Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මහින්දාගමනයෙන් පෝෂණය වූ භාෂා සාහිත්‍යය

මිහිඳු මහරහතන් වහන්සේ සිරිලකට වැඩම වූයේ දෙරටේම භාවිත සංස්කෘතීන් ඉතා පහසුවෙන් දැන හැඳින ගැනීමට පරිසරය, මානව බුද්ධිය, හා අත්‍යවශ්‍ය සම්පත් අනූන ව පෝෂණය වූ කාල පරිච්ඡේදයක බව සමකාලීන මූලාශ්‍රවලින් ප්‍රත්‍යක්ෂ වන්නේ ය. භාරතයෙන් පැමිණි රාජකීය පැවිදි උත්තමයන් හා දේවානම්පියතිස්ස මහරජතුමන් ප්‍රධාන රාජ්‍ය නායකයන් අතර හුවමාරු වූ දාර්ශනික අදහස් අනුව උසස් භාෂා ශාස්ත්‍රීය දැනීමක් ඊට අවශ්‍ය වන්නේ ම ය. මෙය ක්‍ෂණිකව ඇති වූ දෙයක් නොව ක්‍රමිකව දියුණුව භාෂා සාහිත්‍යය ප්‍රවණතාවේ අග්‍ර ඵලයකි.

මැක්ස් මුලර් පඬිතුමාගේ මතය අනුව ‘ආර්ය’ යන වචනය මානව වර්ගයකට නොව භාෂා වර්ගයකට ව්‍යවහාර වූවකි. එසේ වුවද ලක්දිව පරණවිතාන, ජර්මන් ජාතික ගයිගර් යන පඩිවරුන්ගේ අදහස නම් මානව වර්ගයකට සම්බන්ධ භාෂාව ඇතුළු සියලු සංස්කෘතික අංග ආර්ය යන වචනයෙන් ප්‍රකටවන බවයි. ආර්ය ජනයන් භාරතයේදී තිරසර හා දාර්ශනික මානව සංස්කෘතියකින් පෝෂණය වූ අයුරු වේද සාහිත්‍යයෙන් දක්නට පුළුවන. වේද චින්තාවෙන් දේවනිර්මාණවාදය බිහිවූ අතර බෞද්ධ චින්තාවෙන් හේතුඵල දර්ශනය බිහි විය. මේ අංශ දෙකම පදනම් කරගෙන බුද්ධාගම ව්‍යාප්ත වූ රටවල් අතර භාෂා සාහිත්‍ය දෙකම පෝෂණය විය.

මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජතුමාට පාලියෙන් දේශනා කළ චුල්ලහත්ථිපදෝපම සූත්‍රය අවබෝධ කර ගැනීමට භාෂා ශාස්ත්‍රීය ඤාණයත් ව්‍යවහාර ඤාණයත් අවශ්‍ය වේ. මේ කාරණයේදී ලෞකික බැම්මෙන් ඔබ්බට ගිය විවෘත ඤාණයක් දේවානම්පියතිස්ස රජතුමා සතුවීම මතු ලක්දිව හෙළ රජපෙළපත බෞද්ධ හැඟීමෙන් දීප්තිමත් කිරීමට මෙන්ම උදාර ආර්ය සංස්කෘතිය තිරසර වීමට හේතුකාරක විය.

උතුර හා දකුණු භාරතීය භාෂා සංකලනය නිසා බිහි වූ හෙළබස හා දෙමළ, සංස්කෘත, හින්දි ආදී පෙරදිග භාෂා සමග සම්බන්ධය පුළුල් විය. බුදුදහම අටුවා සහිතව පාලි භාෂාව මාධ්‍ය කරගෙන පැවති නමුත් භාරතයේ දී එය ලිඛිත භාෂාවක් නොවීය. එහෙත් ලක්දිව අළුවිහාරේදී ධර්ම සංගායනාවක් කොට අටුවා සහිත තෙවළා දහම ග්‍රන්ථාරූඪ කළ වග වංස කතාවේ දැක්වේ. දේශාන්තවාසීන්ගේ අර්ථ සිද්ධිය සලකා බුද්ධඝෝස, ධම්මපාල, බුද්ධදත්ත, මහානාම, උපසේන යන මහතෙරවරු පාලි භාෂාවට පරිවර්තනය කළහ. මේ හෙළටුවා මෙන්ම පාලි අටුවාද මහාවිහාර පුස්තකාලවල දිගු කලක් පවතින්නට ඇත. මහාවිහාර අභයගිරි ගැටුම් නිසා හෙළටුවා අභාවයට පත්විය.

ලංකා සාහිත්‍ය පෝෂණය සඳහා ප්‍රධාන වශයෙන් උපයෝගී වූ විෂයයන්

1. හෙළටුවා
2. පාලි අටුවා
3. සිංහල, පාලි සංස්කෘත භාෂා
4. මහාවිහාර සටහන් වාර්තා
5. ආචරියවාද

එකල ලංකාව ප්‍රකටවූයේ නිර්මල ථෙරවාද බුදුදහම ආරක්ෂා වී පවතින ධර්මද්වීපයක් වශයෙනි. මේ නිසා අනුරාධපුරයේ පටන් වර්තමානය දක්වා ගිහි පැවිදි ලේඛකයන් රචනා කළ ග්‍රන්ථ අපමණය. අනුරාධපුර යුගය සාහිත්‍ය කලාව උපරිම වශයෙන් දියුණු වී පැවති වග මහාවංසාදී ග්‍රන්ථවලින් ප්‍රකට වේ. හෙළටුවා පදනම් කරගෙන හෙළ සාහිත්‍යද පාලි භාෂාව පදනම් කරගෙන පාලි - සිංහල සාහිත්‍ය ද, සංස්කෘත භාෂාව මූලිකව ලෞකික රසාත්මක සාහිත්‍ය ද දියුණු විය.

වංස කතා සාහිත්‍ය නිසා සම්බුද්ධ ශාසනයේ හා ජාතියේ ඉතිහාසයත් සුරක්ෂිත විය.

ඉතිහාස තොරතුරු දක්වන්නේ පාඨක සිතේ සංවේගය ප්‍රසාදරසය ජනිත කරවන්ට හැකි අවස්ථාවල එයට යෝග්‍ය භාෂා ශෛලිය යොදා ගැනීමෙනි. තෙවළා බුදුවදන් වුවද ප්‍රකාශනයට පත් කිරීමේදී භාෂා ගුණ, ව්‍යාකරණ, උපමා රූපක, අලංකාර ආදී සාහිත්‍යාත්මක ප්‍රයෝගයන් යොදා ගැනීමෙනි. පරිසරයේ ඇති අසිරිමත් සුන්දරතාවයේ උපරිමය මෙන්ම මානව හැඟීම් උද්දීපනය කොට නිවන් මගට පිවිසීමට උපයෝගී වන බෞද්ධ සාහිත්‍යයක් අනුරාධපුර යුගයේ පැවති අයුරු දක්නට පුළුවන.

යුගයෙන් යුගය සමාජ පරිවර්තන සමග මානව චින්තනයේ වෙනස්කම් නිසා භාෂා ශාස්ත්‍රයේ අලුත් නිර්මාණද බිහි වේ. පොළොන්නරු යුගය වනවිට සංස්කෘත භාෂාවේ මෙන්ම හින්දු ආගමේ බලපෑම් නිසා සිංහල භාෂාව පාලි සංස්කෘත දමිළ යන භාෂා සම්මිශ්‍රව ;පීෂණය විය. සන්න, ගැටපද, පරිකථා, ගී, ආඛ්‍යාන වශයෙන් වර්ග වූ සාහිත්‍ය ග්‍රන්ථලිය වෙන්නට විය. සංස්කෘත කාව්‍යාදර්ශය මූලාශ්‍ර කරගෙන සියබස්ලකර නම් කාව්‍ය උපදේශ ග්‍රන්ථය ලිවීමෙන් පද්‍ය සාහිත්‍ය පෝෂණයට මූලාධාර විය. මුවදෙව්දාවත, සසඳාවත, කව් සිළුමිණ වැනි උසස් නිර්මාණාත්මක ග්‍රන්ථ ලියන්නට සියබස්ලකර ග්‍රන්ථය මූලාශ්‍ර වූ අතර එය ගද්‍ය සාහිත්‍යයේ උන්නතියටද හේතු භූ®ත වූ අයුරු දක්නට පුළුවන. ගී විරිත ආදියුගයේ පටන් පැවතියද ගීයෙන් බෝසත් සිරිත වර්ණනා කරන්නට ගත් තැන ඉතා සාර්ථක විය.

පොළොන්නරු යුගයේ ලියනලද අමාවතුර, බුත්සරණ, නිසා සිංහල භාෂාව පෝෂණය විය. හෙළබසින්, පාලි සංස්කෘත භාෂාවලින් ශබ්ද කෝෂය පුළුල් වී ඇති අතර විශේෂයෙන් සාහිත්‍ය රසය සෑම පරිච්ඡේදයක් පුරාම විහිදී යන අයුරින් වාක්‍ය යොදා ඇති අමාවතුර බුද්ධාදී තෙරුවන් පිළිබඳ ශ්‍රද්ධා ප්‍රඥා ගංගාවක් ගලායන ආකාරය පෙන්නුම් කරයි. බුත්සරණ බුදුගුණ සයුරේ කිමිදීමක් වැන්න.

පොළොන්නරු යුගයේ රචනා කළ ධර්ම ප්‍රදීපිකාව ත්‍රිපිටක ධර්මය සම්පිණ්ඩනය කොට සිංහල, පාලි, සංස්කෘත යන භාෂා තුනෙන්ම සත්ත්වයාගේ කර්ම හා කර්මඵලය මූර්තිමත් කර පෙන්වීමක් වැන්න.

පොළෙන්නරු දඹදෙණි, කෝට්ටේ, මාතර, සෙංකඩගල, කොළඹ යන සංහිත්‍ය යුගවල සුවිශේෂ අංගයන්ගෙන් අලංකාර කළ සිංහල සාහිත්‍යලතාව පෝෂණකළ ලේඛකයන් සිය දහස් ගණනින් බිහිවීමට මහාපුණ්‍ය භූ®මියක් වූයේ එදවස මිහිඳු මහරහතන් වහන්සේ ලක්වැසි ජනතාවට ප්‍රදානය කළ ප්‍රඥා ලෝකයයි.

කෝට්ටේ යුගයේ බිහි වූ මයුර සඳෙස, කොවුල් සඳෙස ගිරා, සැවුල්, සැළලිහිණි ආදී සංදේශ පොත් සෑම එකකම ආරම්භය තෙරුවන් සිහි කිරීමයි. සොබාදහමේ සුන්දරතාවත් බුදුදහමේ අවිහිංසාවත්, කලාකාමී හැඟීමත් එකට මුසුකොට සිංහල පද්‍යයෙන් අපේ හදවත් තුළට ගෙනෙන රසඥතාව අපමණය. ගුත්තිල කාව්‍ය, බුදුගුණලංකාරය, ලෝවැඩ සඟරාව, කාව්‍යශේඛරය යන සාහිත්‍ය ග්‍රන්ථ සිංහල බසින් කළ අපුරු නිර්මාණ වන අතර වසර සියදහස් ගණන් ලංකා ධරණිතලයේ භාෂා ක්‍ෂේත්‍රය තුළ ප්‍රබෝධමත්ව විකසිතව පවත්නා සුගන්ධවත් පියුම් වැන්න.

පෘතුගීසි ආදී විදේශීය පාලන සමයේ සාහිත්‍ය ක්‍ෂේත්‍රය පෝෂණය අඩුවීමක් දක්නට ඇතත් යළිත් මාතර යුගයේ බිහි වූ කවියන් රාශියක් උපදේශ ගී රචනා කොට සාහිත්‍ය පෝෂණය කරන්නට ප්‍රමුඛව ක්‍රියාකළ වග දක්නා ලැබේ. සීතාවක අලගියවැන්න මුකවැටිතුමා විසින් රචනා කළ සුභාෂිත කාව්‍යයද ජාතික වස්තුවක් වශයෙන් අගේ්කළ හැකි ය.

සාහිත්‍යය යනු සමාජයේ පවත්නා හැඟීම් සහිත බවයි. මේ නිසා කලින් කලට මතුවන ප්‍රශ්නවලට පිළියම් වශයෙන් පොත්පත් ලිවීම සමාජ පරිඥානයෙන් යුත් ලේඛකයාගේ වගකීමයි. පරාධීන ලංකාව ස්වාධීන කිරීම සඳහා නිදහස් සටනේ පුරෝගාමි වූ ටිබැට් ජාතික මහින්ද හිමි ප්‍රධාන කරගත් ගිහි පැවිදි ලේඛකයන් භාෂා ඤාණය උපයෝගී කරගෙන රචනා කළ කාව්‍ය දේශනා, රචනා සිංහල සාහිත්‍ය පෝෂණයට හේතුවිය. කුමන බාධකයක් පැමිණියද ජීවන පරිඥානයෙන් පිරිපුන් ලේඛකයාට සාහිත්‍ය නිර්මාණ අමතක නොවේමැයි. මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම වීමෙන් මිහින්තලා පව්වේදී

සමණා මයං මහාරාජ
ධම්ම රාජස්ස සාවකා
තමේව අනුකම්පාය
ජම්බුදීපා ඉධාගතා

යන පාලි ගාථාවේ පටන් චුල්ලහත්ථිපදෝප සූත්‍රය ප්‍රධාන කරගත් ත්‍රිපිටක ධර්මයට අයත් සියලු දේශනාවන් ද වත්මන් සමය දක්වා ශිලා ලේඛන, පොත්පත් සඟරා වාර්තා සටහන් ගැදි පැදි ගී සිව්පද, නාට්‍ය, කෙටිකතා, නවකතා, චම්පු ආදී සියල්ලම එදවස පටන් ලංකා මානව පරපුර පවත්නා තාක් සජීවීව පවතින්නේ තෙරුවන් පදනම් කරගෙන දෙලොව ශන්තිය පරමාර්ථ කර ලියන ලද නිසාමය.

සියපින් සිරින් සරු
දෙතිස් ලකුණින් විසිතුරු
කෙලෙසුන් කෙරෙන් දුරු
වඳිමි මුනි උතුමන් තිලෝගුරු

 


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.