’යි ඔබ සිතුවහොත් ඔබට සාමාන්‍යයෙන් නිවන පමණක් නොව ලොවුතුරා බුද්ධ රාජ්‍යය ද ලැබෙන්නේය.

මේ කථාව ගැන ටිකක් දුරට සිතා බලන විට ඉතා සියුම් ධර්මයක් පැහැදිලි වෙයි. නිවන මට ඕනෑයයි සිතන්නාට එය නොලැබෙයි. අනුන් වෙනුවෙන් එය හැර දමන්නාට ලැබෙයි. නිවන් දැකීම පිළිබඳ රහසද මෙය වේ.”

“සත්‍යොදය” පොතෙනි

ඉහත සඳහන් කරුණු ඉදිරිපත් කිරීමට හේතු වූයේ බෞද්ධ ජන සමාජයේ බොහෝ දෙනා පින්කම් කිරීමෙන් සංසාර ගමනේදි කවදා හෝ නිවන් ලැ‍ෙබිවායී බලාපොරොත්තුවෙන් කරන ප්‍රාර්ථනා නිරර්ථක ඒවා බව දැක්වීම පිණිස ය. බුදු කෙනකු ලොවට පහළ වන්නේ ලෝවැසි දනන් හට කරුණු පහක් ඉටු කිරීමට බව මහා සච්චක සූත්‍රයේදී සච්චක පරිබ්‍රාජකයාට දේශනා කර තිබේ. එම කරුණු පහ අනුව අප කළ යුත්තේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පෞද්ගලික භක්තියක් ඇති කොට ගෙන පූජා පැවැත්වීමද එසේ නොමැතිව එම කරුණු පහ අනුව පිළිවෙත් වල යෙදීම ද යනු සිතා බැලීම මැනවි.

1. “බුද්ධො සො භගවා බෝධාය ධම්මං දෙසෙති” චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත් බුදුන් වහන්සේ සෙස්සන්ටද චතුරාර්ය සත්‍ය අවබෝධ කරවීම පිණිස ධර්මය දේශනා කළ සේක.

2. “ දන්තො සො භගවා දමථාය ධම්මං දෙසෙති ” තම ඉඳුරන් දමනය කරගත් භාග්‍යවතුන් වහන්සේ සෙස්සන්ගේද ඉඳුරන් දමනය කරවීම පිණිස ධර්මය දේශනා කළ සේක.

3. “ සන්තො සො භගවා සමථාය දම්මං දෙසෙති” ශාන්ත වූ භාග්‍යවතුන් වහ්නසේ සෙස්සනුගේ ශාන්තිය (අනුන්ගෙන් වන පීඩාෙවීදිී ඉවසීම) පිණිස ධර්මය දේශනා කළ සේක.

4. “ තිණ්ණො සො භගවා තරණාය ධම්මං දෙසිති” සියලු දුකින් එතෙර වු භාග්‍යවතුන් වහන්සේ සෙස්සන් ද සසර කතරින් එතෙර කරවීම පිණිස ධර්මය දේශනා කළ සේක.

5. “පරිනිබ්බුතො සො භගවා පරිනිබ්බානාය ධම්මං දෙසෙති “ පිරිනිවන්පා (නිවන සම්පූර්ණ කරගත්) වදාළ බුදුන් වහන්සේ සෙස්සන්ගේ ද පිරිනිවන සඳහා ධර්මය දේශනා කළ සේක.

බුදුන් වහන්සේ පන්සාළිස් වසක් දේශනා කොට වදාළ මුළු ධර්මස්කන්ධයම සම්පිණ්ඩනය කොට ගත් කල්හි මෙම පංච කෘත්‍යයට ඇතුළත් වේ. මේ කාරණා සම්පූර්ණ කර ගැනීමට ප්‍රඥාව, වීර්ය හා අධිෂ්ඨානය තිබිය යුතුයි. බුදු සමය තුළ පුද පූජා පවත්වා ඇදහීමට හෝ ශාස්ත්‍රිය වශයෙන් පොත පතෙහි ඇති ධර්මකාරණා ග්‍රහණය කර ගැනීමට හෝ කිසිවක් දේශනා කොට නැත. ඉහත තරුණු පහ ප්‍රායෝගිකව ඉටුකර ගැනීමට උත්සුකවීමෙන් කාටත් නිවන් දැකීමට පුළුවන් වනු ඇතැයි මෙම පර්යාය ක්‍රමයෙන් වටහා ගැනීමට පුළුවන.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.