Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දානයක් දීමේදී සැලකිය යුතු කරුණු

දානයක් සකස් කිරීමේදී පිරිසුදු බව අත්‍යවශ්‍ය සාධකයකි. පිරිසුදු බව රැක ගැනීමට හිසට ආවරණයක් පැළඳීම, මුකවාඩම් බැඳ ගැනීම සුදුසු වුවත් නිවෙසක එවැන්නක් කිරීමේදී ප්‍රායෝගිකව යම් යම් ගැටලු මතුවේ. එහෙත් අතීතයේ අපේ ඇත්තන් ඒ ආකාරයෙන් ඒවා ක්‍රියාවට නැංවූ බව පැහැදිලිය. කරන්නන් වාලේ දන් සැකසීම නොකර හොඳ පිළිවෙළක් අනුගමනය කිරීම ඉතාම වැදගත් වේ. තමන් මේ දානය සූදානම් කරන්නේ බුද්ධ, ධම්ම, සංඝ යන තුනුරුවන වෙනුවෙන් බව පළමුව සිතේ ඉපදිය යුතුය.

එබැවින් දන් සකසන විට අඩුවෙන් කතා බස් කර ශබ්ද නගා සිනහ නොවී එම කටයුතු කිරීම ඉතා හොඳය. දානය සකසන විටත් දානය පිළිගන්වන විටත් කැවිලි හා රස කැවිලි පිඟන් සකසන විටත් එය අනුගමනය කළ යුතුය. නැතහොත් කෙස් ගස් සහ කතා කරන විට කෙළත් සකස් කරන ආහාර වලට එකතුවීමට ඉඩකඩ තිබේ. එය තමාගේ ද නොදැනීමෙන් සිදුවන අත්වැරද්දක් බව කල්පනාවට ගැනීම වටී.

ඇතැම් අය සත් නමකට ආරාධනා කරති. තවත් අය පහළොස් නමකට ආරාධනා කරති. යම් හේතුවක් මත ස්වාමීන් වහන්සේලා දෙනමක් මගහැරී දහතුන් නමක් වැඩම කළවිට දායකයාගේ සිතට මදිය. එක් හේතුවක් වන්නේ දහතුන ඇතැම් දායක දායිකාවන්ට අසුබ සංඛ්‍යාවකි.

අනෙක් කාරණය බලාපොරොත්තු වූ ස්වාමීන් වහන්සේලා පහළොස් නම වැඩම නො කිරීමය. මේ සියලු කාරණා දායක පින්වතුන්ගේ සිතේ පවත්නා මිත්‍යාවන් හා පවුලේ තත්ත්වය මත පදනම් වූ ඒවාය.

යම් කෙනෙකුට දානය පුජා කිරීමට අවස්ථාව ලැබෙන්නේ සිවු නමකට නම් ඒ ස්වාමීන් වහන්සේලා සිවු නමට ශ්‍රද්ධා පෙරදැරිව ගෞරව භක්තියෙන් දන් පිළිගැන්විය යුතුය. යම් ආකාරයකට ඔබ දානය පිළිගන්වන්නේ සිතේ ධාර්මික ප්‍රීතියකින් නොවේ නම් එම දානය පිදීමේ ප්‍රතිඵලයක් ද නැති බව සිතීමට කල්පනාව තිබිය යුතුය.

දක්ඛිණ විභංග සූත්‍රයේදී පෞද්ගලික දාන 14 ක් ද සාංඝික දාන ක්‍රම 7 ක් ද දක්වා ඇත. පෞද්ගලික දාන අතර උසස්ම දානය බුදුරජාණන් වහන්සේ වෙත කෙරෙන පූජාවයි. සාංඝික දානයට උපසපන් භික්ෂූන් හතර නමක් අවශ්‍ය වේ.

එහෙත් සංඝයා වැඩ සිටින අරමකට ගොස් සංඝයා වෙනුවෙන් දන් පිදීමකට එක් නමක් වැඩමවා ගැනීමෙන් ද සාංඝීක දානයක් පූජා කළ හැකිවේ. මෙය දායකයාගේ සිත පෙරටුවම පවතී. එබැවින් දානයක් දීමේදී තම නිවසේ ඉඩකඩ ගැන විමසා ඊට උචිත භික්ෂූන් ප්‍රමාණයක් ලබා ගත යුතුය. සාංඝීක දානය වඩා ආනිශංස දායක වේ.

භික්ෂූන් 10 නමක් 15 නමක් ආදී වශයෙන් ගණන් යොදා ගතහොත් එය පෞද්ගලික දානය ගණයට වැටේ. මෙහිදී අපේ ගෙදර ඉඩකඩ අනුව ස්වාමීන් වහන්සේලා 10 නමක් පමණ සංඝයා වෙනුවෙන් වැඩම කළහොත් හොඳයි යනුවෙන් ම ආරාධනා කිරීම සුදුසුය.

දානය දෙන තැනත් ධර්ම දේශනාව පවත්වන තැනත් උඩු වියන් බැඳීම සිරිතකි. වැඩම කරවන භික්ෂූන් වහන්සේලාට සුදු ඇතිරිලි යොදා ආසන පිළියෙළ කළ යුතු අතර උන්වහන්සේලාට අටපිරිකර හෝ පරිෂ්කාර අවශ්‍ය පරිදි සූදානම් කරගත හැකිය. වැඩම කරවන ස්වාමීන් වහන්සේලාගේ පා සේදීමට වතුර භාජනයක් ද පා සෝදන ස්ථානයේ බිමට ගොක් අත්තක් වියා ගැනීමට හැකිනම් එවැන්නක් ද තබා පා පිස දැමීමට පිරිසුදු රෙදි කඩක් ද නිවසට ඇතුළු වන දොරටුව සමීපයේ සූදානම් කළයුතු වෙයි. ධර්ම දේශනාව පැවැත්වීමට සූදානම් කරන තැන වේලාව බලා ගැනීමට ඔරලෝසුවක්, පැන් වීදුරුවක් තැබීම හොඳය. ස්වාමීන් වහන්සේලාට දානය පිරිනැමීමට අවශ්‍ය භාජන (පිඟන්, කෝප්ප, කැවිලි සහ පලතුරු පිළිගන්වන පිඟන් ද පඩික්කම් ද) සූදානම් කර තැබිය යුතු වේ. සාංඝීක දානයේදී කරඬුව තැන්පත් කිරීමට ඉහළ තැනක් සූදානම් කර ගනී. එහිදී කරඬුවට ඉහළින් සුදු වියනක් සකසා තැබිය යුතුය. බුදුන් වහන්සේ වැඩියා හා සමානව කරඬුවට පූජා කටයුතු කිරීම පළමුව සිදුවන බැවින් නිවසේ බුද්ධ පූජාව පළමුව පවත්වයි. ඒ සඳහා දානය සූදානම් කර තැබිය යුතු අතර මල් පහන් සුවඳ දුම් පුජා කෙරෙන බැවින් ඒවා ද සූදානමින් තැබීම ඉතා හොඳය.

දානය නිරාවරණය කළ පසු මැස්සන් එක් රොක්වීම වැළකීම සඳහා ඉටි පහනක් දැල්වීම එහිදී බිම දූවිලි කුණු නැතිවන ලෙස හොඳින් පිරිසුදු කර තැබීම වැදගත් වේ. දානයක් සිදු කළත් ධර්ම දේශනාවක් සිදු කළත් ස්වාමීන් වහන්සේලාට ආරාධනා කිරීම සඳහා දැහැත් වට්ටිය සූදානම් කර තැබීම අනිවාර්යය. එසේම පැන් වැඩීම සඳහා ද භාජන සූදානම් කර තැබීම හොඳය.

දානය පිරිනමා ගෙවත්තේ තැනක මල් පැළක් සාදා එහි පෙරේත ගොට්ට තැබීම ඇතැම් ප්‍රදේශවල සිදුවේ. එතැනට ස්වාමීන් වහන්සේ නමක් ද වැඩම කරවා ගනියි. මෙය තබනුයේ මියගිය පුද්ගලයාට බැවින් ඔහු ප්‍රිය කරන කෑම බීම ආදිය එහි තබයි. ඔහු ජීවත්ව සිටින කාලයේ අරක්කු, සිගරැට්, සුරුට්ටු පාවිච්චි කළේ නම් ඒවාද තබන සිරිතක් ඇත. ඉන් පෙන්නුම් කරනුයේ මියගිය තැනැත්තා ප්‍රේතයකු බව නොකියා කීම බව පෙනේ. ඒවා බෞද්ධයන්ට නො ගැලපේ. එහෙත් කලින් දින පහනක් දල්වා මිය ගිය අයට පින් ගැනීමට ආරාධනා කිරීම සුදුසුය. ප්‍රේත ගොටුවක් ලෙස නොව සතුන්ට දානයක් ලෙස එසේ ආහාර තැබීමෙහි වරදක් නැත.

ගරුතර මහා සංඝරත්නය වැඩම කළ පසු පළමුව පන්සිල් සමාදන්ව අනතුරුව දාන වස්තුව සහ අටපිරිකර ඇතුළු සෙසු පිරිකර මහා සංඝ රත්නයට සාංඝීකව පවරනු ලැබේ. එනම් ඒ දාන වස්තුව සංඝ රත්නය උදෙසා අයිති කැර දීමෙකි. එය දාන වස්තුව සාංඝීක කිරීමයි. එහිදී උපසම්පදා හිමිවරුන් සිවු නමක් වැඩ සිටිය යුතු බවට පිළිගැනීමක් වෙයි.

එහෙත් වැඩ සිටින ගෞරවනීය ස්වාමීන් වහන්සේලා කුමන ආකාරයේ වුවත් දාන වස්තුව පිරිසුදු චේතනාවෙන් පිදිය යුතුය. උන්වහන්සේලා

‘ඉමං භික්ඛං භික්ඛු සංඝස්ස දේම’

යනුවෙන් වාක්‍යය පැවසූ පසු එම දාන වස්තුව අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ, අග්‍ර ශ්‍රාවක සැරියුත්, මුගලන් මහරහතන් වහන්සේලාගේ පටන් උතුම් ආර්ය සංඝරත්නය උදෙසා පිදූවක් බවට පත් වෙයි. දානය වැළඳූ පසු අට පිරිකර, කොට්ට, පැදුර, ඉදල, පිඟාන, කෝප්පය, කොස්ස ආදී පුද පරිෂ්කාර ද පූජා කරනු ලැබේ.

බිම්බිසාර මහ රජතුමන් වේළුවන ආරාමය පූජා කළ දින රාත්‍රියේ මියගිය ඥාති පිරිසක් සිහිනෙන් දැක බිය වී ඒ පිළිබඳව බුදුරජාණන් වහන්සේගෙන් විමසූ විට වදාළේ පින් අනුමෝදන් වනු රිසියෙන් ඔවුන් පෙන්නුම් කළ බවයි. එහෙයින් දන් දී ඔවුන්ට පින්දීමට නියම කරනු ලැබූහ. දන් දී පින් දුන් කල්හි මියගියවුන්ගේ කෘශ වී ගිය සිරුර සම්පූර්ණව පෙනුණත් නිර්වස්ත්‍රව සිටි බැවින් ඒ ගැන විමසූ කල්හි වස්ත්‍ර පූජා කොට පින් දීමට නියම කරනු ලැබූහ. දෙන දෙයට අනුව පින් ලැබෙන බව මින් පෙනේ.

“ යා දිසං වපතේ බීජං තා දිසං හරතේ ඵලං”

වපුරන බීජවලට අනුව අස්වැන්න ලැබේ. වී වැපිරූ විට වී ද මුං වැපුරූ විට මුං ද අස්වැන්න ලෙස ලැබේ. ඒ අනුව පූජා කරන දේ අනුව ප්‍රතිඵල ද ලැබෙන බැවින් අපේ බෞද්ධ ජනතාව අවශ්‍යතා සලකා බලා පුද පූජා කිරීම සුදුසුය.

අටපිරිකර පූජාවෙන් අනාගත බුදු කෙනකුන් හමුවේදී ඒහි භික්ෂු පැවිද්ද ලැබේ යැයි ද, පිඟන් කෝප්ප ආදී සෙසු පිරිකර පූජාවෙන් මිය ගිය අයගේ නව නිවහනට එම සැප සම්පත් ලැබේයැයි ද විශ්වාසයක් පවතී. මේ පූජාවන්ගෙන් පසුව පුණ්‍යානුමොද්නා ධර්ම දේශනාව පවත්වා පැන් වඩා පින් අනුමෝදන් කෙරේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.