Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සැබෑ බෞද්ධ පිළිවෙත යනු...

බුදු දහම උත්තරීතර දර්ශනයකි. එකී දර්ශනයේ මූලික හරය හා මූලික සාධකය වන්නේ ද ප්‍රතීත්‍ය සමූත්පාදයයි. එම මූලික හර පද්ධතිය මඟින් ආර්ය ප්‍රතිපදාවක් හෙවත් සැබෑ පිළිවෙතක් ලෝකය ඉදිරියේ ඉදිරිපත් කරයි. එය අප කාටත් හුරු පුරුදු ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෙස හඳුන්වනු ලබයි. මේ තුළින් ආර්ය ප්‍රතිපත්ති හෙවත් සැබෑ බෞද්ධ පිළිවෙත් අටක් (08) පිළිබඳ බෞද්ධ දර්ශනය උගන්වයි. මෙවන් විශිෂ්ට පිළිවෙත් සමුදායක් බුදුදහම තුළ හැර අන්කිසිදු දහමක දක්නට නැත.

2600 වන ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය අර්ථවත් කරලනුවස් වත්මන් බෞද්ධ ලෝකයා විවිධාකාරයෙන් කටයුතු කරනු දක්නට ලැබේ. ඒ අතරින් ලාංකික බෞද්ධ ජනයා අති විශේෂිතය. ඒ වෙනුවෙන් දාන, සීල, භාවනා යන ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවන්හි නිරතවීම වෙනදාටත් වඩා දක්නට ඇත. ඒ වනාහි අපගේ ශාස්තෘවර ගෞතමයාණන් වහන්සේගේ 2600 වන ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සැමරීම අරමුණු කරගෙනය. මේ සඳහා වූ තේමා පාඨය එනම් ‘’පිළිවෙතින් පෙළ ගැසෙමු’’ යන්න පිළිබඳ විවිධ අදහස් පළවීමත් සමඟම බෞද්ධ ජනයාගේ සැබෑ පිළිවෙත කුමක්ද යනු හඳුනාගැනීම අපහසු වී ඇත. මේ කරුණු සම්බන්ධයෙන් පුවත්පත් ඔස්සේ ද වෙනත් මාධ්‍ය ඔස්සේ ද විවිධ අදහස් මේ වන විටත් පළ වී ඇත. එයට යම් අදහසක්, ඉදිරිපත් කිරීම මෙහි අරමුණයි. එනම් සම්බුද්ධත්ව ජයන්තිය අර්ථවත් කර ගැනීම සඳහා අප අනුගමනය කළයුත්තේ සැබෑ බෞද්ධ පිළිවෙත වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. මෙය බුදුරදුන් තම ශ්‍රාවකයාට පෙන්වා දුන් සරලම නිර්වාණගාමී ප්‍රතිපදාවයි. මෙකී ආර්ය අෂ්ටාංගික මාර්ගයම තවත් පර්යායකින් ත්‍රිශික්ෂාව යැයි පෙළ දහමේ ඉගැන්වේ. ඒ සීල, සමාධි, ප්‍රඥා වශයෙනි. එනමුත් ත්‍රිශික්ෂාව මඟින් ආර්ය අෂ්ටාංගික මාර්ගය සංග්‍රහ කරන්නේ ද නැතිනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය මඟින් ත්‍රිශික්ෂාව සංග්‍රහ වේද යන්න ප්‍රශ්නයක් මතු වේ. මේ සඳහා විශාඛ ගෘහපතියා නැගූ ප්‍රශ්නයට පිළිතුරු දුන් ධම්මදින්නා තෙරණියෝ ආර්ය අෂ්ටාංගික මාර්ගය මඟින් ත්‍රිශික්ෂාව සංග්‍රහ කරනු නොලබන බවත් ත්‍රිශික්ෂාව මඟින් ආර්ය අෂ්ටාංගික මාර්ගය සංග්‍රහ කරනු ලබන බවත් පැවසූහ. ඒ බව මෙම සටහනින් පැහැදිලි වේ.

සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන අංග තුන සීල ශික්ෂාව විසින්ද,

සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන අංග තුන සමාධි ශික්ෂාව විසින්ද,

සම්මා දිට්ඨි, සම්මා සංකප්ප යන අංග දෙක ප්‍රඥා ශික්ෂාව විසින් ද සංග්‍රහ කරනු ලබයි.

ත්‍රි ශික්ෂාවෙහි පිළිවෙළ සීල, සමාධි, ප්‍රඥා යනුවෙන් දැක්වුවද ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මූලික වන්නේ සම්මා දිට්ඨියයි. එසේ නම් ආර්ය පිළිවෙත ප්‍රඥාවෙන් ඇරඹි සමාධියෙන් කෙළවර වේද? නැත. ආර්ය මාර්ගය කෙළවර වන්නේ ප්‍රඥා ශික්ෂාවෙන් හෙවත් ප්‍රඥාස්කන්ධයෙනි. සම්මා දිට්ඨියෙන් හා සම්මා සංකප්පයෙන් ඉහත දැක්වූ පරිදි ප්‍රඥාව සම්පූර්ණ නොවන අතර, එය පරිපූර්න වනුයේ සම්මා ඤාණ හා සම්මා විමුක්ති යන අංග ද්වය ද සම්පූර්ණ වීමෙනි. ඒ අනුව මුල් අංග අටෙන් ප්‍රකට වන්නේ සේඛ ප්‍රතිපදාවය. (අට්ඨාංග සමන්නාග තො සෙඛො) සම්මා ඤාණ හා සම්මා විමුක්ති යන අංග සම්පූර්ණ වූ විට අරහත් ඵලයද ලැබේ. (දසංග සමන්තාගතො අරහා හොති) මජ්ඣිම නිකායේ මහාචත්තාරීසක සූත්‍රය මූලාශ්‍රය කොට ගෙන මෙකී ආර්ය මාර්ගය පුද්ගලයා තුළ වැඩෙන අයුරු විමසා බැලීම ඉතා වටනේය. ඒ අනුව එම මාර්ගයේ මුල් අංග පහ සාස්‍රව හා අනාස්‍රව වශයෙන් පවතී. කෙලෙස් සහිත වූද පින් පැත්තට නැඹුරු වන එමෙන්ම උපතට ද හේතුවන අංශය සාස්‍රව නම් වෙයි. (සාසවා පුඤ්ඤභාගියා උපධි මෙපතතා) අනෙක් අංශය ආශ්‍රව සහිත නොවන්නේ ලෝකෝත්තර නිවන් මගට හේතුවන පැත්තය. (අරියා අනාවස ලෝකුත්තර මග්ගංගා) මෙහිදී සාස්‍රව හා අනාස්‍රව බව හඳුනා ගැනීම වැදගත් වේ.

01. සම්මා දිට්ඨි

සම්‍යක් දෘෂ්ටිය, සාස්‍රව සම්මා දිට්ඨිය හා අනාස්‍රව සම්මා දිට්ඨිය යන්නෙන් දෙපරිදිය. ‘’සම්මා දිට්ඨිම්හං භික්ඛවෙ ද්වයං වදාමි. අත්ථි භික්ඛවෙ සම්මා දිට්ඨි සාසවා පුඤ්ඤභාගියා උපධිවෙපක්කා අත්ථි භික්ඛවෙ සම්මා දිට්ඨි අරියා අනාසවා ලොකුත්තර මග්ගංගා’’

ආස්‍රව සම්මා දිට්ඨිය යනු ‘’දුන් දෙයහි විපාකයක් ඇත. හොඳ නරක දෙකේහි විපාක ඇත, මෙලොව ඇත, පරලොව ඇත, මව ඇත, පියා ඇත’ යනුවෙන් පිළිගැනීමයි. එහෙත් මෙම දිට්ඨිය තුළින් නිවන් දැකිය නොහැකිය. එනම් පුණ්‍ය විපාක වශයෙන් සුගතිගාමී විය හැකි බවය.

එනමුත් අනාස්‍රව සම්මා දිට්ඨිය තුළින් ලෝකෝත්තර මාර්ගය වඩමින් යම් ප්‍රඥා ඉන්ද්‍රියක්, ප්‍රඥා බලයක්, ධම්ම විචය සම්බෝධි අංගයක් ලැබීමයි. පඤ්ඤා යනු මැනවින් දුක් කෙළවර කොට අවශ්‍ය පරිදි සංස්කාරන්ගේ ඇතිවීම (සමුදය) නැතිවීම (නිරෝධය) දන්නා නුවණයි. එනම් විදර්ශනා නුවණයි. භවයෙන් එතෙරවීමට අවශ්‍ය සම්මා දිට්ඨිය එයයි. එනම් අනාවස සම්මා දිට්ඨියයි.

02. සම්මා සංකප්ප

කාම, ව්‍යාපාද, විහිංසා යන සංකල්පනාවන් දුරුකිරීම සම්මා සංකප්පය නම් වේ. මේවා වෙනුවට නෙක්ඛම්ම, අව්‍යාපාද , අවිහිංසා යන සංකල්පයන් වැඩිය යුතු බව කල්පනා කිරීමයි. සම්‍යක් සංකල්පනාවන් පිළිබඳ අරමුණු වහා සිතින් අවබෝධ වන ‘විතර්කය’ නම් වූ වචී සංඛාරය අනාස්‍රව සම්‍යක් කල්පනාවයි.

03. සම්මා වාචා

බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන කීම, හිස්වචන කීම, යනු වාග් මිථ්‍යාවයි. මෙම චතුර්විධ වූ වාග් දුශ්චරිතයෙන් මිදීම සම්‍යක් වචනයයි. එය අනාස්‍රව සම්‍යක් වචන බවට පත් වනුයේ ලෝකෝත්තර ආර්ය මාර්ගයට ප්‍රඥාවෙන් ප්‍රවිෂ්ට වීම තුළිනි.

04. සම්මා කම්මන්ත

පරපණ නැසීම, නොදුන් දෙය ගැනීම, කාමයෙහි වරදවා හැසිරීම යන මේවා කාය දුශ්චරිත මිථ්‍යා කර්මාන්තයයි. මේවයෙන් පුද්ගලයා නැවත නැවත සසරට තල්ලු කරයි. මේවායෙන් මිදීම සම්මා කම්මන්තයයි. මෙය අනාස්‍රව සම්මා කර්මාන්තයක් වන්නේ් ලෝකෝත්තර ආර්ය මාර්ගාංගයක් ආර්ය සිත් ඇතිව වැඩීම තුළිනි.

05. සම්මා ආජීව

මිච්ඡා ආජීවයෙන් මිදීමය. මිච්ඡා ආජීව යනු

1. නැති ගුණ ඇති බව පෙන්වීම

2. විශ්මයජනක වචන කීම/ කටයුතු කිරීම

3. ලාභය උදෙසා ඇඟවීම් කිරීම

4. ලාභයෙන් ලාභය සෙවීම

ඒ අනුව ඉහත කී කරුණු වලින් මිදීම/ වෙන්වීම සම්මා ආජීවයයි. මෙය ලෝකෝත්තර ආර්ය සිතැතිව වැඩීම තුළින් අනාස්‍රව සම්මා ආජීව තත්ත්වයට පත්වේ.

දිට්ඨි, සංකප්ප, වාචා, කම්මන්ත, ආජීව යන අංගවල වැරදි පැත්ත ‘මිථ්‍යා’ වශයෙන්ද, හරි පැත්ත ‘සම්මා’ වශයෙන් ද හඳුනාගත හැක්කේ් සම්මා දිට්ඨියෙනි. ඒ අනුව මෙකී ප්‍රතිපදාවන්ගේ් නිවැරදි බව දැකීම සඳහා සම්‍යක් දෘෂ්ටිය වැදගත් වේ.

වරක් බුදුරදුන් සැරියුත් මහරහතන් වහන්සේට මේ පිළිබඳ යම් වැටහීමක් ලබා දෙයි. ‘සාරිපුත්තය, යම් බඳු වූ දෘෂ්ටි ප්‍රතිලාභයක් ඇසුරු කරන කල්හි අකුසල් ධර්ම පිරිහේද /දුරු වේද, කුසල ධර්ම වැඩේද එබඳු වූ දෘෂ්ටි ප්‍රතිලාබයක් ඇසුරු කරන්න’’ යනුවෙනි. ඒ අනුව මෙකී මාර්ග ප්‍රතිපදා වැඩෙන්නේ් නුවණින් දකින විට බව මෙයට කදිම නිදසුනකි.

සම්මා වායාම

මාර්ගාංග නිවැරැදිව නුවණින් වැඩීම සඳහා දරන උත්සාහය සම්මා ව්‍යායාමයයි. ඒ තුළින් මිථ්‍යා දෘෂ්ටිය දුරු කිරීමටත් සම්‍යක් දෘෂ්ටිය උපදවීමටත් යොදවන උත්සාහය මෙයයි. ඒ බව මජ්ඣිම නිකායේ මහාචත්තාරීසක සූත්‍රයේ දැක්වෙන ‘සො මිච්ඡා දිට්ඨියා පහානාය වායමති සම්මා දිට්ඨියා උපසම්පදාය ස්වාස්ස හොති සම්මා වායාමො’’ යන්නෙන් මනාව පැහැදිලි වේ. මේ අයුරින් සංකප්ප, වාචා, කම්මන්ත, ආජීව යන අංග වැඩීමට ඇති උත්සාහය සම්මා වායාමයයි.

සම්මා සති

මනා වූ සිහිනුවණින් යුක්තව මිථ්‍යා දෘෂ්ටිය දුරු කරන්නටත් සම්‍යක් දෘෂ්ටියට හෙවත් නිවැරැදි අවබෝධයට ප්‍රවිෂ්ට වී සිටීමත් සඳහා අවශ්‍ය වන මූලිකාංගය සම්මා සතියයි.

සො සතො මිච්ඡා දිට්ඨිං පජහති සතො සම්මා දිට්ඨිං උපසම්පජ්ජි විහරති සාස්ස හොති සම්මා සති යන සඳහනින් ඒ බව මොනවට ප්‍රකට කරයි. ආර්ය මාර්ගයේ මුල් අංග පහටම මනා වූ සිහිනුවණින් එළැඹ සිටීම සම්මා සතියයි.

මේ අනුව සම්මා දිට්ඨියත්, සම්මා වායාමයත්, සම්මා සතියත් මඟින් මුල් ආර්ය මාර්ග පහ වැඩීම සිදුවේ.

ඉතිස්සිමෙ තයො ධම්මා සම්මා දිට්ඨිං අනුපරිධාවන්ති අනුපරිවත්තන්ති, සෙය්‍යථිදං සම්මා දිට්ඨි, සම්මා වායාමො, සම්මා සති.

සම්මා සමාධි

මහාචත්තාරිසක සූත්‍රයේ ප්‍රධාන ඉලක්කය සම්මා සමාධිය කුමක් ප්‍රත්‍ය කොට කුමක් පරිවාර කොට පවතී ද යන්න විමසා බැලීමය. ‘අරියං සම්මා සමාධිං’.

මහණනි, ප්‍රත්‍ය සහිත වූ පරිවාර සහිත වූ ආර්ය සම්මා සමාධිය කුමක්ද? ඒ මෙසේය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, යන අංග සතෙහි සිතේ යම් ඒකාග්‍රතාවක් පරිවාර බවක් පවතීද, මහණනි, එම ආර්ය සම්‍යක් සමාධිය ප්‍රත්‍ය සහිත වූත් පරිවාර සහිතවූත් බව පිළිගනී.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.